Friday, November 27, 2009

මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් ද?

පසුගිය දිනක ඡන්ද උණුසුම ක්‍රමයෙන් වැඩිවේද්දී, සමහර ප්‍රවෘති පත්‍රවල ඡන්දයට පක්ෂ සහ විපක්ෂ ලෙස ඍජු ව හෝ අනියම් ලෙස ස්වකීය අපේක්ෂකයාට සහය පළ කිරීමේ ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ආරම්භ විය. එක් එක් අපේක්ෂකයාට සහය දැක්විය යුත්තේ මන්දැයි සාධාරණියකරණය සඳහා විවිධ වූ නිදහසට කරුණු රාශියක් පෙළ ගස්වන ලදී. අනවශ්‍ය ලෙස ජාතිත ධනය මිලියන ගණනින් නාස්තිකර අකාලයේ අවුරුදු දෙකකට කලින් ඡන්දක් පැවැත්වීමට හේතුව ලෙස දැක්වූයේ, නැතිවන ජනප්‍රියතාවය හා සහයෝගය හමුවේ ඊළඟ මැතිවරණය පරජය වී ගෙදර යාමට වඩා කලින් යන්තම් ජනප්‍රියතාවය ඇති මොහොතේ ඡන්ද පවත්වා තව අවුරුදු හයක් දතා කා හෝ බලයේ රැදීම වෙනුවට, අලුත් ජනවරමක් දෙමළ ජනතාවගෙන් ලබා ගත යුතු යන්න ය. නිදහස් මධ්‍යයට අවුරුද්දකට ආසන්න කාලයක් නිකරුණේ දෙමළ ජනයා ගාල් කොට ඇති සරණාගත කඳවුරු වලට යාමට හෝ නැවත පදිංචි කළ ජනතාව හමුවීමට යාමට වරම් නැති අවස්ථාවක, නිදහස් ස්වාධින ඡන්ද ප්‍රකාශයක් දෙමළ ජනතාවගෙන් ලබා ගත නොහැක. ප්‍රභාකරන් හමුවේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය පසුගිය ජනපතිවරණයේ දී අහිමි වුණාක් මෙන් මෙවර ජනපති වරණයේ දී, හමුදාව හා සිවිල් බලපෑම් මත ප්‍රභාකරයන් යටතේ සිඳු වූ දෙයම ප්‍රති නිර්මාණය වනු ඇත. අවසානයේ ජරාජයට පත්වන්නේ මුදවාගැනීමට දේශපාලන තන්ත්‍රය ඝෝෂා කළ අහිංසක නිරායුද සිවිල් දෙමළ ජනතාව ම ය. ඔවුන් එක් එකාධිපති පැසිට් වාදයක ‍සිට අනෙක් ප්‍රජාතන්ත්‍රවාදීයයි කියා ගන්නා එහෙත් මිලිටරි තුවක්කු අමොරාගත් ආණ්ඩුවේ හමුදාවක් යටතේ අසරණ වීමට දැන් කටයුතු යෙදී ඇත. එහෙයින් මේ අනවශ්‍ය ඡන්දයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්නට යන්නේ ප්‍රභාකරන්නේ මිලිටරි පාලනය ම වෙනස් වූ දැන් සිංහල බහුතර හමුදාවක් යටතේ ය.


එසේ ම, සමහරුන් ගෙනෙන තර්කය වන්නේ යුද්ධය නිමා කිරීමේ "කෘතවේදීත්වයෙන්" දැනට ජනාධිපති ධූරය හෙබවන මහින්ද බලයට පත් කළ යුතු බව ය (සමහර ජනමාධ්‍යවෙදීන් ලිපි ලියන්නේ කාගේ පොකට්ටුවේ සිට දැයි කියවන්නෝ අවබෝධ කර ගත යුතු ය). යුද්ධය දිනා ගැනීම සඳහා මහින්ද ඇතුළු දේශපාලන නායකත්වය කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ හ. රනිල් කිසිවිටකත්, යුධමය ක්‍රියා මාර්ගයෙන් මෙකී ප්‍රශ්නය විසඳන බවට, ප්‍රතිඥාවක් දුන්නේ නැත. ඔහු බලයට පැමිණියේ නම් මෙලහකට, ප්‍රභාකරන් ඇතුලු පිරිස තවමත් ජීවතුන් අතර, සිටින්නට තිබුණු අතර, සටන් විරාමයෙන් ඔබ්බට බලය බෙදා වෙන් කිරීමක් කරන්නට ඉඩ තිබිණ. සමහර විට එය එයින් ඔබ්බට ගිය දීන තත්ත්වයකට පත්වන්නට ද ඉඩ තිබිණි. එහෙත් මෙකී ප්‍රකාශ අපගේ හුදු උපකල්පනයන් මත පිහිටා කරන්නන් මිස තත්‍ය මට්ටමේලා සිඳු වූ ඒවා නොවේ. කෙසේ වෙතත්, ජනතාව පසුගිය ජනාධිපති වරණයේ දී රනිල් පරාජය කොට රට යුධ මාවතකට යොමු කළේ, යුද්ධයෙන් මේ ප්‍රශ්නය නිමවා, සාමය උදාකොට, දේශපාලන විසඳුමක් ඉටු කොට, මහින්ද චින්තනය නම් වූ මහා ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රට සුඛිතමුදිත ‍කිරීමට ය. එහෙත් ජනාධිපති වරණය දිනා ගන්නා මහින්දයන් ස්වකීය අභිමතාර්ථ ඉශ්ට කිරීමට යන්නේ, පාර්ලිමෙන්තු මැතිවරණයක් පිහිටුවා පාර්ලිමෙන්තු වේ බහුතය ලබා ගැනීමෙන් නොව, පාර්ලිමෙන්තුවේ මහජන මතය, ඇමතිකම් සහ වෙනත් වරප්‍රසාද දිගු කොට, කෘතිම ලෙස වෙනස් කිරීමෙන් ය. මේනිසා මහින්ද එක් අතකින් මිලියන දස දහස් ගණනක් ජාතික ධනය ඔහුගේ බලය පවත්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා මැති ඇමැතිවරුන්ට පගා වශයෙන් ‍ප්‍රසිද්ධියේ දෙති. මෙය සැබෑ ජනමතය විකෘති කිරීමකි; ලාංකික ඡන්ද දායකයන්ට කළ නිගාවකි; ඇස්බැන්දුම් වංචාවකි.


මහින්ද යුද්ධය ජයගත් බව සැබවි. රනිල් මෙවන් අමාරු ස්ථානයක සිටියේ නම්, අන්තර්ජාතික අභියෝග සහ බලපෑම් හමුවේ නැමෙනු ඇත; දණ ගසා අත් ඔසවා යටත් වනු ඇත. එහෙත් මහින්ද ස්වකීය ජනපතිවරමට ගරු කරමින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුද්ධය අවසාන වන තුරු සටන මෙහෙය වී ය. යුද්ධය නිමා කිරීමට දරුණු මිනිස් ජීවිත ප්‍රමාණයක් ඝාතනය කරන්නට සිඳු වි ය. එහෙත් එහි වරද හෝ යුධ අපරාධ ආශ්‍රිත චෝදනාව මහින්ද හෝ ගෝඨාභය වෙත නොව, මුළු මහජනතාව වෙත ම පැට විය යුතු ය; වගකීම භාර ගත යුතු ය. මන්ද මහජනතාවක් ලෙස මහන්ද ජනාධිපති කිරීමෙන් ඔහුගේ අත් සවිකොට, එසේ ක්‍රියාකිරීමට පෙළඹ වූයේ ලාංකික ඡන්ද දායක අප ම බැවිණි.


