Sunday, September 23, 2012

මුස්ලිම් කොන්ග්‍රසයේ රහස් අව‍බෝධතාව හා ඡන්ද පිළිබඳ විශ්වාස



ඊයේ හෙවත් සැත්තැම්බර් 21 වන දා සංදේශයට කතා කළ එම්. එස්. අස්ලාම් පොදුජන එක්සත් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසයේ අවබෝධතා ගිවිසුම හෙළි කිරීමට ප්‍රතික්ෂේප කරන ලැබිණ. මෙහි ප්‍රධාන කේවල් කරු වන රවුෆ් හකීම් මාධ්‍ය සාකච්ඡාවට නො පැමිණ සිටියේ ය. එහිදී සංදේශය මගින් ඇසූ පැනයක් වන්නේ ආසන 8ක් රජයට එරෙහිව නැවත රජයට එක්වීමෙන් ඇත් වූ ප්‍රතිපලය කවරක්ද යන්නයි. එහිදී තම ස්ථාවරය සාධාරණිය කළ ඔවුන් දුක් වූයේ ඒ ඡන්ද කේවල් කිරීම සම්බන්ධයෙන් වැදගත් වූ බවත්, මහා ඇමති ධූරය සඳහා ද, ඇමති පදවි දෙකක සඳහා ද කේවල් කිරීමක් කළ බව පැවසුවේ ය. ජනතාව නො දන්නා ගිවිසුම නම් රවුෆ් හකීම් හා රජය ඇති වූ අවබෝධය වූයේ රජය එක්සත් ජනතා නිදහස් පක්ෂයට පක්ෂපාති ඡන්ද දිනා ගැනීමටත්, මුස්ලිම් කොන්ග්‍රසය රජයට විරුද්ධ ව වූ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමත් ය. අවසානයේ මුස්ලිම් කොන්ග්‍රසය අලංකාර ජවනිකාවක් රඟ පා අවසානයේ රජයට එක් වීම ඔවුන් ගේ අපේක්ෂාව වි ය. මෙහි දී රැවටීමට බඳුන් වූයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව ය.

ඊයේ පැවතුණේ මුස්ලිම් කොන්ග්‍රසයේ නාට්‍යයේ අවසාන ජවනිකාව ය. එහි දී තමුන් ගේ ස්ථාවරය සඳහා සාධාරණියකරණයක් ගෙ‍නෙන ලදී. එහෙත් බොහෝ දෙනා නොදන්නා කාරණය වූ යේ රවුෆ් හකීම් මුල සිට ම ඡන්ද මංකොල්ලය සඳහා රජය හා ගිවිසුමෙන් බැඳි සිටි බවය. එනයින් රජය රවුෆ් ගේ සහාය හා පාක්ෂිකත්වය ගැන කිසිඳු බියක් සැකක් නොවිණ.

රවුෆ්ගේ තීරණය පසුපස ඇති යථාර්ථය අවබෝධ වූයේ තමිල් අරසු කච්චිහි සාකච්ඡාවේ දී, තමිල් අරසු කච්චිය මුස්ලිම් කොන්ග්‍රසයට සම්පූර්ණ අවුරුදු පහක මහා ඇමති ධූරයත්, ඇමති ධූර සතරත් දීමට පොරොන්දු වීම තුළ ය. විශ්වාස වන්ත ආරංචි මාර්ගයන් තුළින් ලැබූ කරුණු අනුව තමිල් අරසු කච්චිය තමුන් ට කිසි නිල පදවියක් අවශ්‍ය නොවන බවත්, ඔවුන් ගේ සහාය ලබා දීමට පොරොන්දු වුව ද, මුස්ලිම් කොන්ග්‍රසය එයට වඩා පහත් කේවල් කිරීමක් වෙතට යොමු වූයේ මුලින් ඔවුන් විසින් කළ ගිවිසුම හේතුවෙන් ය.

