Monday, April 19, 2010

ජඩ මාධ්‍යය, මඩ මාධ්‍යය සහ ගැති මාධ්‍යය


පසුගිය දිනක මේ තීරයේ ලංකා ටෲත් වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කරන ලද හඬ පටියක දී, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් දෙමළ ජනතාවට බැණ වැදීමක් ගැන වාර්තා කොට තිබිණ. එහිදී හඬ පටියේ සඳහන් කොටස, “මමත් සිංහල; රටත් සිංහල; අහන් ඉන්නවා දෙමළා” යනුවෙන් දක්වා තිබිණි. පසුව ලංකාදීප පුවත් පත විසින් නිවැරදි විඩියෝ පටය ප්‍රකාශ කරද්දීම එකී පිටුව අනතර්ජාලයෙන් ඉවත් කොට හෝ අවහිර කොට ඇත. එහෙයින් මෙවැනි අතලොස්සක් මාධ්‍යයන් ජනතාවගේ විශ්වාසය තමුන්ගේ අනර්ථ ක්‍රියාවන් සඳහා භාවිත කරනු පෙනේ. එසේ ම, බී. බී. සී. මාධ්‍යය ජාලයට අනියුක්ත “චැනල් ෆෝ මාධ්‍යයතනය බොහෝවිට එල්.ටී.ටීය නියෝජනය කරමින් ප්‍රකාශයන් හා විවිධ පුවත් මවන ලදී. කෙසේ හෝ කූඨක්‍රමයෝපායන් තුළින් ලබා ගන්නා අසම්පූර්ණ විඩියෝ පට මගින් හෝ කොටි හිතවාදී හෝ කොටි සාමාජීකාවන් විසින් කරන ප්‍රකාශ ප්‍රචාරණය කරන ලදී. මේ අතර, සමහර විට සත්‍යයයි සැලකිය හැකි වර්තාවන් ද ප්‍රකාශයට පත් විය. පසුගිය මාස කිහිපයකට පෙරාතුව සිංහල හමුදාව විසින් ඝාතනය කරනු ලබන්නේ යයි පවසමින් විඩියෝ පටයක් නිකුත් කරන ලදී. මේ විඩියෝ පටය පිළිබඳ ටැමිල් නෙට් ජාලය ඔස්සේ ද විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නාක් පමණක් නොව, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ආයතන දක්වා ඒ වීඩියෝ ව ගමන් කළේ ය. මෙය නැරඹු මට නැවතසිහි ගැන් වූයේ 1988-1989 කාලය යි. එවකට පැවති ආණ්ඩුව විසින් නිර්දය ලෙස ජේ.වී.පි. සම්බන්ධ පුද්ගලයන් අතොරක් නොමැති ව හන්දියක් හන්දියක් පුරා ඝාතනය කොට, ගස්බැඳ වෙඩි තබා, ටයර් සෑයවල්වල ආදාහනය කොට, හෝ ගඟේ මුහුදේ පාකොට හරින ලදී. ඒ සිංහලයන් සඳහා සිංහල ආණ්ඩුව විසින් නිල නොනිල හමුදාවක් තනා කළ හදිය යි. අනෙක් අතට යුද්ධ සමයේ උන්හිටි හැටියේ මහා මාර්ගවල නාදුනන තුවක්කු කරුවන් අතින් දෙමළ සිංහල ජනතාව මැරී වැටිණි. ඒ සඳහා යුක්තියක් තවම ඉටු වී නැති සේ ම, යුක්තියක් ඉටු වෙන්නේ ද නැත. සුදු වෑන් රථවලින් මිනිසුන් පැහැර ගෙන ගොස්, අතුරුදහන් කරන විලාසයෙන් ම, තැන තැන මෘත ශරීර හමුවීම් හා සන්සන්දනය කරන විට මෙවැන්නක් සිඳු නො‍වුනේ යයි සිතිමටත් නුපුළුවන. සාමාන්‍යයෙන් ආරක්ෂාව ඇති දකුණේ දෙමළ ජනතාව වෙත එල්ල වූ මේ අභියෝග හමුවේ, උතුරේ අසරණ වූ, කොටින් යයි සැක කරන්නන්ට කුමක් සිඳු වුනේ ද, නොවුනේ ද යන්න උඩ ඉන්නා දෙවි හාමුදුරුවෝ පමණක් දන්නා සේ ක. තවම මේ විඩියෝ පටය සත්‍ය හෝ අසත්‍ය හෝ ලෙස තහවුරු කොට නැත. ආණ්ඩුවේ පාර්ෂව විසින් අසත්‍යයි කියද්දී, අන්තර්ජාතික ව පෙනී සිටින නානාමාදිලියේ ආයතයන් මේවා සත්‍ය යයි ප්‍රකාශ කරත්. මගේ ප්‍රශ්නය කවුරු විශ්වාස කරම් ද? මේවා ජඩ මාධ්‍යය ලෙසින් වර්ගී කළ හැකි ද?

