Saturday, November 24, 2018

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය



බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ගුණසේකර විසින් ලීයූ ලිපියකින් වත්මනේ රටෙහි පවතින මහා වියවුලට හේතුව අන් කිසිවක් නො ව, බලකාමය යි. තිසරානී විසින් පැහැදිලි ව රටේ වත්මන් තත්ත්වයට හේතුව නායකයන් තිදෙනෙකු ගේ බලකාමී ව්‍යාපෘතිවල යෙදවීම් ය. ඒ නායකයන් ‍තිදෙනා මෛත්‍රී, රනිල්, හා මහින්ද යන තිදෙනා ය.

1. බලකාමී මෛත්‍රී

අදවත්මනේ රට ඇද දැමූ වියවුලේ මුල් වැරදි කරුවා වන්නේ මෛත්‍රී ජනාධිපති තුමා බව පැහැදිලි ලෙස ජෙ.වී.ප.ය විසින් සර්වපාක්ෂික හමුව ප්‍රතික්ෂේප කිරීමෙන් යැවූ ලිපියේ සඳහන් ය. එහි කේවල වගකීම යොමු කරන්නේ වත්මන් ජනාධිපති තුමාට ය. මෛත්‍රීපාල ජනපති ධූරයට පත්වන්නේ ඉතා පිවිතුරු ශුද්ධ අභිලාශයන් පෙරටු කර ගෙන ය. ඒ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම හෝ බලතල අඩු කිරීමේ චේතනාවෙන් ය. මෙසේ බලයට පැමිණි ජනාධිපති වරුන් දෙදෙනෙකු වූ බව ඉතාහාසය සාක්ෂි දරයි. එයින් එක් කෙනෙකු වන්නේ චන්ද්‍රීකා කුමාරතුංගය; අනෙකා මහින්ද රාජපක්ෂ ය. ඒ දෙදෙනාම ජනාධිපති ධූරයේ වූ විධයක බලතල වලින් උම්මතක වී වියුරු වැටී ස්වකීය පොරොන්දු අමතක කළ හ. එහෙත් මෛත්‍රී පැමිනි සැනින් ඒ සඳහා පියවර ගනී. හෙතෙම දෙවන වරට ජනාධිපති වීමට තරඟ නොකරන බවට පොරොන්දු වෙයි. ඩනපති ධූරය අහොසි කිරීමට නෛතික ප්‍රතිපාදන නොමැති වූ කල, එහි බලය සිඳලීම සඳහා 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ ය. ඒ සඳහා දැඩි ස්ථාවරයක සිට විරුද්ධ වන්නේ මහින්ද පාර්ශවයේ ඒකාබද්ධ විපක්ෂය යි. ඒ ජාතික ආරක්ෂාව නැමති මහා කඩතුරාවෙන් මුවා කොට, අසීමිත බලය ඇති ජනපති ධූරය රැකීමට උත්සහ කරයි. එහෙත් ජනාධිපති වී වසර දෙකක් සම්පුර්ණ වූ කල, වත්මන් ජනපති බලකාමයෙන් ඔදවැටී ස්වකීය ධූරකාලය වසර 5ක් ද, නැතහොත් 6ක් දැයි උපරිමාධිකරණයෙන් විමසීමක් කරයි. එහෙත් උපරිමාදිකරණය කීන්දු කරන්නේ ජනපති ගේ ධූරකාලය වසර 5ක් බව ය.

කරුණ එසේ නම් ජනපති ගේ ධූරය අවසන් කිරීමේ හැකියාව 2019 ජනවාරි 8 වන දින  ආරම්භ වන බැවින්, ධූරය අත්හරින්නට සිතන්නේ නම් ජනාධිපති වරණයකට යා හැකි ය. එහෙත් වත්මන් ජනපති හට දෙවන ධූරකාලය පිළිබඳ ලොබ බැදීම නිසා 2020 ජනපති අපේක්ෂකත්වයට අවසරයක් රනිල් ගෙන් ගත හැකිදැයි විමර්ශනයෙන් පසු වි ය. රනිල් එනමුත් ජනපති වීමේ අභිලාශයෙන් සංවර්ධන කටයුුතු ආදිය කරමින් ජනාධිපති සිහිනයෙන් මත් වී සියින බැවින් ඒ සඳහා යුතු ප්‍රතිචාරයක් නො දක්වන්නේ ය. ඒ සේ ම, 2018 පළාත්පාලන මැතිවරණය මගින් ජනතාව ද පවතින ආණ්ඩුව මට්ටු කිරීම සඳහා කටයුතු කළ බැවින් මෛත්‍රීට වුවද පසක වන සත්‍ය වන්නේ දෙවන ධූරයක් එ.ජා.ප. හවුලෙන් නෙලා ගත නො හැකි බව ය. පොහොට්ටුවේ 40.47%  හා ශ්‍රිලනිප/එජානිස 12.1% එක්කළ විට යාන්තමින් 50% වැඩි ඡන්ද ප්‍රතිශතයක් ගත හැකි ය. මෙය පැහැදිලි අවාසිදායක තත්ත්වයකි.

රනිල් පැහැදිලි ප්‍රතිචාරයක් නොදෙන විට, මෛත්‍රී කරන්නේ ඔහු ගේ චරිතය ඝාතනය වන පරිදී සාමුහික තීරණ සඳහා තමුන් පංගුකාර නොවූ බව දැක් වීම ය. මෛත්‍රී හා රනිල් අතර දේශපාලන විරසකය ආරම්භ වන්නේ එසේ ය. දෙදෙනා අතර දේශපාලන භාවිතයේ හා සංස්කෘතික පසුබිමේ වෙනස් කම් ඇති හෙයින් රනිල් මට්ටු කරන ආකාරයේ තීරණ හා තිණ්දු කිහිපයක් ජනපති ප්‍රකාශට පත් කරයි. මෙයින් අගමැති හා ජනාධිපති අතර බලගැටුමක් ඇති බව සාමාන්‍ය ජනතාවට පෙනුමට දක්නට පිළිවින් වි ය. මෙයින් මෛත්‍රී රනිල් පාලනයෙන් ඈත් වීම‍ට උත්සහ ගෙන, තමුන්ට ම අනන්‍යතාවයක් ගොඩ නඟා ගන්නට උත්සහ කරයි. අනෙක් අතට පොහොට්ටු කඳවුරද බලවත් වී, මැතිවරණයක ජය අපේක්ෂාවෙන් හා අභිමුව සිටගෙන සිටින්නේ ය. එහෙත් පෞද්ගලික විරසක වීම මෙතරම් ඌග්‍ර ව්‍යසනයකට පාදක වෙයයි කවුරුවත් සිතුවේ නැත.  බලකාමයේ ප්‍රතිපල මෙසේ ය; බලකාමීන් කිසිවිටකත් ඔහුවන් ගේ බලකාමීත්වයෙන් ඇතිවන ව්‍යසන හෝ අතුරු ප්‍රතිපල ගැන නොසිතයි. මෛත්‍රී හට වූවේ ද එවැන් දෙයකි. 
දෙවන ජනාධිපති ධූරය සඳහා රනිල් උපකාර නොවන්නේ නම්, එ.ජා.ප.ය දෙකඩ කොට බලය නතු කර ගැනීමේ  කූඪ ව්‍යාපාරය වෙත මෛත්‍රී එළඹෙන්නේ සජිත් ප්‍රේමදාස ඇතුලු කණ්ඩායමක් ඩැහැ ගැනීමට ගන්නා උත්සහයෙන් ය. එහෙත් සජිත් ඒ සඳහා අනුබල දෙන්නේ නැත; එයට හේතුව ජේෂ්ටත්වය අනුව වත්මනේ ප්‍රමුකව සිටින තරුණ නායකයා ඔහු වන බැවින් ය. රනිල් ජනපති වී ධූරය අත්හරින කල වන විට, සජීත් ඒ සඳහා සූදානම් විය හැකි ය. ඒ අවස්ථාව සිඳු නොවන බව අවබෝධ කර ගැනීමෙන් මෛත්‍රී ඊළඟට ප්‍රවේශ වන්නේ කරුජයසූරිය වෙතට ය. කරු වනාහි ‍ජාතීහිතශයකි; දිගුදුර දැක්මක් ඇත්තෙකි. කරුජයසූරිය ද එය ප්‍රතික්ෂේප කරන නිසාවෙන් මෛත්‍රී ගේ ජනපති සිහිනය සිග්‍රයෙන් බොද වීමට පටන් ගනී. ඒ සඳහා දළ හැකි ඊළඟ විකල්පය වන්නේ මහින්ද අගමැති ලෙස පත් කිරීම ය. දැන් සිඳුව ඇත්තේ එය යි. ඒ හෙයින් මෛත්‍රී 2015 මිලියන 6.2 අමතක කොට පසමිතුරු කඳවුර දෙස නෙත් යොමු කළේ ය. 

2. බලකාමී රනිල්

රනිල් බලකාමය විදහා දක්වන්නේ කෙසේදැයි ඔබට ගැටලුවක් පැමිණෙනු ඇත. රනිල් කල්පනා කළේ ශ්‍රී.ල.නි.ප.ය දෙකඩ කිරීමෙන් බලය අල්ලා ගැනීම ය. ඒ සඳහා කළේ මහින්ද ඇතුළු හොර රැළේ අපරාධ සඳහා උසාවි කටයුතු ප්‍රමාද කිරීම ය. එමගින් ඔහු කල්පනා කළේ ඒකාබද්ධ විපක්ෂය තුළින් හා මහින්ද, පොහොට්ටුව තුළින් මෛත්‍රී හට පිඩනයක් ඇති කිරීම ය. මෙ සඳහා ඔහු සොරුන් ගේ හා විවිධ අපරාධ කරුවන්ගේ ආරක්ෂකයා බවට පත් වි ය. විමල් වීරවංශගේ පාස්පොර්ට් ප්‍රශ්නයේ දී රනිල් යුක්තිය ඉටු වීම නතර කොට ප්‍රමාද කළේ උත්ක බලාපොරොත්තුව පෙරදැරි කොට ය.

රනිල් 2020හි ජනාධිපති වීමේ ව්‍යාපෘතියේ නියැළුනේ තමුන්ට එදිරිව පැමිණෙන ප්‍රතිවාදීයා ඉවත් කිරීමේ අපේකෂාවෙන් ය. එය කිරීමට ඔහු යොදා ගන්නට වෑයම් කළේ විශේෂයෙන් පිහිට වූ අධිකරණ පද්ධතිය ය. දෙසැම්බර් 4වන දින අභිනයෙන් ආරම්භ විමට නියමතව තිබුණේ ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය නඩුව දිනපතා අසා අවසන් කිරීමට ය. මෙ‍ෙලසින් තමුන් විසින් මුලින් ආරක්ෂ කළ, අය එකින් එකා ස්වකීය බල ව්‍යාපෘතිය තකා දංගෙඩියට යැවීමට රනිල් සැලසුම් කළ විය හැකි ය. වසර දෙකක් තුළ ජනතා හිත දිනා ගැනීම තකා විශාල වශයෙන් මුදල් ස්වකීය මන්ත්‍රීවරුන් හරහා විශාල ලෙස මුදල් ප්‍රතිපාදන ජනසතු කිරීම ආරම්භ කළේ ය. පැහැදිලි ලෙස රනිල් ජනාධිපති අසුනට යෑමේ පෙර නිමිති පහළ වන්නේ වට පිටාවේ සියලු ම දෑ පෙරළා ගෙන ය. වේගයෙන් දිව යන රනිල් කකුල් මාට්ටු දමා පෙරළා දැමීමේ හැකියාව ඇත්තේ මහින්ද වැනි ශුරයකුට පමණි. ඒ බැව් මෛත්‍රී ද ප්‍රසිද්ධියේ පවසා ඇත.

මහින්ද ද ඉක්මන් බලග්‍රහණයක සාපිපාසයෙන් පසු වු අතර, ගොඨාභය නඩු නිමිත්තකට තල්ලු කිරීම රාජපක්ෂ පවුලට හානිදායක හා අනතුරු ඇඟවීමක් බඳුන් වි ය. වැලේ වැල් නැති මෛත්‍රී ද එල්ලෙන්න අත්තක් සොයමින් සිටියේ ය. අවසානයේ රනිල්ගේ බල ව්‍යාපෘතිය උඩු යටිකුරු වී ආණ්ඩු බලය 2011 මෙන් අත් හැරණු තත්ත්වයකට පත් වි ය. රනිල්ගේ බලකාමයේ හා අධිමානයේ ප්‍රතිපලය තමුන් අසරණ වීම ය.

3. බලකාමී මහින්ද

මහින්දගේ බලකාමය ගැන ලියන්නට අවශ්‍ය නැත. චන්ද්‍රිකා කුමාරතුංගයන් විසින් ස්වකීය ධූරකාලය අවසන් වූ පසුත් ජේ.ආර්. මෙන් වැඩිපුර වසරක් සිටින්නට උක්සහ කළ අවස්ථාවේ දී යම් බලහත්කාරයක් පා ක්‍රමයෙන් ඇය පක්ෂයෙන් පිටමං කරන කොන්තරාත්තුවක් මහින්ද කළේ ය. ඔහු ධර්මික පාලකයකු සේ පිළිඹිබුවක් පොදු ජනතාවට ප්‍රදර්ශනය කළේ ජනතාව හා සමඟ වෙසෙන බව මවා පාමින් ය.
කුඹුරේ මඩ සුවඳත්, කුරහන් සාඨකයත් ඔහු ගේ පොදු ජන අනන්‍යතාවයේ සංකේත වි ය. මේ සියල්ල කොළඹ වැඩි කාලයක් ගත කළ, එහෙත් ගැමියෙකු ‍හා ගැමි සුවඳ දත් බව හුවා දැක්වීමට කළ ක්‍රියා ය. මවා පෑම පමණක් ලක් ජනතාවට වැදගත් ය; ප්‍රතිපත්ති හෝ කී දෑහී ක්‍රියාවන් වැදගත් නැත. ඒ හෙයින් පොරොන්දු දේශපාලනයකට අවස්ථාව ලංකාවේ ඕකෑ තරම් ඇත්තේ ය. පොරොන්දු දෙති; ඊළඟ මැතිවරණයටත් එම පොරොන්දුව ම කටකොනින් හිනාවක් පා කියති; මිනිසුන් ද ඌණ බුද්ධි ඇත්තන් සේ අසති.