මෙම සෙල්ලමින් සිදු වූ කරුණ කුමක් ද? කිසිඳු තේරුමක් නොමැති ලෙස මුදල් කාබාසිනියා වීම පමණි. කිසිඳු වලංගු හේතුවක් නොමැති ව, නියමිත කාලයට පෙර පළාත් සභාව විසුරුවා හැරීණි. එහිදී ආණ්ඩුවට විපක්ෂ ඡන්ද මංකොල්ලා කෑමට රජය මුස්ලිම් කොන්ග්‍රසය භාවිතා කළේ ය. පැහැදිලි ලෙස විපක්ෂයට ඡන්දය හිමි වී තිබෙන විටක දී, කවර ආකාර හෝ ක්‍රමෝපායන් යොදා ගෙන විපක්ෂ ඡන්ද කඩා ගෙන නැවත රජය බලයට පත් වි ය. විපක්ෂ මුස්ලිම් ජනතාව වෙතට කළ ද්‍රෝහි කම මුස්ලිම් වරුන් විසින් අමතක කරනු ඇත. ලැජ්ජා නැතිව ඉදිරි මැතිවරණයන්හි ද මුස්ලිම් කොන්ග්‍රසය විවිධ වූ ආණ්ඩු සඳහා කේවට්ට කම් කරනු ඇත. එහෙත් මෙම ක්‍රියාදාමයෙන් ඡන්ද පිළිබඳ විශ්වාසය බිඳ වැටීම හා ඡන්ද දැමීම සඳහා ඕනෑකම අඩු වී, පවතින රජයන් හට සදාකාලික ලෙස බලයේ සිටීමට මංපෙත් තැනෙන ඇත.

Wednesday, September 19, 2012

මුස්ලිම් ග්‍රහණයට හසු වූ නැගෙනහිර පළාත් සභාව



පසුගිය සතිය පුරාවට නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිකම සඳහා වන බල තුලනය පිළිබඳ කථිකාවන් සෑම කොණකින් ඇසෙන්නට වි ය. මුස්ලිම් පක්ෂයක් විසින් බහුතර සිංහල දෙමළ පක්ෂ අතර කේවල කිරීමේ ක්‍රියාව ඊයේ හෙවත් සැත්තැම්බර් මස18වන දින සිඳු අවසන් වි ය. කවර කලෙකටවත් වඩා ජන වාර්ගික වශයෙන් බෙදී වෙන් වී තරඟ කළ ඡන්දයක් ලෙස නැගෙනහිර පළාත් සභා ඡන්දය සැලකිය හැකි ය. එහි දී, ජනතා විමුක්ති පෙරමුණ හා එයින් බිඳී විමල් ගේ පක්ෂයත්, ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා තමිල් අරසු කච්චියත්, එකම ඡන්ද පදනමක් සඳහා තරඟ කළ හ. ඡන්දය අවසාන වූ යේ රජයට විපක්ෂ වශයෙන් තරඟ කළ පක්ෂ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමෙන් පසුව ය. එහෙත් නැගෙනහිර පළාත් සභාවේ බලය ලබා ගන්නේ කවුරුන්දැයි තීරණය කිරීමට දින පහක් පමණ කාලයක් ගත වූ යේ මුස්ලිම් කොන්ග්‍රසය පළාත් සභාවේ ආණ්ඩුව තැනීමේ තීරණාත්මක සාධකයක් වූ බැවින් ය.

පසුගිය ඉරු දින මුස්ලිම් කොන්ග්‍රසයේ නිර්මාතෘ අෂ්රොෆ් මහතා ගේ සමුරු උත්සවයේ දී, රවුෆ් හකීම් මහතා නැගෙන හිර පළාත් මහා ඇමතිවරයා පිළිබඳ ඉඟියක් පළ කළේ, අෂ්රොෆ් මහතා විසින් අපේක්ෂා කළ පරිදි, පත් වන මහ ඇමති අනිවාර්යෙන් ම මුස්ලිම් ජාතිකයකු වන බව පැවසීමෙන් ය.

මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිර බලය පිළිබඳ ප්‍රශ්නය සඳහා ගත හැකි විකල්ප දෙකක් වි ය. පළමුවැන්න නම්, ආණ්ඩුවට විරුද්ධ ලෙස තරඟ කිරීමේ දී තමුන් ලත් සැබෑ ජන වරම ලෙස දෙමළ පක්ෂය සමඟ එකතු වී බලය අල්ලා ගැනීම ය. මෙයට එක්සත් ජාතික පක්ෂය ද සහයෝගය දීමට අපේක්ෂා කළේ ය. එහෙත් රවුෆ් හකීම් එසේ නො කොට, ආණ්ඩුව හා සන්ධාන ගත වීමට හේතු වූ මුස්ලිම් සාධකයක් වි ය. දෙමළ පක්ෂ හා සන්ධාන ගත වේ නම්, මහ ඇමැති කම අවුරුදු දෙකහාමාරක් දෙමළ පක්ෂ නියෝජිතයකුට ද, ඉතිරිය මුස්ලිම් පක්ෂයේ අයෙකුට ද දීමට සිඳු වෙ යි. එහෙත් ආණ්ඩු වරප්‍රසාද ලත් රවුෆ් හකීම් කළේ, පවතින ආණ්ඩුව සමඟ කටයුතු කොට ඡන්ද ප්‍රතිපල ලැයිස්තුවේ තෙවන තැන හුන් මජිඩ් මොහොමඩ් නජීබ් නම් මුස්ලිම් ජාතිකයකු පළමු වාරය සඳහා මහ ඇමති කර වීම ය. දෙවැනි අවස්ථාවේදී, මුස්ලිම් කොන්ග්‍රසය මගින් පත් කරනු ලබන මුස්ලිම් ජාතිකයකු මහ ඇමති වනු ඇත. මෙසේ මුළු ධුර කාලය තුළදී ම නැගෙනහිර පළාත් සභාවේ බලය මුස්ලිම් බලවේග මගින් ඉසිලීමට තත්ත්වය සකස් කොට ඇත. එයින් මුස්ලිම් අපේක්ෂාව ඉටු කරමින් ජාම් බේර ගෙන ඇත්තේ ය.

