Wednesday, December 8, 2010

ලාංකේය ජාතිහිතවාදීත්වය හෙවත් දේශපාලන අවස්ථාවාදී දීනත්වය


දිවයින පුවත් පතට “එදා මොකද වුනේ! මැයින් විශේෂාංගයක් ලියමින් සමන් ගමගේ එංගලන්ත වැසියවන් පිළිබඳ මෙසේ පවසයි: “වැසිකිළි කැසිකිළි ගොස්‌ කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා ගැනීමට පුරුදුව සිටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ නොහඳුනන ජාතියක්‌ බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරටදී සිදු වූ කෙනහිලකම් මගින් බ්‍රිතාන්‍යයන් මුළු ලෝකයටම යළි පසක්‌ කර තිබේ.” සමන් ගමගේ අමතක කරන අතීතය නම් වැසිකිලි කැසිකිලි යාමට “අහල පහලට” හෝ “කැළැවැද” හෝ “ගං ඉවුරක” ශරීර කෘත්‍යය කරගත් සිංහලයන්ට ඉගැන් වූයේ සුද්දන් බව ය.

ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ වරින් වර කතා මවා ජනතා අවධානය සුක්ෂම ලෙස තත්‍ය ජීවන අර්බුදයෙන් ඉවත් කරන්නට මාන බලති. මෙම ව්‍යාපෘතියේ පෙර ගමන්කරුවන් සේ ක්‍රියා කරන්නේ විමල් වීරවංශ ය. හෙතෙම කිහිපවිටක් සිරස්තල නිර්මාණයේ ලා ක්‍රියා කළේ, ව්‍යාජ මාරාංතික උපවාසයක් රඟ දක්වා සහ විවිධ වූ තානාපති කාර්යාලයන් ආක්‍රමණය කරන්නා සේ චණ්ඩි පාට් දැමීමෙන් ය. දැන් ඒ අමන මඩ ව්‍යාපාරයට බො‍රළුගොඩ සිහ පරම්පරාවද එක් වී ඇත්තේ, සිය පන පවා දී ජනපති රකිත’යි පුරම්බාමින් ය. එයට හොරණෑ හඬ සපයන අනතවාදී ජඩ මාධ්‍යයන්ට ආණ්ඩුවේ මාධ්‍යජාලයට අමතර ව, පෞද්ගලික පක්ෂග්‍රාහීන් ද එක් වී ඇත. වතමන් ආණ්ඩුවේ තේමා පාඨය හා ක්‍රියාකාරී ක්‍රමවේදය ධාමරික පාට් දැමීම ය. ඒ සඳහා ආරම්භය ලබා දුන්නේ අපගේ ම ජනපතිවරයා යි. ඔහුගේ චණ්ඩි කතාවන් සේ ම, අන් අයගේ අවවාද නොතකා කරන අපරිස්සම් සහගත දුර්වල තීරණ නිසා සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකික ජන ප්‍රජාව ම අපකීර්තියට පත් වේ. අපගේ ජනපති හට කරණු ලබන කවර තරාතිරමක වූව ද, කෙනෙහිලිකම් ඍජුව ම අපට බලපාන හෙයිනි. අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා තමාට එරෙහි ඇති විරෝධතාවය සහ උත්‍ඝෝෂණ පෙළපාලි සඳහා මුහුණ දීමට සූදානමෙන් එංගලන්තය බලා යන්නට ඇත. එයදු එක්තරාකාර අතකට දෙමළ ඩයස්පොරාවට චණ්ඩි පාට් දැමීමකි. එහෙත් ඒ චණ්ඩි පාට් නිම වූයේ දෙමළ ඩයස්පොරාවේ චණ්ඩි පාට්වලට බිය වූ ඔක්සවර්ඩ් යුනියන් හි පසුබැසීම සමඟ ය.

