Wednesday, January 27, 2010

නිදිගැට කඩා අවදිව නැවත සුපුරුදු ලෙස වැඩට යමු...


සර්වජන ඡන්ද බලය ලැබුණු ‍ලෝකයේ පළමු රට ශ්‍රී ලංකා‍ව යි. ඒ ඩොනමොර් කොමිෂන් සභාව යටතේ 1931 දී ය. සර්ව ජන ඡන්ද බලය යනුවෙන් හැඳින් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම ය. එයට පෙර පැවති ඡන්ද ක්‍රමය වූයේ ඉඩම් හිමි, රජයට බදුගෙවන රදළ පුරුෂයන් සුළුතරයක විසින් පත් කරනු ලබන නියෝජීත මණ්ඩලයක් සහ බ්‍රින්‍ය කීරිටය මගින් පත් කරනු ලබන අණ්ඩුකාර වරයෙක් යටතේ ය. සර්වජන ඡන්ද අයිතිය නිසා සාමාන්‍ය ජනතාව වෙත ස්වකීය කැමත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුනා පමණක් නොව, කන්තාවන් වෙත ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවද ලැබිණි. මෙකී වරප්‍රසාදය ලංකාව හැර බ්‍රිතන්‍යයේ හෝ ඒකී යටත් විජිතයන්ගේ වත්, ඇමරිකාවේ වත් තිබුණේ නැත. සර්ව ජන ඡන්ද බලය ලබා දෙන විට චෙල්වනායගම් සහ සුළු පක්ෂ කිහිපයක් එයට විරුද්ධ වූ බවත්, එසේ ඔවුන් විරුද්ධ වීමට හේතුව රටක් පාලනය සඳහා වූ සුදුසු නායකත්වයක් පත් කිරීම සඳහා බහුතර ජනතාව විතක්ෂණ ඥානය නොමැති බව දක්වමින් ය. එතුවක් මෙතුනක් පැවති සර්වජන ඡන්දයන් මනස හෝ විතක්ෂණය වෙනුවට ආවෙග හෝ කෙටි කාලීන ලාබ ප්‍රයෝජන තකා හෝ රැවටිලි වදන් වලින් මුසපත් ව ප්‍රකාශ වූ බව ප්‍රකාශ නොකර සිටින්නට බැරි ය. පසුගිය අවුරුදු 79ය තුළ ලාංකික ජනතාව තෝරා පත් කළ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 2010 ජනාධිපතිවරණය දක්වා චෙල්වනායගම් විසින් ප්‍රකාශ කළ කියමන සත්‍ය බව පසක් වනු ඇත (එහෙත් මා තවමත් සර්වජන ඡන්ද බලය හා ජනතාව විසින් තෝරා පත් කරන ජනතා නියෝජිත්වයකට ගැති වෙමි; පක්ෂ වෙමි). මෙසේ ලංකා ජනතාව ආවේගී ලෙස ඡන්ද ප්‍රකාශ කරන ආකාරයට හේතුව ප්‍රභාකරන්ට අනුව දින පහළෝවක සීමිත මතකය ද, ටෑබූ අනුව වැඩවසම් මානසිකත්වය හෙවත් රාජකීයත්වයට ගැතී කම ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ලංකා ජනතාවගේ තෝරා ගැනීම කෙතරම් ප්‍රඥා ගෝචර දැ යි අතීතය දෙස ආවර්ජනයක යෙදීමෙන් අපට පහදා ගත හැකි ය.


මා උපන් දවසේ සිට, අත්දුටුවේ සර්ව ජන ඡන්ද බලයේ මාහැගී සර්වබලධාරීත්වයට ය. මා උපත ලැබූවේ සිරි‍මාවෝ මැතිනියගේ වාමංශික කැඳ හවුලේ දුර්භික්ෂ සමයේ දී ය. සර්වජන ඡන්ද බලයෙන් පත් කරගත් මේ හවුල අවසානයේ ජනතාවට කෙසෙල් බඩ, බතල ම‍ඤඤෝක්කා ආහාරයට දුන්නා පමන්ක් නොව හාල් පොළු, මිරිස් පොළු, රෙදී සීමාවන් යොදා ජනතාව හෙබ්බත් ‍කළේ ය. මගේ පියා මා හට කිරි ලබා ගැනීම සඳහා කොළඹ සිට රට වටෙ කරක් ගසන්සට සිඳු කළ කාලයේ ම, ආණ්ඩුවට පක්ෂපාතී ගැත්තන්ගේ නිවෙස් වලට සමුපාකාරයේ සිට ලොරි පැමිණ ආහාර ගොඩ බස්සන අයුරු, බඩපොත්ත අතගානා කුස ගින්නේ සිටින ජනතාවට දකින්නට සැලැස්වි ය.