එහෙත් මෙහිදී, වැදගත් කරුණක් අමතක කළ යුතු නැත. මහින්ද යුද්ධය ජය ගත්තේ ස්වකීය ජනපතිවරම සඳහා ජනතාව දුන් අභිමතය මගින් ය. එය කිරීම සඳහා මහින්ද ජනපති ලෙස ඡන්දයෙන් පත් කළ විට බැදී සිටි. ඔහු දැනට කර ඇත්තේ ස්වකීය වගකීම ඉටු කිරීම පමණි. ඒ සඳහා ජනතාව ඔහුට අමුතුවෙන් කෘතඥ වීමට හෝ දණගසා යටත් වීමට අවශ්‍ය නැත. මන්ද ඔහුට ලැබී ඇති බලය, වරප්‍රසාද, වැටුප් ඇති නානා මාදිලියේ දිමනාවන් හා නෛතික වශයෙන් ඇති මුක්තිය ලැබී ඇත්තේ එකී ජනාධිපති ලෙස පත් කිරීම නිසාවෙනි. එසේ තම යුතු කම ඉටු නොකළේ නම් ලබන ජනාධිපති වරණයට ලැජ්ජාවක් නොමැතිව ඉදිරිපත් වීමටවත් මහින්දට නොහැකි වනු ඇත.


අපට අමතක නොකළ යුතු කරුණක් සිහි කටයුතු ය. එනම්, ජනවරමින් මහින්ද පත් කළේ, අවුරුදු හයක කාලයක් තුළ, යුද්ධය හමාර කොට, මහින්ද චින්තනයේ දැක් වූ සංවර්ධනය ඉටු කිරීමට ය. යුද්ධය අවසානය එහෙත් තවම ඔහු පොරොන්දු වූ දේශපාලන විසඳුම ගෙන ඒම හෝ රට සංවර්ධනය කර නැත. මේ ජනපති වරම සඳහා ඔහු ඉදිරිපත් වන්නේ, රාජ්‍ය ආයතනයන්ගේ බහුතරයක්ගේ වර්ජන රැල්ලක් සමඟ ය. අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සහ ‍සෞඛ්‍ය සේවයේ කඩාවැටීම් හා දූෂිත තත්ත්වයේ හමුවේ ය. සෞඛ්‍ය ඇමති නිළධාරින්ගෙන් මුදල් අය කරන බවට හැමදාම කරන පුරම්බෑම කර, ජනතාව ගැලරියට අන්දවා විසිල් හා අත්පොලසන් ගස්වා තප්පු මුක්කු කිරීම තරම් අවර ගණයට වැටී ඇත්තේ ය. කිය කිය ඉන්නේ නැතිව පුළුවන් නම්, ඒ සෞඛ්‍ය නිළධාරින් නම් කොට, උසාවියට ගෙනවිත් දඬුවම් කරන්න; තවත් බොරුවට ජනතාව මුළා නොකරන්න.


ජනපති පාශ්චාත් යුධ වතාවර්ණයක තමුන්ට රට සංවර්ධනය කළ හැකි බව, ක්‍රියාවෙන් පෙන්වා දී නැත. දෙවනු ව ජනාධිපති ධූරය අහොසිකරන්න ජෙ.වි.පෙ හි එකඟ වූ සහ ජනතාව ඉදිරියේ ස්වකීය පොරොන්දු අතරට එක් කළ, ඔහු ලැජ්ජා නැතිව දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉල්ල යි. එසේ කිරීමට කිසිඳු නෛතික පනතක් හෝ එවැන්නක් පසුගිය වසර කිහිපයේ නොගෙනා ඔහු දැනි ස්වකීය ජනවරම තුළ වූ, වගකීමක් බිඳ හෙළා, එකී අහොසි කරනවායි කී ධූරයට ම ඡන්ද කිරීමට ස්වකීය දේශපාලන ව්‍යාපරය මෙහෙවයි. මා පෞද්ගලික ලෙස හීලෑ කළ ජනාධිපති ධූරයක් ප්‍රිය කරන නමුදු, මහින්ද ජනතාව ඉදිරියේ ‍පොරොන්දුව ස්වකීය වගකීම මෙයින් ඉටු කර නැති බව පෙනේ.


මුල් ජනවරමේ පොරොන්දු වූ වැඩපිළිවෙළ අඩක් පමණක් නිම කොට, නැවතත් තමන් නොකළ කරුණ ම ඉදිරිපත් කොට, තමුන් අහොසි කරන්නට නියම කළ ජනපති ධූරයට අකාලයේ ඉල්ලීම කවුරුන් වෙනුවෙන් කරන්නක් ද? ජනාධිපතිවරයා කර ඇත්තේ ඔහුගේ රැකියාවේ ජනතාව විසින් නියම කළ රජකාරීයෙන් කොටසක් ඉටු කිරීම පමණ. ඔහු හමුදා නිළධරයකුට වඩා වැඩි යමකට ජනතාව පත් කොට නැත. ඒනිසා ජනතාව ඔහුට ණය නැති; මහා අබිමන් ලෙස කෘතඥ වී, නැවත පත් කිරීමට ද කිසිඳූ සාධාරණ සදාචාරමය වගකීමක් ජනතාවට නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක රජ්ජූරුවන් දේශපාලකයන් නොව, ඔවුන් පත් කොට ඔවුන්ගේ අත් බල ගන්වන මහජනතාව ම ය. අප රජුන් මිස, යටත් අසරණ පිළිසරණක් ලැබියුතු වහල් යට වැසියන් සේ පරාජීත දීන මානසිකත්වයකින් කටයුතු නොකළ යුතු ය. පක්ෂනාකයන් හෝ තමුන් පත්කරන දේශපාලකයන්ට "සර්" හෝ "මැඩම්" කිය කියා දෙකට තුනට නැමෙන්නට කොන්ද කෙළින් ඇති මහජනතාවට අවශ්‍ය නැති වග මතක තබා ගත යුතු ය. මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් නොවන බව දේශපාලකයන් මනා සේ තේරුම් ගත යුතු කාලය එළෙඹ ඇත. එසේ ම, මහජනතාව ද තමුන් දේශපාලන පක්ෂාක්ෂිකත්වය හා ගැලරි කියන සුරංගනා කතා නැමැති කෙවිටෙන් දක්කන, මී ගොන් රැලක් නොවන බව ද එත්තු ගත යුතු ය.