මහින්දගේ බලකාමයේ කීරීටප්‍රාප්තිය දක්නට ලැබුණේ 18 වන ව්‍යවස්ථා සංශෝධයෙන් ය. එයින් එයට පෙර පැවති ව්‍යවස්ථා කොමිෂන් සභා මගින් ජනපති බලය සිමා කළ 17 වන ව්‍යවස්ථාවන් ද අහොසි කීරීමත්, දිවි ඇති තාක් ජනපති වීමට අවස්ථා නිර්මාණය කිරීමත් ය. අවසානයෙ ජනපති ඡන්දය පැරදුන විට සාමාන්‍ය මත්‍රීවරයකු වශයෙන් පැමිණෙයි. විවිධ කුමණ්ත්‍රන රාශියක ප්‍රතිපලයක් ලෙස මහින්ද රජකමට පත් වීමට යතුන දැරී ය. ඒ කිසිවක් ඉටු නොවන කල, පිදුරු ගහෙත් ඒල්ලෙන පමණ අසරණ වී සිටි මෛත්‍රී, මහින්ද නම් පිදුරු ගසේ එල්ලෙයි. බොහෝ විට මෛත්‍රී සමඟ ඇති ඩීල් එක වනනේ දෙවන වර ජනාධිපති ධූරය ඔහුට කිරීමට දීම ය. මහින්ද බලය කතා ඕනෑම දෙයක් කිරීමේ හැකියාවක් ඇති බව ප්‍රකට වෙයි.

මහින්ද ඇතුලු පාර්ෂවයට අවශ්‍ය කරන්නේ කුමක් ද? පාර්ලිමේන්තුව තුළ අති මහත් බහුතරයක් ය. එය පසක් වන්නේ ගොඨාභය විසින් පැවසු වදනකින් ය. ඔහු පවසා සිටියේ තමුන් ජනතාව වෙත යන්නේ තුනෙන් දෙකක බලයක් පතා බව ය. ඔවුන්ට බහුතර බලයක් මදි ය; ඔවුනට වුවමනා කරන්නේ අතිමහත් බහුතරයක්. කුමකට ද? රටක් පාලනය සඳහා සාමාන්‍ය පමණ බහුතරයක් ප්‍රමාණවත් ය. තුනෙන් දෙකක් අවශ්‍ය වන්නේ කුමකට ද? තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වන්නේ ‍ව්‍යවස්ථා සංශෝදනයකට ය. ජනාධිපතිවරයා හට දොෂාභියොගයක් සම්මත කර ගැනීමට ය. එතනින් මෙපිටට තුනෙන් දෙකක් වැදගත් නැත. මුදල් පනතක් හෝ අයවැය සම්මත කර ගැනීමට බහුතර ඡන්දයක් ප්‍රමානවත් ය. එයින් පවසන්නේ 19වන ව්‍යවස්ථා සංශෝධනය අවලංගු කොට ජනාධිපති වරයකුට ඇති බලය අසීමිත ලෙස වර්ධනය කර ගැනීමට ය. දෙවනු ව මෛත්‍රී හට දෝෂාභියොගයක් දමා ධූරයෙන් නෙරපීමට ය.

වත්මන් වතාවරණය ඇති වන ප්‍රවණතාවන් පිළිබඳ අදහස් දක්වන තිසරානි ගුණසේකර ඇඩොල්ෆ් හිට්ලර් ගේ බලයට පැමිණිම ඇතිවිය හැකි තත්ත්වයන් සඳහා උදාහරණ වශයෙන් දක්වයි. තිසරාණි දක්වන්නේ ඡන්දය දිනා ගැනීම සඳහා "රයිස්ටග් ගින්න" වැනි යමක් කිරීමෙන් ක්ෂත්‍රයේ තත්ත්වයන් වෙනස් කර ඇති බැවින් ය. එහෙත් රයිස්ටග්  ගින්න පිළිබඳ අවබෝධයක් නොමැති පාඨකයන් හට ඒ පිළිබඳ වචන ස්ල්පයක් ලියන්නට ද මම කල්පනා කළෙමි.
‍පළමු ලෝක යුද්ධය අවසානයේ ජර්මනිය අතාශයින් ම පරාජිත හා විශාල වන්දියක් ගෙවීමට නියම විණි. ඒහෙයින් ජර්මන් ජනතාව නිරන්තරයෙන් පීඩිත තත්ත්වයන්ට පත් වූයේ අධික ආර්ථික අපහසුතාවන් නිසාවෙන් ය. ආර්ථික අවපාතනය ප්‍රයෝජනයට ගනිමින් ඇඩොල්ෆ් හිට්ලර් 1930 පැවතුණු ඡන්දයෙන් පාර්ලිමෙන්තුවේ වැඩිම ඡන්ද සංඛ්‍යවක් ලබා ගත්තේ ය. හිට්ලර් ඔස්ට්‍රියන් ජාතිකයකු වූ බැවින් 1925දී හෙතෙම ස්ව පුරවැසි බව අත්හැරිය අතර, වසර 7ක් පුරාවට ජර්මන් පුරවැසිභාවයක් ලබා ගත්තේ නැත. 1932 පෙබරවාරි මස 25වන දින බර්න්ස්වික් හි පුරවැසියෙකු වශයෙන් පිළිගෙන ජර්මන් පුරවැසියකු බවට පත් විය .
1932 පැවති ජනාධිපතිවරණයෙන් හිට්ලර් ජයග්‍රහණය පැතුව ද, එය අසාර්ථක කරමින් පොල් වොන් හින්ඩර්බර්ග් සභාපත්තිවයට පත් වි ය. එහෙත් ආණ්ඩුවක් තැනීමට බලය ඔහුට නොවූ නිසා හිට්ලර් සමඟ හවුල් සන්ධානයක් ගොඩ නඟ බලය රදවා ගත්තේ ය. හිට්ලර් සමසමාජවාදීයෙකු වූ අතර, හෙතෙම ප්‍රජාතන්ත්‍රවාදය හා මානව අයිතිවාසිකම් රාජ්‍ය පාලනය සඳහා අහිතකර අංගයක් ලා සැලකී ය. සමාජවාදී නාසි පක්ෂයේ ප්‍රධාන ම එදිරිවාදීන් වූයේ සමස්වභාවයක් ඇති කොමුනිස්ට් පක්ෂය යි. හිට්ලර් ගේ අභිලාශය වූයේ තනිපක්ෂයක් වශයෙන් බලය සතු කර ගැනීම ය. පාර්ලිමේන්තුවේ වැඩි ප්‍රමාණයක් ආසන දිනා සිටි හිට්ලර් ගේ පක්ෂය හා වෙනත් ‍දේශපාලන බල ක්‍රිපෙරළිම් තුළින් හිට්ලර් ජර්මනියේ චාන්සලර්වරයා බවට 1932 ජූලි මස පත් වි ය. එහෙත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් හිට්ලර් ඇතුලු නාසි පක්ෂයට නොවූ හෙයින් ස්ව අභිමාථාර්ත වූ ප්‍රජාතන්ත්‍රවාදය ජර්මනියෙන් මුලින් උපුටා දැමීමට නොහැකි වි ය.

ඒහෙයින් ක්‍රමයෙන් හා විවිධ වූ බල ගැටුම් තුළින් වසරක පමණ කල්ක පත් වූ ජර්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පොල් වොන් හිව්ඩර්බර්ග් පොළඹවනු ලැබ, 1933 ජනවාරි මස 30වන දින පාර්ලිමේන්තුව විසුරුවා හරුණු ලැබී ය. නැවතත් හිට්ලර් ජර්මන් පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යවක් නො ව, බහුතර බලය අල්ලා ගැනීමට උත්සහ ගනු ලැබිණ. එහෙත් පෙබරවාරි 27වන දින කවුරු හෝ ජර්මානු පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ල වූ රයිස්ටග්බරන්ඩ් ගිනිබත් කරනු ලැබි ය. ඒ අසල සිට කොමුනිස්ට් නායකයකු අතු අඩංගුවට ගත් අතර, හිට්ලර් ඇතුලු නාසි පක්ෂය විසින් කොමියුනිස්ට්වරුන් විසින් පාර්ලිමෙන්තුව ගිනිබත් කොට දැන් මුලු ජර්මනිය ම යටත් කරන ආක්‍රමණයක් කරන බවට ප්‍රවාදයක් හා භිතියක් ප්‍රචාරය කරන ලදී. මුලු ජර්මනිය ම භිතියෙන් ඇළලි ගිය මොහොතක, හිට්ලර් විසින් පොල් වොන් හින්ඩන්බර්ග් වෙත බල කර සිටින්නේ මෙකී ව්‍යසනයකින් රට බෝරා ගැනීමට ජර්මන් වෙහෙමාර් ජනරජ ව්‍යවස්ථාවේ 48 වන වගන්තිය බල ගන්වා සිවිල් අයිතිවාසිකම් අත්හිටුවන ලෙස ය.

1933 පෙබරවාරි 28 වන දින රයිස්ටග් ගිනි ආඥාව නැමැති ආඥා පනතක් මගින් සිවිල් අයිතිවාසිකම් ජනාධිපතිවරයා විසින් 48 වන වගන්තිය බල ගන්වා සිවිල් අයිතිවාසිවාසිකම් (ව්‍යවස්ථාපිත මූලීක මානව අයිතිවාසිකම්) අත්හිටවනු ලැබී ය. හිට්ලර්ගේ පෙළඹවීම මත කොමියුනිස්ට් අවධානමෙන් රට බේරා ගැනීමේ ලා කෲර ලෙස ජර්මන් කොමියුනිස්ට් පාර්ෂිකයෝ (KPD) සිරගත කොට විවිධ බඳබන්ධනවලට ලක් කළ හ. රයිස්ටග් ගින්නට දින 6කට පසුව පැවති පාර්ලිමේන්තු ඡන්දයෙන් හිට්ලර් ගේ පක්ෂය බහුතර බලයක් ලබා ගත්තේ ය. කෲරකම්, මර්ධනය හා ඇති කළ ජනතා භිතිකාව මගින් හිට්ලර් වෙත තිබූ අවාසිය හැරවුමකට ලක් කොට බහුතර බලය අල්ලා ගත්තේ ය.

1933 මාර්තු 5 හිට්ලර් පාර්ලිමේන්තු බලය අල්ලා ගෙන ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතක් භාවිත කොට ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිකොට එක් පක්ෂයකට බලය ඇති පාලයක් ඇති කළේ ය. එහෙත් හිට්ලර් හට වෙහිමාර් ජනරජ ව්‍යවස්ථාව අහොසි කිරීමට නොහැකි වි ය. එහෙත් හිට්ලර් ෆියුරෝ (අධිරාජ්‍යයා) ලෙස කේවල ලෙස ආඥාවන් නිකුත් කිරීමටත් නීතී පනත් ගත කිරීමේ හැකියාව ''පොදු ජනතාවගේ හා රෙහික් (පාලනයේ) දොම්නසට පිළියම් සඳහා නීතිය" යන පනත තුළින් මෙසේ අසීමිත බලයක් අධිරාජ්‍යයා වෙත ලබා දෙනු ලැබි ය.

හිට්ලර් බලයට පත් වීමට යොදා ගනු ලැබූ "රයිස්ටග්බරන්ඩ් ගින්න" හා පසු දින ඇති කළ "රයිස්ටග් ගින් ආඥා පනත" 1945 හිට්ලර් ජීවිතක්ෂයට පත්වන තුරු අහොසි කළේ නැත. ඡන්දය සඳහා පවතින ක්ෂේත්‍රය වෙනස් කිරීමේ මතවාදීය හා ආවේගශිලී හැඟුම් පාලන ආකාරය "රයිස්ටග් ගින්න" ලෙසින් හැඳින් වෙයි. දැනටමත් TNA හා එ.ජා.ප. මෙහෙයවන බවටත්, ඉදිරියේ දී එය කොටි ඩයස්පොරාව දක්වා දිගු කරනු ඇත. ජනාධිපති වරයා ගේ ජීවතයට ඇති අවධානම යන මතවාදය ගෙන අවනීතීමය ලෙස පවතින ආණ්ඩුව පෙරළන ලදි. පාර්ලිමේන්තු ඡන්දයක් පැමිණි විට, මතවාදී ලෙස ජතවිඥානය මෙහෙයවමින් භිතිකාවක් හා ආවේග ලෙස වගකීමක් නොමැති ලෙස ඡන්දය භාවිතා කිරීමට හිට්ලර් පෙළඹවූ අයුරින් පෙළඹවීමට පිළිවණ.  තිසරාණි දක්වන පිළිවෙලට ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත වුව ද නැවත බල ගන්වා මානව අයිතින් අභිභවා ක්‍රියා කිරීමට බලය යොදා ගත හැකි ය.

පසුගිය දවසක ජනාධිපති තුමා විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රින්ට දන්වා සිටියේ තමුන් බහුතර සකසා ගන්නා ලෙස ය. පසුගියදා (2018.11.23)  පාර්ලිමෙන්තුවේ කාර්යය සඳහා පත්කරන ලද කමිටුවේ සමාජීකයන් සංඛ්‍යාව සඳහා බහුතරයක් ලබා ගැනීමට නොහැකි වි ය. එකී කමිටුව 121 දෙනෙකුගේ බහුතර ඡන්දයෙන්  සම්මත වූයේ ඊනියා ජනපතිගේ ආණ්ඩු පක්ෂය පාර්ලිමෙන්තුව වර්ජනය කළ අවස්ථාවක දී ය. ආණ්ඩුව යයි කියා ගන්නා නීතී විරෝධි ඊනියා ආණ්ඩු පක්ෂය හට 98කට වඩා සොයා ගත නොහැකි බව පෙනෙන්නේ එදින පාර්ලිමේන්තුවට නොපැමිණි හයදෙනා සැලකූ විට ය.  ඒ හෙයින් ජනාධිපති වරයා ද දැන දැන ම ව්‍යවස්ථා උල්ලංඝනය කරන බව පෙනේ. බලකාමයෙන් මත් වූ තිදෙනෙකු ගේ මාරක නැටුමෙන් අවසානයෙන් විනාස වන්නේ රට ය; රටෙහි ජනතාව; රටෙහි අනාගතය ය෴

Wednesday, November 21, 2018

අනුර කුමාර දිසානායක විසින් ජනපති වෙත ලියූ ලිපිය

නොවැම්බර් 18 වන දින සවස 5ට ජනාධිපති තුමා‍ගේ ප්‍රධානත්වයෙන් සර්ව පාර්ෂික රැස්වීමක් පැවත්විණි. මෙහිදී දැනට වත්මනේ පවතින දේශපාලන අර්බුධය විසඳා ගැනීම පිණිස කළ යුතු පියවර සාකච්ඡා කිරීමට නියමිත ව පැවතිණි. එහෙත් පසුව ආරංචි වූයේ ඒකී රැස්වීම අවසන් තීරණයක් නොමැතිව අවසන් වූ බව ය. එයට හේතු වූයේ වත්මන් දේශපාන අර්බුධයේ නිර්මාර්තෘ වනාහි වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මිස සෙස්සෙක් නොවන නිසා ය.