දෙවනුව, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිට, මේ පසුගිය මහා මැතිවරණය දක්වා වූ මඩ ව්‍යාපාරය ආණ්ඩුවේ සහ සමහර ආණ්ඩු විරෝධි මධ්‍යය අරභයා සිඳු විය. වසරකට කලින් යුධ විරයකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අවස්ථාවේදී දේශ ‍ද්‍රෝහියකු කරනු ලැබී ය. සමහර මාධ්‍යයන් විසින් ගුත්තිල මූසිල කතාව ඈඳා සේනාධිපති තුමා මූසිලයකු කරනු ලැබිණ. යුද්ධයක් දිනූ කිසිදු සේනාධිපති වරයකු හට යහතින් සිටින්නට ඒ රටේහි පාලයන් ඉඩ නොදෙන්නේ ඔවුන්ට ඇති විය හැකි අභියෝගය නිසාවෙනි. ඇමරිකා එක්සත් ජනපදය හෝ බ්‍රිතන්‍ය හැරුණු කොට අනෙක් සෑම රටක ම කුමන හෝ කුමන්ත්‍රණයක් අටවා සේනාධිපතිවරුන් මරණයට පත් කොට ඇත. ලංකාවේ වාසනාවට ජෙනරාල් තුමා ඝාතනය කළේ නැත; ඒ වෙනුවට කළේ එතුමාගේ චරිතය ඝාතනය කිරීම ය. අදටත් යුධ වීරයා මංකොල්ල කෑමේ වරදට හිරේ ය. ජාත්‍යාන්තර ලෙස මංකොල්ල කෑ, රටට ඇසෙන සේ කෑ ගැසීම මිස වෙනත් සත පහක සේවයක් නොකළ දේශපා‍ළුවෝ යහතින් රජ්ජුරුවන්ගේ කුරහන් සාඨකයට මුවා වී දිවි‍ ගෙවයි. රජ කාලේ හැටි එහෙම යි. මඩ මාධ්‍යයේ මුලීක කාර්ය භාරය වන්නේ ආණ්ඩුවට හෝ රජ්ජූරුවන් වහන්සේ ට අභියෝග වන සියල්ලන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට ය. එයට සෑදී පැහැදී සිටින පුද්ගලයෝ ඇත්තා හ. ලංකාවේ බහුතරයක් ජනතාව අන් අයෙකු උදෙසා කඩේ යාමට හෝ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කමෙන් ලබා ගත් පඩිපතින් යැපෙනන්ගේ විකෘති සහගත කියමන් තුළින් සත්‍ය දකින්නට හෝ සමස්ථ ලෝකය දකින්නට උත්සහ කිරීම තුළ රැවටි රැවටි රැවටෙන්නට ඇති ආශාව පුදුම සහගත ය. ලංකාවෙන් පිටත අඩියක් තබන්නට බැරි පුද්ගලයෝ සිතන්නේ මුළු ලෝකය ම, විශේෂයෙන් ඇමරිකාව සහ එංගලන්තය ලංකාව අල්ලා ගැනීමට රැස් කකා බලා සිටින බව ය. අධ්‍යපනයට පිං සිඳුවන්නට මේ රටවල් වල ඇවිද අත්දැකිම් ලබන්නට අවස්ථාවක් ලද්දෙකු වශයෙන් මෙවැනි හිතළු අසා නිකටේ අත ගසනු මිස වෙන කවරක් කරන්න ද? ලංකාවේ ලිං මැඩියන් වයින් කරන මෙවැනි මාධ්‍යයකරුවෝ ඔවුන්ගේ ම කර පිටින් මෙවැනි රට රාජ්‍යයන්හි විනෝද චාරිකා යති; දරුමුණුපුරන් එවන් රටවල ඉගන ගැනීමටත්, සමහරුන්ගේ දරුවන් නැවත ලංකාවට නොයෙන්න ම තැනට කටයුතු සම්පාදනය කර ගෙන ඇත. එහෙත් එවුන් ගේ කතා අසා ජාත්‍යාලයෙන් ඔද ගැන්වෙන එදා වේළ සරි කර ගන්නට නොගන්නා