Monday, April 12, 2010

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද සෙල්ලම හා එක්තැන පල් වන දෙමළය

මෙවර මැතිවරණයේ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු එක්සත් නිදහස් සංධානයේ ඇමති මන්ත්‍රී පිරිස ලබා ගත් හ. එහෙත් මෙසේ තවම අවසානයක් නොමැති ඡන්දය පිළිබඳ රොබටෝ බෙලෙක් ප්‍රකාශ කරන්නේ “දෙමළ ප්‍රශ්නය විසදීම පිණිස මෙය ස්වර්ණමය අවස්ථාවක්” බව ය. ලංකාවේ දෙමළ ප්‍රශ්නය තවමත් නොවිසිදුණු එකතැන පල් වන ප්‍රශ්නයකි. මුලින් ම දේශපාලන මාතවාද වශයෙන් මෙය “වර්ගවාදී ප්‍රශ්නයක් ද?” නොහොත් “ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ද?” යන්න පිළිබඳ ගැඹුරු මත ගැටුම් හා කථිකා විය. අද හොඳින් හෝ නරකින් ප්‍රභාකරන් නැමති සාධකය ඉවත් කොට ඇත. එයින් එකී සාධකය වටා යුක්තිය, සාධාරණත්වය, සමානතාව අපේක්ෂාවෙන් වට වූ දෙමළ ජන ප්‍රජාව මංමුලා වී ඇත. තවමත් උතුරේ ලක්ෂයකට අධික දෙමල ජනතාවක් “සුබසාධන (අනාථ) කදවුරු” හෙවත් දෙමළ ඩයස්පොරාව විසින් නම් කරන “විවෘත සිරකදවුරු” ගාල කර ඇත. එකී තෙවන ඊලාම් යුද්ධය ජය තෙරට ගෙ‍නගිය සේනාධිපති දකුණේ යුධාධිකරණයක තිරණ පොරොත්තුවෙන් සිරගත හෙවත් ආණ්ඩුව පවසන පරදි “නිවාස අඩස්සි” කොට ඇත.

පසුගිය දවසක වව්නියාවේ අපේ ජනාධිපති විසින් වර්ගවාදී ලෙස කළ බැණ වැදීම තුළ ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී ඇත. සමහර විට “මතට තිත” තබන්න ගිය ජනාධිපති මතින් මත් ව, “කටට තිත” තියා ගන්නට නොහැකි වූවා විය හැති ය. හෙතෙම, වව්නියාවේ දී තමුන්ට අභියෝග කළ දෙමළ තරුණයන්ට මෙසේ “අපිත් සිංහල; රටත් සිංහල! . . . අහගෙන ඉන්නවා!! . . . දෙමළා!!!” බැන වැදී ඇතයි ලංකා ටෘත් වෙබ් අඩවියෙ දක්වා තිබිණි. අපගේ කෂේරුකා බිදී, සෙවෙල, දේශපාලක සෙරෙප්පු ලෙව කන ජන මාධ්‍ය මේ ‍පිළිබඳ, “මීක්” ශබ්දයක් වත් කළේ නැත. ජනතාවට ප්‍රවෘත්ති දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කළ ආණ්ඩුවේ ජනමාධ්‍ය විසින් වෙනදා මෙන් මේ ප්‍රවෘත්තිය කණපිට පෙරළා දක්වා ති‍බුණේ ජනාධිපති වරයා විසින් තමුන්ට දෙමළින් කතා කිරීම පිළිබඳ විරෝධය පෑ සිංහළුන් හට බැණ වැදී ඇති ලෙසකින් ය [ඉහත දැක්වූ සඳහන පිළිබඳ අදහස් දැක්වූ කිහිප දෙනෙකු විසින් නිවැරදි කිරීමක් ලෙස ලංකාදීප පුවත් පත විසින් නිකුත් කළ විඩියෝපටයක් සඳහා සම්බන්ධතාවක් එවන ලදී. එහෙත් මා විසින් දැක් වූ අදහස් සඳහා එකී නිවැරදි කිරීම මගින් කිසිඳු බලපෑමක් ඇති නොවේ. මන්ද මා දක්වා ඇත්තේ "ලංකා ටෲත්" විසින් ප්‍රකාශ කරන ලදැයි සැලකෙන ප්‍රවෘතියක් මිස වෙන කිසිවක් නොවන බව කරුණාවෙන් සැලකුව මැනවි].