 එකී රැස්වීමට සහභාගී විම ප්‍රතික්ෂේප කරමින් අනුර කුමාර දිසානායක විසින් ලියූ ලිපියේ ඍජු ලෙස චොදනා කරන්නේ ජනාධිපති වරයාට ය. මෙවැනි ලිවියක් තුළ ඓතිහාසික වටිනා කමක් ඇති හෙයින් එය ඔබලාගේ අවධානය පිණිස මෙහි දක්වා තබමි.

ඉදිරි ලිපියකින් තිසරානි ගුණසේකර විසින් දක්වන පරිදි වත්මන් දේශපාලන අර්බුධය සඳහා හේතු වූ පාර්ශව තුනක් පිළිබඳ දක්වන්නම්. එතෙක් අනුර කාමාර දිසානායකගේ වත්මන් දේශපාල අර්බුදය පිලිබඳ කියවීමට අවධානය යොමු කරමු෴

‘‘ජනාධිපතිතුමනි,

පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳ විශේෂ සාකච්ඡාව සඳහා පැමිණෙන ලෙසට කරන ලද ආරාධනය පිළිබඳවයි.

ඔබගේ ලේකම් විසින් එවන ලද 2018.11.17දා තම සහිත ලිපියෙන් ඔබ සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස අප පක්ෂයට ආරාධනා කරනු ලැබ තිබේ. කෙසේ වුවද එම ආරාධනය පිළිගනු ලැබීමට පෙරාතුව පහත කරුණු ඔබගේ අවධානයට ලක්විය යුතු යැයි අපි සිතමු.

ඔබගේ සාකච්ඡාවේ අපේක්ෂාව වී තිබෙන්නේ පාර්ලිමේන්තුවේ වත්මන් තත්වය පිළිබඳවයි. එහෙත් අපගේ නිගමනය වන්නේ පාර්ලිමේන්තුවේ වර්තමානයේ ඇතිවී තිබෙන තත්වය ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන උවමනාව වෙනුවෙන් ඇතිකරන ලද ක‍්‍රියාදාමය හේතුකොටගෙන රට තුළ මතුව තිබෙන අස්ථාවරත්වයේ පිළිබිඹුවක් බවයි. මේ වන විට රට තුළ බරපතළ අරාජිකත්වයක් සහ අස්ථාවරත්වයක් ගොඩනැගී ඇත. දශක හතකට වැඩි ලාංකේය දේශපාලනය තුළ මෙවැනි අස්ථාවරත්වයක් මෙතරම් කාලයක් දිග්ගැස්සෙමින් ඇත්තේ පළමු වතාවටය. මෙය හුදු ඕපපාතිකව පැන නැගුණක් නොව ප‍්‍රධාන සිදුවීම් පහක් පදනම් කරගනිමින් නිර්මාණය වූවකි.

01. පසුගිය ඔක්තෝබර් 26 වැනි දින ඔබ විසින් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති මන්ත‍්‍රීවරයෙකු කුමන්ත‍්‍රණකාරී ලෙස අග‍්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීම හා අවස්ථා ගණනවකදී විගඩම්කාරී ලෙස කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු පත්කිරීම.

02. පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බව හෙළිදරව් වීම වැළැක්වීමේ අරමුණින් පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම.

03. ජනතා පරමාධිපත්‍යය ඔළුවෙන් සිටුවීමේ නින්දිත ක‍්‍රියාවලියක් වන පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් මිලදී ගැනීමේ ක‍්‍රියාවලියකට මැදිහත්වීම.

04. එම වෙන්දේසි ක‍්‍රියාවලිය අසාර්ථක වීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කිරීම.

05. කුමන්ත‍්‍රණකාරී ලෙස පිහිටුවන ලද අග‍්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවේදී අවස්ථා දෙකකදී විධිමත් ලෙස විශ්වාසභංග යෝජනා සම්මත වී තිබියදී ඊට අනුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ඔබගේ කුමන්ත‍්‍රණකාරී දේශපාලන වුවමනාව වෙනුවෙන් කල්මැරීම.

මේ පස්වැදෑරුම් ක‍්‍රියාවලියේ ඔබගේ ප‍්‍රමුඛ දායකත්වය කිසිසේත් සැඟවිය නොහැකි ලෙස ජනතාව හමුවේ නිරාවරණය වී අවසන්ය.

මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඔබ විසින් නිකුත් කරන ලද ගැසට් පත‍්‍රය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සම්වලට අතුරු තහනම් නියෝගයක් ලබාදී එම ගැසට් නිවේදනය තාවකාලිකව අත්හිටුවීමට ලක්කොට තිබේ. ඒ අනුව සැසිවාර අවසානයෙන් පසු පාර්ලිමේන්තුව මේ වන විට දින තුනක් කැඳවනු ලැබ ඇත. ආරම්භක දිනය වූ 2018නොවැම්බර් 14වැනි දිනම ඔබ විසින් අනීතිකව පිහිටුවන ලද ආණ්ඩුවට එරෙහිව අප විසින් ගෙනන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 122කගේ බහුතරයකින් සම්මත විය. ඒ බව එම මන්ත‍්‍රීවරුන්ගේ අත්සන් සහිතව කථානායකතුමා වෙත බාර දෙන ලද පෙත්සම මගින් ලිඛිතවද සනාත කරනු ලැබිණි.

කෙසේ වුවද බහුතර මන්ත‍්‍රී ඉල්ලීම මත ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාවක් අනුව (ස්ථාවර නියෝග 135* ඉදිරිපත් කරන ලද එම විශ්වාසභංග යෝජනාව, හ`ඩ අනුව තීරණයක් ලබාදීමේ 48(1* වගන්තියේ කථානායකතුමාගේ බලතල අනුව විධිමත්ව සම්මත වූවකි. එය මන්ත‍්‍රීවරුන්ගේ නමින් ඡුන්දය විමසීමට කථානායකතුමා ගන්නා ලද උත්සාහය මගින් පරාජය නියත බව දැන සිටි ආණ්ඩු පක්ෂය යැයි කියාගන්නා මන්ත‍්‍රී කණ්ඩායමේ බාධා කිරීම් නිසා ගැනීමට සිදුවූ තීරණයක් බව ඔබද හොඳින් දන්නවා ඇත. මෙම තත්වය නොවැම්බර් 16දිනයේදීත් එලෙසම සිදුවිය. ඔබගේ මන්ත‍්‍රී කණ්ඩායම පරාජය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කරමින් සහ නමින් ඡුන්දය ලබා ගැනීම වළක්වාලමින් පාර්ලිමේන්තුව තුළ වියරුවෙන් හැසිරුණ බව ඔබ හොඳින්ම දනියි.

කෙසේ නමුත් දෙවරක්ම විධිමත්ව සිදුවූ විශ්වාසභංග සම්මතය පිළිගැනීමත් නාමික අග‍්‍රාමාත්‍ය ධුරය අත්හැරීමත් ප‍්‍රතික්ෂේප කරමින් එය විධිමත්ව සිදු නොවූ බවට විවිධ බාල ගණයේ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයෙකුට තරම් නොවන බව අපගේ විශ්වාසයයි. එසේම ජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරනු ලබන්නේයැයි කියනු ලබන පාර්ලිමේන්තුවේ තෙදිනක ක‍්‍රියාවලිය තුළ ඇතිවූ ගැටුම්කාරී පිළිකුල් සහගත තත්වයට සහ ඉන් ඇතිවූ අස්ථාවර තත්වයට මුළුමනින්ම වගකිව යුතු වන්නේ ඔබය; ඔබගේ හිතුවක්කාරී හැසිරීමය.

මේ අනුව රට අද වන විට පත්ව ඇති සමස්ත අරාජිකත්වයේ සහ අස්ථාවරභාවයේ නිර්මාතෘවරයා ඔබය. එබැවින් එය නිවැරදි කළ හැක්කේද ඔබටමය. එයින් මෙපිට මෙම නිශ්චිත කරුණ පිළිබඳව ඔබ හා සාකච්ඡුා කිරීමෙන් ලබා ගත හැකි විසඳුමක් ඇතැයි අපි විශ්වාස නොකරමු. පාර්ලිමේන්තු නියෝජනය කරන වගකිවයුතු දේශපාලන පක්ෂයක් ලෙස අප, අපට මේ සම්බන්ධයෙන් කළ හැකි උපරිම මැදිහත්වීම මේ වන විට සිදුකර අවසන්ය. දැන් ඇත්තේ ඔබගේ පාර්ශ්වයෙන් ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මකවීමය. රට වෙනුවෙන් එම පියවර ගැනීමට ඔබට ආත්ම ශක්තියක් ඉතිරි වී ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.‘‘




Tuesday, November 20, 2018

කළගෙඩි ලාම්පු සෙල්ලම හෙවත් ජන මත විචාරණය



පළමු වරට ඡන්ද මධ්‍යස්ථානයක් තුළට මා ‍ගියේ ම‍ගේ වයස අවුරුදු නමයක් දහක් පමණ පිරුණු විට ය. ඒ 1982දී ජෙ. ආර්. ජයවර්ධනයන් විසින් 1977 තමුන් විසින් අත්පත් කර ගෙන තිබූ හයෙන්-පහක (5/6) පාර්ලිමේන්තු බහුතරය පවත්වා ගැනීම සඳහා ජනමතවිචාරණයක් කිරීම මගින් ය. දිවයින පවසන පරිදී එය " හොඳින් ජයගැනීමට නොහැකි ඡන්දයක්‌ ඉතාම දූෂිත පරිදි මැර බලය හා රාජ්‍ය බලය යොදා ජයගැනීමට ක්‍රියා කළ අතර ලංකාවේ දූෂිතම ඡන්දය විමසීම ලෙස මෙය ඉතිහාසයට එක්‌විය."

ජේ.ආර් ගේ පාලනය අවසන් වන්නට තිබුනේ 1983දී ය. එහෙත් කළ ගෙඩි ලාම්පු සෙල්ලමක් පැවති පාර්ලිමේන්තුව වසර හයකට හෙවත් 1988 දක්වා ස්වකීය බලය දීර්ඝ කරගනු ලැබිණි. අවසානයේ මේ දූෂිත මැතිවරණය සමඟ කළු-ජූලිය සමඟ 1983න් පස පැමිණුණ උතුරේ කොටි සංවිධානයත්, එතුන් පසු විවිධ අවස්ථාවල අතෘප්තිමත් හා ඡන්ද පෙත්සමක් මගින් වැරද්ද නිවැරිදි කිරීමට ගත් උත්සහය අසාර්ථක වූ තැන විජේවීර මගින් දකුණේ ඇති කළ 1988-89 ජෙ.වී.පෙ. කැරැල්ලත් ලංකාව තුළ සිවිල් යුද්ධ තත්ත්වයන් ඇති වන්නට හේතු වි ය. ඉතිහාසය මතක නැති මිනිසුන් නැවත නැවත ඉතිහාසයෙන් නූගත් පාඩම් නිසා පරිපීඩිත තත්ත්වයකට පාර කපනු ඇත. මෙසේ බල ග්‍රහණයෙන් ඇතිවන අතෘප්ති කර තත්ත්වයන් නිසා අවසානයේ තරුණයන් හා මහජනතාව අතර දැඩී ලෙස ප්‍රතික්‍රියා දැක්වීමේ ප්‍රවණතාවන් හට ගන්නේ ය.

දැන් වටින් ගොඩින් තැනින් තැන ජනමත විචාරණයන් ගැන කියවෙයි. රුපියල් මිලියන 600 පමණ වියදම් කොට ‍ලක් ඉතිහාසයේ දෙවන ජනමත විචාරණය පවත්වන්නට බලාපොරොත්තු වන්නේ ද, ජෙ.ආර් මෙන් වත්මන් ජනපති මෛත්‍රීපාල විසින් ස්වකීය බලය තහවුකරු තර ගැනීමේ අපේක්ෂාවෙන් ය. එයට අනුබල දෙන්නේ ද කිසිදු ආකාර යුක්ති සහගත හේතුවක් ඇති ව නො වේ. මෛත්‍රීපාල හට ඇත්තේ එකම වූ නිදහසට කරුණ නම් සංස්කෘතික වෙනසයි. මා දැනටත් පවසන්නේ මෛත්‍රීපාල ස්වකීය ජනපති අභිමතයන් හා බලය යෙදුවේ නම් හා ඔහු ගේ කැබිනට් නියෝජිතයන් මගින්  තමුන් ගේ ස්ථාවරය පැවසුවේ නම් මෙසේ අනවශ්‍ය ලෙස රට අරාජික කරන්නට අවශ්‍ය නොවන බව ය. තමුන් ගේ කටයුතු නොකර, තමුන් ගේ වගකීම් ඉටු නොකර, තමා විසින් ම ඉවත් කිරීම සඳහා පැමිණි අසීමිත ජනපති බලය යොදමින් අනවශ්‍ය පැටලවිල්ලක් විධායකය හා විස්ථාදායකය අතර ඇති කොට කළ මේ සකස් නාඨකය අතිශයින් ම කේදජනක සිදුවීම් ගණනාවක් ගෙනෙනනු ඇත.

