Wednesday, November 18, 2009

ලාංකික ජනතාව වෙත වදනක්

අද නැවතත් විධායක ජනාධිපති ධූරය පිළබඳ කතිකාවක් ආරම්භ වී ඇත. කිවයුතු වැදගත් කරුණ නම් එකී ධූරයේ කිසිදු දෝෂයක් නැත. විධායක ජනපති ධූරය හලා, තන්නට හදන "විධායක අගමැති ධූරය" ද, විධායක ජනපති ධූරයෙන් වෙනස් නොවන්නට ඉඩ තිබේ. එහෙත් දෝෂ දර්ශනයට ලක්වන මෙකී ධූරයේ ඇති අවාසි සහගත තත්ත්වයන් ඉවත් කොට, හීලැ කර ගත යුතු ය. නුසුදුස්සන්ට දැඩි දඬුවම් පැමිණවීමට ජාතියක් වශයෙන් අප එක්සත් විය යුතු ය.

පහත දැක්වෙන්නේ මා විසින් ඉහත ධූරය හා වත්මන් දේශපාලය පිළිබඳ කළ නිරීෂණයන් ය:

  • විධායක ජනාධිපති ධූරය සඳහා සංවර්ධනය වන රටකට අවශ්‍ය වටිනා නිලයකි. එයින් පාර්ලිමෙන්තුවේ ප්‍රමාදයන්ගෙන් තොර ව, වේගවත් දේශපාලන හා පරිපාලන ක්‍රියාවලියක් ඇති කළ හැකි ය. ජේ. ආර් මෙකී නිලය ඇති කරන විට කල්පනාවට ගන්නට ඇත්තේ එයින් කළ හැකි සංවර්ධන ක්‍රියාවලිය යි. ඔහුගේ දැක්මේ ආකාරයට විවෘත ආර්ථිකය සමඟ වේගවත් සංවර්ධනය සඳහා පාදක වූයේ මෙකී ස්වාධීන නිල තලයයි. විවෘත ආර්ථික පිළිබඳ විවිධ කතිකා හා කියවීම් තිබෙන නමුත්, වරක් කොමියුනිස්ට් හෝ සමාජවාදී රටවල් අද, අර්ධ වශයෙන් හෝ ආර්ථිකය විවෘත කොට ඇත.
  • ජේ. ආර්. 1978 ව්‍යවස්ථාව ගෙනෙන කල්හි, කල්පනා කළේ තමුන් ගැන පමණි. එහිදී හැකිතාක් බලය රදවා ගැනීම සඳහා හෙතෙම උත්සහ දැරී ය. රටක මාහැගී ව්‍යවස්ථික, පරිපාලන හා ආර්ථික ලියවිල්ල ස්වකීය බලලෝභිත්වය සලකා සැකසීමේ ආදීනවය අද මතු පරපුර ගෙවමින් පවති. ජේ. ආර් දිවියෙන් සමුගෙන ඇතග එහෙත් ඔහු ඇති කළ පටලැවිල්ල තවමත් ලිහා ගත නොහැකි ව, මහජනතාව දුක් වෙති; දුක් විඳිති.
  • අවුරුදු 6ත් ධූරකාලයක් ඇති කර ගැනීමේ, ලෝභිත්වය අද ප්‍රශ්න රාශියකට හෙතුවේ, ආකාර්යෂම දේශපාලකයන් දෙදෙනෙකු යටතේ දිවි ගෙවන දරුවෙකු 24 අවුරුද්දක් හෙවත් ඔහුගේ තරුණ ජීවිතය ගේවා ඇත. තව මෙවැනි අයෙක් පත් වූවොත් ඔහුගේ වයස 36 වන තුරු අදූරදර්ශි පාලනයකට යටත් ව ජීවත් විය යුතු ය. ඒ හෙයින්, ලෝකයේ බලවත් රටක් වන ඇමරිකාව මෙන්, අවුරුදු 4ක් ධූර කාල දෙකක් හෝ පිලිපිනය මෙන් අවුරුදු 6ක ධූර කාල එකක් බවට ජනාධිපති ධූරය වහාම පත් කළ යුතු ය. අවුරුදු 12ක කිසිවෙකුට වගකීමක් නොදෙන, පාර්ලිමෙන්තුවට වග නොකියන, සිතූ දේ කළහැකි පාලනයක් යනු එතැන ම ඒකාධිපතීත්වයක් මහජන ආශිර්වාදයෙන් ම ඇති කොට ඇත්තේ ය.
  • ජනාධිපති ධූරයේ වූ අසීමාන්තික බලය, ඇමරිකා එක්සත් ජනපදයේ මෙන්, පාර්ලිමෙන්තුව මගිනි අධීක්ෂණට සහ වගකීමට බැදී තිබිය යුතු ය. මෙයට වඩා පාර්ලිමේන්තුව දේශපාලන හා ආර්ථික දූෂණය වැළැක්වීමට ක්‍රියාකාරී ලෙස දායකත්වයක් දැක්විය යුතු ය.අනොක් අතට මහජනතාව උසාවි භාවිත කරමින් ස්වකීය අයිතීන් දිනා ගත යුතු ය. කිසිවෙක් මහජනතාවගේ අයිතින් නොමිලේ ලබා දෙන්නේ නැත. ඒවා දීනා ගැනීම සඳහා අප කැපවීමෙන් සහ අවධියෙන් ක්‍රියා කළ යුතු ය. ඡන්දයක දී පුද්ගලයන් පත්කොට අත්බැඳ, කළකිරීමෙන් බලා සිටිනු වෙනුවට, පොදුජන මෙහෙවර සඳහා ඔවුන් හට බලපෑමක් කළ යුතු ය. කිසිවක් රජක් මගින් නොමිලේ පසයන්නේ නැත. ඔව්හු සියලු ආකාර, සේවාවන් කරන්නේ ජනතාව මගින් එසේ කරන ලෙස ඉල්ලාසිටින නිසාවෙන් සහ එසේ කිරීම ඔවුන්ගේ පරම යුතු කමක් නිසාවෙන් ය.
