Tuesday, April 3, 2018

විශ්වාසභංගය

දේශපාලන වේදීකාවේ වරින් වර විවිධ ආටක නාටක රඟ දක්වති. ඒ හා සමාන නාටකයක් විශ්වාසභංගය ලෙසින් ඊනියා ඒකාබද්ධ විපක්ෂය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය. එයින් ඍජුව ම ප්‍රකාශ කළේ මහ බැංකු මගඩිය සඳහා වත්මන් අගමැතිතුමා වග කිව යුතු බවත්, ඒහෙයින් අගමැති තුමා නිලයෙන් ඉවත් කළ යුතු බවත් ය. මෙයින් සති තුනක පමණ කාලයක් රටේ අවධානය වෙනතකට හැරිණි. විශ්වාස භංගත්වය හැර වෙන යමක් පිළිබඳ රටේ කථිකාවක් නොවිණ. දින විසි හතරකට වැඩි කාලයක් විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් වැඩ වරා අවසාන ය. ජොන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හැර, සමස්ථ විශ්වවිද්‍යාල සියල්ල ම කර්මණ්‍ය වී ඇත. විභාග කටයුතු හා අධ්‍යයන කටයුතු දින නියමයක් නොමැති ව කල් ගොස් ඇත.

සමහර පළාත්වල ජල හිඟය හා බැදී ව්‍යසන හිස ඔසවා ඇත්තේ ය. වන අලි කරදර හා වන අලින් නිසා ඇතිවන මරණ විශාල ලෙස ඉහළ ගොස් ඇතත් අගමැති බේරා ගැනීමේ කටයුතුවල නියුතු අයවළුන් මේවා අමතක කොට ඇත. නව බදු පනතක් මේ ජරමර අස්සේ සම්මත කොට ඇති අතර, ඒ පිළිබඳ සමාජ කථිකාවන් ද බැහැරට විසි වී ඇත්තේ ය. මේ සියල්ල අස්සේ බඩු මිළ ඉහළ යෑම, අයි.ඕ.සී. තෙල් මිළ ඉහළ දැමීම ආදී දහසකුත් දේ සිදු වුව ද, විශ්වාසභංගයක් යන දුම් වළා පටලයෙන් යථාර්ථය වැසී ඇත.

මේ අතර අනුශංගීක නාටක ජවනිකා ද රඟ දැක්වෙයි. විජයංග අමරතුංගගේ අත්අඩංගුවට ගැනීම හා ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැනි කථිකා එවැනි ඉසුලු විසුලු ය. අද දවසේ කටුනායක ගුවන්තොට වසා වැඩවර්ජනයක් සිඳු වෙමින් පවති. තැනින්තැන පොහොට්ටු සභාවන් පිපෙමින් පවති. අදදු පිලියන්දල නගර සභාවේ පොහොට්ටු නාගරාධිපති පිළිගැනීමේ උත්සවයක් උත්කර්ෂවත් ලෙස පැවතිණි.

 මේ අතර ගෝඨාභය ආර්ථික පරිපාලනය ගැන ඉගෙන ගන්න චීනයට ගිය කතාවකුත් අසන්නට ලැබේ. බොහෝ විට  මෙයදු ගෝඨා ජනපති කරන්නට කැස කවන්නන්ගේ බෙගලයක් වන්නට පුළුවන. එසේ නැතහොත් චීනය මීළඟ ජනපති තමුන්ගේ න්‍යායන්ට අනුව ක්‍රියාකරන්නෙකු කිරීමේ අපේක්ෂාවෙන් ගෝඨාට අත්පොත් තබනවා විය හැකි ය. චීනය ගොඩ බිමින් යුරෝපය දක්වා මහ පාරක් සකසයි. දැනටමත් දුම්රිය සේවා ලන්ඩනයේ සිට චීනය දක්වා අරභා ඇත්තේ ය. සමුද්‍ර සේද මාවත තැනීමේ අපේක්ෂාවෙන් ලංකාව බදු ගැනීමේ ක්‍රියාවලියක යෙදී සිටින චීනය, ගෝඨා ලවා පහසුවෙන් එවැන් දෑ කිරීමට උත්සහ දරනවා ද විය හැකි ය. කෙසේ වෙතත් ගෝඨාභය යටතේ ඇති රට මිලිටරිකරණයෙන් යුත් ආඥාදායක පාලනයක් වනු නොවනුමාන ය. එවිට හම්බන්තොට වැසියෝ වර්ජනය කර අවසන් ය. එහේ මෙහේ තිබෙන වර්ජන හා නිදහස අහවර ය. මහින්ද පාලනය යටතේ කාටුනයකින් වත් ගෝඨා දකින්නට නො ලැබුනේ ඔහු ගේ වූ භ්‍රන්තික තේජස නිසාවෙන් ය. මිග් යනා ගණුදෙණුව ගැන ලියූ ලසන්ත පරලොව ගියේ ය; ඒ පිළිබඳ අසු වූ සැකකරු බන්ධනාගාරයේ ද, රථයේ රියදුරු හදිසි රිය අනතුරකින් ද ලසන්ත හමුවට යාමෙන් ය. මේ කොටස ලියන මම ද සුදු වැන් රියකින්, අවසන් ගමන් යෑමට හොඳවයින් අවස්ථාවක් ඇත.

කෙසේ වෙතතත් අප කථා කරමින් සිටියේ විශ්වාසභාංගය පිළිබඳ ය. රනිල් හා යහපාලන ආණ්ඩුව දැනටමත් ජනතාවගේ විශ්වාසය අමු අමුවේ භංග කොට ඇත්තේ ය. වසර තුනක් පුරා කළ දෙයක් නැත. යුක්තිය ඉටු කරනු වෙනුවට අපරාධකරුවන් නිදහසේ සිටින්නට අවස්ථාව දුන්නේ ඩීලි පිට ය. රනිල් සිතුවේ තමුන් 2020 ජනපති වීමට ය. එයට රෝයල් හොරෙකු ලවා සල්ලි හොරා කෑ හ. ඔහු ගේ අත්තනොමතික ක්‍රියාපටිපාටිය ද, අන් මත නො ඉවසීම ද, වෙනත් විකල්ප අදහස් ඇසීමට මැළිකම ද, රෝයල් ගැන්සියේ පාලනය ද, දැඩි පළි ගැනීමේ පිළිවෙත් නිසා ඔහු දැන් ඉතිහාසයේ කුණු කූඩයට වැටී ඇත. පාර්ලිමේන්තුවේ විශ්වාසභාංගය හෙ‍ට පරදින්නට අවශ්‍ය නැත; මන්ද ඔහු දැනටමත් ජනතාවගේ විශ්වාසය භංග කොට ඇත. ඊනියා ඒකාබද්ධ විපක්ෂය කළේ රනිල් හට එල්ල වී ඇති මහ බැංකු මංකොල්ලය පිළිබඳ චෝදනාවන්ගෙන් ඔහු බේරා ගැනීමට ය. මුදල් බලෙන් හෝ වෙනත් කවර හෝ හේතුවක් මත රනිල් විශ්වාසභංගය ජය ගත හොත් ඔහුට එදිරිව ඇති මහ බැංකු මංකොල්ලය පිළිබඳ චෝදනාවලින් ඔහු නිදහස් වන්නේ ය. අපි හෙට ප.ව. 9.30 වන තෙක් බලා සිටිමු෴෴෴


Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...