මහින්ද ඇතුලු ගෝල බාලයන් විසින් ඡන්දයක් ඉල්ලා සිටින්නේ රට ඡන්දයක් සඳහා යාමට අවශ්‍ය නොවනහා අවස්ථාවක ය. මුදල් පනතක් සම්මත වූ අවස්ථාවක බහුතර විශ්වාසය ආණ්ඩුවේ පැවතුණ බවට කදිම සාධකයකි. ඒ පනත සම්මත වූයේ ඔක්තෝබර් 25 දින ය. මේ සඳහා ගොතනබො‍රු හා බේගල් නිමක් නැත. ජනාතා පරමාධිපත්තිය නැමති කඩතුරාවට මුවා වී ඔවුන් විසින් කරන්නට වෑයම් කරන්නේ ජනතා පරිධිපත්‍ය බලහත් කාරයෙන් ඔවුන් වෙත ලබා ගැනීම ය. මහින්ද හට ඕනෑතරම් ඩනප්‍රසාදය පැවතිණ. එහෙත් හදිස්සියේ තමුන්ට පාර්ලිමේන්තු බහුතරය නැතිව අගමැතිවන්නට ඕනෑ වූණේ මන්දැයි විමසනු වටි. ඒයට මූලික හේතුව වන්නේ මහින්ද ඇතුලු පවුලේ සමාජීකයන් හා ඔහු ගේ ඊනියා පොදු එකාබද්ධයේ දූෂිතකම් වලට නඩු වැටෙන මොහොතක ය. මෙතුවක් කල් ඒ සඳහා කටයුතු නොකළේ රනිල් හා මෛත්‍රි හට ඒ සඳහා උනන්දුවක් නොවු නිසා ය. එහෙත් මලික් සමරවික්‍රම හා රවි කොටු කරන එ.ජ.නි.ස. ව්‍යපෘතිය සමඟ ම එ.ජා.ප.ය හටද දෙලො රත්වන්නට ඇත. ඒ නිසා හදිසි ලෙස නඩු තීන්දු කළ හැකි උසාවි නිර්මාණය වි ය. ව්‍යවස්ථාදායකය මගින් ආණ්ඩුවක් හෝ අගමැති වරයකු පිළි ගන්නේ නැත. එයට හේතුව වූයේ නොවැම්බර් 14 දින පැවති විශ්වාස භංගය මගින් මහින්දු ඇතුලු ආණ්ඩුව පරාද වීම ය. කටහඬ පිළිබඳ ඡන්ද විමසීම් පාර්ලිමෙන්තුවේ පැවතිණි කතානායක චමල් රාපක්ෂ මහතා ක‍ටහඬ අනුව ඡන්ද පැවත් වූ අවස්ථාවක් ලංකාදීපපුවත්පතේ දක්වා ඇත්තේ ය. ඒ කාලයේ විපක්ෂ සඳහා කිසිදු අවස්ථාවක් දුන්නේ නැත. කිහිප විටතක් කටහඬ අනුව, දුන් තීරණය අවලංගු කොට නමින් දෙනන ලෙස පැවසුව ද එයට අවස්ථාවක් දුන්නේ නැත. එහෙව් බලහත්කාරකමක් මහින්ද රජය ව්‍යවස්ථාදායකයට මුදා හැරීයේ ය. 

ජනාධිපති මෛත්‍රී මහින්ද අගමැති ලෙස දියුරුම් දුන් පසු ජනතාව විසින් පළවා හැරි මහින්ද ඇතුලු පවුලේ සැම ආදරයෙන් පිළි ගන්නා ආකාරය දකින විට මෛත්‍රී අංශක 180කට හැරී ඇති බව පෙනේ. ඔහුට ඡන්දය දුන් ජනතාව වෙත ඔහුට කළ නොහැකි කුපාඩි කමක් තවත් නැතයි මට සිතේ. රැස්වීමක් රැස්වීමක් පාසා බලය ඉල්ලු ඔහු අවසානයේ තමුන් ගේ ජයග්‍රහණයෙන් බලයෙන් පළවා හැරී හොරු මුළ ඔඩොක්කුවට හොවා ගෙන ඇත.  

අපරාධ පිළිබඳ විමර්ශනය කළ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා මීගමුවට මැරු කර හැර ඇත. පසුව පොලිස් පති වරයා විසින් ම හදිස්සියේ අහොසි කොට ඇත.  හදිසි ලෙස නඩුකාර්යය කරන උසාවි අහෝසි කරන බවට රවයක් ද පතළ වි ය. අවසානයේ පැරදෙන්නේ පොදු ජනතාවය. තමුන්ගෙන් මංකොල්ලකෑ සොරුන් ගෙන් අයකර ගැනීමට හා නීතිය ඉටුකර ගැනීමට අවස්ථාවක් නොතබා ම මේ කළ වින්නැහිය සඳහා ඉතිහාසය කවරදාකවත් මෛත්‍රීට සමාව නොදෙනු ඇත.

නවතම ව්‍යවස්ථාව විනාශ කිරීමේ පියවර වන්නේ ජනමත විචාරණයකි. මහින්ද ඇතු පාර්ෂවය බලය අල්ලා ගැනීම සඳාහා නොකරන දෙයක් නැත. පැර්ලිමේතුව තුළ හැසිරුණු ආකාරයෙන් කෙසේ හෝ ඡන්දයක් ලබා ගෙන බලහත් කාරයෙන් බලයට පත්වනු ඇත. මහින්ද ඇතුලු ගෝල බාලයන්ගේ සෙරෙප්පු ලෙව කන්නන්ට යහකලක් අපේක්ෂා කළ හැකි ය. එහෙත් සෙස්සන්ට නම් ඉතාමත් අසුබ කලක් පැමිණෙනු ඇත. ඡන්දය තකා බඩු මිළ පහත වැටුණ ද, බලයට පත් වී යථාර්ථයට හා දැඩි දූෂණයට පත් වන විට දී, ඒ මිළ ගෙවන්නට වන්නේ ද සාමාන්‍ය මනුෂ්‍යයාට ය. එහිදී උසාවි, ව්‍යවස්ථාදායකය, පොල්ස්සි ආදී සියලු ම මහින්ද ගේ චන්ඩි-මැර රැළ පාලනය කරන කළ, උන්ට සුබ අනාගතයක් වුව ද, අපට ඒ ගැන සිතන්නට වත් බයක් ඇති වෙයි. අවසානයේ හැමගේ පව් ගෙවන්නට වෙන්නේ අපගේ පඩි පතින් ය෴

Friday, November 16, 2018

කතානායකවරයා ජනාධිපතිවරයා වෙත යොමු කළ සම්පූර්ණ ලිපිය

කියවීමට වටින නිසා පළ කළෙමි. මෙම සතිය පිළිබඳ විචාරයක් හෙට දවසේ පළ කරන්නම්. . .

පහත දැක්වෙන ජනපතිතුමා ගේ ලිපියට ලියූ පිළිතුර:


කතානායක වරයා පිළිතුරු සැපයූ ජනපති තුමාගේ  විසින් එවන ලද ලිපිය


Monday, November 12, 2018

දැන දැන රැවටීම: ජනපති තුමාගේ අතේපත්තුවන බොරු



පසුගියදා ජනාධිපති වරයා විසින් අත්තෙනෝමතික ලෙස කරනු ලැබූ ව්‍යවස්ථා උල්ලංඝනයන් ගේ මස්තකස්ප්‍රාප්තිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යි. තමුන් කළ වැරදි සහගත හා බලලෝභි ක්‍රියාවලියේ අවසානය තමුන් බලයට පත් වී ඇති ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම යි. ව්‍යවස්ථාව උල්ලංඝනය කරා යන්න ජනපතිවරයකු වශයෙන් දියුරුම් දෙන අවස්ථාවේ දී පවසන පොරොන්දුව කඩ කිරීමකි. කරුණු එසේ නම් දැන් ලංකාවේ ජනපති, වත්මන් අගමැති මෙන් තත්කාර්යය ජනපති වරයෙකි. ඔහුට දොෂාභියෝග එල්ල කළ යුතු නැත. ඔහු විසින් ම ඉල්ලා අස්විය යුතු ය. දෙවනුව එතුමා හැල්ලූවට ලක්කළේ ලංකාවේ සියලුම නීතීන් ගේ පදනම වන ව්‍යවස්ථාවයි. ඒ හෙයින් එතුමා රැදී සිටිනා තුරු ඇත්තේ අවනීනිතිය මිස, වෙනකකක් නොවේ.

ඔහුගේ ලදබොලඳ තර්ක දෙස අපගේ අවධානය යොමු කරමු. පළමු තර්කට ජී.එල්. පීරීස් මෙන් බොල් තර්කයකි:

"මෙහි දී මා මතක් කරන්න  ඕන අපි දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඔබේ මතකය මම යොමු කරනවා 2015 ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති මැතිවරණයෙන් පසුව ඊට පසුදා ජනාධිපති ධූරයේ දිවුරුම් දී, ඊට මොහොතකට පසුව ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර මණ්ඩලයේ 225 න් 162 ක බලයක් තිබූ දි.මු ජයරත්න මහතා ඉවත් කර. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පත්වුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 41 ක් තිබියදී. ඒ අවස්ථාවේ අද කතා කරන බහුතරය පිළිබඳව කථා නොකළ  බව ඔබේ මතකයේ තිබෙනවා.

බොහෝ විට සම්ප‍්‍රදාය වන්නේ "ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි" "පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයකගේ කැමැත්ත ගත හැකි" මන්ත්‍රී‍රවරයෙකු, අගමැතිවරයා වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එකඟතාවයන් අනුව පත් කිරීම. එසේ පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා කෙරෙන ස්ථාවර නියෝග, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීති රීති යටතේ කටයුතු කරනු ලබනවා. එහෙත් අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුවට යන පළමු දිනයේදීම කිසියම් ආකාරයක ඔහු කෙරෙහි විශ්වාසය තිබේ ද යන්න බහුතරය විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ සිදුවී නැහැ. ස්ථාවර නියෝග තුළ එවැන්නක් සිදුවන්නෙත් නැහැ."

මෙතන ඇති පළමුවැනි මුසාව වන්නේ ව්‍යවස්ථාවේ කිසි තැනක "ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි" කියා ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවේ නැත. එවතට පැවති ව්‍යවස්ථාව (19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර) 43(3) මෙසේ ය: "පාර්ලිමේකිතුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේ ද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුත්තේ ය" ඒ හෙයින් ජනාධිපති වරයා ගල් පැලෙන බොරු කියා ඇත. දෙවනුව, අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහයන් පත් කළ විට, ඒ සඳහා විරෝධතාවක් පාර්ලිමෙන්ත්‍රවේ මන්ත්‍රීවර්න් ගෙන් පැමිණියේ නැත. වෙනස් කරන ලද, නිල තලවල සිට ම පුර්වයෙන් එකඟ වූ පරිදි ශුභාශිංසන නිකුත් කළ බව 2015 ජනවාරි 20 හැන්සාඩ් වාර්තාව කියවීමේ දී පසක් වෙයි. තෙවනුව, ඔත්තෝබර් 27 වෙනිදා පැවතුනේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහිත ව්‍යවස්ථාවක් වන අතර, එහි පුරප්පාඩු නොවූ අගමැතිවරයකු ඉවත්කර නව අගමැති වරයකු පත් කිරීමට ප්‍රතිපාදන නැත.

එතුමා ගේ දෙවන ප්‍රකාශය බලන්න:

"නමුත් පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප‍්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලැබු නිවේදන අංක 02 යටතේ, එතුමා නිකුත් කළ පළමු නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද පාර්ලිමේන්තුවේ හිමිකරන බව. ඒ කියන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට අයත් පාර්ලිමේන්තුවේ ආසනය. ඒ වගේම පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය. එය පළමු ප‍්‍රවෘත්ති නිවේදනයේ තිබුණත්, ඊට දින කිහිපයකට පසුව නිකුත් කළ දෙවැනි ප‍්‍රවෘත්ති නිවේදනය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ප‍්‍රවෘත්ති නිවේදනයක් බවට පත්වුණා. එහි එතුමා කියා සිටියා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඒ ඇතිවූ තත්ත්වය මා දැඩි ලෙස අවධානයට යොමු කළා."

ජනපති තුමා පවසන්නේ අවසානයේ කතානායක වෙත 116කින් යුක්ත විශ්වාස ප්‍රකාශයක් නිකුත් කළ කල, කතානායක වරයාට කළ හැක්කේ බහුතරය විමසීමට මිස, ජනපතිතුමා කළ මොඩකමට සම්මාදම් වීම නොවේ. කතානායක වරයා ඇතිතේ ජනපතිගේ අයිතීන් ආරක්ෂා කරන්නට නොව, පාර්ලිමේන්තු සාමාජීකයන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ය. මෙය එංගලන්තයේ දී රජවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවර්න් අතර, අර්බුධ ඇතිවි රජය විසින් අත්අඩංගුවයට ගැනීමට පැමිණ් අවස්ථාවල කතානායකවරයා පැහැදීලි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගේ පාර්ෂවය ගෙන ඇත. බ්‍රිතාන්‍යයේ පියුරිටන් පාලන සමය ආරම්භ වන්නට පෙර චාල්ස් රජ විසින් පාරිලිමෙන්තුව වැටළු අවස්ථාවේදී කතානායකයා ගේ ක්‍රියා කලාපය එබදු ය. ජනපති අවබෝධ කොට ගත යුතුතේ ව්‍යස්ථාදායකය යනු ජනපතිගේ අතකොළුවක් හෝ රබර් සීලයක් ගෝ අතවැසියක නොවන බව ය. එය ස්වාධිනය; විධායකය හැ සමාන බලයක් හා අයිතිවාසිකමක් එයට ඇත. ඒ බලය ලැබෙන්නේ ව්‍යවස්ථාව නැමති උත්තරීතර නීති ලියවිල්ල කරණකොට ය. නිතීපති ද ඊයේ ප්‍රකාශ කළේ වල්බූරු කතාවකි; ඔහු කීවේ ජනාධිපති උසැවියට ගෙන ඒමට නොහැකි නිසා එතුමා ගේ ක්‍රියාවක් උසාවිය මගින් විමර්ණය කළ නොහැකි කතාවකි. එසෙ නම් ව්‍යවද්ථාව කඩ කරමින් ජනපති හැසිරේ නම් ඔහු පත්කළ ජනතාවට කළ හැක්කේ කුමක් ද? දෙවියන් යැදී ම පමණක් ද?