  • ස්වකීය වාසියට හා සුඛිතමුදිත බව තකා පිල්මාරුකරන දේශපාලඥයා ජනමතය කෘතිම ලෙස විකෘති කරයි. දැනට නියෝජනය වන පාර්ලිමෙන්තුව, ජනමතයෙන් ඇති වූවක් නොවේ, ස්වකීය මැති ඇමතිකම් තකා සකසා ගත් කෘතිම විකෘති පාර්ලිමෙන්තුවකි. ආණ්ඩුවට සහයෝගය දැක්වීම විපක්ෂයේ සිට ඇමතිකම් නොගෙන, මහජන මුදල් නිකරුනේ කාබාසිනියා නො කර කළ හැකි ව තිබිණි. මතු පැමිණෙන ඡන්දයේ දී, මෙසේ පිල් මාරකළ වුවන් ගෙදර යැවීම, මහජන මතයට ගරුකරන සැමගේ යුතු කමකි. මෙසේ දේශපාකයන්ට පාඩමක් ඉගැන්වූවේ නැති නම්, ඔව්හු මෙසේ ජනමතයට ගරුනොකර ස්වකීය අභිමතාර්ථ සඳහා පිල් මාරු කරනු ඇත. කරු වැන්නවුන් නැවත එ.ජා.ප. හැරී පැමිණියත්, මගේ අදහස නම් ඔහු වැන්නේකුට විනයට පත් කිරීමත් තකා ඡන්දය දීමෙන් වැළකී සිටිය යුතු ය. එවිට මෙසේ, එහෙට මෙ‍හෙට පනින ගෙම්බන්, ඉස්සන් පැනීමෙන් වැළකෙනු ඇත. එස්.බී. වැන්නවුන් පිල්මාරු කළේ බලය හෝ පාර්ලිමෙන්තු අසුනක් නොමැති අවස්ථාවක බැවින් එවැන්නන් ගැන අපට සලකා බැලිය හැකි ය.
  • මහජන මුදල් අති මහත් ප්‍රමාණයක් නාස්තිකරන, මෙවැනි කැබිනට්, නොන් කැබිනට්, ඇමතිකම් ද, නියෝජ්‍ය ඇමතිකම් ද දී, මහින්ද අමාරුවෙන් බලය තබා ගැනිම වෙර දරන්නේ කවර, ජාතික මෙහෙවක් සඳහා ද? ඒ මෙහෙවර, ජාතික නොව ස්වාර්ථ හෝ ස්වඥාති මෙහෙවර කි. මෙවැනි අමනොඥ විකෘති කිරීම සඳහා නිසි දණ්ඩනයක් මහජන උසාවියෙන් නුදුරේදී ම ලබා දිය යුතු ය.
  • පාර්ලිමෙන්තු සම්ප්‍රදාය තුළ හැසිරීමට තරම් විනයක් නොමැති, මවීන් වැන්නවුන් වහාම පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතු ය. චණ්ඩින් හා දාමරික කම් ඇසුරෙන් ස්වකීය බලපුළුවන් කම හුවා දක්වන, දේශපාලන මහජන නියෝජීතයන් ද, ගෙදර යැවිම සාමකාමී මහජනතාවගේ යුතු කමකි.
  • මහ ජනතාව තමුන් පත් කරන නියොජීතයන් පිළිබඳ වගකීම ගන්නා තුරු, හා ඔවුන් ස්වකීය පොරොන්දු යුතුකම් හා වගකීම් මත නියමිත අයුරු ගමන් කිරීමට පොළඹවන තුරු වගකීමකින් යුතු දේශපාලනක් අපට ලැබෙන්නේ නැත.
  • ලාංකීක ජනතාව තම බඩවියතින් සහ තමුන්ගේ වාසියෙන් ඔබ්බට පොදු ජන වාසිය ගැන සිතන තුරු, දේශපානඥයන් ස්වකීය සේවයේ නිවැරදී ලෙස වගකීමෙන් යෙදීමට පොළඹවන තුරු මේ රට දීන වනු මිස ඉදිරියක් නැත.
මේ මුළු දේශපාලනයේ ජාරාජීර්ණ වීම සඳහා වගකිව යුත්තා මහජනතාව ම යි. පිලිපිනය වැනි රටක මාකොස් වැනි ධාමරික ඒකාධිපතියකු පැමිණිම සඳහා මගපෑදුවේ එකී ජනතාව ම ය. ඉදිරි පැයේ ලාංක්‍යෙය ජනතාවගේ මහගු වගකීම හා යුතු කම්නම්, තමුන්ගේ අයිතිය භාවිත කොට, නිවැරිදි නායකත්වයක් රටට පත් කර වීම ය. ඒ සඳහා ජාති, පක්ෂ, හා වෙනත් න්‍යාය පත්‍රයන් පසක ලා, වගකීමක් සහිත වූවන් පත් කොට, නුසුදුස්සන් ගෙදර යැවීමට ධෛර්ය වන්ත හදවතක් ලැබේවා!!! නැතහොත් තවත් අවුරුදු හයක් කන්කෙදිරි ගා ගා සිටින්නට මිස වෙනත් විකල්පයක් නොවෙනු ඇත.