එයින් හෙම්බත් වූ පීඩිත ජනතාව කළේ ජේ.ආර්. හට හයෙන් පහක බලයක් ලබා දීම ය. ‍ජේ.ආර් ද ලැබූ ජන වරමින් ඔදවැටී, විපක්ෂයේ මැතිනියගේ ප්‍රජා අයිතිය ද අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී නොපිලි මගකට පිවිසියේ ය. ඔහු විසින් සකසන ලද නව ව්‍යවස්ථාව කරන කොට ගෙන, විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන්නේ ය. එසේ කිරීම සඳහා ඔහුගේ සාධාරනීයකරණය වූයේ වේගවත් සංවර්ධනයක් සඳහා එවැනි බලතල අවශ්‍ය බව සඳහන් කරමින් ය. නව ව්‍යවස්ථාව ස්ථාපනය කරමින් ඔහු‍ගේ ප්‍රසිද්ධ උදන් වාක්‍ය වූයේ දැන් අපට කළ නොහැක්කේ "ගැහැණියක් පිරිමියකු කිරීම පමණක්" බව ය. එකී බලගතු ව්‍යවස්ථාව හා විධායක ජනපති ධූරය භාවිත කොට විසි අවුරුදු මහවැලි ව්‍යාපාරය අවුරුදු කිහිපයකින් නිමා කළ අතර, වෙළඳපළ ද, විවෘත කළේ ය.


මැතිනියගේ (පාක්ෂිකයන්ට අදාළ නොවන එහෙත්) ජනතාවට පමණක් සීමා‍ වූ "ස්වදේශිය ප්‍රතිපත්ති" වලින් හෙම්බත් වූ ගම්මුන් බතබුලතින් සැනැහී, මොටර් බයිසිකල් ගෙන රවුම් ගසන තත්ත්වවට පත් විය. එහෙත් ජේ.ආර්. විධායක අධිකාරීත්වයත්, කලින් ලැබූ පාර්ලිමේන්තු බලය රැක ගැනීමට කළගෙඩි පහන හෙවත් අලුත් "ජනමත වීචාරය" නැමැති සෙල්ලමක් 1980දී හඳුන්වා දී, ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස බලය දීර්ඝ කර ගත්තේ ය. එසේ ම, ජේ.ආර්. විසින් අත්නොමතික ලෙස ක්‍රියා කිරීම නිසා 1983දී සිවිල් කොලහාලයක් ඇති වී, දෙමළ ජනතාවගේ සිත් සිංහල ජනතාව කෙරෙහි වෛරී අදහසින් පුරවා දමන්නට විණ. මෙයින් තිස් අවුරුදු යුද්ධයකට මං පෑදිණ. එය නිම කිරීමේ සියලු අපේක්ෂාවන් ධූරින්භූත කරමින් ඉන්දියාව දෙමළ ආයුධ සන්නද්ධ ව්‍යාපාරය සමඟ අතිනත ගත්තේ ය.


ප්‍රේමදාස ද විධායක ජනපති ධූරයේ බලය භාවිතා කරමින් කඩිනම් සංවර්ධනයක් රටට කළේ ගම් උදාව සහ මහා මාර්ග තැනීම මගින් ය. ප්‍රේමදාසගේ පේෂ කර්මාන්ත ද, ජන සවිය ද දිළිඳු ජනතාව වෙත මාහැඟී වාසීන් ද, අතමිට සරුවීම් ද ගෙනෙන ලදී. එසේ ම කවදාවත් නොවූ විරූ ලෙස සංස්කෘතික දේහයේ බිඳ වැටීමකට මේ පේෂ කර්මාන් (ගාමන්ට්)යෝ ඉවහලි විණ. එහෙත් විධායක ජනපති ධූරයේ වූ භයානක්වය සහ කෲරත්වය විදහා දක්වමින් ඝාතන රැල්ලක් ආරම්භ විණ. ඒ වනාහි ලංකා සමාජය කිසිදා නොදැක්ක, නොවූ විරූ ආකාර දරුණු මිලේජ්‍ය ඝාතන රැල්ලක් විණ. අවසානයේ අනුන්ට දිගු කළ ඝාතන හස්තය ප්‍රේමදාස වෙත ද, යොමු වූයේ අදිසි අයුරින් ය.