Saturday, November 21, 2009

අහෝ... කළගුණ නොදත් මෙවන් අමනයෝ


වරක් මා රැකියාව කළ පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂක වරයා තමුන් අකමැති පුද්ගයන් ඉවත් කිරීම සඳහා අපූරු ක්‍රමයක් භාවිත කළේ ය. ඔහු අසකරන්නට අවශ්‍ය පුද්ගලයා හට විවිධ සුළු සේවකයන් කරන වැඩ පැවරීමත්, විවිධ ආකාර නොහොබිනා කම් කිරීමත් කරනු ලබ යි. කිසි අභිමානයක් නැති හෝ යමක් කරකියා ගත නොහැකි පුද්ගලයකු කරබාගෙන ස්වකීය වැඩ කටයුතු කළ ද, ආත්මගෞරවයක් ඇත්තේකුට ඉහත ක්‍රියා රුස්සන්නේ නැත. බොහෝ විට එවැන්නේ ඉල්ලා අස්වෙති. නැතහෝත් විධායක අධ්‍යයක්ෂක වෙත ගොස් පැමිණිලි කරන අතර, ඔහු විසින් කෙසේ හෝ පුද්ගලයාගේ ඉවසීමේ සීමාව නික්ම යන තුරු කවර හෝ කරුණක් අළලා අපවාද කරනු ලැබේ. අවසානයේ දී, ඉවසීමේ සීමාව පසු කල පුද්ගලයා අතින් වැරදි යමක් කියවුණු විට, එය ඇසුරින් ලිපියක් සකසා සේවයෙන් පහ කරයි. වරක් රියදුරෙකු හට මෙවැනි ආකාරයේ කුඩම්මාගේ සැලකිල්ල දක්වමින් සේවයෙන් ඉවත් කිරීමට උත්සහ දැරී ය. එහෙත් ඔහු අධ්‍යක්ෂක වරයාට වඩා කපටි වූ අතර, ඒ නිසා, අධ්‍යෂක තුමාගේ සෙල්ලමේ හොඳින් සෙල්ලම් කරන ලදි. සමහර දිනවලට ඔහු පැමිණ මුළු දවසට කිසිවක් නොකර, ඔහේ සිටීම සිඳු වේ. ඔහු මෙසේ කාලයක් මෙසේ කිසිදු වැඩක් නොකර මාසේ පඩි ගන්නා ලදී. එහෙත් වරක් ඔහු ප්‍රමාණය ඉක්මවා නිවාඩු ගැනීමක් නිසා, නැවති පැමිණිමේ ලේඛනය සකසා, එය ඇසුරු කොට සේවයෙන් පහ කරන ලදී. අවුරුදු ගණනාවක් ඔහු කම්කරු උසාවියේ ආයතනයට විරුද්ධ ව නඩුවක් ගෙන ගියේ ය.

මට මේ සිඳුවීම සිහි වූයේ, ලාංකා ආණ්ඩුව, විශේෂයෙන් ම, ජනපති මහින්දත්, ආරක්ෂක ලේකම් ගෝඨාභයත්, දැන් තමුන්ට අවශ්‍ය නොවන හා සමහර විට අනාගත තර්ජනයක් යයි සිතූ, ජෙනරාල් ෆොන්සේකා හට, සේවය හැර යාමට අවස්ථාවක් ඇති කිරීම යි. පළමු ව ඔහු යමක් කළ නොහැකි තනතුරකට පත් කොට, අත්බැඳ ඔහුගේ හිඩැස පිරවීමට ඔවුන් හිතවත් එහෙත්, ‍ජෙනරාල් විසින් නිර්දේශ නොසලකමින් ඔහුගේ මතයට අනුව නුසුදුස්සෙකු පත් කරයි; ඔහුගේ පහළ නිළයන් හමුවේ විහිලුවක් ද, අසරණ කමට ද, විකටයකු බවට මේ අදුර දර්ශි දේශපාලක සංධානය පත් කරති.

ඒ නුසුදුස්සා තමුන්ට හා තමුන් පත්කළ දේශපාලන සන්ධානයට අභියෝගයක් විය හැකි , ජෙනරාල් ක්‍රමයෙන් හමුදාවෙන් කොන් කරන තත්ත්වයක් ඇති කර යි; ලැජ්ජා ඇතිවන සේ කටයුතු කර යි. ජෙනරාල්ගේ අභිමානය සුළු වන පරිද්දෙන් ඔහුගේ ආරක්ෂාවට, හිතුමතේ වෙනස් කොට ජෙනරාල්තුමා තමුන් නායකත්වය දුන් හමුදාවේ නායකත්වය හමුවේ ලැජ්ජාවට පත් කරයි. අවසානයේ ඉවසීමේ සීමාව නික්ම යන ජෙනරාල් තැන හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරති. මේ අතර, ආණ්ඩුවය පක්ෂපාති කාලකණ්නි දේශපාලකයෝ සහ ඔවුන්ට උඩගෙඩි දෙන චිවරධාරින් ජෙනරාල්ට තර්ජනය කරමින් සහ දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසති; සංඝ ආඥා (පත්තනික්කුජ්ජණ දණ්ඩන) ගෙනෙන බවට ගොරනාඩු කරති. විවිධ පුවත්පත් ද ජනපති මහින්දගේ හෙංචයියලා මෙන් කටයුතු කරමින් ජෙනරාල් ‍ගේ චරිතය, විශ්වාස බව ප්‍රශ්න කරමින්, කොටින්ගේ හෝ විදේශක බලවේග ආදී පටලවමින් ඇවිලෙන ගින්නට පිදුරු දාති.

අභිමානය ඇති අයෙක්, දිගින් දිගට ම මෙලෙස, කෙනෙහෙලිකම් ලක් වෙමින් සිටින්නේ නැත. විශේෂයෙන් ම හමුදාවේ නිළධාරියකුට අභිමානය ඉතා ඉහළ වටිනා කමකි. එවැන්නෝ මෙවැනි සංවිධාත්මක පහරදීම් වලදී නොසැලී, ‍ඍජු ව ස්වකීය ආත්ම ගෞරවය සලකා ඉල්ලා අස්වෙති. පිටකොණ්දක් නොමැති අභිමානයක් නැති, පුද්ගලයෝ තමුන්ගේ තානාන්තරය අල්ලාගෙන ඒ මත්තේ මැරෙන්නට උත්සහ කරති.

ජෙනරාල් ස්වකීය අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ වහාම, රටේ ජනපති කරන්නේ ඊළග වැඩ කරන දවසේ ඔහුට සේවයෙන් ඉවත්වන ලෙස නියෝග කිරීම යි. ජනපතිට ජෙනරාල් ‍ෆොන්සේකා වටිනා වස්තුවක් වූවා නම්, ඔහුව පෞද්ගලිකව කැඳවා සුහඳ ලෙස සාකච්ඡා කළ හැකි ව තිබිණි (සාමාන්‍යයෙන් රැකියාවකින් අස්වන්නට යමෙක් ඉල්ලූ විට එකී පුද්ගලයා ආයතනට වටින්නේ නම්, විධායක අධ්‍යක්ෂ ඔහු හා කතා කොට පඩි වැඩිවීමක් හෝ එවැනි විශේෂ වරප්‍රසාදයක් දී, පුද්ගලයා රදවා ගැනීම උත්සහ කරයි; අඩතරමේ ඔවුන්ගේ දුක් ගැනවිලලටවත් ඇහුම් කම් දෙනු ඇත). එසේ ම, නොවැම්බර් මාසය ඉවර වන තුරු සේවයේ යෙදිමට ඉඩ හරින්නට තිබිණි. ඔහුට සපයා තිබුණු ‍ආරක්ෂා 25 දක්වා අඩුකර, ස්වකීය සගයන් හා ලැජ්ජාවට පත් වන ආකාරයෙන් කටයුතු නොකරන්නට තිබිණ. ඔහුගේ නිවස දින 14කින් ඉල්ලීම නොකර, සමහර මැති ඇමති වරුන් අවුරුදු ගණනාවක් නිල නිවෙස්වල සිටීමට දුන්නාක් මෙන් අවම වශයෙන් මාස කිහිපයක්, මනා ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්නා තුරු, එම නිල නිවස පරිහරණය කරන්නට ඉඩ තිබුණි.