එතැන් පසුව ජනපති තම ක්‍රියාව සාධාරණිය කරන්නේ මීනි මැරීම් වන්න පුළුවන් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ය. පාර්ලිමෙන්තුවේ ආරක්ෂාව කතානායක වරයා ගේ කාර්යයක් මිස, ජනපතිට අයිති කරුණක් නොවේ. දෙවනුව, පාර්ලිමෙන්තුව තුළ මිනීමරාගැනීම හෝ කළහකාරී හැසිරීම මත පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ප්‍රතිපාදන නැත. පහත දැක්වෙන්නේ ඒ බොළඳ කතාවයි:

"ඒ වගේම දෙපාර්ශ්වයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ නිකුත් වුණා, මාධ්‍ය තුළ විවිධ සාකච්ඡා මගින්, 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත්, ඇතැම්විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැමුන් ප‍්‍රකාශ කළා. එසේ එම සිද්ධිය සිදුවීමට මම ඉඩ හැරියා නම් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කර එම ගැටුම ඔබෙත්,  මගෙත් මේ ආදරණීය මාතෘ භූමියේ නගරයක්, ගමක් පාසා ඇතිවන ගැටලූ සහගත තත්ත්වය, විශේෂයෙන්ම රටේ  සිවිල් ජනතාවට අතර කලබලයක්, බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගියා.

ඒ නිසා ඒ සියල්ලටම වඩාත් සුදුසු විසඳුම වන්නේ ඒ 225 හේ ගැටුම්සහගත තත්ත්වයක් එහි නිර්මාණය වෙමින් රට පුරා විශාල ගැටුම් සහගත සාමය කඩවන තත්ත්වයකට රට පත් වීමට ඉඩ හැරීම නොව මගේ වගකීම සහ යුතුකම වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් ලෙස ගුරු කොට සලකමින් නිදහස් සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් සඳහා මන්ත‍්‍රීවරු තෝරා පත් කර ගැනීමටත් මේ තිබෙන තත්ත්වයන් විසඳා ගැනීමටත් අපේ රටේ පුරවැසියන් ඡුන්ද බලය හිමිවූ ලක්ෂ එකසිය පනහක සංඛ්‍යාවට එම බලය පැවරීමත්. ඒ නිසා මන්ත‍්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත් කථානායකවරයාගේ ක‍්‍රියා කලාපයත් ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්තිසහගත වූත් සාධාරණ වූත් තීන්දුව විය යුත්තේ එය පොදු ජනතාවට භාරදීම යන ඒ උතුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාර්ථය ඉටු කරමින්  තමයි මම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ. ඒ තුළින් දැන් තිබෙන තත්ත්වයට පැහැදිලි ස්ථිරසාර විසඳුමක් මහ මැතිවරණයකින් ඇති වන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ."

ප්‍රජාතන්තුවාදය කඩකළ ජනපති වරයකු, ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උලතියූ මහින්ද රාජපත්ෂ හා ඔහුගේ කැබිනට් මණ්ඩලය යුක්තිසහගත ඡන්දයක් තබන්නට අවසර දෙයි ද?එහි දී ඇතිවන ගැටුම් හා පාචන්ඩත්වයෙන් ජනතාව අතර කී දෙනෙකු මරණයට පත්වනු ඇති ද? මුලින් ම ගැටුම අර්භකොට රටත්, ව්‍යවස්ථාදායකයත් අර්බුදයකට හෙලුවේ ජනපති නොවේ ද? උක්ත ප්‍රකාශයෙන් විශේෂයෙන් ම "මගේ වගකීම සහ යුතුකම" හා "සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්තිසහගත වූත් සාධාරණ වූත් තීන්දුව විය යුත්තේ" යන වචනවලින් වසන්නට උත්සහ ගන්නේ අත්තනොමතික ක්‍රියාවන් සැඟවීම ය.

මහින්ද පාළනය අළුගසා මීනිවළෙන් නැඟිටුණු වගයි: ඔබට සුබ අනාගතයක්!


  

පසුගිය දිනක ජාතික පුවත්පතක වූ කාටුනක් මගින් පෙන්වූයේ "අප්පච්චි මැරිලා නෑ" කියමින් මීනී පෙට්ටියකින් නැඟී සිටින විජිත් විජිතමුණි සොයිසා ය. දවස් දෙකකට පෙරාතුව මහින්ද රජ කරවන්නට උත්සහ කරන්නන් ගේ කථිකාව වූයේ පාර්ලිමේනිතුව විසුරුවා හැරීම යන මාතෘකාව ය. නලීන් සිල්වා විසින් එය කළ හැකි ප්‍රතිපාදන කිහිපයක් පිළිබඳ කථිකා කළේ ය. එලෙසින් ම දිවයින පුවත්පත් කතුවැකියෙන් ද විවිධ කරුණු ගැන දන්වමින්, රනිල් පාර්ශවය හා මහින්ද පාර්ශවය විසින් 113 තනා ගැනීමට දරන උත්සහය ගැන අදහස් පළ කරමින් විවිධ වූ පාර්ලිමෙන්තුව විසරවීමේ විකල්ප ගැන සාකච්ඡා විණි. මා ඒ පිළිබඳ ලිපියක් ලීවීමට කරණු රැස්කරන අතර, වෙල්ල කඩා ගියා ලෙස පාර්ලිමෙන්තුව විසුරුවා හැරීම සිඳු වි ය.
පවතින ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුසාරයෙන් ජනාධිපතිවරයා හට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් වසර හතරක් යන තුරාවට නැත්තේ ය. ඒ සඳහා විකල්ප දැක් වූවන් කියා සිටියේ පහත විකල්පයන් ය:
1.      මුදල් පනතක් දෙවරක් පරාජය කිරීම මගින් පාර්ලිමේනිතුව විසරවිය හැකි බව ය.
2.      ජනමත විචාරයක් පවත්වා එයින් පාර්ලිමෙන්තුව විසරවිය හැකි බව ය.
3.      පාර්ලිමෙන්තුවේ හා ආණ්ඩුවේ ඇතිවී තිබෙන අර්බුධකාරී තත්ත්වයන් සලකා ජනාධිපති වරයා විසින් පාර්ලිමෙන්තුව විසරවිය හැකි යෝජනාවක් දිවයින කතවරයා විසින් කරන ලදී.
4.      නලීන් මහාචාරය තුමා ගේ බොලොග් අඩවිය කීයවූයේ නම් ඔහු හිස කසකසා විවිධ වූ කළ හැකි විකල්ප සමුදායක් ගැන අවධානය යොමු කරමින් අවසානයේ එසේ කළ නොහැකි බව දක්වයි.

       අවසානයේ මේ සියලු කථිකාවලින් පෙනෙන්නේ පාර්ලිමේනිතුව විසරුවා හැරීමේ ව්‍යවස්ථා විරෝධි කුමත්‍රණයක යෙදෙමින් සිටින බව ය. එය තවත් පසක් වන්නේ පසුගිය සතියේ ද තවත් වට තුනකින් ඇමතිවරුන් පත් කිරීමෙන් ය. අවසාන කිහිපදෙනා නොවැම්බර් මස 09 වන දින පත් කරමින් පසුගිය සති දෙකකට පෙර මෙන් රහසිගත ලෙස රාත්‍රී 9.00 පමණ පාර්ලිමෙන්තුව විසර වීමේ නියෝගය අත්සන් කර ඇත. පාර්ලිමෙන්තුවට මුහුණ දීමට  ජනාධිපතිවරයාට පිටකොන්දකු නැත; එහෙන් මෙහෙන් ගසා අවසානයේ සියල්ල අවුල් කිරීම මිස මෛත්‍රි හට කරන්න පුළුවන් වෙනත් දෙයක් නැත. ඔහු දක්ෂ එවන් දේට ය.
නැවත වරත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමන් විසින් ඉතිහාසයේ කවරදාකවත් නැති ලෙස ව්‍යයස්ථාව උල්ලංඝනය කොට නියෝගයක් නිතුත් කොට ඇත. ලංකා ඉතිහාසයේ දරුණුතම ප්‍රජාතන්ත්‍රවාදීත්ව ඝාතනය කළ ජනාධිපති වරයා ලෙස මහින්ද රාජපක්ෂ කිරිළ පැළඳවා ගත්තේ 18 වන ව්‍යවස්ථාව පාර්ලිමෙන්තුවේ නීතිගත කරමින් ය. එයින් ඔදවැටී ප්‍රජාතන්ත්‍රය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සඳහා ධවල අසු පිට දිවිපරදුවට තබා නැග්ගේ මෛත්‍රීපාල සිරිසේනයන් විසින් ය. එතුමා ස්වකැමැත්තෙන් ම ඉතිහාසයේ කවරකලකවත් නොවූවිරූ ලෙසින් ජනපතිවරයා ගේ බලය හැල්ලු කිරීමේ ව්‍යාපෘතියට මුළු හදින් ම එක් වූයේ ලක් ඉතිහාසයේ කිසිඳු මිනිසෙකු හෝ පාලකයකු නොකළ ලෙසන් ය. එහෙත් එවන් කප්පාදුවකට විරුද්ධ වූයේ මහින්ද පාර්ෂවය විසින් ය. එය අවස්ථාවක් කරගනු වස් රනිල් ව්‍යවස්ථායකය ශක්තිමක් කරන මුවාව භාවිතයෙන් අසීමිත ලෙස අගමැති වරයාගේ බලය ජනපත්වරයාගෙන් රැගෙන තමන් සතු කර ගැනීමට වෑයමක් කළේ ය. රනිල් බලලෝභිත්වයෙන් හා මාන්නයෙන් පසුවන හෙයින් දැක්ම කෙටිදුරක ය; තමුන් කෙන්ද්‍රී ය. එහෙත් එසේ ක්‍රියාකිරීමෙන් අවසානයේ තමුන් ගේ අතින් ගෙල වැළලා ගැනීමක් කර ගන්නේ ය. ඔහු ගේ පලනය හා ක්‍රියාකලාපය කෙරෙහි අප්‍රසාදයට පත් වූයේ ජනපති පමණක් නො ව, රටේ ජනතාව ද "රාජකීය කණ්ඩායමකින්" (ජනපති කියන පරිදි "සමනල කණ්ඩායම") පාලනය ඉවසුම් කරන්නට නොහැකි වි ය.
අවසානයේ බලය අත්හැරීමේ අපේක්ෂාවෙන් පහළ වූ ලක් පුතු රාජ්‍ය බලය ව්‍යවස්ථා විරෝධි ලෙස කොල්ල කෑ ය. එය සිඳු කළේ අගමැති වරයකු හා කැබිනට් මණ්ඩලයක් පත් කිරීමෙන් ය. ඒ පහත ආකාරයෙන් ය:
ඔක්තෝබර් 26 (ප.ව. 7.50) මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිව්රුම් දෙයි
ඔක්තොබර් 27 (පෙ.ව. 11) පාර්ලිමෙන්තුව නොවැම්බර් 16 දින දක්වා කල් දමයි.
ඔක්තොබර් 29 වන දින කැබිනට් ඇමතිවරු පළමු වටය: මහින්ද රාජපක්ෂ, මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, විජේදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ, වසන්ත සේනානායක, රංජීත් සියබලාපිටිය, විජිත් විජිතමුණි සොයිසා, ආරුමුගම් තොන්ඩමාන්, ෆවුසර් මුස්තාපා
නොවැම්බර් 1 වන දින කැබිනට් ඇමතිවරු දෙවන වට ය: දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර
නොවැම්බර් 2 වන දින කැබිනට් ඇමතිවරු තෙවන වට ය: එස්. බී නාවින්න,
නොවැම්බර්  4වන දින කැබිනට් ඇමතිවරු සිව්වන වටය: දිනෙෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර
‍නොවැම්බර් 7 වන දින කැබිනට් ඇමතිවරු පස්වන වටය: චමල් රාජපක්ෂ, එස්. බී දිසානායක, පවිත්‍රාවන්නි ආරච්චි
නොවැම්බර් 8 වන දින කැබිනට් ඇමතිවරු හයවන වටය: සුසිල් ප්‍රේමජයන්ත, බන්දුලගුණවර්ධන හා රාජ්‍ය ඇමතිවරුන්, සී. බී රත්නායක, අනුරප්‍රියදර්ශන යාපා
නොවැම්බර් 9 වන දින කැබිනට් ඇමතිවරු හත්වන වටය: විමල් වීරවංශ, උදයගමන්පිල, එම්. එල්. ඒ. එම් හිස්බුල්ලා, සී. බී රත්නායක (කලින් දවසේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත් වූ), ජොන්ස්ටන් ප්‍රනාන්දු,  එස්. එම් චන්ද්‍රසේන (කලින් දවසේ රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස පත් වූ), ගාමිණි ලොකුගේ, මහින්දයාපා අබේවර්ධන
මෙයින් පෙනෙන්නේ ජනාධිපති තුමා හට පාර්ලිමේනිතුවේ බහුතර බලය ලබා ගැනීමට ඇමති පුටු අල්ලස් වශයෙන් දීමට උත්සහ කළ ද එය පිළි ගැනීමට කිසිවෙකුත් අපේක්ෂා නොකළේ පැහැදිලි ලෙස රනිල් පාර්ශවයට පාර්ලිමේනිතුවේ බහුතර බලය ඇති බව දන්නා හෙයින් ය.

මෙය තවත් ශපත වන්නේ කරු ජයසුරිය කතානායක වරයා විසින් කළ ප්‍රකාශයන් නිසා ය.
නොවැම්බර්  5 කරුජයසූරීය පැවතුන අගමැති හා කැබිනට් මණ්ඩල පිළි ගන්නා බව දක්වනු ලැබි ය. මෙයට හේතුව වූයේ මන්ත්‍රීවරුන් 116ක් විසින් අත්සන් කොට දී තිබිණු පෙත්සමක් නිසා ය. එනයින් ම ජනාධිපති වරයා විසින් කළ ක්‍රීයාව නීතී විරෝධි බැව් ප්‍රකට වි ය. නොවැම්බර් 7 දින පැවති නායක රැස්වීමේ දී නොවැම්බර් මස 14 දින පවත්වනු ලබන පාර්ලිමේන්තුව බහුතරය පෙන්නීමට අවස්ථාවක් දිය යුතු බව කතානායකවරයා පැවසීය. මෙයට උරණ වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ගැන පාරම්බානා දිනේෂ් ගුණවර්ධන නායක රැස්වීම තුළ පාර්ලිමේන්තුවේ කරන්නාක් මෙන් යකා නැටී ය. නොවැම්බර් මාසයේ 7 දින පාර්ලිමෙන්තු නායකයන් ගේ රැස්වීමේදී ද දිනේෂ සුපුරුදු පරිදී යකානටන්නට පත් වූයේ බහුතරය පෙන්වීමේ කළ යුතු ය කියා අනෙකුත් පක්ෂ ප්‍රකාශ කළ හෙයින් ය. වෙනදා මෙන් මැර හා ගත් බලය අමොරා ගෙන කථානායක වරයා පක්ෂගාහීයැයි ඉතා අසභ්‍ය ලෙස ප්‍රකාශ කරනු ලැබිණි.