තමුන් කරනා යුද්ධය මනා සේ තෝරා බේරා කළ යුතුය’යි ආප්තෝප‍දේශයක් ඇත. එසේ නොකරන්නෝ අවසානයේ ලැජ්ජාව කරපින්නා ආපසු එති. ඒ ලැජ්ජාව වසා ගැනීමටත්, ආණ්ඩුව අයවැය අර්බුදයෙන් ගළවා ගැනීමටත්, වීරවංශ ඇතුලු අවස්ථාවාදී කාඩ්බෝ වීර චණ්ඩින් අවැසි ය. එහෙව් දුබුළු චණ්ඩි ඇති තැතතත්, නැති තැනත්, එහේ මෙහේ අතගා ගෙන අවසානයේ සුද්දන් කොළ කැබැල්ලෙන් පිදසා ගත් දෑ, ඇඟ පුරාත්, අවට සිටින ජාතීහිත්‍යශින් මතත් ගාගනිති. එවැනි දීන ගැලරියට විසිල් තබන්නට කරන වීර ජවනිකා ඔවුගේ පසුපස ලෙව කකා යන, ගැත්තන්ට නම් අගනේ ය. අපට නම් පුහු හාස්‍ය ජනක මූඨ ප්‍රලාපයන් ය.

එකී පුවත්පතේ ම, කතුවැකිය නම්කොට තිබුණේ “පස්වන ඊළාම් යුද්ධය (පණ්‌ඩක හටන)” යනු වෙනි. එයින් ද බැට දීමට අපේෂිත ඉලක්කය සිංහල ජනසමාජයේ විකල්ප මතදාරී කොටස් කිහිපයකි. සමහරු දක්ෂිනාංශක ‍විදේශ ගැති ය; තවකෙක් වාමංශික සමසමාජ කොටස ය; මේ අතරට එක් කළ අනෙක් කොටස නම් “විපක්ෂය” ය. එහෙත් ගල්ගැසීමට ගල් අතට දෙන්නේ මේ සියල්ලට ම වඩා නාමමාත්‍ර දේශහිත්‍යශින් ය. ඔව්හූ දස දෙස අන්ධයන් සේ පහර දෙති. ඔවුන් ගේ පහර දීමට ඉලක්ක ගත දෙමළ ඩයස්පොරාව හසු නොවේ. එහෙත් ස්වකීය ජනප්‍රසාධය වඩවා ගැනීම පිණිස, ඝෝෂා පවත්වමින්, නොසන්ඩාල රැලක් සේ කටයුතු කරති. අවසානයේ කළ දෙයක් නැත. තමුන් බො‍රැවට කෑ ගසා මහජන අවධානය ලබා ගත්තේ’යයි දිවාසිහින දකිමින් සතුටු වෙති. දෙමළ ඩයස්පොරාවට අභියෝග කිරීමට ඇවසි නම්, ජනපති සමඟ එංගලන්තයට පියඹන්නට විරවංශට තිබිණි. ජනපති සමඟ සකළ සබ්බමනාවට ම යන හේ එංගලන්තයට ගොස්, තවත් දේශහිත්‍යශින් ගොන්නක් එකතු කොට දෙමළ ඩයස්පොරාවට අභියෝග කරන්නට ඉඩ තිබිණි. එහෙත් බොරුවට ලංකාවේ සිට තානාපති කාර්යාලයට ආක්‍රමණය කරන්නට යන ලෙස මවා පාන්නට අවැසි නැති. රණ්ඩුවකට යන්නන් කවුරු හෝ තමුන් අල්ලා ගත්විට දෙගුණ තෙගුණ ලෙසින් චණ්ඩිකම් පාති. මේ ව්‍යජ ජාතිහිත්‍යශින් ද එලෙස ය. ඔවුන් මෙතුවක් කළ උත්ඝොෂණවලින් ලබා ගත්තේ කුමක් ද? කවුරුන් මට්ටු කළො ද? ඔවුන් මට්ටු කළේ සාමාන්‍ය ජනතාව ය. මහා පුරාජෙරු කම් පා අද එංගලන්තයට විසා ගැනීම සඳහා විදේශ ගමන් බලපත ඉන්දියාවට යැවිය යුතු ය. දින තුනෙන් ලබා ගත හැකි විසාව සඳහා අද, සති තුනක් පමණ බලා හිඳිය යුතු ය. දිවයින කතුවරයා කියන පරිදි, දේශද්‍රොහින් දැන්, “ශ්‍රී ලංකාවට එරෙහි සකල දේශෙද්‍රහීන් දැන් ලන්ඩනයේ කුණුකාණු දිගේද, යුරෝපයේ වෙනත් රටවල තැන්තැන්වලද "ලිප්ටන් වටරවුම්" තනමින් සිටින්නෝය.” ම‍ගේ ආරාධනය ව්‍යාජ ජාතිහිත්‍යශින්ට ලන්ඩනයට ගොස් උත්ඝෝෂණය කරන ලෙස ය. වළං බිඳින්නේ පාළු ගෙදර ය; බිඳිනවා නම් වළං බිඳිය යුත්තේ අයිතිකරුවන් සිටින තැනක ය. එහෙත් කිවයුතු සත්‍ය නම් මෙකී උත්ඝෝෂණ සඳහා සපයා ගන්නවුන්ගෙන් එකෙක් දෙන්නෙකුට හැරුණු කොට, උත්ඝෝෂණ තබා එංගලන්තය කරා යාමටවත් හැකියාවක් නැත. ඒ හෙයින් ඔවුන් ගේ පරම අභිලාශය එලෙස යාමට හැකි, විදේශගත ලාංකිකයන්‍ හට එවන් රටවල දොර කවුළු වසා දැමීම ය. “උඹළාත් මේ නරා වලේ ම ලැගපල්ලා!” යන්න ඔවුන් ගේ දර්ශනය ය. අනෙක් අතට මඩ ගසන්නේ, කලක් ජපතිගේ දෑත් සවිකිරීමට එක් වූ කරු ජයසූරීය වැන්නවුන්ට ය.