රටෙහි ජනාධිපති වැරදී වැරදී දෙමළ භාෂාවට නිගාවන පරිදී, සිංහලයන් හට ව්‍යාජ ප්‍රතිරූපයක් මැවිමට කරන දෙමළ කතාවන් මගින් ඇති වී ඇති දෙමළ ජනතාවගේ දුක්කදොමනස්සයන් සැනසිය නොහැති වේ. බහුතර සිංහල අපි මේ ප්‍රශ්නය දෙස බලන, මතුපිට දැක්මෙන් සහ දෙමළ දුක්ගැනවිලි නොතකා සිටීමෙන් නුදුරක දීම නැවත “දෙවන ප්‍රභාකරන්” කෙනෙකු බිහි නොවී යයි කිව හැක්කේ කවරෙකුට ද? සාම අධ්‍යයනයන්ගේ පියා ලෙස සැලකෙන නොවිජිනියානු ජාතික මහාචාර්ය යොහානස් පවසන්නේ තව අවුරුදු පහක් හෝ දහයක් ඇතුලත දෙමළ බෙදුම්වාදී සාධකයක් පළිගැනීම පිණිස මතුවන බව ය. ස්වකීය අන්තර්ජාතික වෙළෙඳවාදී යුධ මානසික ව්‍යාපාරික ජාලය “ඩයස්පොරා වැස්සිය” දොවා මිළ මුදල් ගරා ගැනීමට එකී පළිගැනීමේ ගින්නට ඉන්ධන සපයනු ඇත. මා ඔහු විසින් පවසන ෆෙඩරල් සංකල්පයන් පිළි නොගත්තත්, ඔහු මතු කරන තත්‍ය එක් තැන පල්වන ‍ජාතිවාදී, අයුක්තියේ ජරා නරවලින් තව දෙමළ ජාතික සන්නද්ධ නායයකු මතු වීම කරුණු පෙළ ගැස්මට අනුව ඇති නොවුණ හොත් පුදුමයකි. තිස්වසරක පමණ යුද්ධයට හේතු පාදක වන්නේ දෙමළ දුක්ගැනවිල්ල සහ ඒ පිළිබඳ ප්‍රතිචාර දක් වූ දෙමළ ජාතිවාදී දේශපාලන නායකත්වය හා සිංහල ජාතිවාදී නායකත්වය විසින් සැකකසු ජාතිවාදී, වාර්ගවාදී කලිළ නරවල, කාලය සම්පූණ වූ කල, “ප්‍රභාකරන්” නැමති සාධකයට තිබිරි ගෙය විය. ප්‍රභාකරන් ගේ රුධිරු හස්තයෙන් පිඩාවට පත් වූයේ සිංහල ජනසමාජය වත්, මායිම් ගම්මාන වල ජනතාව වත් නොවේ. එකී සාධකයේ දරුණු පහරට ලක් වූයේ, විමුක්කිය සම්පාදනය කළ යුතු වූ ලාංකික දෙමළ ජන ප්‍රජාවට ම ය. මව මරා උපන් කුමරෙකු සේ, ස්වකීය පැවැත්ම සඳහා පාදක වූ, දෙමළ දේශපාලන නායකත්වය එල්.ටී.ටී.ඊය විසින් විනාශ කර දමන ලදී. එතැනින් නොනැවති, ප්‍රබල සිංහල බහුතරයක් හා කෙවල් කළ හැකි උගත් බුද්ධිමය සම්පත ද මරා දමන ලද්දේ ය. මේ සියල්ල කළේ දෙමළ ජනතාවගේ කේවල හඬ හැටියට එල්.ටී.ටී.ඊය කිරුළු පැළදා ගැනීමට ය. උතුරේ පිහිටි ඉතා පොහොසත් සංස්කෘතිය, සංස්කෘතික උරුමය, සාහිත්‍ය සහ පොතපත විනාශ කළේ ය. ඒ සඳහා මුල පිරුවේ දකුණේ ඊර්ෂ්‍යවෙන් පිරුණු සිංහල දේශපාලකයන් ය. එවකට ආසියාවේ විශාලතම පුස්ථකාලයක් වූ යාපනයේ පුස්තකාලය දවා විනාශ කරමින් සිංහල ජාතිවාදී ගිනිදැල් අවුලන විට, එල්.ටී.ටී.ඊය ඒ ගිනිදැල් භාවිත කොට, කෝසය වෛරය වැනි ඉන්ධන ද එක් කොට, ශේෂ වූ දෙමළ සංස්කෘතිය හා උරුමය දවා ලී ය. ලංකාවේ හොඳම අධ්‍යපනය තිබූ උතුර, අවසානයේ සන්නද්ධ යුධ පෙරමුණක් සඳහා අන්නත මොඩ ලෙස දුන් අණින් කොකා ගැස්සීමට හෝ ආණ්ඩුවේ හමුදාව විනාශ කළ හැකි හෝ මිනිස් බොම්බයක් ව අණ තකා පුපුරා ගන්නා තත්ත්වයකට පත් කළ අනාගත පරපුරක් බිහි කළේ ය. අද ලංකාවේ ශේෂ වූ දෙමළ ජනාතාවට තමුන්ට ම කියා මතවාදයක් නැත; මෙතෙක් “තලෙවර්” කී දෑ තම මතය කර ගත් ඔව්හූ කරකියා ගත නොහැකිව මතවාදී ලෙස අතරමං වී ඇත. යාපනයේ අධ්‍යාපන ශ්‍රේෂ්ටත්වය අද, හෝඩිය පොත හරිහැටි නොදන්නා ළමා සොල්දාදුවන් සහිත ජන ප්‍රජාවක් බවට පත් වී ඇත. එහෙත් මේ සියලු වඳ විඳ, ආනාථ කදවුරු ගාල් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිඳි අභිමානයෙන් සියදිවි තොර කර ගන්නා තත්ත්වයට වත්මන් ආණ්ඩුව පත් කොට ඇත.

මේ ආණ්ඩුව යුද්ධය දිනා ගැනීම තකා ක‍ළ උපක්‍රමය කුමක් ද? මම එවකට විදෙස් රටක වූ බැවින් කෙහෙලිය රබුක්වැල්ල විසින් දුන් සංඛ්‍යා ලේඛන විශ්වාස කරමින් නන්තිකඩාල් කලපුවේ රැදුන ජනතාව 50,000-70,000 බවට විශ්වාස කළෙමි. එපමණක් නොව මා අවට සිටි අයට මා පැවසුවේ ස්වල්ප දෙනෙකු සිටින බව ය. යුද්ධය අවසාන වී ලක්ෂ තුනක් පමණ ජනතාවක් පැමිණෙන විට මා අවට සිටි අය මා බොරුකාරයකු බවට ප්‍රකාශ කළේ, සිංහල ජනතාව දෙමළ ජනතාවට දක්වන සැලකිල්ල පිළිබඳ ප්‍රශ්න නගමින් ය. මා නොදැන සිටි, එහෙත් සැබෑව දැන සිටි ආණ්ඩුව, ලක්ෂ තුනක පමණ ජනතාවක් සඳහා අවශ්‍ය කරන ආහාර වෙනුවට 70,000 අවශ්‍ය ආහාර සහ වෛද්‍යාධාර යවමින්, ක්‍රමානුකූල ව සිවිල් ජනතාව කුසගින්නේ සහ හාමතයේ තබන ලදී. ඒ හෙයින් මහල්ලන් රාශියක් ද, කුඩා දරුවන් විශාල සංඛ්‍යවක් ද කුස ගින්නේ මියැදුනේ ය. බොම්බ වලින් මියැදුන සංඛ්‍යාවට වඩා කුසගින්නෙන් මියැදුන සංඛ්‍යාව වැඩි බව ප්‍රකාශ විය. අවසානයේ ලුණු කැඳ හෝ ජලය නොමැති ව සිවිල් ජනතාව අධික පරිපීඩාවකට ලක් විණ. අහිංසක සිවිල් ජනතාවක් ආහාර, ජලය සහ වෛද්‍යාධාර නො සපයා කුසගින්නේ මැර වීම, කවරෙකු වත් පිළි නොගන්නා, මිලේජ්ජ්‍ය හා දරුණු යුධ අපරාධයකි; පොළොව නුහුලන අයුක්තියකි. එය ප්‍රජාතන්ත්‍රවාදී රජයක්, එල්.ටී.ටී.ඊය වැනි දීන මිලේජ්ජ්‍ය ත්‍රස්තවාදීත්වයකට වැටීමකි. ඒවැන්නෝ යම් දිනක දී, අපගේ සේනාධිපති වරයා මෙන් යුක්තිය විසින් දඬුවමට පත් වෙනු ඇත. පසුව දෙමළ ජනතාව, කටුකම්බි ගසන ලද, ගම්මාන පහක අවුරුදු පහකට පදිංචි කර වීමේ සැලැස්ම, ජනාධිපතිවරණ ඡන්දය සමඟ අහොසි වී ගියේ ය. එකී ඡන්දයට පිං සිදුවන්නට සහ දෙමළ ජනතා හදවත ජය ගැනීමට සරණාගත කදවුරුවල සිටි ජනතාව ආණ්ඩුව විසින් හරි හරියට නිදහස් කර හරින ලදී. එසේ අකලට, ඡන්දයක් නොපැණියේ නම්, තව ම මේ සරණාගතයෝ කදවුරු තුළ දුක් වේඳනා විඳිණු ඇත.