එසේ ම ජනපතිවරයා විසින් හදිස්සියෙන් පාර්ලිමෙන්තුව නොවැම්බර් 14 දින කැඳවීමේ නියෝගයක් නොවැම්බර් මස 4 දින ගැසට් කරනු ලැබී ය. අද දවසේ දී ඉතිරි කැබිනට් පුටු පිරවීම කළේ නොවැම්බර් 10 දිනටත්, මුදල් හෝ නිලබල හෝ වරප්‍රසාද හෝ ව්‍යපාර අවස්ථාවන් හෝ දී විපක්ෂයෙන් තවත් පුද්ගලයන් ගත නොහැකි නිසාවෙන් ය. ජනාධිපති වරයා ව්‍යවස්ථා විරෝධි ලෙස කටයුතු කර ඇති හෙයින් තවත් වරක් ව්‍යවස්ථාව බිඳ හෙළිමේ හැකියාවක් ලැජ්ජා ‍වක් නැතිව කළේ ය.

ඒ හෙයින් නොවැම්බර් මස 9 දින රාත්‍රී 9.30-10.20 අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ හා ජනවාරි 5 දින මැතිවරණයක් පැවැත්වීමේ නියෝගය අත්සන් කරනු ලැබී ය. එයින් සත්‍ය වශයෙන් කළේ තම්නු විසින් අත්තනෝමතික ලෙස කළ පත් කිරීම අභියෝග වී තමුන් කළ දේ වැරදී බවත්, එසේ ම වැරුද්ද නිවැරදී කිරීම වෙනුවට ආඥා දායකත්වයක් පෑමත් ය. මෙවැනි අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලියකට පොළඹ වන ලද්දේ නිර්ලජ්ජීත ලෙස ව්‍යවස්ථාව බිඳ හෙළිමට දක්ෂ මහින්ද හෝ ජී.එල්. පීරිස් වැන්නවුන් නිසා විය හැකි ය. ‍යකා කොරහ බිඳ ‍ගෙන යන්නාක් මෙන්, පාර්ලිමේන්තුවට මුහුණ දීමට නොහැකි ජනාධිපති වරයා, විශේෂයෙන් ම තමුන්ට බහුතරය නැති බව පැහැදිලිව ම දන්නා හෙයින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියෝග කරන්නට ඇති. ප්‍රජාතන්ත්‍රවාදයේ මහා සුරක්ෂිතායාණන් සේ 2015 බලයට පැමිණි ජනපති තුමා, තමුන් ගේ බලය තමුන් විසින් ම ස්වකැමැත්තෙන් අත් හරනු ලැබුවේයයි දේශිය හා විදේශය වශයෙන් කී නායකයා, නිර්ලජ්ජිත ලෙස තමුන් විසින් ම ඉවත් කළ බලය නැවත බලහත්කාරයෙන් හා ව්‍යවස්ථා විරෝධි ලෙස අධිග්‍රණය කරමින් ස්ව පැවැත්ම තකා කටයුතු කළේ ය.

ඉදිරියට පැමිණෙන්න ඇත්තේ ජනපත් වෙනුවට ඇති වන තරඟය ය. ඒ සඳහා මහින්දට තරඟ කළ නොහේ. කළ හැක්කේ අනියම් ආකාරයෙන් ජනාධිපති බවට පත් වීමෙන් ය. එය කළ හැක්කේ ජනාධිපති වරයා ඉවත් කොට අගමැති වරයා ජනාධිපත් වීම මගින් ය. මහින්ද සොයසොය‍ා සිටින්නේ එසේ ඉල්ල අස්වීමෙන් ඉවත්කොට හෝ ඝාතනය කොට හෝ අනයම් අයුරින් බැහැර කොට තුන්වෙන වතාවට මහින්ද රාජපක්ෂ බලයට පැමිණිමට ය. එහෙයින් නොවැම්බර් 5 දින ජනාධිපති තුමා ස්වකීය මරණ වරන්තුවට අත්සන් තැබුවා සේ ය. බණ්ඩාරනායක හා ප්‍රේමදාස වැනි නියකයන් නියමිත කලට කලින් අනියම් ලෙස බලය ග්‍රහණය කිරීමෙන් හෝ පවත්වා ගෙන යෑමට ක්‍රියාකිරීමේ ප්‍රතිපලය වූයේ තමුන් ගේ සමිපතයන් අතින් ඝාතනය වීම ය. කෙසේ වෙතතන් ජනතාව කිසිදු විට තුනෙන් දෙකක බලයක් කවරෙකුටත් නොදෙන්නේ ය; ඒ හෙයින් නැවත බලයට පැමිණිම සඳහා මහින්ද හට ව්‍යවස්ථා සංශෝධනය කළ නොහේ. 

එ සෙ ම, තමුන්ට අයිති නැති දෙයක් කරනු වස්, ව්‍යවස්ථාදායකය තුළ පුදුම පවැලවිල්ලක පටලාවා ව්‍යවස්ථාදායකය අතරමං කළේ ජනපති ය. දැන් එකී ආරාවුල උසාවි පැමිණෙනු ඇත; උසාවිය තුළ ස්වාධින ආයතන දෙකක් ස්වකීය බල ක්ෂේත්‍රය ආරක්ෂා කර ගනීමේ සටන මෙහෙය වනු ඇත. මෙකී සටනින් ජය ගන්නේ කවර ආයතනයක් වූවද, ජනතාව හා ප්‍රජාතන්ත්‍රවාදය පරාදවී ඇත්තේ ය. විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර ගැටුමක් නිරිමාණ කිරීම ජනපතිවරයා විසින් කර ඇත්තේ ය. එහෙයින් අවසානයේ 18 වන ව්‍යවස්ථා සංශෝදනයෙන් බාහිරට යන සේ අමුතු බලයක් ගෙන කටයුතු කරන්නේ ය. රට අවුලින් අවුලට පත්වනු ඇත. විධායකය ජය ගත්තත්, ව්‍යවස්ථාදායකය ජය ගත්තත් වැරදි පුර්වාදර්ශ ගණනාවක් ප්‍රජාතන්ත්‍රවාදයේ සුරක්ෂතයාණන් වසින් එක්කර ඇත්තේ ය.

පත් වූවන් දෙස බලන විට, මහජනතාව පරාජිය කළ අය රාශියක් ඇමති පුටුවලට විකිණෙති. ඇමති පුටුවලට පත් වී ඇත්තේ සොරුන් මංකොල්ල කරුවන්, උසාවියේ නඩු ඇති අයවළුන් ය. රනිල් විසින් හිතාමතාම යුක්තිය ප්‍රමාද කිරීමේ ප්‍රතිපලය මෙයයි; වසර තුනක් ඩිල් දැමීමේ ප්‍රතිපලය අවසානයේ තමුන්ට බලයෙන් නීච ලෙස පහ වීමට සිඳු වීම ය. අසන්නට බැරි ජනතාවට දෙස බර නො වූ කන් නැති විට මහජනතාවට කුමක් කළ හැකි ද?  විකිණුමට එරෙහි ඇති අයද නො‍පැමිණෙන කල් හි ගත හැකි විකල්ප ඇත්තේ මොනවා ද?  
නඩයක් බලය අල්ලා ගෙන ඇත; නඩයේ බෙරපදතාලයට මෛත්‍රී පාතබමින් නටන්නේ ය. නැටුමේ අවසානය කාහට කිව හැකි ද? ප්‍රජාතන්තු විරෝධිත්ව කෙරෙහි අවසානයේ වත්මන් ජනාධිපති තුමා මහින්ද රාජපක්ෂටත් වඩා පියවර කිහිපයක් තබා ඇත්තේ ව්‍යවස්ථාවේ නැති, ව්‍යවස්ථාවට කොහෙත්ම අදාළ නැති දෙවල්වලින් නියෝග නිකුත් කරන බව ය. යහපාලන යුගයේ කටමෑත දෙඩවූ පුවත්පත් දැන් දතකට පුට්ටු වී ඇති සේ ය. ඉදිරියේ දී දතකට පුටටු වී මාධ්‍ය සංදර්ශනයන්හි නිරිත වීමට ජනමාධ්‍යයට සිඳුවන කාලය පැමිණ ඇත. නිදහස ලැබුණු විට වල්බූරු නිදහසක් මෙන් භාවිත කරමින් යහපාලන ආණ්ඩුව නැති බංගස්ථාන කිරීමේ ප්‍රතිපලය තමුන්ට ද උන් හිටි තැන් නැති වීම ය. අවාසනාවක මහත!

පාර්ලිමේනිතුව විසරුවා හැරීම ගැන පවසන ජනාධිපති තුමා පවසන්නේ මුදලට පාර්ලිමේන්තු සමාජීකයන් විකිණිම හා කතානායක වරයාගේ අමුතු හැසිරීම නිසා බව ය. මේවා පාර්ලිමේනිතුවක් විසිරීමට තරම් වටිනා කරුණු ද? ජනාධිපති වරයා විසින් හා ඔහු ගේ පාර්ෂවය මගින් හදිසියේ මහින්ද අගමැති කර එතැන්සිටපාර්ලිමේන්තු මන්ත්‍රීවර්නුට ලංසු තැබීම ආරම්භ කළ බව ඉතාමත් පැහැදිලි ය. බහුතරය ලබා ගත නෙ‍ාහැකි විට, එක් දිනක් වත් පාර්ලිමේන්තුවට නොපැමිණි අගමැති වරයකු හා ඇහින්දාස්  කැබිනට් මණ්ලයක් මගින් රට කරන්නටත්, රට අස්ථාවර කරන්නටත් කරන වෑයමකි. ඇත්තටම වී ඇත්තේ මහින්ද හා පොහොට්ටු පාර්ශවයෙන් මෛත්‍රී කඩේ යැවීමකි.

මෙසේ කල්පනා කර බලන විට, විසිදෙවන සියවසේ අතිශයින් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ පාලකයා වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ය. ඔහු අමු අමුවේ ව්‍යවස්ථාව තමහිතුමතේ අත්‍තනෝමතික ලෙස පරිහරණය කරන්නේකු බවට පත්ව ඇත. එයින් රටේ උසස් ම නීතිය බිඳ ලීම තුළින් නීතියක් නැති, අරාජාකත්වයකට රට පත් කොට ඇත; ඊළඟට අඩුව ඇත්තේ බලය අල්ලා ගැනීම තකා කෙරෙන ජනතා කැරැල්ලක් හා එයට ප්‍රතිචාර ලෙස කරන පහර දීමෙන් වන මනුෂ්‍ය ඝාතනයන් ය. කෙසේ වෙතත් ලංකාවේ දරුපරපුරට මෙසේ බැලූ කල අනාගතයක් නැති බව සක්සුදක් සේ පසක් වන්නේ ය. 

Tuesday, November 6, 2018

ලක් ජනපති ආණ්ඩු බලය කොල්ලකයි



පෙරළුන අත හොඳයි කියන යුගයක, රටට හොඳයි නම් කළ ක්‍රමය කිසිත් ගැටලුවක් නැතයි කියන කලක ජීවත් වන කලෙක, යුක්තිය සාධාරණය වෙනුවෙන් නැඟී හිටින්න අපහසුතාවක් බහුතරයට ඇත. අනෙක් අතට දේශපානය ජරා ජීර්ණය වී, ගඳ ගහන තත්ත්වයකට පත් වූයේ පසුගිය දිනක ජනාධිපති තුමා කැළණි පන්සලේ සිට කී කතාවෙන් ය.

ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්තුවාදය ආරක්ෂා කිරීම පිණිස මූලීක ආයතන තුනක් දක්නට ඇත්තේ ය. විධායකය, ව්‍යස්ථාදායකය හා අධිකරණය යි. මෙකී ආයතන එකින් එක ස්වාධින ව පවතින්නේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කිරීම තකා ය. එහෙත් පසුගිය මස 26 දින විධායකය විසින් බලහත් කාරයෙන් තමුන්ට අයිති නොවන බලය අත්තනොමතික ලෙස කොල්ල කෑමකට ලක් කළේ ය. ඒ තමුන්ට අයිති නැති බලයක් බලහත් කාරයෙන් අතට ගනිමින් රහසිගත ව තාත්කාර්ය අගමැතිවරයකු පත් කිරීම තුළින් ය. කවර තර්ක දැමුවත් ව්‍යස්ථා උල්ලංඝනයක් වී ඇති බව බැලූ බැල්මට ම පෙනේ.

ජනාධිපති වරයා අගමැති වරයකු පත් කිරීමේ දී කළ යුතු ව්‍යවස්ථානූකූල පියවරක් වන්නේ තමුන්ට කැමති කෙනෙකු පත් කිරීම නොව, "පාර්ලිමෙන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති වරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පක් කළ යුතු ය" (ශ්‍රීලංකා ජනරජ ව්‍යවස්ථාව, 42 (3)). ජනපති වරයා විසින් නව අගමැති වරයකු පත් කිරීමෙන් උල්ලඝනය කර ඇත්තේ අගමැති ධූරය පුරප්පාඩු නොවන අවස්ථාවක තවත් තත්කාර්ය අගමැති වරයකු පත් කිරීමෙන් ය. දෙවනුව, පාර්ලිමේන්තුවේ බහුතර බලය නොමැති කමෙන් අගමැති වරයා පත් කිරීමෙන් පසුව, පාර්ලිමෙන්තුව නොවැම්බර් 16 වන තෙක් කල් දමනු ලැබී ය. එතැන් සිට මුදල් (කොටී 20 කතන්දර) කෙසේ වෙතත් ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් දානය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බිළිබා ගැනීමේ මෙහෙයක් කරනු ලැබී ය.