තැතක් ගන්නා මිනිසුන්ට තමුන්ගේ දරුවන් ලංකා නිදහස් අධ්‍යාපන පාසලකට යවා මොවුන්ට අතවැසිකම් කරන්නට දරුපරපුරක් ගොඩ නඟන තත්ත්වයට වැටී ඇත. ලාංකිකයන්ට ආත්ම අභිමානයක් නැත; ඇත්තේ ගැතිකම් පැමේ මානසිකත්වයක් පමණි. මගේ එක් ඥාතියෙකු උදේ හවා කුඩා ගුවන් විදුලියක් කන ගසා ගමන් යයි. ඔහු අපේ නිවසට පැමිණි සැනින්, කතාවට ඇද ගන්නේ එදා දවසේ මඩ මාධ්‍යයෙන් කතා කළ දෑ ය. හේ උදේ කථිකාවක කියූ දෑ ඒ ලෙසින් ම නැවත වමාරා කයි. අහක සිට අසා සිටින මට ඇතිවන්නේ මහා ම මහා පිළිකුලකි. සිතක් මිනිසාට ලැබි ඇත්තේ සිතන්නට මිස, වෙනෙකෙකු තමුන්ගේ වාසිය, පඩිය, වන්දිබට්ටකමට කී දෑ වමාරන්නට නොවේ. අවාසනාවක මහත, ලංකාවේ සිතා මතා යමක් විශ්ලේශනය කර ගත හැකි පාඨකයන් ඇත්තේ අතලොස්සක පමණි. අනෙක් උන් “රටට යුතුකම්” කිරීම හෝ “ජාතිය ආරක්ෂා කිරීම” හෝ “ආගම සුරැකීම” හෝ “ත්‍රස්තයන්ගෙන් නැතහොත් විදේශිය බලවේගවලින් රට බේරා ගැනිම” වැනි කිසිදු සම්බන්ධයක් නැති බොල් උදෘත පාඨමත ඇලී ගැලී හදවතින් සන්තර්පනය වී අවේගාත්මක ලෙස කියති; සිතති; කටයුතු කරති. පසුව කලක් ගිය විට ඒ සියල්ලත ම අමතක කර දමති.

අවසාන වශයෙන් අපගේ කථිකාවට ගෝචර වන්නේ මේ දෙකටම අයිති නොවන ඊනියා මධ්‍යස්ථ මාධ්‍යයයි ලෙබල් අලවා ගන්නා “ගැති මාධ්‍යය” පිළිබඳ සටනක් තබන්නට ය. මොවුන් දේශපාලන ගැතිකම් කරනවා පමණක් නොව, රෙට්ස්වලට ගිජුකමෙන් මෘත ශරීර පවා විකුණා විකුණා ප්‍රදර්ශනය කරයි. ලංකාවේ අනුවේදනීය සිඳුවීමක් වුවහොත් මොවුන් ඒ අන් කිසිවෙකුට කලින් පෙන්වා, සති දෙකක්, මාසයක් පමණ එකම රූපරාමු ටික විවිධ වශයෙන් පෙළ ගස්වා හඬ කවා ප්‍රදර්ශනය කරති. ඔවුන් පවසන්නේ මහජනයා තකා වැඩ කරන බවකි; එහෙත් ඔවුන්ගේ සැබෑ පක්ෂ පාතීත්වය රැදී ඇතිතේ ඉහළම මුල්‍ය ලන්සුව වෙත ය. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. ප්‍රසිද්ධිය ජනප්‍රියතාවය උදෙසා ඕනෑම කුණු ගොඩක් පෙන්වන්නට ඔවුන් පසුබට නොවේ. සමහර විට, ඔවුන් විසින් මාධ්‍යයයෙන් ජනප්‍රිය කොට තනන කාඩ්බොඩ් වීරයන් ම, ජනප්‍රිය සුළඟ අනෙක් අතට හමයි නම් වස්ත්‍ර ගළවා නිරුවත් කොට හෙළුව මුළු රටට ම ප්‍රදර්ශනය කරවයි. මුල් මාධ්‍යය දෙක හෙවත් ජඩ හා මඩ මාධ්‍යය අපට කල් තියා ම හඳුනා ගත හැක. එහෙත් සැඟවුණු න්‍යායපත්‍රයක් සහිත ගැති මධ්‍යයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වෙයි.

