Friday, August 2, 2013

පුර්වාදර්ෂ




මුළු වසර පුරාවට විවිධ වූ නරක පුර්වාදර්ශ රාශියක් පෙළ ගැසිණු දක්නට වි ය. ලංකාවේ මුළු දේශපාලන ඉතිහාසයේ බහුතර වශයෙන් ම දක්නට ඇත්තේ වැරදි පුර්වාදර්ෂයන් ය. අද්‍යතනයේ මහජනතාව ද වැරදිපුර්වාදර්ෂ අනුගමනය කරන්නේ අකර්මන්‍ය දේශපාල රාජ්‍ය පාලනයේ අවධානය දිනා ගැනීමට ය. හන්දි ගානේ උද්ඝෝෂණ ගැන කතා කිරීමේ දී ලිප්ටන් වටරවුම අමතක කළ නො හේ.  වරක් මා ද දෙමළ ජනතාව පොදි බැඳ වව්නියාවට ගාල් කිරීමේ ආණ්ඩුවේ බලහත්කාර ක්‍රියාවකට විරෝධය පා එහි උද්ඝෝෂණයකට සහභාගී වුනෙමි. එක් සහභාගී වූවෙකු ගේ අදහසක් වූයේ විරෝධය පාමින් අප පාර හරහා ලිප්ටන් වටරවුම වටා යා යුතු බව ය. එහි අරමුණ වූයේ එක්තරා අතකට රථ ගමනාගමනයට මද වශයෙන් බාධා කිරීම ය. එහෙත් මා ඒ අදහසට එකඟ නොවුනෙමි. කෙසේ වෙතත් සමහරෙක් ගමන් ගත් දී අප කිහිපදෙනෙකු එක් පසක වී විරෝධය පැ හ. කෙසේ වෙතත් මහමාර්ග අවහිර කිරීම් බහුල ව සිඳු වූයේ අබලන් මාවත් තනා ගැනීම සඳහා ගත් උත්සහයන්ගෙන් ය. වරින් වර, එළවළු විකුණාගත නොහැකි වීම, අලි ප්‍රහාර, පාසල්වල අර්බුධ හෝ ගම්වල පොදුවාඩ කරවා ගැනීමට මහමාර්ග අවහිර කළහ. එහි උච්ඡස්ථානය වූදේ මුහුදු ගොස් කුණාටුවකට අසු වූ ධිවරයන් පිරිසක් ගලවා ගැනීමට දුම්රිය මාර්ගය අවහිර කිරීම ය. එය සුවිශේෂ පුවතක් වීම සමඟ රාගමආසන්නයේ දුම්රිය මාර්ගය අහුරා දුම්රිය රාශියක් ප්‍රාණ ඇපයේ තබා ගත්තේ බලවතුන්ගේ ඉඩම්වල භෞමික අඛණ්ඩතාව සඳහා  ‘අධිවේගී මාර්ගය’ විතැන් වී අහිංසක දුප්පත් මිනිසුන්ගේ දෙපොල යටකරගෙන යාම නිසා ය. එහි මෑත සිඳුවීම වන්නේ රතුපස්වල ග්‍රාමයේ ජල දූෂණයකට එරෙහි කළ උද්ඝෝෂනයකින් ය. මහමග හරස් කිරීම සාපරාධි ක්‍රියාවකි. අවුරුදු තරඟ පැවැත්වීමට හෝ ක්‍රිඩා පිට නොමැති විට මහමග බදු ගැනීම ද එක සේ වැරදි ය. දෙවන වැරදි පුර්වාදර්ෂය වන්නේ රජයේ හමුදාව සිවිල් කටයුතුවලට කටදැමීම ය. බොහෝ සිවිල් ජනතාව විසින් කළ යුතු දෑ මිලිටරිය විසින් කිරීමට පටන් ගෙන ඇත්තේ සිවිල් වැසියන් විරැකියාවට පත් කිරීමෙන් ය. නිදර්ශනයක් ලෙස ගොඩනැගීම් කටයුතු, එළවළු පළතුරු වගාව හා වෙළඳාම, ආහාර වෙළෙඳාම ආදිය නිදසුන් කිහිපයක් ය. ඒ හෙයින්, ඔවුන් ද, රතුපස්වල ග්‍රාමයේ සිදුවීමට හොට දැමීමට සිතන්නට ඇත. එසේ නැතහොත් අලුතින් පත් වූ හමුදාපති හට වැඩ පෙන්වන්නට මෙජර්වරයකුට සිතෙන්නට ඇත. සීමාවක් හෝ හේතුවක් නොමැති ව, වීරත්වයේ සංකේතයක් වීමට උත්සහ දරන ආරක්ෂක ලේකම් ගේ වුවමනාවට හෝ වීර ක්‍රියා කරන්නට