චන්ද්‍රිකා යුගයේ කියන්නට තරම් කැපී පෙනෙන දෙයක් සිඳු නොවුණු යුගයකි. විවිධ රාජ්‍ය ආයතන රාශියක් පෞද්ගලීකරණය වීම සහ රජයේ දේපළ පෞද්ගලික අංශයට (කොමිස් තකා) විකුණා දැමීම හැරුණු කොට, කාලය පැය භාගයක් වෙනස් කිරීම ඇයගේ දායා ද ය වි ය.එහෙත් මෙහිදී සටහන් කළ යුතු වැදගත් සිඳුවීමක් වන්නේ ජේ.වී.පි.ය චන්ද්‍රිකා බලයට පත් කිරීම සඳහා ඉදිරිපත් පත් වීමත්, නාසි යුධ ප්‍රකාශකයකු වූ හයිරික් හිම්ලර්ගේ සිය වරක් බොරුවක් ප්‍රකාශ කිරීමෙන් "ජනප්‍රිය සත්‍යයක්" කිරීමේ උපක්‍රමය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන විට, යම් යම් පෞද්ගලික මාධ්‍යයන් ද ස්වකීය අපේක්ෂකයාට වාසීසේ මාධ්‍ය මෙහෙය වීම සිඳු විය. චන්ද්‍රකා යුගයේ දී, කැපීපෙනෙන ජන මාධ්‍ය ප්‍රමාණයක් කලඑළි බැසීමත් සමඟ නවතම මාධ්‍ය භාවිතයක් ආරම්භ විණ. එෆ්. එම්. නාලිකාවන් මගින් සංස්කෘතික හර පද්ධතියින් උඩුයටි කුරු කරමින් බටහිර සංස්කෘතික වටිනාකම් හා ජීවන දෘෂ්ටිය ගමට ආයනය කරන ලදී. ඒ සමඟ පැය 4, 6, 8 දක්වා විදුලිය ඇණහිටිමේ රාත්‍රියේ තාරකාවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පාඩම් ඉගන ගැනීමේ ආනන්දජනක අත්දැකීම් අපට ලැබුණේ දුර්වල ජාතික සැලසුම්වල ප්‍රතිපලයක් වශයෙන් ය. එහෙත් චන්ද්‍රිකා යුගයේ ඇතිවූ කැපිපෙනෙන ප්‍රවණතාවයක් වන්නේ චන්ද්‍රිකා-රනිල් සාම ගිවිසුම යි. එයින් වන්නියේ වැසියන්ට දකුණේ ජනතාවත්, එකිනෙකා සුදු ද, කළු ද යන වග වත් දැන තේරුම් ගැනීමට අවස්ථාවත්, දකුණේ වැසියන්ට උතුර නැරඹිමටත්, වන්නිය පාලනය කළ කොටින් හට රුපියල් මිලියන ගණනක් දවසකට උපයා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් ඇති කර ලී ය.


එයින් පසුව එළැඹි මහින්ද යුගය අපට ගෙනෙන වැදගත් ම ලාංකෛය සන්ධිස්ථානය වන්නේ තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් ය. ඒ සඳහා වූ විශේෂ ගෞරවය ඔහුට හිමි ය. එහෙත් මහින්ද යුගයේ කැපී පෙනෙන සංවර්ධන තත්ත්වයන් ඇති වී නැති බව කිව යුතු ය. ජෙ.වි.පි.ය සමග වැව් දහස, මග නැගුම, ගම නැගුම, උතුරු වසන්තය, අපි වවමු ආදී ලේබල් සමුදායක් විනා කැපී පෙනෙන ජාතික සංවර්ධන ඉලක්කයක් කරා රට ගමන් කිරීමට හැකියාවක් නොවිණ. මා විසින් මෙම තීරයේ නිතර නිතර ප්‍රකාශ කළ පරිදි, මහින්ද පාර්ලිමෙන්තු සංයුතිය කෘත්‍රීම ව වෙනස් කර ගත්තේ ඇමති නියෝජ්‍ය ඇමතිකම් ලබා දීම මගින් ය. එසේ ම, විරුද්ධ තීණ්ඳු දුන් ජේ. ආර් නඩුකාරයන්ට ගල් ගැසූවාට වඩැ ඉදිරියට යමින්, ස්වාධීන අධිකරණයට අත පෙවීම් සහ අභියෝග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්ඳු ක්‍රියා නොකර හැල්ලු කිරීමෙන් ය.


එහෙත් කෙසේ හෝ කවර හේතුවක් පෙරදැඩි කොට ගෙන හෝ මහජනතාව නැවතත් මහින්ද හට ජනවරමක් ලබා දෙමින් ජනපති ධූරයට පත් කොට ඇත්තේ, ඔහු විසින් ප්‍රකාශිත "මහින්ද චින්තන ඉදිරිදැක්ම" වූ කරුණු ඉෂ්ට කරනු බලාපොරොත්තුවෙන් විය හැකි ය.