කෙසේ වෙතත්, මේ මාධ්‍යය හැසිරවීමෙන් සහ භාවිතයෙන් විවිධ වූ චරිත ලංකා කරලියට සපැමිණ ඇත. මෙයින් සුවිශේෂ චරිත නම් විමල්වීරවංශ, උපේකා ස්වර්ණමාලි, දුමින්ද සිල්වා, මනිෂ වැන්නවුන් පෙන්වා දිය හැකි ය. විරවංශයෝ කළ මහජන සේවය නම් යටිගිරියෙන් කෑ ගැසීම ය. හේ ඇමරිකාවට, එංගලන්තයට, ලෝක බැංකුවට, අන්තර්ජාතික කොටි ජාලයට, එක්සත් ජාතින්ගේ සංවිධානයට ආදී අනේක විධ ආයතනයන්ට සිංහලෙන් බැණ අඬ ගසමින් මාධ්‍යය මනරම් පුවත් මවයි. ඒවා ආදාළ පාර්ශවයන්ට ඇසුනත් නැතත් කම් නැත. මේ අසන සිංහල ඡන්ද දායකයා චූන් වී මනාප ගොඩ වැඩි කරවයි. උපේකා ද මෙවන් තලයකට ඔසවා තැබුවේ ඈ වාරණයට පත්කළ ආණ්ඩුවේ මාධ්‍යය සහ ඇගේ “ස්ටාර්” ගුණාංග මතු කළ ස්වර්ණවාහිනියත් ය. ඒ නිසා ඈ මන්ත්‍රීවරයකු ලෙස පත් වූව ද ටෙලි නිලියක කරන ලඳබොළද මුඨ ක්‍රියාවන් මාධ්‍යයන් හරහා ප්‍රදර්ශනය කළා ය. ඈ අවුරුදු උත්සවයක ගෝණි පැනීම, අලියාට ඇහැ තැබිම වැනි ක්‍රිඩාවන්හි නිරිත වෙමින් ඈ ස්වකීය බොළඳ බව දැක් වූවා ය. මා අසා ඇති කතාවකට අනුව එක්තරා මිනිසෙකු රාජකාර්යය ලැබුණු පසු තමුන් දහවලේ පැන ආ දියදොළට බැස ගියා ලු. එයින් ගම්‍ය කළේ ඔහු පත් වූ තත්ත්වයේ වූ තේජාන්විත භාවයයි. එහෙත් දැන් ලංකාවට අවශ්‍ය අවුරුදු සෙල්ලම් කරන, රඟ පාන, නිවේදක හෝ නළු මන්ත්‍රීවරුන් ය; මහජන සේවකයන් නොවේ ය. අයි. පී. එල්. ගසන සනත් වැනි ක්‍රීඩකයන් ය. සනත් පාර්ලිමේන්තුවට පත්වීමට තරම් කළ මහජන සේවය කුමක් ද? අනෙක් දෙදෙනා ගැන කතා කළත් කියන්නට ඇත්තේ ඔවැනි කතා ය. මොවුන් මාධ්‍යය විසින් ගොඩ නැගූ බොල් ප්‍රතිරූපයන් ය. අද ඡන්දය භාවිතා කරන බහුතර කොටස කාන්තාවන් ය. අනෙක් බහුතර කොටස තරුණයන් ය. මෙවැනි අය තමුන් නියෝජනය සඳහා පත්කන්නේ කවර ආකාර අයවළුන්දැයි පසුගිය දිනවල අපට මනාව පෙනිණ. ඒ කවුරුන්වත් නොව මාධ්‍යය විසින් ගොඩ නඟන බොල් පිළිම ය. ඒ හෙයින් අනාගතය පිළිබඳ අපට ඇති විශ්වාසය කවරක් ද? අපට මග බලාසිටින අනාගතය වනාහි කාඩ්බොඩ් බොල් සර්වපිත්තල හිතළුවකි; මහා ම මහා විහිළුවකි.