පසුගිය දිනක ඔහු මෙසේ කියා තිබිණි:

"මාගේ ආරක්‍ෂාව 25කට අඩුකලේ ජීවිත තර්ජන පිළිබද ඇති තත්ත්වය සලකා 100ක භට පිරිසක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හරිමිනි. දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ 60ක භට පිරිසකුත්, වාහන3කුත් ලබාදෙන බව පවසා තිබේ. නිල වශයෙන් විශ‍්‍රාමගත් වහාම නිල නිවස ලබාදී ඉවත්වයන ලෙස මා හට ඉහළින් නියෝග ලැබී ඇත. සුදුසු කුළී නිවසක් සොයාගැනීමටද බාධා රැසක් මතුවී ඇතත්, මා මහමගට ඇද දැමීමට ඇතැමුන් වෙරදරති. ඔබ වෙනුවෙන්ද ආරක්‍ෂක ආමාත්‍යංශයේ නිවහන ඉදිකිරීමද කන්දක් විලිලා මී පැටවෙකු වැදුවාක් මෙන් කාරණයක් බව ඔබද මමද දනිමු. ඔබද හිසට සෙවනක් අහිමි වූවාක් මෙන් ලතවෙන බව දනිමි. මාතෘ භූමිය වෙනුවෙන් බොහෝ දේ කැපකල අපහට අවසානයේ උරුමවී ඇති තත්ත්වය මෙයයි."

(මූලාශ්‍රය W3)

මේ කිසිවක් නොකර, ස්වකීය සේනාධිනායකයකු පාරට ඇද දමන තත්ත්වයට පත් කරන ජනපති ස්වකීය නියම දේශපාලන දීනත්වය ප්‍රකාශ කර ඇත. ජෙනරාල් ඡන්දයට ඉල්ලනවා ද, නැද්ද යන්නත්, ඔහු මහින්දට අභියෝගයක් ද නැද්ද යන්න වෙනත් කරුණකි. එහෙත් රටදැය වෙනුවෙන් වැඩ කොට, ජීවිතය පරදුවට තබන ශ්‍රේෂ්ඨ අභිමානවත් සෙන්පතියකුට මෙසේ සැලකීම ලැජ්ජාවට කරුණකි; අතිශය කණගාටුවට කරුණකි. අනෙක් අතට මේ ලැජ්ජා කිරීම, අවමාන, අභියෝග ජෙනරාල් හට පමණක් නොව, ඔහු නියෝජනය කරන හමුදාවට පෘථුල ව ත්‍රිවිධ හමුදාවට කරන නිගාවකි. මෙසේ දේශපාලකටන් පසුපස යන දීනත්වයට පත් වීම අභිත හමුදාව බාල්දු කිරීමකි. ජෙනරාල් ෆෝනසේකාගේ විශ්‍රාම ගැනීමේ අවසාන සමුගැනීමේ හමුදා ආචාර ආරක්ෂක ලේකම්, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක, පොලිස්පති හෝ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් නොපැමිණෙන්නේ ඔවුගේ රැකියාවට හා නිලයට විය හැකි භිය තකා විය හැකි ය; අනාගත තානාන්තර ලැබීම පිළිබඳ අවිනිශ්චිතතාවන් නිසා විය හැකි ය. මොව්නු තේරුම් ගත යුතු කරුණක් ඇත. ජෙනරාල්ට බෙදූ හැන්දෙන් ම ඔවුන්ට ද යම් දවසක බෙදනු ඇත. ඔවුගේ වැඩය, වටිනා කම හමාර වූ විට හපයක් සේ ඉවතට විසිකරනු ඇත. යම් දිනක මොවුන් ද, අවලංගු කාසියක් මෙන් පාරට ඇද දමනු ඇත. මෙවන් විරුවන් ලංකාවේ නො ඉපිද බටහිර ර‍ටක උපන්නේ ඔවුන්ට හිමි නියම ගෞරවය නොපිරිහෙලා ලැබෙනු ඇත. අත්මාර්ථකාමී අධම දේශපාලනය නිසා ලංකාවේ ඇති බංකොලොත් බව, හා කෙලෙහිගුණ නොදන්නා කම අතිශයින් ම කේදජනක ආවර්ජනයකි.

මෙවැනි ජවනිකා දකින මට කිව හැක්කේ, "අහෝ සුනකයකු තරම් වත්, කෙළගුණ නොදත් මෙවන් අමනයෝ භංගිවේවා!; දූරින්භූත වේවා!" යන්න යි.

පසු වදන

දිගින් දිගට ම දිවයින පුවත් පත ද දේශපාලන නිය්‍යය පත්‍රයක් අනුව ජෙනරාල් ෆොන්සේකා හට නින්දා ඇති කරන ලිපි පළ කරන ලදි. අදදු දිවයින පුවත්පතේ මගේ අදහස් සාක්ශාත් කරමින් නැවත් අවමන් ඇති කරන ලිපියක් පළ විය:

ජනරාල්ගේ නික්‌මයැම සහ ගිනි අවුළුවන්නන්ගේ ක්‍රියාදාමය?


Thursday, November 19, 2009

ජනපතිගේ රාජාභිෂේකයට ඔටුන්නක් සහ මංගල අසිපතක්

දිවයින පුවත් පතේ පළ වූ ලිපියකින් දැක් වූයේ, අතිගරු ජානාධිපති මහින්ද රාජපක්ෂ වෙත දිගාමඩුල්ලෙන් ඔටුන්නක් ත්‍යාග කළ බව යි:


ශ්‍රී ලංකාවේ පවතින්නේ රාජාණ්ඩු පාලනයක් නොව, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකි. එවන් පාලන තන්ත්‍රයක් තුළ, එකාධිපති රජකම් කිරීමට කිසිත් අයෙකුට වරම් නැත. ජනාධිපති වේවා නැතහොත් වෙනත් මහජන නියෝජන ඍජු ව වගකියන්නේ ඔවුන් පත් කළ සහ නිල වශයෙන් ඒ ධූරයන් සඳහා අවසර දුන් මහජනතාවට ය. ඒ හෙයින් දීන ලෙස, මහ ජන නි‍යෝජිතයන් පාමුල දණින් වැටිය යුතු නැත. විවිධ ප්‍රශස්ති ගායනා කොට, ප්‍රසාද ත්‍යාග ප්‍රධාන කොට, ඔවුන්ගේ අහම, ආත්මාර්ථය කිතිකවා රාජ ප්‍රසාද ලැබීමට කැස පොට ගසා ගත යුතු නැත.


ළඟක සිට, කොඳු නාරටි නැති, සෙවෙල නුගත් දූර්වලයන්ගේ උත්සහය මහින්ද ජනජති රජකමට ඇන්දීම ට ය. අවුරුදු විසිපහකට රජ ව සිටින්නැයි, රෝහණ ජනරංජන සම්මාන මොහොතේ, සංඝ රුවණක් කී වග මට මතක ඇත. මේ ප්‍රකාශය පක්ෂ වාදී විනා, ප්‍රජාතන්ත්‍රවාදී නොවේ. මිනිසුන් මෙසේ පාදඩ තත්ත්වයට පත් වන්නේ මන්දැයි මට තේරුම් ගත නොහැක. මේ සා පහත් තත්ත්වයකට වැටී, දේශපාලකයන්ගේ පා ලෙව කන තත්ත්වයට පත් වීම අතිශය සංවේගාත්මක ය. රාජකීයක්වය පැමිණෙන්නේ ජම්මලාභයෙන් මිස, මහජන ඡන්දයෙන් නොවේ. ලොවේ පහළ වූ බහුතර රජවරු ලංකාව ඇතුලු ව රටේ සිටි ප්‍රධාන චණ්ඩින් සහ ධාමරිකයන් ය.


