Wednesday, December 16, 2009

අරලිය ගහ මැදුරේ ඡන්ද දන්සල පිළිබඳ වදනක්

මේ දිනවල ජනතාවගේ මුදල් ලක්ෂ ගණන් වියදම් කොට අරලිය ගහ මැදුරේ දන්සල් කිහිපයක් ජනාධිපති තුමා විසින් පවත්වා ගෙන යනු ලැබේ. නොමිලේ බඩ පිරෙන්නට කන්නට ලැබෙන නිසා දෝ විවිධ වූ වෘත්තිකයන්, රජයේ සේවකයන් කලා කරුවන් වැල නොකැඩි ඒ දන්සලෙන් සප්පායම් වන්නය යති. දන්සලට යා ගත නොහැකි, එසේ ම කිසිදු වරප්‍රසාදයක් නොලැ‍බුණ මහජනයා කරබාගෙන, දන්සලෙන් අනුභවයේ යෙදෙන්නන්ට කෙල හලති. එහෙත් ස්වකීය ආත්ම අභිමානයක් කියා දෙයක් නොමැති, මොවුන් කා බී සන්තෝෂ වී, ඡන්දයෙන් පසු කෑ දෑ වමාරණ තුරාවට දුක්විඳින පිණිස සුඳානම් වෙති. ඡන්ද ළංවන විට කාට කාටත් සත්ත්ව කරුණාව ඇති වේ. එහෙත් එවැන් තුට්ටු දෙකකට, රාත්‍රී ආහාරයකට තම ගරුත්වය උකස් කිරීමට තරම් දීන නොවන්නෝ ඇත්තේ ස්වල්ප දෙනෙකු බැවිනි. කන්ඩ බොන්ඩ දීලා ඡන්දය ගන්න ක්‍රියා කිරීම ආරම්භ වූ යේ, අද ඊයේ නොව, බොහෝ කලකට පෙර ය. එක් පැරැන්නෙක් මා සමඟ කීවේ, හැටේ දශකයේ පමණ එක් එක් දේශපාලකයන් ඡන්දාට ගම්වැදී ජනතාවට කන්ඩ බොන්ඩ දී දවාලට තමුන්ට කතිරය ගසන පිණිස ඡන්ද පොලට දක්කපු කතාවකි. අද සිඳුවන දෑ ද, එදාට වෙනස් නැත. එහෙත් වෙනසකට ඇත්තේ ඒදා වුන් නූගත් තම ඡන්දයේ අගය නොදත් අංහිසක ගම්මුන් වීමත්, අද, උගත්යයි කියා ගන්නා තමුන්ගේ බඩකට පුරවා ගැනීමට වෙර දරන අවස්ථාවාදීන් වීමත් ය.

පහත දැක්වෙන්නේ ළඟක දී පැවති අරලියගහ මැදුරේ දන්සලත් පිළිබඳ මාහට ලැබුණු විද්‍යුත් තෑපැලකි:

"ජනාධිපති ජය සපථ කිරීමට කලාකරුවෝ එක්වෙති" , මේ ආණ්ඩුවේ පුවත්පතක එක් සිරස් තලයකි. ඒ යටතේ පළ කොට තිබුණේ ජනාධිපතිවරයා කලාකරුවන් සමඟ ගත් ඡායාරූපයකි. ඡායාරූපය දැකපු ගමන් මේ රටේ සියලූ කලාකාරයන් ජනාධිපතිට ජය සපථ කරන්නට සැරසෙන බවක් කිසිවකුට හැඟී යා හැකිය.

ඡායාරූපවලින් දැක්වෙන්නේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට රැස්ව සිටි දෙදහසකට ආසන්න කලාකරුවන් අතරින් කිහිප දෙනකු සමඟ සුහදව කතා කරන අයුරුය. රටේ ජනාධිපතිවරයා තමන් අසුන්ගෙන සිටිත තැනට එනවිට අසුනින් නැගිට සුහදව කතා බහ කිරීම සාමාන්‍ය සිරිතකි.

එම පුවත්පතේ ඡායාරූප සටහනේ දැක්වෙන්නේ "මේ සියලූ කලාකරුවෝ එක්ව අරලියගහ මන්දිරය සොඳුරු රැයක් කළහ. ජනාධිපති ඒ සියල්ලන් සමගම කතා බහ කළේය." යනුවෙනි.