Monday, April 12, 2010

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද සෙල්ලම හා එක්තැන පල් වන දෙමළය

මෙවර මැතිවරණයේ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු එක්සත් නිදහස් සංධානයේ ඇමති මන්ත්‍රී පිරිස ලබා ගත් හ. එහෙත් මෙසේ තවම අවසානයක් නොමැති ඡන්දය පිළිබඳ රොබටෝ බෙලෙක් ප්‍රකාශ කරන්නේ “දෙමළ ප්‍රශ්නය විසදීම පිණිස මෙය ස්වර්ණමය අවස්ථාවක්” බව ය. ලංකාවේ දෙමළ ප්‍රශ්නය තවමත් නොවිසිදුණු එකතැන පල් වන ප්‍රශ්නයකි. මුලින් ම දේශපාලන මාතවාද වශයෙන් මෙය “වර්ගවාදී ප්‍රශ්නයක් ද?” නොහොත් “ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ද?” යන්න පිළිබඳ ගැඹුරු මත ගැටුම් හා කථිකා විය. අද හොඳින් හෝ නරකින් ප්‍රභාකරන් නැමති සාධකය ඉවත් කොට ඇත. එයින් එකී සාධකය වටා යුක්තිය, සාධාරණත්වය, සමානතාව අපේක්ෂාවෙන් වට වූ දෙමළ ජන ප්‍රජාව මංමුලා වී ඇත. තවමත් උතුරේ ලක්ෂයකට අධික දෙමල ජනතාවක් “සුබසාධන (අනාථ) කදවුරු” හෙවත් දෙමළ ඩයස්පොරාව විසින් නම් කරන “විවෘත සිරකදවුරු” ගාල කර ඇත. එකී තෙවන ඊලාම් යුද්ධය ජය තෙරට ගෙ‍නගිය සේනාධිපති දකුණේ යුධාධිකරණයක තිරණ පොරොත්තුවෙන් සිරගත හෙවත් ආණ්ඩුව පවසන පරදි “නිවාස අඩස්සි” කොට ඇත.

පසුගිය දවසක වව්නියාවේ අපේ ජනාධිපති විසින් වර්ගවාදී ලෙස කළ බැණ වැදීම තුළ ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී ඇත. සමහර විට “මතට තිත” තබන්න ගිය ජනාධිපති මතින් මත් ව, “කටට තිත” තියා ගන්නට නොහැකි වූවා විය හැති ය. හෙතෙම, වව්නියාවේ දී තමුන්ට අභියෝග කළ දෙමළ තරුණයන්ට මෙසේ “අපිත් සිංහල; රටත් සිංහල! . . . අහගෙන ඉන්නවා!! . . . දෙමළා!!!” බැන වැදී ඇතයි ලංකා ටෘත් වෙබ් අඩවියෙ දක්වා තිබිණි. අපගේ කෂේරුකා බිදී, සෙවෙල, දේශපාලක සෙරෙප්පු ලෙව කන ජන මාධ්‍ය මේ ‍පිළිබඳ, “මීක්” ශබ්දයක් වත් කළේ නැත. ජනතාවට ප්‍රවෘත්ති දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කළ ආණ්ඩුවේ ජනමාධ්‍ය විසින් වෙනදා මෙන් මේ ප්‍රවෘත්තිය කණපිට පෙරළා දක්වා ති‍බුණේ ජනාධිපති වරයා විසින් තමුන්ට දෙමළින් කතා කිරීම පිළිබඳ විරෝධය පෑ සිංහළුන් හට බැණ වැදී ඇති ලෙසකින් ය [ඉහත දැක්වූ සඳහන පිළිබඳ අදහස් දැක්වූ කිහිප දෙනෙකු විසින් නිවැරදි කිරීමක් ලෙස ලංකාදීප පුවත් පත විසින් නිකුත් කළ විඩියෝපටයක් සඳහා සම්බන්ධතාවක් එවන ලදී. එහෙත් මා විසින් දැක් වූ අදහස් සඳහා එකී නිවැරදි කිරීම මගින් කිසිඳු බලපෑමක් ඇති නොවේ. මන්ද මා දක්වා ඇත්තේ "ලංකා ටෲත්" විසින් ප්‍රකාශ කරන ලදැයි සැලකෙන ප්‍රවෘතියක් මිස වෙන කිසිවක් නොවන බව කරුණාවෙන් සැලකුව මැනවි].