රාජතන්ත්‍රය තුළ මානව හිමිකම් නැත. ඉඩම් අයිතිය මෙන් ම, මිනිසුන්ගේ ජීවිත මෙන් ම, අඹුවන්ගේ අයිතිය ඇත්තේ රජ වෙත ය. රාජකාරීය තුළ මෙසේ අධ්‍යාපනය නිසා සමාජයේ පර තෙරට පැමිණි පහත් කුළ වල ජනයා, ලංකාවේ රාජාණ්ඩුවක් තිබුණේ නම් තව ම අමුඩ ගසා ගෙන රාජකාරී කරනු ඇත. රාජකියත්වට නෑකම් දක්වන උඩරැටියන් කිහිපදෙනා හැර, අනෙකුත් ජනපති සිට පාර්මේන්තුවේ සෑම සියලු නියෝජීතයෝ අද ලබන වරප්‍රසාද නොමැති ව, යටත් අතවැසියන් ලෙස රාජකාරී කරනු ඇත. රාජතන්ත්‍ර පාලනයක වූ භයානකත්වය නොදන්නවුන් එය විචිත්ත්‍රභූත කරති.


අවසාන රජ්ජුරුවන් වහන්සේ පවා දී, පිළිමතලාවේ රාජාභරණ ඇද, ඔටුනු පැළදී සේ, රජකමට උරුම නැති, නරුමෝ රාජාභරණ ඇද, මා රජූ ය යි කීම, අපට පුදුම විමට කරුණක් නොවේ. ජේ.ආර්. "ස්වර්ණ සූත්‍ර" නමින් පොතක් ලීයා රාජවංශය පිළිවලින් සඳහන් කොට, එහි තම නම රාජ පාලකයන් හා ඒ ගොන්නට එකුතු කළේ තමා නිල නොවන රජ බව හුවා දැක්වීමට විය හැකි ය. ප්‍රේමදාස හා බැදී විවිධ කටකතා වලින් පෙනෙනුයේ එතුමාගේ රාජකීයත්වයට තිබූ ඇල්ම යි. මහින්ද මා රජේකු නොව භාරකාරයකු කීමේන්, වක්‍රාකාර ව, බුදු වදනේ සහ දේවානම්පිය තිස්ස රජ්ජුරුවන් වහන්සේ හා සමාන වෙමින් තමුන් ද නිල නොවන රජයයි එත්තු ගැන්වීමට උත්සහ කළේ ය.


මෙවන් ගැඹුරු ලෙස ඉතිහාසය හා තත්කාලීන සිදුවීම් විමර්ශනය කළනොහැකි වූවන්, මෙවන් කරුණු ලඝු කොට සිතන්නට පිළිවෙන. එහෙත් අන්තවාදය හා එකාධිපති වාදයට උඩගෙඩි දෙන්නේ මෙවන් අමනෝඥ ක්‍රියා ය.

ලාංකික ජනතාව පුරවැසියන් ලෙස වෙත තමුන්ගේ වටිනාකම, අයිතිවාසිකම් හා වගකීම් තේරුම් ගැනීමට හැකිව ලැබ කොදුනාරටියක් සහික කෙලින් අභිමානවත් ලෙස සිතීමට හා කටයුතු කිරීමට වරප්‍රසාදය ලැබේවා යන්න මගේ පැතුම...


["පටු අදහස් නම් පවුරෙන්" ගීතය සඳහා යොදා ඇති රූප කතුවරයාගේ ප්‍රසාදයට හේතු නොවූ බව කිව යුතු ය (රූප ගොනු කර ඇති ආකාරයෙන් පටු අදහස් මතු කර තිබෙව බව ලිපියේ රචකයා ද පිළි ගනී). එයින් මේ ලිපියේ දැක්වෙන අදහස් හැල්ලුවේ නම් මාගේ කණගාටුව පළ කරන්නට කැමති යි. ඔහුගේ බලාපොරොත්තුව ගීයේ දැක්වෙන නිවහල් අභිමානය ඇති කිරීම පමණි]


Wednesday, November 18, 2009

කොපන්හෙගන්: කාබන් විමොචනය පිරිමැසීමට වන්ද්‍යකරණය?

කොපන්හෙගන් පරිසර සමුළුව සමඟ නැවතත් ලෝක උණුසුම්වීම පිළිබඳ උණුසුම් කතිකාවක් ආරම්භ විණ. ලෝකයේ වැඩිම කාබන් විමොචකයා ලෙස සලකන ඇමරිකා එක්සත් ජනපදය සුපුරුදු පරිදි, කියොටෝ සම්මුතිය මෙන් අත් සොදා ගෙන ලෝකයේ අනෙකුත් රටවල් වලට කාබන් විමොචන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට ඉඩ හැර ඇත. සිඝ්‍රයෙන් කාබන් විමොචනය කරන ප්‍රමාණය සංඛ්‍යත්මක ලෙස වැඩි කරන චීනය හා ඉන්දියාව පවසන්නේ, සංවර්ධිත රටවල් පළමුවෙන් ආදර්ශය දෙමින් කාබන් විමොචනය පිරිමැසිය යුතු ය. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, අනෙක් අතට, මෙතරම් බරපතල ප්‍රශ්නයක් ඇති කිරීමට, වායු දූෂණ කළ සංවර්ධිත රටවල් ඒ සඳහා වන්දි වශයෙන් තත්ත්වය නිවැරදි කිරීමට පියවර ගත යුතු බව ය. එහෙත් ආත්මාර්ථකාමී ඇමරිකාව මුළුමන්නන් ම පරිසර සම්මේලනය වර්ජනය කිරීමේ ස්වභායක් දක්නට ඇත. එයට හේතුව ලෙස ඔව්හු දක්වන්නේ සෙනෙට් සභාවේ පවතින නෛතික ලියවිල්ලකි.

දැන් කාබන් විමොචනය නව අතකට යොමූ වී ඇත. ඒ ජනතාව පාලනය කොට ඔවුන් විසින් විමොචනය කරන්නා වූ කාබන් ප්‍රමාණය අවම මට්ටමක පත් කිරීමයි. ඒ සඳහා ඉරානය හා ඉන්දියාව වැනි රටවල කාන්තාවන් දැනුමාති කොට, වන්ද්‍යකරන්ය හා උපත් පාලනය ඇති කිරීම එක්සත් ජාතින්ගේ සමුළුවේ අලුත් යෝජනාවකි. මෙසේ කිරීමෙන් අධික ජනතාවක් විසින් පරිහරණයේ දී ඇති වන කාබන් ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩුවන බව ඔවුන් කිය යි. ඔවුන්ගේ උපකල්පනය ජනග්‍රහණය අඩු වූ විට ඔවුන් පරිහරණය කරන රථවාහන, ගුවන් ගමන්, මාංශ ආහාර හා වෙනත් කාබන් ආශ්‍රිත ද්‍රව්‍ය අඩුවන බව ය. ආසියාතික හෝ ඉරානය වැනි රටක ජනතාවගේ ක්‍රියාකාරික්වය නිසා විමොචනය වන කාබන් ප්‍රමාණය සැලකිය යුතු අයුරින් අඩු ප්‍රමාණයක් ගනි. මෙහි එනම් මා ජීවත්වන ඇමරිකාවේ ඩලස් නුවර (මා සිටින තැනේ සිට) සෑම තප්පර 5න් 5ට ගුවන් යානයක් ගුවන් ගත වේ. ඒය හරියට 138, 103, 100 හෝ 145 (155) හෝ එවැනි බස්රථ ගමන් වාර සංඛ්‍යාවට සමාන ය. මෙයට අමතර ව සෑම ඇමරිකානුවක්‍ ම කාර් එකක් භාවිත කරයි; එක් වාහනය සිටින්නේ බොහෝ එක් අයෙකු පමණි.