දකුණේ ජනතාව යුද්ධය දිනීම පිළිබඳ උදම් අනනවිට, උතුරේ ජනතාව ඒ පිළිබඳ දරන අදහස කුමක් ද? ත්‍රස්තවාදය හෙවත් ප්‍රභාකරන් නැමැති සාධකය ඉවත් වූ උතුරු නැගෙනහිර ඡන්දය සඳහා සහභාගී වූයේ 20% අඩු ජනතා ප්‍රතිශතයකි. එනයින් පෙනෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තවම සිංහල ආණ්ඩු පිළිබඳ හෝ දකුණේ දේශපාලනය පිළිබඳ විශ්වාසනියක්වයක් ඇති වී නොමැති බැව් නොවේ ද? අනෙක් අතට, මෙසේ සරණාගත තත්ත්වයට පත් වූවෝ ස්වකීය ඡන්ද ප්‍රදේශවලින් ඈතට පදිංචියට ගොස් විය හැකි ය. මේ සා වැදගත් ඡන්දයක දී ඔවුනගේ හඬ නිහඬ කළේ භූගෝලිය දුරස්ථභාවය හෝ ප්‍රවාහන පහසුකම් විය හැකි ය. දැන් ඡන්ද දැමුවහොත් අත් කපන්නට, මරා දමන්නට, පවුල් පිටින් පුළුස්සා දමන්නට ත්‍රස්තයෝ නොවෙති. එහෙත් උතුරේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට මැළි වූ යේ මන් ද? තුනෙන් දෙකකක් ලැබිම පිළිබඳ සන්තෝෂ වන ආණ්ඩුව කල්පනා කළ යුත්තේ මෙයට පිළියම් කිරීම මිස, වෙන තැනින් මන්ත්‍රීන් බිළිබා ගැනීම නොවේ. එසේ නොමැති වූ කළ මේ ජනාධිපතිගේ ධූර කාලයේ ම, මේ අභිනව පාර්ලිමෙන්තු කාලයේ දීම, තවත් දෙමළ සන්නද්ධ නැගීටිමක ආරම්භයක් වැළැක්විය නොහැකි වෙයි. ඒ සඳහා විශාල හමුදාවක් අවශ්‍ය නැත. සුළුතර කණ්ඩායම්ක් විසින් රටක් දැඩි අවුලෙන් අවුලට පත් කළ හැකි බව අල්කයිඩා ව ත්‍රස්ත ජාලය පෙන්වා දී තිබේ.

වරක් ජනාධිපති වරයා විසින් වත්මන් ලංකවේ “සුළුතරයක් නැතැ”යි ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, “ප්‍රජාතන්ත්‍රවාදය” සාධාරණ යුක්ති සහගත දේශපාලන ක්‍රමයක් නොවේ. එහි ගම්‍ය අර්ථයෙන් ම ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන වා නොව, බහුතරයක් විසින් සමස්ථ ප්‍රජාව ම පාලනය වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු (50 + 1)% තීරණය ඉටු වීම ය. මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා 50% පමණ ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. එසේ ප්‍රකාශිත ඡන්ද 50%න් 60%-70%ක බහුතර මතයකින් අද තුනෙන් දෙකක ආසන්න පාර්ලිමෙන්තු සංචිතයක් සැකසී ඇත. සත්‍ය වශයෙන් පැවසුවොත්, ආණ්ඩුව සඳහා තුනෙන් දෙකකට ආසන්න ඡන්ද ප්‍රකාශ වීමක් සිඳු වී තිබෙන්නේ මුළු ඡන්ද ලාභි පුරවැසියන්ගේ 30%- 35% පමණ ප්‍රමාණයකින් ය. යමෙකුට මේ විශ්ලේශනය ‍දෙස බලා ඡන්ද නොදැමූ අය කර ගත් මෝඩ කමක් යයි කිව හැකි ය. මම ද එයට එකඟ වෙමි. එනයින් ඡන්ද නොදැමුවන් මතු පැමිණෙන ආණ්ඩුව විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් නැත්තේ, තොරා ගැනීමේ කාර්යය සඳහා ඔවුන් ක්‍රියාකාරී සහභිගීත්වයක් දරා නොමැති බැවින් ය. අනෙක් අතට, මෙයින් පෙනෙන්නේ අවම වශයෙන් බහුතර කැමැත්ත වත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ ප්‍රකාශ නොවන බව නොවේ ද? එසේ නම් සුළුතරයක් වන අසිංහල හෙවත් දෙමළ, මුස්ලිම් හා වෙනත් ජන කාණ්ඩ ගැන කවර කතා ද?

10 comments:

  1. ම්ම්ම් වව්නියාවේදී ජනාධිපතිතුමා පැවැත්වූ කතාව ගැන අදහස් දක්වන්නට කලින් මෙම දර්ශන ඔබ නැරඹුවාද?
    http://video.lankadeepa.lk/videos/245/prasident-vavuniya
    මේ ගැන ලිපියක් ලිවු රාමචන්ද්‍රගේ අඩවිය පසුව එම කරුණ අසත්‍ය බව පිලිගත්තා. මේ ඒ ගැන ඔහුගේ සටහනයි.