පාර්ලිමෙන්තුව ඔක්තොබර් 26 දින උදෑසන 10.00 සිට 5.00 දක්වා පැවැත් විණි. පාර්ලිමෙන්තුව පවත්වා අවසන් කොට පැය දෙකකට පමණ පසු  ජාතික ආණ්ඩුව  (46ග(3)) විසිරි ගය බන ප්‍රකාශ කළ අතර, එයන් විනාඩි 10කට පසු මහින්ද රාජ පක්ෂ මන්ත්‍රීතුමා අගමැති හැටියට දිවුරුම් දුන් බව ප්‍රකාශ විණි. මෙහිදී පැහැදීලි වන කරුණක් වන්නේ ජනපති හට ව්‍යවස්ථාදායකය මඟ හැර නිත්‍යානූකූල නොවන ලෙස වෙනත් අගමැති වරයකු පත් කරනු ලැබිණි.

1994 සිට පර්ලිමේතු සාමාජෘකයකු වූ වත්මන් මත්‍රීපාල සිරිසේන ජනපති තුමා ව්‍යව්‍යස්ථාදායකයට ගරු කිරීමේ වුවමනාවක් ති‍බුණේ නම් ඔක්තොබර් 26 දින හෝ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ඔකුතොබර් 31 දින හෝ ඊළඟ දිනය වූ නොවැම්බර් 5දා (හෝ නොවැම්බර් 7, 8, 9, 10, 12, 13 දින) බහුතරය පිරික්සීමට යොමු කරන්නට තැබිණි. ඒ සේ ම, ඔහු විසින් නොවැම්බර් 16 දක්වා පර්ලිමේතුව කල් දමා, පසුව ජන විරෝධය නිසා නොවැම්බර් 14 දින කැඳවීමට නියම කිරීමෙන් හැකිතාක් මුදල් හෝ වෙනත් දෑ දීම මගින් පාර්ලිමෙන්තුවේ බල තුලනය වෙනස්කිරීමට වෙනස් කරන ලදී.

තත්කාර්ය අගමැති වරයකු මෙන් ම, තතත්තාර්ය ඇමති විෂය පථන් කිහිපයක් ද මාරූ කොට තවත් අලාකාර නාඨකයක් රඟ දැක් වී ය. එයිනුඳු පෙනුනේ පාර්ලිමෙන්තු බහුතරය තකා විවිධ පක්ෂවල සාමාජීකයන් ඇමති නියෝජ්‍ය ඇමතිකම් දීම මගින් බිළිබා ගැනීමට ගන්නා වූ ප්‍රයත්නයයි. ඔවුන් විසින් පත් කරනු ලැබූ කැබිට් මන්ඩලය අවස්ථා කිහිපයකදී පත්කරනු ලැබිණි. පුදුමයට කරුණ වන්නේ මහින්ද පිලේ දරදිය ඇද්ද, මුලින් පෙරමගමන් කරුවන් කවරෙක්වත් ඒ පෙළහරේ නොමැති ‍වීම ය. ඇමතිකම් 30 ද, රාජ්‍ය ඇමතකම් හා නියෝජ්‍ය ඇමතිකස් 40ක් ද ඇත් අවස්ථාවක, ඇමති පුටු හිස්කොට තබා ගෙන ඇත්තේ ඉදිරියේදී බිළී බා ගත හැකි අයවළුන් සඳහා අවස්ථාව දීමට ය. පසුගිය දවසක ජාතික රූපවාහිනී ප්‍රවෘත්තා වලින් මහින්ද පිළය 105ක් ඇතියි කී ය. එයින් ම පෙනෙන්නෙ තවමත් පාර්ලිමෙන්තු බහුතරය සඳහා පොර කන බවකි, සත්‍ය කරුණ නම් තවමත් මහින්ද පිලට කිසිදු සැකසංකාවක් නොමැතිව ඇත්තේ 103ක මන්ත්‍රී සංඛ්‍යවක් පමණි. උක්ත ප්‍රකාශයෙන් ම පෙනෙන්නේ ජනාධිපති තුමා විසින් කර ඇති ව්‍යවස්ථා වීරෝධි කටයුත්ත හා අත්තනෝමති ප්‍රජාතන්ත්‍ර වරොධි කටයුතුත ය. තවමත් මහින්ද පාර්ෂවයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැති සේ ය.

පසුගිය දිනයන්හි ඇති තත්ත්වයන් මෙසේ ය:

ඔක්තෝබර් 26 දින අගමැති තුමා ඉවත් කිරීමේ ගැසට් නියෝගය හා කැබිනට්ටුව විසිරවීමේ ගැසට් නියෝගය (මෙය නිකුත් කිරීම කරන ලද්දේ රාත්‍රීයේ විය හැකි ය; මෙයට හේතුව එදින පාර්ලිමෙන්තු දවසක් බැවින් පාර්ලිමෙන්තු සැසිය අවසන්වන තුරාවට ම අගමැති හා කැබිනට් අමාත්‍යවරු පාර්ලිමේන්තුවේ පිළිගැනීමට ලක් වි ය‍; ගැසට් පත්‍රය පළ කොට ඇත්තේ ඔක්තොබර් මස 27 ප.ව. 1.40පමණ ය).
ඔක්තෝබර් 26 (ප.ව. 7.40) එ.ජ.නි.ස. ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙයි
ඔක්තෝබර් 26 (ප.ව. 7.50) මහින්ද රාජපක්ෂ අගමැති ලෙස දිව්රුම් දෙයි
ඔක්තෝබර් 27 පොලිස්පති පූජිත ජයසුන්දර නව අගමැති හමුවෙයි; ඩබ්.සී.ඩබ්හි සහය පළ කරයි;
ඔක්තොබර් 27 (පෙ.ව. 11) පාර්ලිමෙන්තුව නොවැම්බර් 16 දින දක්වා කල් දමයි.
ඔක්තෝබර් 27 අගමැති තුමා ගේ ලෙකම්වරයා ඉවත් කරයි; වෙනත් ලෙකම්වරු ඉවත් කරයි; ඩග්ලස් දෙවානන්ද සහය පළ කරයි
ඔක්තොබර් 28 වන දින රජයේ ජනමාධ්‍ය ආයතනවල මුල් පුටු වෙනස් කරයි.
ඔක්තොබර් 29 වන දින මහින්ද සමරසිංහ හා කෙහෙලිය රබුක්වැල්ල රාජ්‍ය ප්‍රකාශක ලෙස පත්වෙයි.
ඔක්තොබර් 29 වන දින කැබිනට් ඇමතිවරු පළමු වටය: මහින්ද රාජපක්ෂ, මහින්ද අමරවීර, සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා, ඩග්ලස් දේවානන්ද, විජේදාස රාජපක්ෂ, මහින්ද සමරසිංහ, වසන්ත සේනානායක, රංජීත් සියබලාපිටිය, විජිත් විජිතමුණි සොයිසා, ආරුමුගම් තොන්ඩමාන්, ෆවුසර් මුස්තාපානොවැම්බර් 1 වන දින කැබිනට් ඇමතිවරු දෙවන වට ය: දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර
නොවැම්බර් 2 වන දින කැබිනට් ඇමතිවරු තෙවන වට ය: එස්. බී නාවින්න,
නොවැම්බර්  4වන දින කැබිනට් ඇමතිවරු සිව්වන වට ය: දිනෙෂ් ගුණවර්ධන, වාසුදේව නානයක්කාර

මා හට කියන්න ඇත්තේ ඔක්තෝබර් 26වන දින ''ලක් ජනපති ආණ්ඩු බලය කොල්ල කෑ" බව ය.

Wednesday, October 31, 2018

ගන්ධබ්බයා කවුරුන් ද? කනවටින් නාසය අල්ලන්නාක් වැනි මහාචාර්ය කතා


පසුගිය දිනක අගමැති ඇමති ගන්ධබ්බයෝ මැයින් ලිපියක් නලින් ද සිල්වා මහාචාර්ය තුමා කාලය නැමති බොලගයට ලියා තිබුණි. එකී ලිපියේ මූලික හරය ඔක්තොබර් 26දින සිට ලියු ජනපතියේ ඔලමොට්ටල ක්‍රියා යුක්තානු යුක්ත කිරීමකි. ඔහු කෙසේ වෙතත්, මම ද නිතිය පිළිබඳ විශාරදයෝ හෝ පුහුණුව ලත්තෝ නොවෙමු. ඒ හෙයින් ඔහු ගේ තර්කය විමසීම තකා මම ඉතා පරිස්සමෙන් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු අඩවියෙන් බා ගත කො‍ට පරිශිලනය කළෙමි. නලින් ද සිලිවා මහාචාර්ය තුමා ජාතිමාමකයෙකි (සමහරුන් සිතන්නේ ඔහු ජාතිවාදීයකු බව ය). කෙසේ වෙතත් මට මෙන් ඔහුට ද රනිල් පිළිබඳ ප්‍රසන්නතාවක් නැත. ඔහුට නැත්තේ රනිල් අසිංහල, අබෞද්ධ විදේශික මුහුණුවරක් ඇත්තෙකු නිසා ය. මට ඇත්තේ ඔහු ගේ දේශපාලන හැසිරීම හා ප්‍රතිපත්ති පිළිබඳ අප්‍රසන්නතාවයකි. එහෙත් අප්‍රසන්නතාවක්, පිළිකුලක් හෝ අප්‍රියතාවක් ඇති වූ පළියට ප්‍රජාතන්ත්‍රයයි කියන්නා වූ දේශපාලන භාවිතය විකෘතියක් කිරීම අනුචිත ය. එය රනිල් මහබැංකුව කොල්ල කන්නට ඉඩ හැර, වරද වසා සිටියාක් මෙන් ම, සත්‍ය වසා, අසත්‍ය මතු කරන්න දරන ආයාසයකි. කෙලින් කිව්වහොත් නලින් ද සිල්වා මහාචාර්යතුමා කරන්නේ ද එයයි. කන්න ඕනෑවිට කබරගොයත් තලගොයා වෙයි. මහාචාර්ය තුමන් විසින් තර්ක අවම වශයෙන් අටක්වත් යුක්තායුක්ත කිරීමට යොදා ගෙන ඇත. එය විමර්ශනය කරන විට මට පෙනෙන්නේ මෛත්‍රීපාල ජනපති තුමා මෙන්, මහාචාර්ය තුමා ඔළුවෙන් හිටගෙන ව්‍යවස්ථාව කියන බවකි. එය අපහාසයට හෝ අපවාදයට කියන්නක් නොව, සැබවින් ම උඩුයටිකුරු කරන විග්‍රහකි.

1.  මහාචාර්ය තුමා ගේ පළමු තර්කය වන්නේ ජනපති තුමා හට අගමැති පත් කිරීමට ස්ව අභිමතය ඇති බවකි. ඒ සඳහා 2015 ජනාවාරි 09 වෙනිදා සහ 2018 ඔක්තෝබර් 26දා සිදු වූ සිඳුවීම් දෙක එකිනෙකට සමපාත කරයි. මෙහිදී ඔහුට අමතක වන්නේ 2015 ජනවාරි 09 දින පැවති ව්‍යවස්ථාව හා 2018 ඔක්තෝබර් 26 පවතින ව්‍යවස්ථාව සම්පූණයෙන් වෙනස් දෙකක් බව ය. පළමුව එකිනෙකට සමපාත කොට, ජනපතිගේ ක්‍රියාව ලඝු කළ නොහේ. 42(3) ඡේදයේ දැක්වෙන්නේ, "ජනාධිපතිවරයා ගේ මතය අනුව" කියන පාඨයට කොන්දේසියක් අතුලත් කොට ඇත්තේ ය. එය තමුන්ට කැමති කෙනෙකු පත් කරනු වෙනුවට "පාර්ලිමෙන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති වරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පක් කළ යුතු ය" යන්න ය. ඒ සඳහා පාර්ලිමේනතුවේ අවසරය අවශ්‍ය නැතත්, "උපරිම වශයෙන් විශ්වාස" ඇති බව සනාථ විය යුතු ය. ‍එසේ නොමැති විට, කොන්දේසිය නොසැපරේ. ඒ හෙයින් වහාම පාර්ලිමෙන්තුව කැඳවා ජනපති ගත් තීරණයේ සත්‍යක්ෂණයෙන් උරගා බැලිය යුතු ය; බැලීමට අවසරයක් දිය යුතු ය.

අනෙක් අතට, පුරප්පාඩු නොවූ නිලයකට අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමෙන් ව්‍යවස්ථා අවුලක් ජනපතිතුමා හට ගැන් වූයේ ය. එය ඔලුවෙන් හිට ගෙන කීවත්, පයේ ඇඟිල්‍ලෙන් හිටගෙන කීවත්, එක එකා ලවා කීවත්, මාධ්‍ය සන්දර්ශනයෙන් කීවත්, පොස්ටර් හෝ පහලොස් රියන් හෝඩින් ගසා කීවත් ව්‍යවස්ථා උල්ලඝනය 
 වනාහි ව්‍යවස්ථා උල්ලඝනයකි. අග්‍රාමාත්‍යවරයකු පත් කරන්නට නම් පළමුව අග්‍රාමාත්‍ය ධූරය පුරප්පාඩු විය යුතු ය; පුරප්පාඩු නොවූ ධූරයකට තවෙකෙක් පත් කිරීම පය බරවාට පිටකර බේත් බදින්නා වැනි අමණ ක්‍රියාවකි.