මුළු ධුර කාලය තුළදීම මුස්ලිම් ජාතියකු මහ ඇමති වීම මගින් ඇති වන ප්‍රතිපල අනර්ථකාරී ය. මා හට කිව හැකි අනාවැකියක් නම්, ඉදිරියේ දී නැගෙනහිර පළාත් සභාව යටතේ වන සිංහල, දෙමළ සහ වෙනත් සුළු ජනතාවන් හට මුස්ලිම් බලය යටතේ දණ නැවීමට සිඳු වන බව ය. සියලු වරප්‍රසාද හා කොන්ත්‍රාත් ආදි පළාත් සභාවේ සියලු මූල්‍ය ප්‍රතිපාදන මුස්ලිම් ජන වාර්ගිකයන් අතට පත් වීම වැළැක්විය නො හැකි ය. එසේ ම, වෙනත් ජන කොටස් සඳහා අඩන්තේට්ටම් කිරීම් හා විවිධ ආකාර නො සැලකීම් වලට ලක් වීම තව වසර කිහිපයකින් සිඳු වීම නො වැළැක්විය හැකි ය. මුස්ලිම් බලවේග අතිශය සංවිධානාත්මක ලෙස නැගෙනහිර බලය අල්ලා ගෙන ඇති අතර, නුදුරු දිනකින් ස්වකීය අණසක පැතිරවීම දකින්නට හැකි වනු ඇත.

හිටපු මහා ඇමති වූ චාන්ද්‍ර කාන්තන් සැනැහෙන පිණිස ඔහුට නැගෙනහිර පිළිබඳ විශේෂ ජනාධිපති උපදේශක ධුරයක් ලබා දී ඇත්තේ ය. එය කිසි වැඩක් නො කර, වේතන, දීමනා හා වර-දාන, වරප්‍රසාද ලැබිය හැකි පහසුම ක්‍රමය ය. ජනාධිපති උපදේශකයෝ කරන දෙයක් නැත; එසේ ම, නොකරන දෙයකු ද නැති.

ඡන්ද අවසාන හෙයින් නැවත වරක් ආනයන බදු ඉහළ නංවා ළූනු, අර්තාපල් හා ටින් මාළු වල මිල ඉහළ දමා ඇත. ළූනු හා අර්තාපල් සඳහා බදු වැඩි කරන්නේ දේශිය ගොවියාට ආධාර හා සහනය සැපයීමට ය. මෙහි දී, ටින් මාළු සඳහා බදු වැඩි කරන්නේ පාරිභෝගිකයා අසහනයට පත් කිරීමට දැයි ඇසීමට සිතේ. තව දින කිහිපයකින් අඩු වූ පාරිභෝගික භාණ්ඩ සියල්ල ම සුපුරුදු ඡන්දය පෙර හෝ එයට වැඩි මිල ගණන් දක්වා ඉහළ නැගෙනු ඇත. දුන් පොරොන්දු ලැබෙන තුරා ඡන්ද දායකයා තව අවුරුදු පහක්වත් කට හැර බලා සිටීමට සිඳු වන නො අනුමාන ය. ඡන්දය දීන ලෙස භාවිත කිරීම හෝ භාවිත නො කර නිරායාසයෙන් වැරදි පුද්ගලයන්ට පත් වීම හා ජය ලැබීමට මංපෙත් හෙළි පෙහෙළි කළ පාපයේ ආදීනව මුළු රට ම ලඟ එන දිනයන්හි ගෙවන්නට සිඳු වනු ඇත. එවිට අපට ම කියා ගන්නට ඇත්තේ, “පවු කළ ගොන්-නාම්බෝ ඇදපන්, ළඟ ළඟ ම ඡන්දයක් එනවා!” යයි පමණි.   
Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...