රටෙහි ජනාධිපති වැරදී වැරදී දෙමළ භාෂාවට නිගාවන පරිදී, සිංහලයන් හට ව්‍යාජ ප්‍රතිරූපයක් මැවිමට කරන දෙමළ කතාවන් මගින් ඇති වී ඇති දෙමළ ජනතාවගේ දුක්කදොමනස්සයන් සැනසිය නොහැති වේ. බහුතර සිංහල අපි මේ ප්‍රශ්නය දෙස බලන, මතුපිට දැක්මෙන් සහ දෙමළ දුක්ගැනවිලි නොතකා සිටීමෙන් නුදුරක දීම නැවත “දෙවන ප්‍රභාකරන්” කෙනෙකු බිහි නොවී යයි කිව හැක්කේ කවරෙකුට ද? සාම අධ්‍යයනයන්ගේ පියා ලෙස සැලකෙන නොවිජිනියානු ජාතික මහාචාර්ය යොහානස් පවසන්නේ තව අවුරුදු පහක් හෝ දහයක් ඇතුලත දෙමළ බෙදුම්වාදී සාධකයක් පළිගැනීම පිණිස මතුවන බව ය. ස්වකීය අන්තර්ජාතික වෙළෙඳවාදී යුධ මානසික ව්‍යාපාරික ජාලය “ඩයස්පොරා වැස්සිය” දොවා මිළ මුදල් ගරා ගැනීමට එකී පළිගැනීමේ ගින්නට ඉන්ධන සපයනු ඇත. මා ඔහු විසින් පවසන ෆෙඩරල් සංකල්පයන් පිළි නොගත්තත්, ඔහු මතු කරන තත්‍ය එක් තැන පල්වන ‍ජාතිවාදී, අයුක්තියේ ජරා නරවලින් තව දෙමළ ජාතික සන්නද්ධ නායයකු මතු වීම කරුණු පෙළ ගැස්මට අනුව ඇති නොවුණ හොත් පුදුමයකි. තිස්වසරක පමණ යුද්ධයට හේතු පාදක වන්නේ දෙමළ දුක්ගැනවිල්ල සහ ඒ පිළිබඳ ප්‍රතිචාර දක් වූ දෙමළ ජාතිවාදී දේශපාලන නායකත්වය හා සිංහල ජාතිවාදී නායකත්වය විසින් සැකකසු ජාතිවාදී, වාර්ගවාදී කලිළ නරවල, කාලය සම්පූණ වූ කල, “ප්‍රභාකරන්” නැමති සාධකයට තිබිරි ගෙය විය. ප්‍රභාකරන් ගේ රුධිරු හස්තයෙන් පිඩාවට පත් වූයේ සිංහල ජනසමාජය වත්, මායිම් ගම්මාන වල ජනතාව වත් නොවේ. එකී සාධකයේ දරුණු පහරට ලක් වූයේ, විමුක්කිය සම්පාදනය කළ යුතු වූ ලාංකික දෙමළ ජන ප්‍රජාවට ම ය. මව මරා උපන් කුමරෙකු සේ, ස්වකීය පැවැත්ම සඳහා පාදක වූ, දෙමළ දේශපාලන නායකත්වය එල්.ටී.ටී.ඊය විසින් විනාශ කර දමන ලදී. එතැනින් නොනැවති, ප්‍රබල සිංහල බහුතරයක් හා කෙවල් කළ හැකි උගත් බුද්ධිමය සම්පත ද මරා දමන ලද්දේ ය. මේ සියල්ල කළේ දෙමළ ජනතාවගේ කේවල හඬ හැටියට එල්.ටී.ටී.ඊය කිරුළු පැළදා ගැනීමට ය. උතුරේ පිහිටි ඉතා පොහොසත් සංස්කෘතිය, සංස්කෘතික උරුමය, සාහිත්‍ය සහ පොතපත විනාශ කළේ ය. ඒ සඳහා මුල පිරුවේ දකුණේ ඊර්ෂ්‍යවෙන් පිරුණු සිංහල දේශපාලකයන් ය. එවකට ආසියාවේ විශාලතම පුස්ථකාලයක් වූ යාපනයේ පුස්තකාලය දවා විනාශ කරමින් සිංහල ජාතිවාදී ගිනිදැල් අවුලන විට, එල්.ටී.ටී.ඊය ඒ ගිනිදැල් භාවිත කොට, කෝසය වෛරය වැනි ඉන්ධන ද එක් කොට, ශේෂ වූ දෙමළ සංස්කෘතිය හා උරුමය දවා ලී ය. ලංකාවේ හොඳම අධ්‍යපනය තිබූ උතුර, අවසානයේ සන්නද්ධ යුධ පෙරමුණක් සඳහා අන්නත මොඩ ලෙස දුන් අණින් කොකා ගැස්සීමට හෝ ආණ්ඩුවේ හමුදාව විනාශ කළ හැකි හෝ මිනිස් බොම්බයක් ව අණ තකා පුපුරා ගන්නා තත්ත්වයකට පත් කළ අනාගත පරපුරක් බිහි කළේ ය. අද ලංකාවේ ශේෂ වූ දෙමළ ජනාතාවට තමුන්ට ම කියා මතවාදයක් නැත; මෙතෙක් “තලෙවර්” කී දෑ තම මතය කර ගත් ඔව්හූ කරකියා ගත නොහැකිව මතවාදී ලෙස අතරමං වී ඇත. යාපනයේ අධ්‍යාපන ශ්‍රේෂ්ටත්වය අද, හෝඩිය පොත හරිහැටි නොදන්නා ළමා සොල්දාදුවන් සහිත ජන ප්‍රජාවක් බවට පත් වී ඇත. එහෙත් මේ සියලු වඳ විඳ, ආනාථ කදවුරු ගාල් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිඳි අභිමානයෙන් සියදිවි තොර කර ගන්නා තත්ත්වයට වත්මන් ආණ්ඩුව පත් කොට ඇත.