මී ළඟට ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය යි. එය ද, තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත අතර, එහි දී ජනතාව වෙත තවත් අවස්ථාවක් ස්වකීය දේශපාලකයන් පාර්ලිමෙන්තුවට යැවීමට හැකියාවක් ලැබෙනු ඇත. කළගෙඩි-පහන් සෙල්ලමක් මගින් පවතින පාර්ලිමේන්තුව පවත්වා ගන්නට උත්සහ නොකළොත්, සහ පත්වන අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂ මැතිවරුන් ඇමති-නියෝජ්‍ය ඇමති බිළි පිත්තෙන් බිළි බා නොගත්ත හොත්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදීත්වයට කරන ගරු කිරීමකි. අතීතය දෙස බලන කල, ඒ ගැන කවර විශ්වාසක් තැබිය හැකි ද?


එහෙත් ලැබූ ජනවරම පවතින තත්ත්වය එසේ පවත්වා ගෙන යාම සඳහා දුන් අවස්ථාවකඳු සලකා බැසිල් රාජපක්ෂ අගමැති කොට, සුවිසාල ඇමති-නියොජ්‍ය මණ්ඩල පරිවාරය පවත්වාගෙන යන්නේ නම් පැවසූ සුබ අනාගතය ජනතාව වෙත අසුබ දුර්මුඛ සිහිනයක් වනු ඇත. රජයේ මාධ්‍ය හරහා කතා කළ අතිමහත් කලා කරුවන්ට ඒ ඒ රජයේ වරප්‍රසාදත්, ආචාර මහාචාර්ය වරුන්ට ඒ ඒ කුලපති, උපකුලපති, අංශ ප්‍රධානි ආදී නිලතලත් ලැබෙනු ඇතැයි සිතමු. විරුද්ධ අදහස් දැරූ, ආණ්ඩුවට විරුද්ධ ව ලියූ කියූ මාධ්‍යවේදීන් ට ද ස්වකීය ප්‍රසාද දීමනාවන් ලබා දෙනු ඇත.


ඡන්දයේ උද්දාමයෙන් අවදී වී අවට බැලීමට කාලය එළෙඹ ඇත:


උදෑසන අවදි වී අතේ ඇති සොච්චම සුවිසාල බස් ගාස්තුවක් වැය කොට, රැකියාවට යන මිනිසා, බන්දුලගේ මිල සුත්‍රයේ පිහිටෙන් ඉහළ නැගෙන එළවළු මාළු මල්ලක් සඳහා වෙහෙසවී, අතට වැටුණු සැනින් වියැකෙන පඩි පතකට වැඩ කරනු ඇත. තවත් දින පසළොසකින් පමණ පැත්තකට විසිකර දැමූ බොඩ් ලෑලීවල දූලී මකුළු දැල් පිසදා ගෙන, කර පින්නා විත් පඩි වැඩි කරනු, අර දෙය කරනු, මේ දේ කරනු යනුවෙන් රජයේ කාර්යාලවල වූ පියුම්ගේ සිට රැකියා විරහිත උපාධිධරයා දක්වා පුද්ගලයෝ පාරට බසිනු ඇත. පිකටින් වැඩවර්ජන ආයෙත් සුපුරුදු ලෙස ආරම්භවනු ඇත. නැවත කොන කොන ආණ්ඩුවට බනිනු අරම්භවනු ඇත.


ආවේගශිලී ලෙස කටයුතු කර, අවසානයේ හිස් අතින්, කරගත් දෙයක් නොමැති ව, එයින් වූ වෙහෙසින් හෙම්බත්වන, සමහර විට වහසි බසට රැවටුණු සර්වජන ඡන්ද හිමි බහුතරය, "යම්තම් රට සතුරු විදේශිය ආක්‍රමණයකින් බේරා ගත් බැව්" සිතමින් නින්දට වැටෙනු ඇත.


ඡන්ද කාලයේ දිටි සොදුරු සිත්කළු සිහින දැක්ම, පෙන්නුම දැන් අවසාන ය. අවදි වන්න, දැන් උදෑසන ය. නැවත යාථාර්ථයේ වර්තමාන ලංකාව වෙත නිදිගැට කඩමින් පියමං කළ යුතු කාලය පැමිණ ඇත. එකී යථාර්ථය ඊයෙන් අදට වෙනසක් නැත.


෴ඔබට සුබ අනාගතයක්෴


1 comment:

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...