    පසුගිය ඉවත් කරන ලද බ්ලොග් පෝසටය ගැන -
    එම ලිපියට ප්‍රධාන කරුනු දෙකක් අන්තර්ගත වෙලා තිබුනා.
    1.ජනාධිපති යාපනනෙය්දී කලා යැයි වාර්තා කොට තිබුන ප්‍රකාශය
    2.ජනාධිපති ජනාධිපතිවරනය ජයගැනීමෙන් පසු මාධ්‍ය ඉදිරියේ කල ප්‍රකාශය
    මේකෙන් 1 කරනුමය වශයෙන් නිවැරදි නැහැ කියන එක ලියුමකරුට පසුව පෙනී ගියා.ලියන අවස්ථාව වනවිට නිකුත් වෙලා තිබුනේ අදාල කතාවේ හඩපටය විතරයි.ලිපිය ලියද්දි හඩපටයට දෙතුන් වරක් හොදට ඇහුම්කන් දුන් අතර (මෙකේ නම රාමචන්ද්‍රගේ අඩවිය වුනාට ලිවීම සදහා අදහස් දීඹ හා ඊට සම්බන්ධ වන තනි පුද්ගලයෙක්ට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා ) අවංකව ඉන් ඇහුනේ ඉහත ලිපියේ සදහන් වුන ප්‍රකාශය මිස අනෙකක් නෙමෙයි.නමුත් පසුව නිකුත් වූ වීඩියෝ පටය නරඹන විට,ප්‍රකාශ කරන දේ සහ ප්‍රකාශ කරන ආකාරය මත සිද්ධිය වෙන එකක් බව ඒත්තු ගියා.ඒ වනවිට කමෙන්ට්ස් 20ක් පමන ලිපියට පක්ෂව හා විපක්ෂව පලවී තිබුනා.21 වෙනි කමෙන්ට් එක විදිහට කනගාටුව ප්‍රකාශ කිරීමේ ප්‍රකාශයක් දානවට වඩා ලිපිය ඉවත් කිරීම යෝග්‍යයි කියල සිත්වුන නිසා ලිපිය ඉවත් කලා.

    ReplyDelete
  2. lankatruth හි විකෘති කල පුවත නිවැරදි පුවතක් ලෙස හුවාදැක්වීම තරයේ හෙළාදකිමි.මෙන්න නිවැරදි පුවත.. http://video.lankadeepa.lk/videos/245/prasident-vavuniya හැකිනම් මෙම comment එක පළකරන්න.මහජනතාව නොමග නොඅරින්න. අතුගා දැමිය යුතු ජාතිවාදී පිළිලයට ඔක්සිජන් සැපයීම, මහා අපරාධයක් බව ඔබ තේරුම් ගනී යයි සිතමි.

    ReplyDelete
  3. "පසුගිය දවසක වව්නියාවේ අපේ ජනාධිපති විසින් වර්ගවාදී ලෙස කළ බැණ වැදීම තුළ ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී ඇත"

    ප්‍රශ්නය ගැන ඔබේ ස්ථාවරය කුමක්දැයි ඉහත ප්‍රකාශයෙන්ම පැහැදිලිය. යමක් විමසා නොබලා lankatruth, lanka-e-news වැනි ජඩ මාධ්‍ය වලින් ඔබේ මොළය වෙත එල්ල කරන පච ප්‍රහාරය කිසිදු විරෝධතාවක් නොදක්වාම ඔබ පිළිගනී. ජනපති කළ කතාවේ සැබෑ තත්වය ලංකාදීපය මගින් හෙළි කරන ලදී. රාමචන්ද්‍රද ඔබ සේම සිංහ නාද කර ඔය ගැන ලිපියක් දැමූමුත් ඇත්ත එළිවීමෙන් පසු පධුරටත් නොකියාම එම ලිපිය ගලවා හැර ඇත. ජනපත් බැණ වැදුණේ ඔහු දෙමළෙන් කතා කරන විට හූ කී සිංහල පිරිසටයි. ජනපති කියා සිටියේ "අහගෙන ඉන්නවා, දෙමළත්" මිසක කිසිදු උක්ත ආඛ්‍යාත සබැඳියක් නැති බව ඕනෑම මෝඩයකුට වැටහී යන "අහගෙන ඉන්නවා, දෙමළා" ලෙස නොවේ.

    ReplyDelete
  4. "ප්‍රභාකරන් ගේ රුධිරු හස්තයෙන් පිඩාවට පත් වූයේ සිංහල ජනසමාජය වත්, මායිම් ගම්මාන වල ජනතාව වත් නොවේ"

    ඇත්තටම ඔබ ගැන දැනෙන්නේ මහා දුකකි. කොලඹ සැප සීත කාමරයක සිටින ඔබ මායිම් ගම්මාන වැසියන් විඳි දුක ගැන කිසිම දෙයක් නොදන්නා බව පෙනෙන්නට ඇත. කොටි පැමින් රෑට රෑට පෙති ගසා ගියේ මායිම් ගම්මාන වල සිටි අඟහරුවන්දැයි ඔබේ සටහන දකින විට සිතේ

    "ලක්ෂ තුනක පමණ ජනතාවක් සඳහා අවශ්‍ය කරන ආහාර වෙනුවට 70,000 අවශ්‍ය ආහාර සහ වෛද්‍යාධාර යවමින්, ක්‍රමානුකූල ව සිවිල් ජනතාව කුසගින්නේ සහ හාමතයේ තබන ලදී. ඒ හෙයින් මහල්ලන් රාශියක් ද, කුඩා දරුවන් විශාල සංඛ්‍යවක් ද කුස ගින්නේ මියැදුනේ ය. බොම්බ වලින් මියැදුන සංඛ්‍යාවට වඩා කුසගින්නෙන් මියැදුන සංඛ්‍යාව වැඩි බව ප්‍රකාශ විය"

    මෙය උතුරේ පස් පාගා වත් නැති, දෙමළ මිනිසුන් සුදුද කලුද කියාවත් නොදන්නා බටහිර ජඩ මාධ්‍ය කිහිපයක් විසින් මවා පාන ලද චිත්‍රයයි. ඇමෙරිකානු හමුදා පාසල් වලට බෝම්බ දමද්දී බෝම්බ වැටුනේ ත්‍රස්තවාදී ඉලක්ක වෙත බව පුන පුනා කියමින් ගොබෙල්ස්කරනය සිදු කරන මාධ්‍යයි. උතුරේ වැසියන් සමහර්ක් කුස ගින්නේ මියෙන්නට ඇත. නමුත් එයට එකම හේතුව ආහාර ලොරි වලට ඒ ප්‍රදේශ වලට ඇතුළු වන්නට කොටි ඉඩ නොදීමත්, ඒ ආහාර ඔවුන් විසින් පැහැර ගැනීමත්ය. ෂෙල් වරුසා විසිද්දී දෙමළ වැසියන් වෙත ආහර ගෙන ගිය හමුදාව ගැන වචන මාත්‍රයකිනුදු තුති පුද කිරීමට ඔබ අමතක කරන්නේ මන්ද යන්න නොවැටහේ.