දැන් එක්සත් ජාතින් ගේ සමුළුම මේ තනන්නේ, මුලීක ප්‍රශනයෙන් පිට පැන. ගෝණ හමට තැලීමක් නොවේ ද? වන්ද්‍යකරණය හා පවුල් සැලසුම් ක්‍රම හඳුන්වා දෙමින් දැන් ඔවුන් අඩුකරන්නට තනන්නේ තුන්වන ලෝකයේ හෝ සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව ය. සංවර්ධිත රටවල පවතින සේවක හිඟය පියවීමට, ශ්‍රමය ආයනය කරන තත්ත්වයක වෙසෙන ඔවුන් ප්‍රශ්නය (බෝලය) අපගේ දෙසට දමා ගසා ඇත. දැන් ලෝකයේ උණුසුම මකන්නට තුන්වන ලෝකයේ මතු පරපුර ගප්සාවට බඳුන් විය යුතු ය.

අනේ මෙහෙමත් මෝඩ වැඩ...ඇමරිකාව හීලෑ කරගත නොහැකි පරිසර සමුලුව දැන් පය බරවාට පිටකර බෙහෙත් බඳිති.

චැනල් ෆෝ ප්‍රවෘත්තිය බලන්න:


ලාංකික ජනතාව වෙත වදනක්

අද නැවතත් විධායක ජනාධිපති ධූරය පිළබඳ කතිකාවක් ආරම්භ වී ඇත. කිවයුතු වැදගත් කරුණ නම් එකී ධූරයේ කිසිදු දෝෂයක් නැත. විධායක ජනපති ධූරය හලා, තන්නට හදන "විධායක අගමැති ධූරය" ද, විධායක ජනපති ධූරයෙන් වෙනස් නොවන්නට ඉඩ තිබේ. එහෙත් දෝෂ දර්ශනයට ලක්වන මෙකී ධූරයේ ඇති අවාසි සහගත තත්ත්වයන් ඉවත් කොට, හීලැ කර ගත යුතු ය. නුසුදුස්සන්ට දැඩි දඬුවම් පැමිණවීමට ජාතියක් වශයෙන් අප එක්සත් විය යුතු ය.

පහත දැක්වෙන්නේ මා විසින් ඉහත ධූරය හා වත්මන් දේශපාලය පිළිබඳ කළ නිරීෂණයන් ය:

  • විධායක ජනාධිපති ධූරය සඳහා සංවර්ධනය වන රටකට අවශ්‍ය වටිනා නිලයකි. එයින් පාර්ලිමෙන්තුවේ ප්‍රමාදයන්ගෙන් තොර ව, වේගවත් දේශපාලන හා පරිපාලන ක්‍රියාවලියක් ඇති කළ හැකි ය. ජේ. ආර් මෙකී නිලය ඇති කරන විට කල්පනාවට ගන්නට ඇත්තේ එයින් කළ හැකි සංවර්ධන ක්‍රියාවලිය යි. ඔහුගේ දැක්මේ ආකාරයට විවෘත ආර්ථිකය සමඟ වේගවත් සංවර්ධනය සඳහා පාදක වූයේ මෙකී ස්වාධීන නිල තලයයි. විවෘත ආර්ථික පිළිබඳ විවිධ කතිකා හා කියවීම් තිබෙන නමුත්, වරක් කොමියුනිස්ට් හෝ සමාජවාදී රටවල් අද, අර්ධ වශයෙන් හෝ ආර්ථිකය විවෘත කොට ඇත.
  • ජේ. ආර්. 1978 ව්‍යවස්ථාව ගෙනෙන කල්හි, කල්පනා කළේ තමුන් ගැන පමණි. එහිදී හැකිතාක් බලය රදවා ගැනීම සඳහා හෙතෙම උත්සහ දැරී ය. රටක මාහැගී ව්‍යවස්ථික, පරිපාලන හා ආර්ථික ලියවිල්ල ස්වකීය බලලෝභිත්වය සලකා සැකසීමේ ආදීනවය අද මතු පරපුර ගෙවමින් පවති. ජේ. ආර් දිවියෙන් සමුගෙන ඇතග එහෙත් ඔහු ඇති කළ පටලැවිල්ල තවමත් ලිහා ගත නොහැකි ව, මහජනතාව දුක් වෙති; දුක් විඳිති.
  • අවුරුදු 6ත් ධූරකාලයක් ඇති කර ගැනීමේ, ලෝභිත්වය අද ප්‍රශ්න රාශියකට හෙතුවේ, ආකාර්යෂම දේශපාලකයන් දෙදෙනෙකු යටතේ දිවි ගෙවන දරුවෙකු 24 අවුරුද්දක් හෙවත් ඔහුගේ තරුණ ජීවිතය ගේවා ඇත. තව මෙවැනි අයෙක් පත් වූවොත් ඔහුගේ වයස 36 වන තුරු අදූරදර්ශි පාලනයකට යටත් ව ජීවත් විය යුතු ය. ඒ හෙයින්, ලෝකයේ බලවත් රටක් වන ඇමරිකාව මෙන්, අවුරුදු 4ක් ධූර කාල දෙකක් හෝ පිලිපිනය මෙන් අවුරුදු 6ක ධූර කාල එකක් බවට ජනාධිපති ධූරය වහාම පත් කළ යුතු ය. අවුරුදු 12ක කිසිවෙකුට වගකීමක් නොදෙන, පාර්ලිමෙන්තුවට වග නොකියන, සිතූ දේ කළහැකි පාලනයක් යනු එතැන ම ඒකාධිපතීත්වයක් මහජන ආශිර්වාදයෙන් ම ඇති කොට ඇත්තේ ය.
  • ජනාධිපති ධූරයේ වූ අසීමාන්තික බලය, ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්, පාර්ලිමෙන්තුව මගිනි අධීක්ෂණට සහ වගකීමට බැදී තිබිය යුතු ය. මෙයට වඩා පාර්ලිමේන්තුව දේශපාලන හා ආර්ථික දූෂණය වැළැක්වීමට ක්‍රියාකාරී ලෙස දායකත්වයක් දැක්විය යුතු ය.අනොක් අතට මහජනතාව උසාවි භාවිත කරමින් ස්වකීය අයිතීන් දිනා ගත යුතු ය. කිසිවෙක් මහජනතාවගේ අයිතින් නොමිලේ ලබා දෙන්නේ නැත. ඒවා දීනා ගැනීම සඳහා අප කැපවීමෙන් සහ අවධියෙන් ක්‍රියා කළ යුතු ය. ඡන්දයක දී පුද්ගලයන් පත්කොට අත්බැඳ, කළකිරීමෙන් බලා සිටිනු වෙනුවට, පොදුජන මෙහෙවර සඳහා ඔවුන් හට බලපෑමක් කළ යුතු ය. කිසිවක් රජක් මගින් නොමිලේ පසයන්නේ නැත. ඔව්හු සියලු ආකාර, සේවාවන් කරන්නේ ජනතාව මගින් එසේ කරන ලෙස ඉල්ලාසිටින නිසාවෙන් සහ එසේ කිරීම ඔවුන්ගේ පරම යුතු කමක් නිසාවෙන් ය.
  • ස්වකීය වාසියට හා සුඛිතමුදිත බව තකා පිල්මාරුකරන දේශපාලඥයා ජනමතය කෘතිම ලෙස විකෘති කරයි. දැනට නියෝජනය වන පාර්ලිමෙන්තුව, ජනමතයෙන් ඇති වූවක් නොවේ, ස්වකීය මැති ඇමතිකම් තකා සකසා ගත් කෘතිම විකෘති පාර්ලිමෙන්තුවකි. ආණ්ඩුවට සහයෝගය දැක්වීම විපක්ෂයේ සිට ඇමතිකම් නොගෙන, මහජන මුදල් නිකරුනේ කාබාසිනියා නො කර කළ හැකි ව තිබිණි. මතු පැමිණෙන ඡන්දයේ දී, මෙසේ පිල් මාරකළ වුවන් ගෙදර යැවීම, මහජන මතයට ගරුකරන සැමගේ යුතු කමකි. මෙසේ දේශපාකයන්ට පාඩමක් ඉගැන්වූවේ නැති නම්, ඔව්හු මෙසේ ජනමතයට ගරුනොකර ස්වකීය අභිමතාර්ථ සඳහා පිල් මාරු කරනු ඇත. කරු වැන්නවුන් නැවත එ.ජා.ප. හැරී පැමිණියත්, මගේ අදහස නම් ඔහු වැන්නේකුට විනයට පත් කිරීමත් තකා ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු ය. එවිට මෙසේ, එහෙට මෙ‍හෙට පනින ගෙම්බන්, ඉස්සන් පැනීමෙන් වැළකෙනු ඇත. එස්.බී. වැන්නවුන් පිල්මාරු කළේ බලය හෝ පාර්ලිමෙන්තු අසුනක් නොමැති අවස්ථාවක බැවින් එවැන්නන් ගැන අපට සලකා බැලිය හැකි ය.
  • මහජන මුදල් අති මහත් ප්‍රමාණයක් නාස්තිකරන, මෙවැනි කැබිනට්, නොන් කැබිනට්, ඇමතිකම් ද, නියෝජ්‍ය ඇමතිකම් ද දී, මහින්ද අමාරුවෙන් බලය තබා ගැනිම වෙර දරන්නේ කවර, ජාතික මෙහෙවක් සඳහා ද? ඒ මෙහෙවර, ජාතික නොව ස්වාර්ථ හෝ ස්වඥාති මෙහෙවර කි. මෙවැනි අමනොඥ විකෘති කිරීම සඳහා නිසි දණ්ඩනයක් මහජන උසාවියෙන් නුදුරේදී ම ලබා දිය යුතු ය.
  • පාර්ලිමෙන්තු සම්ප්‍රදාය තුළ හැසිරීමට තරම් විනයක් නොමැති, මවීන් වැන්නවුන් වහාම පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතු ය. චණ්ඩින් හා දාමරික කම් ඇසුරෙන් ස්වකීය බලපුළුවන් කම හුවා දක්වන, දේශපාලන මහජන නියෝජීතයන් ද, ගෙදර යැවිම සාමකාමී මහජනතාවගේ යුතු කමකි.
  • මහ ජනතාව තමුන් පත් කරන නියොජීතයන් පිළිබඳ වගකීම ගන්නා තුරු, හා ඔවුන් ස්වකීය පොරොන්දු යුතුකම් හා වගකීම් මත නියමිත අයුරු ගමන් කිරීමට පොළඹවන තුරු වගකීමකින් යුතු දේශපාලනක් අපට ලැබෙන්නේ නැත.
  • ලාංකීක ජනතාව තම බඩවියතින් සහ තමුන්ගේ වාසියෙන් ඔබ්බට පොදු ජන වාසිය ගැන සිතන තුරු, දේශපානඥයන් ස්වකීය සේවයේ නිවැරදී ලෙස වගකීමෙන් යෙදීමට පොළඹවන තුරු මේ රට දීන වනු මිස ඉදිරියක් නැත.
මේ මුළු දේශපාලනයේ ජාරාජීර්ණ වීම සඳහා වගකිව යුත්තා මහජනතාව ම යි. පිලිපිනය වැනි රටක මාකොස් වැනි ධාමරික ඒකාධිපතියකු පැමිණිම සඳහා මගපෑදුවේ එකී ජනතාව ම ය. ඉදිරි පැයේ ලාංක්‍යෙය ජනතාවගේ මහගු වගකීම හා යුතු කම්නම්, තමුන්ගේ අයිතිය භාවිත කොට, නිවැරිදි නායකත්වයක් රටට පත් කර වීම ය. ඒ සඳහා ජාති, පක්ෂ, හා වෙනත් න්‍යාය පත්‍රයන් පසක ලා, වගකීමක් සහිත වූවන් පත් කොට, නුසුදුස්සන් ගෙදර යැවීමට ධෛර්ය වන්ත හදවතක් ලැබේවා!!! නැතහොත් තවත් අවුරුදු හයක් කන්කෙදිරි ගා ගා සිටින්නට මිස වෙනත් විකල්පයක් නොවෙනු ඇත.

දිය යුතු තැනට විනයත් දී, කළ යුතු තැන‍ට දඬුවමත් කර, මහජනතාව වන අප ගොනාට ඇන්දවිය නොහැකි බව දැක්විය යුතු ය.


Tuesday, November 17, 2009

දිවයින පුවත් පතෙහි පළ වූ මනෝගේ වන්දිභට්ටකම

අද දින දිවයින පුවත් පතෙහි මනොජ් අබේදීර විසින් "ජාතික ව්‍යාපාරය හා මහින්ද අභිෂේකය" නමින් ලිපියක් පළ කොට තිබුණි. එකී මුලු අභිමතාර්ථය වූයේ හැකිලී යන ජනපති මහින්දගේ රුව පුප්පා නැවත කරලියට ගෙන ඒම ය. ඒ සඳහා හෙතෙම භාවිත කරන තර්ක නම් පවතින දේශපාලනය ජාතික හා විජාතික දෙපිලකට ගොඩ නඟා, ජාතියානුරගය ඉස්මතු වන පරිදි මහින්දගේ රුව නැංවීම ය. මෙයින් මොහු ආමන්ත්‍රණය කරන්නට වෑයම් කරන්නේ ජාතිකත්වය නැමැති සමාජීය ආවේගන්ට ය. එක් අතකට එය, වචන 1133කින් යුත් දේශපාලන චරිතාපදානයකි.

මෙහි භාවිත කළ ඇති චිත්‍රය මහින්දගේ බෞද්ධ බැතිකම දක්වන්නකි. හෙතෙම මහාවංශයේ දුටුගැමුණු රජුගේ ළමා අවධිය මෙන් මේ ජාතිහිතශ්‍ය දේශමාමකයාගේ ළමා දිවියේ සිට, විජාතී බලවේගයන්ට පහර පිට පහර දීමේ අභිතකම දක්වා ඇත්තේ වැඩිහිටියකුට දක්වන ගරුසරුවකින් ය. ඒ එකට එක කියමින්, අඹ ඇටයකින් රටේ අගමැතිඳුට දමා ගැසීමෙන් ය. ඒය උද්ධච්ඡකම හුවා දැක්වීමක් විනා, ජාතිමාමකත්වය නොවේ. එතැන් පසු ජාතික බලවේගයේ ජයග්‍රහණය පිළිබඳ සටහන් කරන, හෙතෙම, "ජාතික" සමගි ආණ්ඩුව යටතේ වූ අත්තනෝමතික, මංමුලාව වූ පාලනය අමතක කොට, ඒ ජයග්‍රහණය 2005 ගෙනෙනු ලබයි. පුදුමයකට හේතුව නම් මහින්ද මතු කර දැක්වීම සඳහා "බණ්ඩාරනායක" උරුමකාරීය වූ හිටපු ජනපති චන්ද්‍රිකා මැතිණිය අමතක කොට ඇත. එයට හේතුවක් වන්නය ඇතිතේ ඇයගේ විජාතිය නැඹුරුවත්, අකාර්යෂ්ම පාලනයක් විය හැකි ය. එහෙත් මනෝජ්, මහින්ද දේශපානාගමනය, ඓතිහාසික සටනක් ලෙසින් හුවා දක්වයි.