මේ ආණ්ඩුව යුද්ධය දිනා ගැනීම තකා ක‍ළ උපක්‍රමය කුමක් ද? මම එවකට විදෙස් රටක වූ බැවින් කෙහෙලිය රබුක්වැල්ල විසින් දුන් සංඛ්‍යා ලේඛන විශ්වාස කරමින් නන්තිකඩාල් කලපුවේ රැදුන ජනතාව 50,000-70,000 බවට විශ්වාස කළෙමි. එපමණක් නොව මා අවට සිටි අයට මා පැවසුවේ ස්වල්ප දෙනෙකු සිටින බව ය. යුද්ධය අවසාන වී ලක්ෂ තුනක් පමණ ජනතාවක් පැමිණෙන විට මා අවට සිටි අය මා බොරුකාරයකු බවට ප්‍රකාශ කළේ, සිංහල ජනතාව දෙමළ ජනතාවට දක්වන සැලකිල්ල පිළිබඳ ප්‍රශ්න නගමින් ය. මා නොදැන සිටි, එහෙත් සැබෑව දැන සිටි ආණ්ඩුව, ලක්ෂ තුනක පමණ ජනතාවක් සඳහා අවශ්‍ය කරන ආහාර වෙනුවට 70,000 අවශ්‍ය ආහාර සහ වෛද්‍යාධාර යවමින්, ක්‍රමානුකූල ව සිවිල් ජනතාව කුසගින්නේ සහ හාමතයේ තබන ලදී. ඒ හෙයින් මහල්ලන් රාශියක් ද, කුඩා දරුවන් විශාල සංඛ්‍යවක් ද කුස ගින්නේ මියැදුනේ ය. බොම්බ වලින් මියැදුන සංඛ්‍යාවට වඩා කුසගින්නෙන් මියැදුන සංඛ්‍යාව වැඩි බව ප්‍රකාශ විය. අවසානයේ ලුණු කැඳ හෝ ජලය නොමැති ව සිවිල් ජනතාව අධික පරිපීඩාවකට ලක් විණ. අහිංසක සිවිල් ජනතාවක් ආහාර, ජලය සහ වෛද්‍යාධාර නො සපයා කුසගින්නේ මැර වීම, කවරෙකු වත් පිළි නොගන්නා, මිලේජ්ජ්‍ය හා දරුණු යුධ අපරාධයකි; පොළොව නුහුලන අයුක්තියකි. එය ප්‍රජාතන්ත්‍රවාදී රජයක්, එල්.ටී.ටී.ඊය වැනි දීන මිලේජ්ජ්‍ය ත්‍රස්තවාදීත්වයකට වැටීමකි. ඒවැන්නෝ යම් දිනක දී, අපගේ සේනාධිපති වරයා මෙන් යුක්තිය විසින් දඬුවමට පත් වෙනු ඇත. පසුව දෙමළ ජනතාව, කටුකම්බි ගසන ලද, ගම්මාන පහක අවුරුදු පහකට පදිංචි කර වීමේ සැලැස්ම, ජනාධිපතිවරණ ඡන්දය සමඟ අහොසි වී ගියේ ය. එකී ඡන්දයට පිං සිදුවන්නට සහ දෙමළ ජනතා හදවත ජය ගැනීමට සරණාගත කදවුරුවල සිටි ජනතාව ආණ්ඩුව විසින් හරි හරියට නිදහස් කර හරින ලදී. එසේ අකලට, ඡන්දයක් නොපැණියේ නම්, තව ම මේ සරණාගතයෝ කදවුරු තුළ දුක් වේඳනා විඳිණු ඇත.