    ReplyDelete
  5. @ පළගැටියා, JaNaKa, මිගාර,

    ඔබලා විසින් දක්වා තිබූ නිවැරදි කිරීම්වලට ස්තූති යි! ඒ සඳහා නිවැරදි කිරීමක් ඒ තන්හි දීම යොදා ඇත. මා විස්න දක්වන ලද:
    "ප්‍රභාකරන් ගේ රුධිරු හස්තයෙන් පිඩාවට පත් වූයේ සිංහල ජනසමාජය වත්, මායිම් ගම්මාන වල ජනතාව වත් නොවේ" උපුටා සන්දර්භයෙන් පිට අදහස විවේචනය කොට ඇත. සාපේක්ෂ වශයෙන් ගත් කළ ප්‍රභාකරන් නම් මිලේජ්ජ්‍ය මිලිටරි ත්‍රස්ත නායකයා විසින් කරන ලද ව්‍යසනයේ විශාල ප්‍රමාණයක් හානිය පැමිණියේ දෙමළ ජනතාවට යන්න මගේ තර්කය යි. ඒ විනා, මා විසින් සිංහල සමාජයට සහ මායිම් ගම්මානවල ජනතාවට හානි සිඳු නොවූයෙ යයි මතයක් මතු කරන්නට මා උත්සහ කළේ නැත. දෙවනු ව, යුද්ධය වව්නියාව දක්වා ඇදුනා වූ කාලයේ පටන් මා වව්නියාවේ, ත්‍රිකුණාමළයේ, මඩකලප්පුවේ සහ යාපනයේ විවිධ කටයුතු සඳහා ගොස් ඇත. ඒ හෙයින් සිංහල සහ දෙමළ ජන වර්ග දෙ‍කට ම සිඳු වූ හානිය මා ඇස් දෙකෙන් දැක ගැනීමටත්, මගේ කන් දෙකෙන් ඒ ව්‍යසනයන්ට පත්වුවන් ගේ කතාවන් අසා ගැනීමටත් මට හැකි විය. ඒ බැවින් මා සිංහලයකු වූව ද, සංවේදී ලෙස සිතන්නට දකින්නට පිළිවන් විය. අනෙක් අතට දෙමළ ප්‍රජාව සමඟ වසර ගණනාවක් ගත කිරීමටත්, සේවය කිරීමටත් ලද අවස්ථාවන් නිසා, කුඩා කල පටන් හැදී වැඩුණු "සිංහල බෞද්ධ" අන්තගාමි සහ අගතිගාමී ලෝකදෘෂ්ටියෙන් මිදී, මධ්‍යස්ථ ලෙස සහ උපේක්ෂාවෙන් යුක්ත ව දෙමළ ප්‍රශ්නය දෙස බැලීමට හැකි විණ.

    මිගාර ස්වකීය සීමිත දෘෂ්ටිය නිසාවෙන් ලිපියේ මාතෘකාවවත් නොසලකා දෙවැනි විවේචනය කර ඇත. මේ ලිපියේ අරමුණ වූයේ දෙමළ ප්‍රශ්නය හා එයට අද්‍යතන ලෙස සිඳු වී ඇති කරුණු කාරනා සටහන් කිරීම මිස, ශ්‍රී ලංකා හමුදාව විසින් කළ සුබසාධනය හෝ යුධ අපරාධයන් හෝ යුධ ජයග්‍රහණයන් ගැන කථිකා කිරීම නොවේ. අපට ඇති වැදගත් ප්‍රශ්නය වන්නේ දෙමළ ජනතාව විසින් 21%-24% පමණ ඡන්ද භාවිතයක් කරන්නට හේතු වූ සාධක සොයා බැලීමට ය.නැතහොත් සිංහල අපගේ අභිමානය හෝ පරහිතකාමීත්වය හෝ උපේක්ෂාවන් මතු කොට බොරුවට පිටට තට්ටු කර ගැනීමට නොවේ.

    ReplyDelete
  6. //මෙය උතුරේ පස් පාගා වත් නැති, දෙමළ මිනිසුන් සුදුද කලුද කියාවත් නොදන්නා බටහිර ජඩ මාධ්‍ය කිහිපයක් විසින් මවා පාන ලද චිත්‍රයයි. //

    මිගාර ( හා එවැනි අනිත් අය ) තේරුම් නොගන්නේ යථාර්තය කියන්නේ පැතලි දෙයක් නෙමෙයි කියන එක.එහි පැතිකඩ කිහිපයක් තියනව කියන එක ගැන මේ අයට අවබෝධයක් නැහැ.මේ නිසා ඒක රේඛීය විදිහට සිතල දැඩි නිගමන වලට ඉක්මනින් අවතීර්න වෙනවා.
    උදාහරනයක් විදිහට මේ අයට තියෙන එකම ඉතිහාසය මහාවංශය.
    සත්‍යය කියන එකම පුවත් මූලාශ්‍රය අයි ටී එන් නාලිකාව.
    සත්‍යය කියන එකම පුවත්පත දිවයින නැත්නම් දිවයින.
    යම් මූළාශ්‍රයකින් තමන්ට දිරවන්නෙ නැති පුවතක් ආවම ඒක "ජඩමාධ්‍ය" පුවතක් කියල බැහැර කරනවා.සිවිල් යුද සමයේදී හමුදාව සියයට සියයක් මානුශිකයි,උතුරේ මිනිහෙක්ගේ මයිල් ගහකට හමුදාවෙන් හානියක් වුනේ නැහැ කියල බොලද විදිහට විශ්වාස කරගෙන ඉන්නෙ මේ නිසා.මේ කාසියේම අනිත් පැත්ත තමයි දෙමල අන්තවාදය.මිගාරලා සහ ප්‍රභාකරන්ලා එකම ඇපල් ගෙඩියක පලු දෙක වගේ.ඇපල් ගෙඩිය කියන අර්බුදය නිර්මානය කරන්නේ මේ දෙපිරිසෙහි ඒකාබද්ධය.එකක් මත අනෙක යැපෙනවා.
    ( ජාතිවාදී තර්ක වල නිස්සාරත්වය පිලිබද අපූරු කෙටිකතාවක් වරෙක සංඛ කිරිදිවැල්ල බූන්දියට ලියල තිබුන.පුලුවන් වුනොත් පසුව ලින්ක් එක දාන්නම් )