ඔහුගේ දේශපාලනය වශයෙන් සිව්වසරක දායකත්වය ලෙස හෙතෙම දක්වන්නේ, හැමවිට ම, මඩෙ දමා සෝදන යුද්ධයේ නිමාව පමණි. අපි ඒ පිළිබඳ කොන්දෙසි විරහිත ගෞරවය ජනපතිට පුද කරමු. එහෙත් ලිපිය ලියන්නා විසින් මේ සිව් වසර තුළ ඇතිව දුෂණ, අධ්‍යපනයේ කඩා වැටීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳ වැටීම, මිහින් එයාර්හි දශ ලක්ෂ ගණනින් පාඩුලැබීම, ජීවන වියදම, බඩුමිල ඉහළ යාම, පඩි ඉල්ලා සේවක අරගල සහ රැකියා ඉල්ලා උපපාධිධාරී හටන ද, කඩකඩා පළාත් පාලන ඡන්ද පවත්වා, ඒවා දිනා ගැනීම සඳහා මුළු රජයේ දේපල හා මුදල් දශ ලක්ෂ ගණනික් වියදම් කිරීම, අන්තර් ජාතික වශයෙන් මානවහිමිකම් අතින් කළුපැල්ලම් උලා ගත්, චාවේස්, ගාඩාපි, තාන් ශ්වේ වැන්නන් සමඟ හාදකම් පා අන්තර් ජාතික ප්‍රජාවෙන් මඩ තවරා ගැනීම ආදි මෙකී නොකී දුර්වලතා ඔහුට මතක නැත.

මහින්ද ජනපති ලෙස මහ ජනතාව පත් කළේ අවුරුදු 6ක් සඳහා ය. ඒ හෙයින්, පළමුව ස්වකීය දූර කාලය ප්‍රයෝජනයට ගෙන රට ගොඩ නැගීම සඳහා කටයුතු කරන්නැයි අප එතුමාට සිහි කර දෙමු. කලින් ජනපතිවරණයක් ඉල්ලන්නේ, ඉතිරි අවුරුදු දෙක තුළ තමුන්ගේ පොරොන්දු, වගකීම් හා යුතුකම් ඉටු කළ නොහැකියාව, සඟවා ජනමත වාසිය ප්‍රයෝජනයට ගෙන බලලෝභිත්වයට නැවත ජනපති වීමට අරඇදීම ය. ඒ නොමැතිව, මෙය ජාති-විජාති සටනක් නොවේ.

මනෝජ් ලිපිය අවසන් කරන්නේ මෙසේ ය:

"රටේ ඉරණම විසඳෙන වැදගත් මොහොතක්‌ දැන් ළඟ ළඟම පැමිණෙමින් තිබේ. 2005 නොවැම්බර් 18 වැනි දින ලැබූ ජයග්‍රහණය ආපසු හැරවීමේ වෑයම විජාතික බලවේග සිය කරට ගෙන තිබේ. ජාතික බලවේග 56 දී, 2005 දී මෙන්ම මේ මොහොතේදී ද තමන්ගේ ශක්‌තිය රට වෙනුවෙන් ගොනු කරගෙන තිබේ. සටන ආපසු හැරවීමට ඉඩ නොදී ඉදිරියට ගෙන යැමේ කර්තව්‍යය ඇත්තේ ඒ තුළය.

මහින්ද රාජපක්‍ෂගේ මූලික තැනුම් ඒකකය වූයේ මේ රටේ ජාතික බලවේගයන් දකුණේ විහාරස්‌ථාන සියයක නායක හිමිවරුන්ගේ යෝජනාව අනුව මල්වතු මහා විහාරයෙන් මහින්ද රාජපක්‍ෂට ශ්‍රී රෝහණ ජන රංජන සම්මානය ලබා දුන්නේය. එම සම්මානය මහින්දට ලබා දෙමින් " මේ රෝහණ ජනරංජන සම්මානය අපි දෙන්නේ තුන්කල් බලලා" යනුවෙන් මල්වතු මහා නාහිමියෝ වදාළහ.

ඉන්පසු මහින්ද අගමැති පුටුවට ගෙන ඒමට ජාතික ව්‍යාපාරය සිය මුළු වෙර යොදා බලපෑම් කළේය. ඒ මොහොතේ මහින්දට තිබූ එකම ශක්‌තිය වූයේ එයය. මහින්ද ජනාධිපති කරවන සටන කරට ගත්තේද මේ ජාතික ව්‍යාපාරයය. එහි බලපෑම මත අනෙක්‌ ව්‍යාපාරද මහින්දගේ සටනට තම දායකත්වය සැපයීය.

එළඹෙන තීරණාත්මක මොහොතේද ජාතික ව්‍යාපාරය සිය වගකීම ඉටු කරනු ඇත."

ඔහු විසින් නොකිය දේ නම්:

1. 2005දී ජාතික බලවේගය මහින්දගේ ජනපති වීමෙන් බලාපොරොත්තු වූ "සටන" කුමක් ද?

2. මහින්දට දුන් "රෝහණ ජනරංජන සම්මානය" හා රටේ සංවර්ධනය අතර ඇති සම්බන්ධතාව කුමක් ද? තුන්කල් බලා දුන්නේ මොන අරමුණක් සාක්ශාත් කර ගැනීමට ද? ඒ (අපනොදන්නා අභි රහස්) අරමුණ ඉටු කිරීමට වත්මන් ජනපති කළ කාර්යය කුමක් ද? සංඛ්‍යාත්මක ලෙස ප්‍රගතිය කවර ඉලක්ක ඉටු කොට ඇද්ද?

3. "අගමැති පටුවට" පැමිණිමට බලපෑම එල්ල වන්නේ මහින්ද විසින් ම දුන් "විධායක ජනපති ධූරය" අහෝසි කිරීමේ පොරොන්දුව නිසා ම නොවේ ද?

විචාරත්මක ව ගත් කල, මේ දේශපාලන ලිපිය මහින්දගේ ඔද තෙද ගුණය නැංවීමට සහ ජාත්‍යාලය උපද්දවා නැවති අහිමි වූ දේශපාලන පදනම සකසා ගැනීමට දරන වෑයමකි. මේ ලිපියේ කිසිදු හරවත්, හෝ වැදගත් කරුණක් නැත; ඇත්තේ බොල් වචන ගොන්නක් එක් කළ දේශපාලන වන්දිභට්ටකමක් පෑම පමණි. දිවයින පුවත්පතෙහි වටිනා ඉඩ මෙවැනි බොල් ලිපිවලින් නිකරුනේ නාස්ති කිරීමට ඉඩ දීම නොහොබින්නේ ය.


Related Posts with Thumbnails