ආණ්ඩුවේ පුවත් පත කියන්නේ අල්ලේ පැලවෙන බොරුවකි. ජනාධිපතිවරයා කලාකරුවන් හමුවූ අවස්ථාව සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි ඇසූ දුටු වෙනත් අය අප වෙත වාර්තා කෙළේ මෙබන්දකි. ජනාධිපතිවරයා එදා කතා බහ කළේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් අතලොස්සකට පමණි. රැස්ව සිටි පිරිසේ හැටියට ඔහුට මේසයෙන් මේසයට යන්නට සිටියා නම් පැයකට වැඩි කාලයක් ගතවනු ඇත. ඉඳින් ජනාධිපතිවරයා කතා බහ කරන්නට ගියේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් තමන්ට පහසුවෙන් ලංවෙන්නට හැකි අය වෙත පමණය. ඔවුන් අන් කවුරුවත් නොව දැනට ජනාධිපතිවරයාගෙන්ම විවිධ වරප්‍රසාද ලබමින් ඔහුට කඩේ යන පිරිසම බව "දිනමිණ" ඡායාරූප පිටුවෙන් ද සනාථ වන්නේය.

ඡායාරූපවල ජනාධිපතිවරයා සමඟ කැකිරි පලන්නේ කවුරුන්ද? මාලිනී ෆොන්සේකා, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩග්ලස් සිරිවර්ධන, පාලිත සිල්වා, ගීතා කුමාරසිංහ සහ තවත් සුප්‍රකට පිරිසකි. මේ පිරිස් ලබාගෙන ඇති සහ දැනට ලබමින් සිටින වරප්‍රසාද අනුව ඔවුන්ට ජනාධිපතිගේ ජය සපථ කිරීමෙන් තොර ආත්මයක් තිබේද?

මේ ඡායාරූපවලට ඇතුළත් නොවූ පිරිසක් ද මේ අතර සිටියහ. ඔවුන් සියල්ලන්ම ආවේ ජනාධිපතිවරයාට ජය පතන්නට නොවේ. පක‍ෂ භේද නොසොයාම කලාකරුවන් බොහොමයකට එදා අරලියගහ මැදුරට ඇරියුම් කොට තිබුණේය. එසේ ඇරියුම් කළේම සිතාමතා විය යුතුය. මොකද පක‍ෂ පාට තෝරා බේරාගෙන ඇරියුම් කළේ නම් එතැනට එකතු කරගන්නට ලැඛෙන්නේ අර ජැක්සන්ලා, ශ්‍රියන්තලා, ඩග්ලස්ලා වැනි පිරිසක් පමණි.

ඉතින් ඇරියුම් ලැබුණු කලාකරුවන් බොහෝ දෙනකු ආවේ ජනාධිපතිවරයා පවත්වනවා කියූ සාකච්ඡාවට සහභාගී වීමේ අදහසිනි. ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්නට බොහෝ අදහස් ඔවුන්ට තිබුණේය. ප්‍රශ්න තිබුණේය. එහෙත් ඇරියුම් පතේ තිබුණු අන්දමේ සාකච්ඡාවක් තිබුණේ නැත. ඇරියුම් ලත් කලාකරුවන්ට කෙලින්ම යන්නට තිබුණේ ප්‍රණීත භෝජන සංග්‍රහයකට සූදානම් කර තිබූ දැවැන්ත ශාලාවකටය. එන අය පිළිගන්නට සුදු රෙදි ඇතිරූ මේස සැදී පැහැදී සිටියාක් මෙන් විය.

මේස වටා හිඳගත් අයට පැයක් පමණ බලා ඉන්නට සිදුවූ අතර ඉන්පසු ජනාධිපතිවරයා පැමිණි බවට නිවේදනය කෙරුණේය. නිවේදනය පුන පුනා කීවේ සියලූ කලාකරුවන් හමුවන්නට එතුමා පැමිණෙන බවකි. එහෙත් ජනාධිපතිවරයා ශාලාව මැදින් වූ ආසනවල සිටි පිරිසට කතා කරමින් සිටියදී යළිත් නිවේදකයා කීවේ දැන් කාට කාටත් තමා ළඟම සූදානම් කොට තියෙන තැනින් ආහාර ගත හැකි බවය. කාට කාටත් ජනාධිපතිවරයා අමතක වුවාසේය. හැමෝම අසුන්වලින් නැගිට බුෆේ එකට පෝලිම් ගැසුණහ. මතට තිත වෙනුවෙන් හඬ තැලු අයද විස්කි,වයින් සහ බියර් ඛෙදා දුන් තැනට රොක් වූහ. මත්පැන් බොමින් රැස්ව සිටි අය රස මසවුළු බුදින්නට පටන් ගනිද්දී ජනාධිපතිවරයා ඒ ස්ථානයෙන් අතුරුදහන්වී සිටියේය.