    දකුනු අප්‍රිකාවේ දශක කිහිපයක වර්නභේදවාදී ගැටුම් වලින් පසු ක්‍රියාත්මක වූ සත්‍යය හා යුක්තිය පිලිබද කොමිසම වැනි ව්‍යාපෘතියක් ලංකාවට දැන් අවශ්‍යයි කියල මම හිතනව.අතීතයේ වුන අමිහිරි වැරදි දේවල් යලි නොවෙන්න සහ ජාතීන් අතර සුහදතාවය වර්ධනය කරන්න ඒ වගේ අවංක ප්‍රවේශයක් අවශ්‍යයයි.එතනදි යුද්දෙදි දෙමලගෙ මයිලකට හානි වුනේ නැහැ,ඊලාම් අරගලය ඇතිවෙන්න සිංහල අන්තවාදයෙ කිසි බලපෑමක් වුනේ නැහැ ඒක හුදෙක් දෙමල නායකයන්ගේ මනෝ විකාරයක් වගේ සිමාන්තික මත වල එල්බ ගෙන සිටියොත් එක අගලක් අපිට ඉදිරියට යන්න වෙන්නෙ නැහැ.
    උදාහරනයක් විදිහට යුදදය ඉවර වෙලත් විශාල දෙමල තරුන පිරිසක් - බොහෝ දෙනා චෝදනා රහිතව - තවම හමුදා භාරයේ රදවා සිටිනව.මේ ගැන ආනන්දසංගරී ( යුද්ධයේදී ජනාධිපතිට සහය දැකවූ "දේශප්‍රේමියෙක්" ) ඉතාම සංවේදි ලිපියක් ජනාධිපතිට යොමු කරල තිබුනා.මේ ප්‍රශ්න "ප්‍රශ්න" විදිහට මිගාරලාට නොදැනෙන්නේ ඒ විදවන අය දෙමල නිසා.ජාතිවාදී දෘෂ්ටිය විසින් මානුෂිකත්වය කොයිතරම් දුරට අවලස්සන කොට දමනවාද?

    පුද්ගලිකව ආන්ඩුවට පක්ෂ නොවුනත් ජනාධිපති ටෙලිප්‍රොම්ප්ටරයෙන් බලාගෙන හෝ දෙමල කතාකරන්න දරන උත්සාහය අගය කල යුතුයි.ඒත් ටෙලිප්‍රොම්ප්ටරයෙන් දෙමල කතාකලාට දශක කිහිපයක් තිස්සේ මෙම ගැටුම විසින් එම ප්‍රජාවේ හදවත් තුල ඇතිකල තුවාල සනීප වෙන්නෙ නැහැ.ඒ සදහා ඊට වඩා විදග්ධ හා ගැඹුරු ප්‍රවෙශයක් අවශ්‍යයයි.ඒ ප්‍රවේශය ජනාධිපතිවරනයේදි උතුරු නැගෙනහිර ප්‍රදේශ කොටි හිතවාදී දිස්ත්‍රික්ක විදිහට හදුන්වපු,චම්පික රනවක වැනි උග්‍ර වර්ගවාදීන්ගේ බලපෑමට හසුවූ අවතැන් වූවන් අරභයා අතිශය අසංවේදි ප්‍රතිපත්තියක් අනුගමනය කල රෙජිමයකින් අපේක්ෂා කිරීම කෙතරම් දුරට ප්‍රායෝගිකද?රට ඉදිරියේ තිබෙන ප්‍රශ්නය මෙයයි.

    ReplyDelete
  7. පිළිතුර සම්පූර්ණ කිරීමට නොහැකි වූ නිසා ඔබ ඇති කර ගත් වැරදි අදස ගැන මට කමන්න.

    "අපට ඇති වැදගත් ප්‍රශ්නය වන්නේ දෙමළ ජනතාව විසින් 21%-24% පමණ ඡන්ද භාවිතයක් කරන්නට හේතු වූ සාධක සොයා බැලීමට ය"

    ඇත්තෙන්ම එය හොඳ දෙයකි. නමුත් විවිධ දේශපාලන කාරණා වෙත කිසිම ප්‍රශ්නයක් නැතිව පැන ඡන්දය නොදීමට හේතුව දෙමළ ජනයාට ඉන් වන සෙතක් නැති නිසාය යන නිගමනය ගනියි. ඉහත ඡන්ද ලේඛණ වලට පාදක වී ඇත්තෙ අතීතයේ ලේඛනයි. උතුරු නැගෙනහිර හරියටම සිටින ඡන්ද දායකයන් ගණන අපි මේ වන විට හරියටම නොදනිමු. ඒ දත්තය සපයා ගත් විට සමහර විටෙක ප්‍රතිශතය 10% දක්වා අඩු වීමට හෝ 60% දක්වා වැඩි වීමට හෝ ඉඩ ඇත. එම මූලික කරුණම නොදැන ඔබ කරන්නෑ) මුව හමට තඩි බෑමකි.

    ලිපියේ අරමුණ උකත යයි ඔබ පැවසූවත් ලිපියෙන් 50% ම ඔබ වැය කරන්නේ දෙමළ ජනයා ආන්ඩුව විසින් මැරවී යයි චෝදනා කිරීමටට්යි. ඔබේ යටි අරමුණු එයින්ම මොනවට පැහැදිලි වේ.

    "මා නොදැන සිටි, එහෙත් සැබෑව දැන සිටි ආණ්ඩුව, ලක්ෂ තුනක පමණ ජනතාවක් සඳහා අවශ්‍ය කරන ආහාර වෙනුවට 70,000 අවශ්‍ය ආහාර සහ වෛද්‍යාධාර යවමින්, ක්‍රමානුකූල ව සිවිල් ජනතාව කුසගින්නේ සහ හාමතයේ තබන ලදී"

    ඔබේ අරමුණු කුමක්දැයි පෙන්වන හොඳම අවස්ථාවකි මෙය. උතුරේ සරණාගත කඳවුරු වල මා සේවය කර ඇත. එසේම මා මිත්‍ර වෛද්‍යවරුන්ද සේවය කර ඇත. ඔබත්, ඔබේ ජඩ මාධ්‍යත් පස් පාගාවත් නැති දූවිල්ලෙන් පිරි ඒ බිම් මම දැක ඇත්තෙමි. නමුත් සුභසාධන කඳවුරු වලට ඇතුළු වීමෙන් පසුව කුසගින්නේ මිය යන කිසිම අවතැන් වැසියකු මා නම් දැක නැත. සුබ සාධන කඳවුරු වලට ඇති තරම් ආහාර හා වෛද්‍ය සේවා සැපයිණි. එහි වෛද්‍ය වරුන් වරකට 85 දෙනෙකු පමණ සේවයේ යෙදී සිටියහ. ඔබ පවසන්නේ හිතළු බව මට හොඳටම විශ්වාසය.