දකුණේ ජනතාව යුද්ධය දිනීම පිළිබඳ උදම් අනනවිට, උතුරේ ජනතාව ඒ පිළිබඳ දරන අදහස කුමක් ද? ත්‍රස්තවාදය හෙවත් ප්‍රභාකරන් නැමැති සාධකය ඉවත් වූ උතුරු නැගෙනහිර ඡන්දය සඳහා සහභාගී වූයේ 20% අඩු ජනතා ප්‍රතිශතයකි. එනයින් පෙනෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තවම සිංහල ආණ්ඩු පිළිබඳ හෝ දකුණේ දේශපාලනය පිළිබඳ විශ්වාසනියක්වයක් ඇති වී නොමැති බැව් නොවේ ද? අනෙක් අතට, මෙසේ සරණාගත තත්ත්වයට පත් වූවෝ ස්වකීය ඡන්ද ප්‍රදේශවලින් ඈතට පදිංචියට ගොස් විය හැකි ය. මේ සා වැදගත් ඡන්දයක දී ඔවුනගේ හඬ නිහඬ කළේ භූගෝලිය දුරස්ථභාවය හෝ ප්‍රවාහන පහසුකම් විය හැකි ය. දැන් ඡන්ද දැමුවහොත් අත් කපන්නට, මරා දමන්නට, පවුල් පිටින් පුළුස්සා දමන්නට ත්‍රස්තයෝ නොවෙති. එහෙත් උතුරේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට මැළි වූ යේ මන් ද? තුනෙන් දෙකකක් ලැබිම පිළිබඳ සන්තෝෂ වන ආණ්ඩුව කල්පනා කළ යුත්තේ මෙයට පිළියම් කිරීම මිස, වෙන තැනින් මන්ත්‍රීන් බිළිබා ගැනීම නොවේ. එසේ නොමැති වූ කළ මේ ජනාධිපතිගේ ධූර කාලයේ ම, මේ අභිනව පාර්ලිමෙන්තු කාලයේ දීම, තවත් දෙමළ සන්නද්ධ නැගීටිමක ආරම්භයක් වැළැක්විය නොහැකි වෙයි. ඒ සඳහා විශාල හමුදාවක් අවශ්‍ය නැත. සුළුතර කණ්ඩායම්ක් විසින් රටක් දැඩි අවුලෙන් අවුලට පත් කළ හැකි බව අල්කයිඩා ව ත්‍රස්ත ජාලය පෙන්වා දී තිබේ.

වරක් ජනාධිපති වරයා විසින් වත්මන් ලංකවේ “සුළුතරයක් නැතැ”යි ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, “ප්‍රජාතන්ත්‍රවාදය” සාධාරණ යුක්ති සහගත දේශපාලන ක්‍රමයක් නොවේ. එහි ගම්‍ය අර්ථයෙන් ම ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන වා නොව, බහුතරයක් විසින් සමස්ථ ප්‍රජාව ම පාලනය වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු (50 + 1)% තීරණය ඉටු වීම ය. මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා 50% පමණ ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. එසේ ප්‍රකාශිත ඡන්ද 50%න් 60%-70%ක බහුතර මතයකින් අද තුනෙන් දෙකක ආසන්න පාර්ලිමෙන්තු සංචිතයක් සැකසී ඇත. සත්‍ය වශයෙන් පැවසුවොත්, ආණ්ඩුව සඳහා තුනෙන් දෙකකට ආසන්න ඡන්ද ප්‍රකාශ වීමක් සිඳු වී තිබෙන්නේ මුළු ඡන්ද ලාභි පුරවැසියන්ගේ 30%- 35% පමණ ප්‍රමාණයකින් ය. යමෙකුට මේ විශ්ලේශනය ‍දෙස බලා ඡන්ද නොදැමූ අය කර ගත් මෝඩ කමක් යයි කිව හැකි ය. මම ද එයට එකඟ වෙමි. එනයින් ඡන්ද නොදැමුවන් මතු පැමිණෙන ආණ්ඩුව විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් නැත්තේ, තොරා ගැනීමේ කාර්යය සඳහා ඔවුන් ක්‍රියාකාරී සහභිගීත්වයක් දරා නොමැති බැවින් ය. අනෙක් අතට, මෙයින් පෙනෙන්නේ අවම වශයෙන් බහුතර කැමැත්ත වත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ ප්‍රකාශ නොවන බව නොවේ ද? එසේ නම් සුළුතරයක් වන අසිංහල හෙවත් දෙමළ, මුස්ලිම් හා වෙනත් ජන කාණ්ඩ ගැන කවර කතා ද?

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...