ජාතීහිතවාදීන්ගේ මතකය කෙටි ය; ඔව්හු සාතිශය අවස්ථාවාදී යෝ ය.

කරු ජයසූරියගේ මේ වචනවලින් මා මෙ ලිපිය අවසාන කරමි:

“දේශප්‍රේමියෙක්‌ කියලා බෝඩ් එකක්‌ එල්ල නොගත්තාට මමත් රටට ආදරය කරනවා. අවුරුදු හතක්‌ මම හමුදා සේවයේ හිටියා. එල්.ටී.ටී.ඊ.ය මාවත් ඝාතනය කරන්න උත්සාහ කළා. මේ විදිහට බොරුවට මෙය දේශපාලනීකරණය කරන්න එපා. මේක මුව හමට තඩි බානවා වගේ වැඩක්‌. මම කිව්වේ මේ ගැන ලෝකයට කරුණු පැහැදිලි කරන්න කියලායි. සරත් ෆොන්සේකාව ද්‍රොහියෙක්‌ කරලා හිරේ දැම්මා නම් මාව ද්‍රොහියෙක්‌ කරන එක එතරම් දෙයක්‌ නොවේ. තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරලා බලි ඇරලා හූ කියලා මේවා කරන්න බැහැ. මමත් තානාපතිවරයෙක්‌ව ඉඳලා තියෙනවා. මම මේ රටට ආදරෙයි. මගේ ඇටකටු මිහිදන් කරන්නෙත් මේ රටේ.”

සැබෑ දේශප්‍රෙමියෝ සැබෑ ලෙසට ම මේ මාතෘ භූමිය ආදරේ ය; සත්‍යවාදී ය.

2 comments:

  1. අපේ නාම මාත්‍රික දේශප්‍රේමීන් විසින් කියවිය යුතු හොඳ ලිපියකි.

    ReplyDelete
  2. ජාතිවාදය කියන්නෙ මේකට නෙමෙයිද?
    "පර සුද්දෝ" කිය කියා බැනගන්න එකෙන් වෙන්නෙ අපිට ලෝකේ කොන් වෙන්ඩ වෙන එක විතරයි. එන්ගලංතෙ වැරැද්දට ලෝකේ ඉන්න සුදු හම තියන හැමොටම බනින එක හරිද?

    ReplyDelete

Related Posts with Thumbnails