දිය යුතු තැනට විනයත් දී, කළ යුතු තැන‍ට දඬුවමත් කර, මහජනතාව වන අප ගොනාට ඇන්දවිය නොහැකි බව දැක්විය යුතු ය.


1 comment:

  1. හොද ලිපියක්.මේ මාතෘකාව ගැන ප්‍රායෝගික යෝජනා කිහිපයක් -
    1.විධායක ජනාධිපති ධූරය ඉවත් කරල ජනාධිපති ධූරය පාර්ලිමේන්තුවට වග කියන තත්වයකට ගෙන ඒම.
    2.අධිකරනය ඉදිරියේ තිබෙන මුක්තිය අහෝසි කිරීම
    3.ව්‍යවස්ථාදායකය ශක්තිමත් කිරීම සදහා පක්ෂ මාරු කිරීමට තිබෙන අවස්ථාව සීමා කිරීම
    ( පාර්ලිමේන්තුවට එන්නෙ යම් පක්ෂයක් නියෝජනය කරමින්.යම් හෙයකින් එම පක්ෂය මාරු කරනවා නම් අතුරු මැතිවරනයකට ගොස් ජන අනුමැතිය ලබා ගැනීම වගේ විධි විධානයක් ගේන්න පුලුවන්
    එතකොට ව්‍යවස්ථාදායකය මූලික වුනාම ආන්ඩු අස්ථාවර වෙනවා කියන ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න පුලුවන්.)
    කොහොම වුනත් විධායක බලය එක පුද්ගලයෙක් අත තියෙනවාට වඩා යම් මන්ඩලයක් අත තිබීම තමයි වැදගත් වෙන්නෙ.එක පුද්ගලයෙක් අතේ විධායක බලය තිබීමෙන් අතීත රෝම සමාජයේ ඉදල වර්තමාන ලංකාව දක්වා අවශ්‍ය තරම් බැට කාල තියෙනවා.
    විධායක බලය සාමූහිකව භාවිතයට නැගීම අවුලක් කියන එක රටේ දේශපාලන සංස්කෘතියට සාපේක්ෂයි.අපේ රටේ කැබිනට් මන්ඩලය කැද හැලියක් වුනාට බ්‍රිතාන්‍යය වගේ රටවල් ඉතාම කාර්යක්ෂමව පාර්ලිමේන්තු විධායක ක්‍රමය පවත්වගෙන යනවා.
    හැමදේටම පෙර අපේ රටේ දේශපාලන සංස්කෘතියේ ගැඹුරු වෙනසක් වෙන්න ඕනෙ කියන එක තමයි අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ

    ReplyDelete

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...