    ReplyDelete
  8. @ ramachandra

    "මිගාර ( හා එවැනි අනිත් අය ) තේරුම් නොගන්නේ යථාර්තය කියන්නේ පැතලි දෙයක් නෙමෙයි කියන එක"

    ඒක ඔබටත් අදාලයි. චැනල් 4 වීඩියෝ පට හා ජනපති පසුගිය දිනෙක කරන ලදැයි කී කතාව පරම ස්ත්‍ය ලෙස විචාරයකින් තොරව ගත් ඔබ මේ ගැන දෙසන්නට ඒම හාස්‍යජනකය. ඔබ හිතන්නේ අතිශයින්ම රේඛිය විදියට වීම තමයි මෙහි ඇති ලොකුම හාස්‍යය.

    "යම් මූළාශ්‍රයකින් තමන්ට දිරවන්නෙ නැති පුවතක් ආවම ඒක "ජඩමාධ්‍ය" පුවතක් කියල බැහැර කරනවා"

    අප බැහැර කරන්නේ පුවත් මවන ආකාරයයි. යුධ කාලයේ දෙමළ වැසියන් දහස් ගනනින් එක ගොඩේ මිය ගිය බවට වාර්ථා කල මේ ජඩ මාධ්‍ය වලට ඒ මිනී වල එක පින්තූරයක් පෙන්වන්නට හැකි වුනේ නෑ. අඩු ගණනේ එසේ වූයේ කොතනකදැයි භූගෝලීය පිහීටීම සමග කීමට හැකි වුනේ නෑ. මේවා එන්නේ "මූලාශ්‍ර" වලින්ද කියලත් සැකයි. ඔබ හිතන විදියට ලන්කා ඊ නිව්ස්, ඩේලි මිරර්, ඉරු දින වගේ පුවත් පත් පමණක් ඇත්ත කියන බවයි. එනිසා ඔබ චෝදනා කරන වරදම ඔබත් සිදු කරනවා.

    "ජාතිවාදී තර්ක වල නිස්සාරත්වය පිලිබද අපූරු කෙටිකතාවක් වරෙක සංඛ කිරිදිවැල්ල බූන්දියට ලියල තිබුන.පුලුවන් වුනොත් පසුව ලින්ක් එක දාන්න"

    සංක කිරිඳිවලගේ කෙරුවාව ගැන අපි හොඳින්ම දන්නවා. දර්මප්‍රචාරක හාමුදුරුවරු දහම්පාසල් වල ගුරුවරියන් සමග රමණයේ යෙදෙන අයුරු රස කරමින් කෙටි කතා ලියූ සංක ගේ කතා මෙතැන්ට එබ්බීම හොරා ගේ අම්මගෙන් පේන ඇහීමක් වගෙයි. මෙවැනි මෝඩ කතා ඔබේ මට්ටමේ අයට ඔබින්නේ නැත.

    ReplyDelete
  9. //ඒක ඔබටත් අදාලයි. චැනල් 4 වීඩියෝ පට හා ජනපති පසුගිය දිනෙක කරන ලදැයි කී කතාව පරම ස්ත්‍ය ලෙස විචාරයකින් තොරව ගත් ඔබ මේ ගැන දෙසන්නට ඒම හාස්‍යජනකය//

    ජනාධිපතිගේ කතාව කදිම පිදුරු ගහක් වී ඇති සෙයකි.එය සාවද්‍ය පුවතක් බව ඒත්තු ගිය තැන එය පිලිගෙන ලිපිය ඉවත් කල අතර ඒ ගැන කරුනු පැහැදිලි කිරීමක්ද අප විසින් කරන ලදී.කෙසේ වෙතත් අදාල වීඩියෝ පටය සාවද්‍ය බව සනාථ වූ පසු එය පිලිගැනීමට අප මැලි නොවු අතර සර්ව සම්පූර්න අපක්ෂපාතවාදීන් නොවුනත් වඩා යෝග්‍ය පිලිවෙත එය යැයි සිතමු.ලංකාදීප අඩවියේ නිවැරදි වීඩියෝව පලවූ විට ඒක ආන්ඩුවේ කුමන්ත්‍රනයක් කියල හිත හදාගන්න තැනකට අපි ගියෙ නැහැ.
    මෙතන ප්‍රශ්නය තියෙන්නෙ ඔබ ( ලා ) ගේ පාර්ශවයෙන් ඒ වගේ විවෘත භාවයක් නොතිබීමයි.චැනල් 4 වීඩියෝව සම්බන්ධ කරුන ඒ වගේ කරුනක්.චැනල් 4 "ප්‍රබන්ධයක්" බවට ආන්ඩුව පත්කරපු විශේෂඥ කමිටුව දෙන නිර්දේශය කිසි විවාදයක් නැතිව බාරගන්න ඔබතුමා ඇත්තටම මේ වගේ දෙයක් වෙන්න ඉඩක් නැද්ද කියන සාධාරන කල්පනාවට යන්නෙ නැහැ.

    පලි - කිරිදිවැල්ල මෙතන මාතෘකාව නොවුනත් කලාව ගැන ඔබට තියෙන අදහසින් යලි මතුවෙන්නේ අර රේඛීය මනස මිස අනෙකක් නෙමෙයි.පාර අයිනේ වැතිර සිටි භික්ෂුවක් සමග ස්ත්‍රීන් සමූහයක් රමනයේ යෙදෙන කතා තිබෙන්නේ බෞද්ධ සාහිත්‍යයේයි.මෑතකාලයේ බිහිවුන විශිෂ්ට චිත්‍රපටයක් වුන සංඛාරා හි තරුනියකගේ නිරුවත් සිරුර ගැන පරිකල්පන මවන තරුන භික්ෂුවක් ගැන නිරූපනය වෙනවා.ලිංගිකත්වය දුටු විගස කුලප්පු වන ව්‍යාජ දේශප්‍රෙමි සිංහල බෞද්ධයන්ගේ සුචරිතවාදය වික්ටෝරියානු නයක් මිස අඩුම තරමින් "බෞද්ධ" එකක් වත් නොවීම විශාල විහිලුවක්.