බඩ පිරෙන්න සප්පායම් වුණු කවුරු කවුරුත් රෑ බෝ වෙත්ම ආපසු ගියා මිස ජනාධිපතිගේ ජය සපථ කරන බවක් කීවේ නැත.

එසේ යන අයගෙන් සමහරෙක් කියා ඇත්තේ "ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියා, ඔහු ආරාධනා කළ නිසා අපි ආවා. කන්න දෙන්නෙත් මහජන මුදල් වලින් නිසා අපි හොඳට කෑවා. යාළු මිත්‍රයන්ගේ සාදයකට ඇරියුම් ලැබුණම අතිනුත් වියදම් කරලා තෑගිත් අරගෙනයි සප්පායම් වෙන්න පුළුවන්. ඒත් මේ සාදයේදී තෑගි නැතිව හොඳට සප්පායම් වෙන්න ලැබුණා." යනුවෙනි.

ඒ කතාවල තිබුනේ නිර්දය උපහාසයකි. ආණ්ඩුවේ පත්‍රය කියන්නාක් මෙන් එදා අරලියගහ මන්දිරයට රැස්වු හැම කලාකාරයෙක්ම එහි ගියේ එතුමා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න බව සපථ කරන්නට නොවේ. නමුත් රාජ්‍ය මාධ්‍ය හැම එකකින්ම වාර්තා කළේ එදා රැස්වූ සියලූ කලාකරුවන් එක පිලකට රොක්ව ජනාධිපතිගේ ජය පතන්නට එකතු වූ බවකි.

අරලියගහ මැදුරට ගිය කලාකරුවන්ගේ ඡායාරූප පිටුවට අමතරව එම පත්‍රයේ කතුවැකිය ද ඒ වෙනුවෙන් වෙන් කොට තිබුණේය.

"තාරකා වලට කන් දෙන්න" මැයෙන් ලියූ ඒ කතුවැකියේ සඳහන් වන්නේ "කලාකරුවන්ට මෙතරම් සමීප වූ රාජ්‍ය නායකයකු මෑතදී ශ්‍රී ලංකාවේ පහළ වී නැත." යනුවෙනි. ඊළඟට ජනාධිපතිවරයා කලාකරුවන්ට සමීප වූ බවට කතුවැකියේ සඳහන් අපූරු උදාහරණ මෙසේය.

"හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් අමරදේවයන්ගේ උපන්දිනය දා ඔහු ඔහුගේ නිවසට ගොඩ වී සුබ පතන්නට තරම් මහින්ද මහතා නිහතමානී විය. වසර තිහකට පසු නැවත වේදිකා ගතවූ ඒකාධිපති නාට්‍ය නැරඹීමට ගිය මහින්ද මහතා එහි නිර්මාතෘ ධර්මසිරි බණ්ඩාරනායක මහතාට සුබ පැතීය."

එම පත්‍රය කියන විදියට රටේ නායකයා කලාකරුවන්ට "සමීප" වූයේ එලෙසය. වැරදීමකින් හෝ කතුවැකියෙන් ඇත්තක්ද කියැවී තිබේ. ඒ මෙසේය. "කලාකරුවන්ගෙන් වැඩි දෙනා බලය ඉදිරියේ දණ නොනමති. සෘජුභාවය යහපත් කලාකරුවාගේ ප්‍රධාන ලක‍ෂණයකි."

කතුවැකියේ තියෙන අන්දමේ කලාකරුවෝ ද එදා අරලිය ගහ මන්දිරයට පැමිණ සිටියහ. එවැනි කලාකරුවන්ට එම කතුවැකිකාරයා කියන අන්දමට රටේ අගතිය දැක ඊට ආවැඩිය නොහැකිය. මක් නිසාද යත් ඔවුන්ට කලාව මෙන්ම දේශපාලනයත් හොඳ හැටි තේරෙන නිසාය.

-අකිල අරවින්ද-
Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...