හමුදාභටයන් හට සිතවන්නට ඇත. පාරිසරික හෝ කාර්මාන්ත අමාත්‍යංශය හෝ ප්‍රාදේශිය පළාත් හෝ නගර සභාවක් හෝ අවම වශයෙන් පොලිසිය විසින් කළ යුතු  කටයුත්තකට ආරක්ෂක ලේකම් වරයා මැදිහත් වී ඇත්තේ කිසි අරුතක් නොමැතිව ය (ආරක්ෂක ලේකම් තුමා ගේ මැදිහත් වීමෙන්  විවිධ මාෆියාවන් බිඳ හෙළිම නම් අගනේ ය; එහෙත් මෙහි ඔහුට ඇඟිලි දැමීමට දෙයක් නැත). ආරක්ෂක අංශ දේශපාලන අරමුණු කරා මෙහෙයවන විට දී ඇති වන්නේ අනිටු ප්‍රතිපල ය. රූකාන්ත-චන්ද්‍රලේකා යුවලට කළ අනිටු ක්‍රියාවේ සිට ‍ෆොන්සේකා මැතිදුන් සිර ගත කිරීම දක්වා ගත් තීරණ අනුවේදනීය ය. එහි උච්ඡස්ථානය හමුදාවට අයිති නැති ලෙස ජනතා හැසරවීමකට ගොස්, වෙඩි තබා දැනට එක් පුද්ගලයකු මරා දමා, හතළිස් ගණනක් තුවාල කර දැමීම ය. කැරළි මරධනය පොලිස්සිය සතු කටයුත්තකි; ඒ සඳහා ඔවුනට කැරළි මර්ධන ආංශයක් මෙන් ම, වතුර කැනන් සහිත උපාංගයෝ ඇත්තා හ. හමුදාවට ඇත්තේ ඔවුනට සහය වීම මිස, පොලිසිය කළ යුතු දෑ කිරීමට ගොස් හිස බිම ඇණ ගැනීම නොවේ. ඒ සේ ම, මෙවැනි දෑ කිරීමට යාමෙන් රණ විරුවන් ලෙස ලබා ගත් කිර්තියට හා මහජන ජනප්‍රසාදයට ද හානි වනු ඇත. යුද්ධයක මෙන්, ක්‍රමයෙන් ජනමාධ්‍ය වෙදීන් පළවා හැර, එතැන් සිට, ආලෝක නිවා දමා ස්වකීය ජනතාවට වෙඩි තැබීම (රබර් උණ්ඩ හෝ සක්‍රිය හෝ) යුධ උපක්‍රමයක් වි නා, කැරළි මර්ධනයක් නොවේ. හමුදාව ඉවක් බවක් නොමැතිව නිරායුධ ජනතාවට වෙඩි තබා ඇති අතර, අවට පිහිටි කතෝලික පල්ලියේ තාප්පය පුරාවට වෙඩි වැදුණු සලකුණු දක්නට තිබු බව වාර්තා වි ය. දේවස්ථානය පුරාවට ද රැධිරය වගුරුණු ලක්ෂණ දක්නට ඇත. උම්මත්තකයන් සේ ගැවසුණු හමුදාවෝ අවසානයේ හමුදාවේ අභිමානය නිගරු කළ හ. බල්ලා ගේ කාර්යය බුරුවා කිරීමට යාමේ ප්‍රතිපලය මෙවැනි ය. ඒ හෙයින් මෙය පළමු හා අවසාන අවස්ථාව වෙවායි මගේ පැතීම. එසේ නො වේනම් රට මිලිටරිකරණය සඳහා පය තැබීමකි.  දකුණෙහි සමස්ත ලෝකයා ඉදිරියේහි ම, මානව අයිතියක් වන පිරිසිඳු ජලය ඉල්ලා කළ උද්ඝෝෂණයකට හමුදාව මාරාන්තික ප්‍රහාරයක් එල්ල කළේ, නම් ලොවෙන් සැඟවුණු උතුරුකරයේ යුඳ අපරාධ පිළිබඳ චෝදනා නගන්නට ගල් මුගුරු දීමක් මෙයින් කළේ ය. මිනිසුන් හිස්තැන් පුරවා ගැනීමට මෙවැනි අවස්ථා ඇති නොකර, හමුදාවේ ගෞවරවය ආරක්ෂා කිරීම ආණ්ඩුවේ යුතු කමකි. ස්වකීය නො හැකියාව අභිමුව බලය යොදා ජනතා මැඬීමේ දේශපාලන අධිකාරීයේ ක්‍රියා මගින් කැළැල් ඇති වන්නේ හමුදාවට, රටට හා රටේ හොඳ නමට ය.       

No comments:

Post a Comment

Related Posts with Thumbnails