2. උක්ත කරුණ සනාථ කිරීමට හෝ යම්තාක් පිළිගත හැකයි දැක් වීමට මහාචාර්ය තුමා 43(3) මුක්කුවට ගනී. එහි දක්වා ඇත්තේ "ජනාධිපති වරයා විසින් කවර අවස්ථාවක වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය යණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය" යන්න ය. ඒ හෙයින් නලින් ද සිල්වා කියන්නේ විෂය පථය වෙනස් කිරීමෙන් අමාත්‍ය මණ්ඩලය බල රහිත වන කතාවකි. මෙහිදී නලින් ද සිල්වා මහාචාර්ය තුමා කරුණු දෙකක් අමතක කොට ඇත්තේ ය. පළමුව නම් මෙය නව පත් කිරීමක් නොවන බව ය; එසේ වන්නේ නම් 43(2) කොන්දේසිය ක්‍රියාත්මක වෙමින්, "ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, අමාත්‍යංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයාට පවරන විෂය කාර්යය ද නිශ්චය කළ යුත්තේ ය" බල ගැන්වෙයි. ඒ හෙයින් පවතින අතමැති තුමා විසින් ජනාධිපති වරයා ට උපදෙස් දීම යන්නේ අදහස් වන්නේ විධායකය එකාධිකාරී ලෙස හැසිරීම පාලනය යි. මෙයට කදිම පිළිතුරක් දෙන මහාචාර්ය තුමා පවසන්නේ, 42(4) හා 43(3) ක්‍රියාවට නැංවීම තුළ ජනාධිපතිවරයා අත්තනොමතික ලෙස ක්‍රියා කර නැති බවත්, එසේ කිරීම සඳහා යම් "නිමිත්තක්" අවශ්‍ය බව ය. ඒ නිමිත්ත සපයන මහාචාර්ය තුමා රනිල්ගේ අසිංහල, අබෞද්ධ, විදේශිය ස්වභාවයත් (ජනපති තුමා ද පැවසුවේ තමන් ගේ සංස්කෘතිය හා රනිල් ගේ සංස්කෘතිය නොගැළපෙන කතාවකි) දෙමළ ජාතිවාදීත්වට උඩගෙඩි දීමත් ය. එහෙම කල්පනා කරන විට ජනාධිපති වරයකු‍ට ඕනෑම "නිමිත්තක්" මතු කොට ගෙන "ජනාධිපති වරයාගේ මතය" සකසා ගත හැකි ය. දෙවන කරුණ වන්නේ 43(3)හි ජනාධිපති වරයා බලය ක්‍රියාකරන කල, එයට ම ඇමිණු කොන්දේසියක් ඇත. එනම්, "අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය" එසේ නම් තවම නිත්‍යානුකූල (de jure) අමාත්‍ය මණ්ඩලය වන්නේ මුලින් පත් කළ අමාත්‍ය මණ්ඩලය ම ය.

3.       මහාචාර්ය තුමා නව තර්කයක් මතු කරන්නේ 46(2) භාවිත කරමින් ය; මෙය ද අනවබෝධයෙන් කියවා  පිළිබැසගත් තර්කයකි. ඔහු ගේ තර්කයට අනුව අගමැති කම පැවතිය හැකිකේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරාවට ය. මුළු වගන්තිය මෙසේ ය: "අග්‍රාමාත්‍යවරයා (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපති වරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහෝත්; හෝ (ආ) තවදුරටතු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු නොවුනහොත්; හෝ මිස, ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය." යන්න ය. ඒ හෙයින් මහාචාර්ය තුමා ගේ තර්කය වන්නේ 43(3) සිඳුවන විට 46(2) එම කරුණින් ම (ipso facto) අහෝසි වන බවකි; නැතහොත් අමාත්‍ය මණ්ඩලයේ වෙනස තුළින් අගමැතිවරයා ඉවක්වන බවකි. එනම් 43(3) = 46(2). එය නිකම් පරිගියා කොට්ටේ ගියා වැනි කතාවකි. අගමැති කෙනෙකු දිවුරුම් දීමට සැලැස්වීමෙන්, පළමුවෙන් ජනාධිපති වරයා කළේ වැරද්දකි. ඒ සඳහා ඔහුට ප්‍රතිපාදන නැත; පත් කරන්නා පහ කරන්නා මය කියන (ජනාධිපති වරයා පත් කළ එනයින් ජනාධිපති වරයා හට පහ කළ හැකිය) තර්කය බොහෝ රාජ්‍ය නිලයන් සඳහා බල නොපාන්නේ ය. හොඳම නිදර්ශනය වන්නේ අග්‍රවිනිශ්චයකාර පදවිය ය. එය එසේ මෙසේ සෙලවිය හැක්කක් නොව බව පෙනුනේ නමක් ගමක් නැති මොහන් පිරිස් වැන්නෙකු ඒ පුටුවේ වසර කිහිපයක් ගන්දබ්බයකු සේ සිට සේ ය. 43 වන අග්‍රවිනිශ්‍යකාර තුමියට පසු පත් වූයේ  44 වන අග්‍රවිනිශ්‍යකාර තුමන් ශ්ම‍රීපවන්හි මහතා මිස මොහාන්න්ද පීරිස් නොවේ. පාර්ලිමේන්තු ම තම ග්‍රහණයට නතු කොට නැටු කොලම් නැටුම විගඩමක් ම විණි. මහාචාර්ව තුමාට අනුව ඔක්තෝබරි 26 සිට ඔක්තෝබර් 29 දක්වා අමාත්‍ය මණ්ඩලයක් තිබී නැත. පැහැදිලි ලෙස පාර්ලිමේන්තුවේ "උපරිම විශ්වාසයක්" ඇතියි දැනගත නොහැකි විට, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ කවර ප්‍රතිපාදනයක් යටතේ ද?


19වන සංශෝදනට පෙරාතුව ඉතා පැහැදිලි ලෙස අග්‍රාමාත්‍යතුමන් ඉවත් කිරීමේ පිළිවෙතක් පහත දැක්වෙන පරිදී තිබුණි:

"47. අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්— (අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්; හෝ (ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වුවහොත්; හෝ (ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් ස්වකීය ධූරය දරන්නේ ය."  

එහෙත්, 19වන සංශෝදනය සමඟ එකී අවස්ථාව ඇහිරී ගියේ ය. අග්‍රාමත්‍යවරයා ධුරයෙන් ඉවත් වන්නේ 46(2) අනුව (අ) ජනාධිපති වරයා වෙන යවන ලිපියකින් ඉල්ලා අස්වීමෙන්; හෝ (ආ) පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු නොවීමෙන් ය. අනෙක් අතට අමාත්‍යවරයකු ඉවත් කළ හැක්කේ 46 (3) අනුව (අ) අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමේ ලිපියකින්; හෝ (ආ) ජනාධිපති වරයා වෙත යවන ඉල්ලා අසවීමේ ලිපියකින්; හෝ (ඇ) පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු නොවූ විට ය. එයින් පිට කිසිවෙක් ඉවත් කිරීම බැලූ බැල්මට ම හැකියාවක් නැත. මෙය ජනාධිපති වරයාට මෙන් ම මහාචාර්යවරයාට ද නොතෙරෙන්නේ මන්දැයි මට ද සිතා ගත නොහැකි කරුණකි.

4.       අමාත්‍ය මණ්ඩලය විසිරීම පිළිබඳ පැහැදිලි ප්‍රතිපාදන 48 වගන්තියේ ඇත්තේ ය. එහි අගමැති තුමා "අන්‍යාකාරයෙන්" ධූරය දැරිම නතර වූ අවස්ථාවට, නැවතත් 42(4) හා 43(3) ගෙනැවිත් විකාර කතාවක් ගොතයි. මෙහිදී "අන්‍යාකාරයෙන්" යන්නට පැහැදිලි නිර්වචනයක් නැති හෙයින් මෙසේ ඉලාස්ටික් නෛතික ප්‍රතිපාදන නිර්මාණය කළ නොහේ. එසේ කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් අර්තවිවරණයක් ගත යුතු ය; උසාවි පිළිබඳ විශ්වාසය බිඳුණු රටක සනරත් එන්. සිල්වා වැනි නීතිය නොපිට පෙරළා පසුව තමුන් එසේ කළ බව පිළිගත් අග්‍ර විනිශ්චය කරුවන් සිටි උපරිමාධිකරණයෙන් ලැබෙන තිණ්ඳු කිසිවෙකුටත් නිශ්චය වශයන් කවරක්දැයි කිව නොහැක. අනෙක් අතට සති දෙකට පෙර රාවය පුවත් පතේහි අගවිනිසුරු නලින් පෙරෙරා ගැන අදහස්ය දක්වමින් සයවන තැන හුන් උපරිමාධිකරණ විනිශ්චයකරුවෙකු අගවිනිසුරු වීම ගැනත්, ඔහු හා මහින්ද රාජපක්ෂයන් අතර වූ සමබන්ධතාවන් (එකම කාලයේ නීති විද්‍යලයේ සිටීම, එකට උපාධි ලැබිම හා ඡන්ද නඩුවක දී සමීප සම්බන්ධතා සලකා නඩුවෙන් ඉවත් වීම) කරුණු දැක් වීමෙන් ඉදිරි උපරිමාධිකරණ තීරණ ගැන වික්ටර් අයිවන්ගේ සන්තානයේ පවතින සැක සංකා පිළිඹිබු කරයි.

5.       අවසාන වශයෙන් මහාචාර්ය තුමා පවසන්නේ අනංමනං කතා නොකර පාර්ලිමෙන්තුවේ විශ්වාසභංගයක් ගෙනෙන ලෙස ය. එයටත් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් දමා ය. පාර්ලිමෙන්තුවේ විශ්වාසය ඇත්දැයි නැත්දැයි සිතා ගත නොහැකි තත්කාර්ය (de facto) අගමැති ගන්දබ්බයෙක් ඔක්තෝබර් 26 වන දින සිට අද දක්වා ඇත්තේ ය. ඒ ගන්ධබ්බයා සත්‍ය අගමැතියෙකැයි කියවන්නට ජනපති කැස කවා ගෙන දඟලයි. ඔළු ගෙඩි මාරු සෙල්ලමට දක්ෂ මහින්ද ගේ අත් සවී කිරීමට මන්ත්‍රීවරුන් ඩැහැ ගන්නට බැරිනම් ඔහුට ද සිදුවන්නේ වරක් ඔහු පත් කළ මොහන් පිරීස්ට වූ හදිය යි. එහෙත් ඉදිරි දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඇමති  ධූර ලාභෙට ඇතයි බොඩ් ලැල්ලක් නෙළුම් මාවතේ පාර දිගේ ගසනු ඇත. 

6.       මෛත්‍රී ජනපති තුමා ගේ අපරිණත දේශපාලන දැක්මට මෙම පත් කිරීම හොඳම නිදර්ශනයකි. වාසුදේව කී පරිදි "මෙය පොලිටිකල් ගේමකි." හදිස්සියේ ඇති වූ කලබලයත්, මොහන් පිරීස් වැනි නීති උපදේශකයන් විසින් දුන් ව්‍යවස්ථා දිරච්ච ලණුවක අනුභව කිරීමකි. ජනාධිපති තුමාට අගමැති තුමා ඉවත් කරන්නට අවශ්‍ය නම්, පාර්ලිමෙන්තුවේ විශ්වාසභංගයක් ගෙනෙමින් පරදන්නට තිබිණි. ඒ කරන්නට හැකියාවන් නැති බව විශ්වාසභංගය දිනීමෙන් පසු නැවත ගෙන ඒමේ හැකියාවක් නැතය යන අදහසක් මට මතක ය. විශ්වාසභංගයක් ඉදිරිපත් කළ නොහැකි නම්, පසුගිය මහින්ද පාලන සම‍ය මෙන් ඔළුගෙඩි හුවමාරුක් කර පාර්ලිමේන්තුවේ විශ්වාසය මහින්ද වෙත ඇති බව සනාථ කොට 42(4) ක්‍රියාවට නැංවීම ය. තෙවැනි කරුණ වන්නේ මුළු අමාත්‍ය මණ්ඩලයට විසුරුවා දැමීමට පියවර ගැනීම ය. තෙවනුව 48(1) පරිදි අගමැති ධූරයෙන් ඉවත් කරනු ලැබීම ය; මා සිතන පරිදි මෙහිදී 46(3) අමාත්‍යවරයකු ඉවත් කරන්නාක් මෙන් ලිපියක් යැවීමෙන් එය කළ හැකි වි ය. මේ කිසිවක් නොකර, දැන් කර ඇත්තේ හත්පොලේ ගාගන්නා දෙයකි. ඉතිහාසයේ පළමුවරට ඇත්තට ම තත්කාර්ය හා නිත්‍යානුකූල අගමැති වරුන් දෙදෙනෙකු පැවතීමටත්, අමාත්‍ය මණ්ඩල දෙකක් පැවතීමට ජනපති මගින් අත්තනොමතික ලෙස විධිවිධාන සැලැස්වීම ය. පාර්ලිමෙන්තුවේ උපරිම විශ්වාසය ඇත්තේ කාටදැයි ඉක්මනින් දැනගන්නා තුරු පැහැලි ලෙස මෙම ව්‍යවස්ථා අර්බුදයෙන් පිළියමක් නැත; ඒ සඳහා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කර විශ්වාස උරගා බලන්නේ නම් සියල්ලන්ට ම හොඳ ය. එසේ නොමැතිව කෙස් පැලෙන තර්කවලින් තමුන්ට කැමති පාර්ෂව ඔසවා තැබිමට වැර වීර්යය කිරීම නොවේ. කලින් තිබුනටත් වඩා අ‍ාණ්ඩුවක් ඇති නැති ගාණනට වැටි ඇති සේ ය. රාජ්‍ය යන්ත්‍රනය මගින් ගන්නා පියවර සඳහා වග වීමක් හා වග කීමක් නැත. රාජ්‍ය නිළධාරින් වැරදුන තැන ඔවුන් දඩුවම් විඳ හිරේ යා යුතු ය. වැඩක් කිරීම, අණක් පිළි පැදීම අවධානම් සහිත ය. රනිල් පැරදුනහොත් (බොහෝවිට විය හැකි දේ ලෙස එසේ නම්) 42 (4) යටතේ නව අගමැතිවරයකු දිවුරුම් දිය හැකි ය. හදිසියේ හෝ මහින්ද වෙත පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නොමැති වූවහොත් ඇතිවන තත්ත්වය අතිශයින් ම බරපතල තත්ත්වයකි. අවසානයේ පෙනෙන දෙයක් ඇත; එනම් විධායකය දත් ගැළවූ නයෙකු නොව, තව ම විස වැහැරෙන රැහිරු රුපුවෙකි. අත්‍තනොමතික ලෙස හා කිසිදු වග කීමක් වග වීමක් නැති සේ ස්වකීය මුක්තිය රස විඳින එකාධිකාරයෙකි.
Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...