    ReplyDelete
  10. @ මිගාර,

    මිගාර වෛද්‍ය තුමා නිතරම දක්න්නේ වෙන වෙන දේවල් විනා ලිපියේ අන්තර්ගතය නොවේ. මා විසින් ඉහත දැක් වූ ලිපියේ පරමාර්ථය වූයේ අද්‍යතන වශයෙන් දෙමළ ජනතාව වැටී සිටින තත්ත්වය ගැන කතා කිරීම මිසක් ආණ්ඩුව විසින් දෙමළ ජාතිකයන් මරන බව දැක්වීම නොවේ. කරුණාකර ලිපියේ කොටස් පමණක් බලා සන්දර්භයෙන් පිට කරුණු උපුටා වැරදි අර්ථකතනයක් දීමෙන් වළකින්න. මා විසින් දැක් වූ ජන සංහරයන් වූයේ නන්තිකඩාල් කලපුවේ හතර වටින් වට කොට සිටි සිවිල් ජනතාව ගැන මිසක් සරණාගත කඳවුරු තුළ වූ සිඳු වීම් ගැන නොවේ. මා සරණාගත කඳවුරු තුළ සිඳු වූ කරුණු කාරණා ගැන යමක් නොලිවීමට හේතු වූයේ රජයේ මාධ්‍ය වාරණය නිසා පිටස්තර කවරෙකුටවත් එකී කඳවුරු තුළට ඇතුලු වීමට ඇති නොහැකියාව නිසාවෙන් ය. මා පෞද්ගලික වශයෙන් සරණාගත කඳවුරු තුළට ගමන් කොට නැත. එහෙත් මිගාර වෛද්‍යාචාර තුමාගේ තක්සේරුවට අනුව එකී කදවුරු ස්වර්ග රාජ්‍යයන් බඳු ය.මිගාර විසින් අමතක කරනු ලබන වැදගත්ම කාරණය වන්නේ එකී කඳුවුරුවල තතත්වය එතුමා ගත කළ ස්ල්ප කාලයට අදාළ කොට කරනු ලබන තක්සේරුවයි. සරණාගත කඳවුරුවල ඇතුල් පැත්ත ලීවීමට අවශ්‍ය නම් ඒවායේ ඇතුලෙහි වැඩ කළ මිතුරන් ගෙන් එකී තත්ත්වයත් අවශ්‍ය නම් ඡයාරූප සමඟ පළ කරන්නට පුළුවන; එවැනි අවර තත්ත්වයකට මා වැටෙන්නේ නැත. වැරදි අඩුපාඩුකම් දුර්වලතා සැමදෙනා අතින් ම සිඳු වෙයි. එහෙත් ඹ්නෑවෙන් ම යුතුකම් හා අයිතිවාසිකම් පැහැර හැරීම් එකී ඝනයට ලා සැලකිය නොහැකි ය. ඒ නිසයි මා විසින් කෙහෙලිය රඹුක්වැල්ල (මා ඔහු පෞද්ගලික ව හමු වී ඇති අතර, ඒ හමු වීම් නිසා මගේ තක්සේරුව වූයේ ඔහු නිහතමානි අවංක සත්‍යවාදී අයෙකු ලෙස ය) වැනි අයගේ බොරු ප්‍රකාශ විශ්වාස කිරීමෙන් විදේශින් ඉදිරියේ මා පත් වූ අසරණභාවයත්, ලැජ්ජාවත් දැක්වීම ය. අනෙක් අත‍ට කොටු වූ සිවිල් ජනතාවකට ආහාර සහ වෛද්‍යාධාර 70,000කට මාස තුනක් පමණ සීමා කිරීම වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "යුධ අපරාධය" කි; ඒ පිළිබඳ මට කිසිඳු සැකයක් නැත. මා ලීවාක් මෙන් ම, එල්.ටී.ටීය අමු අමුවේ ත්‍රස්ත මිලේජ්ජ්‍ය රුහිරු පිපාසිත යුධ අපරාධකාරයන් ය. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී රටක රජයක් එසේ පහත් අයිතිවාසිකම් උල්ලංඝනය කරන තත්ත්වයකට වැටීම කේදජනක ය.

    ඔබගේ ඡන්ද ප්‍රකාශය පිළිබඳ ‍තර්කය අතිශයින් ම බොළඳ ය. ඔබගේ තර්කයට අනුව මේ ඡන්ද ලේඛණ පරණ යල් පිනූ සාවද්‍ය ඒවා නම් ඡන්ද කොමසාරිස් විසින් අමු අමුවේ ම උතුරේ වෙසෙන දෙමළ, සිංහල, මුස්ලිම් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කොට ඇත. එහෙව් රටක මොන අයිතිවාසිකම් හා සමානතා පිළිබඳ කතා ද? අනෙක් අතට මෙයට පෙර පැවති ජනාධිපතිවරණයේ දී වැටුන ඡන්ද ප්‍රමාණය වත් මෙවර වැටී නැත. සරණාගත කඳවුරුවල වෙසෙන ජනතාවට බස් ප්‍රමාද වීම නිසා ජනාධිපතිවරණය සඳහා ඡන්දය දැමීමට නොහැකි වුව ද,මෙවර ඔවුනට ඡන්දය දැමීමට අවස්ථාව ලැබුණු බව ද ප්‍රකාශ වී තිබිණ.ඔබේ මතයට අනුව උතුරේ ජනතාවට නිවැරදි ලෙස ඡන්ද ලැයිස්තුවක් තනන්නට උනන්දු නොවන රජයකින් කවර සහන දෙමළ ප්‍රජාවට අපේක්ෂා කළ හැකි ද? එහෙත් මා සිතන්නේ අපට රටත් වශයෙන් පැන යා නොහැකි, උභතෝකෝටිකයක් මේ මහා මැතිවරණය සමඟ දෙමළ ප්‍රජාව මතු කොට ඇති බවකි; එයට පිළිතුරු සෙවීම මනුෂිකත්වය අගයන සැමගේ යුතුකම ය.

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...