Tuesday, November 6, 2012

දිවි නැගුම හා ළඟම එන ඡන්දයක පෙර නිමිති




පසුගිය දිනක බැසිල් රාජපක්ෂ ආර්ථික සංවර්ධන ඇමති තුමා විසින් දිවි නැගුම පනත් කෙටුම් පත ගැන අදහස් දක්වමින් පවසා සිටියේ, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජන මත විචාරයකින් පනත සම්මත කරන්නට කීව ද, වත්මන් රජය එය කරන්නට තීරණය කොට ගෙන ඇති බව කි. දිවි නැගුම පනත් කෙටුම්පත ආර්ථික සංවර්ධන ඇමති තුමන් විසින් 2012 වර්ෂයේ අගෝස්තු 10 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදු ව, 2012 ජුලි මස 30 වැනි දින ගැසට් පත්‍රයේ පළ කරන ලදී. එතැන් සිට මෙම පනත් කෙටුම්පත පර්ලිමේන්තුවත් උසාවියත් පළාත් සභාවන් අතරත් දොළනය විණ..

මෙම පනතේ සුවිශේෂතාවන් දෙකක් ඇත්තේ ය—

පළමු සුවිශේෂතාවය නම්, පනත මගින් ආයතන තුනක් ප්‍රතිස්ථාපනය කොට තනි ‘දිවි නැගුම සංවර්ධනදෙපාර්තුමේන්තුව‘ සැකසීම ය. මෙය මගින් ඉවත් කරන්නට බලාපොරොත්තු වන්නේ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය (1995 අංක 30), ශ්‍රී ලංකා දක්ෂිණ සංවර්ධන අධිකාරිය (1996 අංක 18), සහ ශ්‍රී ලංකා උඩරට සංවර්ධන අධිකාරිය (2005 අංක 26) යි.

දෙවන සුවිශේෂිතාවය නම් මෙහි 8වන වගන්තිය මගින් පළාත් සභාවන් මගින් වෙන් කොට ඇති මායිම් උල්ලංඝනය කොට දීපව්‍යාප්තිය වශයෙන් දිස්ත්‍රික්ක ඒකාබද්ධ කිරීමෙන් පරිපාලන කලාප සැකසීමට ගෙන ඇති උත්සහය යි.

ඒ හෙයින්, මෙම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය තුළ අභියෝගට පත් කරනු ලැබූ අතර, එයින් වගන්ති 16 ක් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නැත. එම පනත් වලින් 15ක් ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු අතර, එයින් 8 වන වගන්තිය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට හා ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බව ‍‍ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය පාර්ලිමේන්තුවට ඊයේ දන්වන ලදී. ඒ සඳහා හේතුව ලෙසින් දක්වා ඇත්තේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154()(3)() ව්‍යවස්‌ථාවට අනුව එක්‌ පළාත් සභාවක්‌ පිහිටුවා නොමැති බැවින් එහි අදහස්‌ ලබාගත නොහැකි නිසා මෙම පනත් කෙටුම්පත සම්මත කළ හැක්‌කේ ආණ්‌ඩුක්‍රම ව්‍යවවස්‌ථාවේ 82 ව්‍යවස්‌ථාවට අනනුකූලව විශේෂ බහුතර ඡන්දයකින් පමණි.

දිවි නැගුම පනත් කෙටුම්පත වූ බහුතරයක් ලංකාව තුළ මනෝ-රාජ්‍යයක සංවර්ධනයක් සඳහා අලංකාර ව සකසා ඇති බව පෙනේ. එයින් දැක්වෙන ආකාරයට දිළිඳුකම සහමුලින් ම නැති කිරීමේ සැලැස්මක් ඇත්තේ ය. එය තුළ ජන දිවියේ අවස්ථාවන් වැඩි කිරීම පමණක් නො ව, පරිසර හිතකාමී ජීවිතයන් සඳහා ද පදනම් ඇති කරනු ලැබේ.

එහෙත් පනතේ අරමුදල් පරිපාලනය ප්‍රධාන කොට ඇමති වරයාගේ නියෝග මත ක්‍රියාත්මක වෙයි. පහත දැක් වෙන්නේ එකී වගන්ති ය:

වගන්තිය 13 දිවි නැගුම ප්‍රජාමූල සංවිධානවල අරමුදල් තැම්පත් කිරීම.
වගන්තිය 17 ආමාත්‍ය නියෝග මගින් ප්‍රධාන පාලනය
වගන්තිය 17 සමිතිවල මුදල් තැම්පත් කිරීමට අදාළ නියෝග
වගන්තිය 25 අමාත්‍ය නියෝග යටතෙහි බැංකුවල කාර්යය නියම කිරීම.
වගන්තිය 33 (6) කළමනාකරණ මණ්ඩලවල කාර්යය සඳහා අමාත්‍ය නියෝග සෑදීම.
වගන්තිය 34 බැංකු පනතින් හා මූල්‍ය ව්‍යාපාර පනතින් ස්වෛරීය වශයෙන් බැංකු හා තැම්පත් කටයුතු කිරීමේ තත්ත්වය.
වගන්තිය 35 දිවි නැගුම සංවර්ධන අරමුදල නමින් අරමුදලක් පිහිටු වීම.
වගන්තිය 35 බැංකුවල හා සමිතිවල අමාත්‍යවරයා දක්වන ලාභයෙන් ප්‍රතිශතයක් ඉහත අරමුදලට බැර වීම.
වගන්තිය 36 ඒකාබද්ධ කරන ආයතනවල මුදල් මගින් දිවි නැගුම චක්‍රීය අරමුදල පිහිටුවීම.
වගන්තිය 37 සෑම තරාතිරමේ සේවකයකු ම රහස්‍යභාවය ආරක්ෂා කිරීමේ දිව්රුමකට යටත් වීම.
වගන්තිය 41(2) බැංකු ලියාපදිංචිය හා අවලංගු කිරීම හා ඒ ආශ්‍රීත කරුණු අමාත්‍ය නියෝගයෙන් සිඳුවීම.
වගන්තිය 41(2) දිවි නැගුම සංවර්ධන අරමුදල හා දිවි නැගුම චක්‍රීය අරමුදල සම්බන්ධ නියෝග සෑදීම.
වගන්ති 41(2) බැංකු හා වෙනත් සමිතිවල වූ අරමුදල් සම්බන්ධ නියෝග සෑදීම.

මෙයින් පෙනෙන්නේ බහුතරයක් මූල්‍ය පරිපාලනය අමාත්‍ය වරයා ගේ අතට ගෙන ඇති අතර, විගණණය කිරීමේ පටිපාටියක් මෙහි දක්වා නැත. බහුතර පරිපාලන ඒකකයන් සඳහා ද අමාත්‍යවරයා ගේ ඍජු බල පෑමට යටත් කොට ඇත (වගන්ති ). දෙවනුව, අමාත්‍යවරයා විසින් පරිහරණය කරන මුදල් පිළිබඳ සීමාවක් හෝ ඒ සඳහා වගකීමක් හෝ අනුමැතියක් පාර්ලිමේන්තුවෙන් හෝ වෙනත් එවැනි මහජන නියෝජන ආයතනයකින් ගත යුතු නොවේ. සාදන ලද නියෝග මාස තුනක් දක්වා බල පැවැත්වීමෙන් පසු, පාර්ලිමේන්තුවේ අනනුමතියේ සිට පරිච්ඡිනන කළේයයි සැලකේ.


මෙයට වඩා මෙම පනත් කෙටුම්පත පිළිබඳ සැකයන් මතු වන්නේ එය සම්මත කිරීම සඳහා ගෙන ගිය ව්‍යාපාරයන් නිසාවෙන් ය—

  1. සමහර වගන්ති පළාත් සභාවන් ගේ බලය අභියෝගයට පත් වි ය. වේගයෙන් පළාත් සභාවෙන් සභාවට ආණ්ඩුවේ පක්ෂපාතිත්වයන් මගින් දිවි නැගුම පනත සම්මත විය. එහෙත් උතුරු පළාත් සභාවක් නො මැති හෙයින් එහි සම්මතයට බාධා විණි.
  2. පළාත් සභාවන් පනත් කෙටුම්පත සඳහා බාධා වූ විට පළාත් සභාවන් ඇති කළ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කිරීමට උත්සහ කිරීම. මෙහි දී මෙම පනත් කෙටුම්පත් සමඟ ම ප්‍රධාන පළාත් සභාවන් රාශියක් වසරකට පෙරාතුව විසරුවා නව පාළාත් සභා ඡන්ද පවත් වා රුපියල් බිලියන ගණණින් මුදල් කාබාසිනියා කළේ ය. එයින් ඇති වූ සාධනීය ප්‍රතිපලයක් නොමැති බැව් මා වරක් සදහන් කොට තිබිණි.
  3. අග්‍රවිනිශ්චයකාර වරියට එරෙහි විවිධ අවස්ථාවන්හි බලපෑම් කිරීම හා එතැනින් නො නැවති, ඇයගේ ගුරුවරයකු වූ හා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පිඨයට ඈ කැඳවා ගෙන පැමිණි ජී. එල්. පීරීස් ඇමති තුමා ගේ ප්‍රධානත්වයෙන් දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ාගෙන ඒම.
  4. පනත් කෙටුම් පත නීතිගත කිරීම වස් තවත් මුදල් බිලියන ගණනක්වියදක් කොට ජනමත විචාරයක් පැවත් වීමට උත්සහ කිරීම.
    මෙම කරුණු පිළිබඳ ව ද, අමාත්‍ය වරයා හට ලැබෙන ස්වෛරි ලෙස හා තම අභිමතයන්ට අනුව බිලියන 100කට අධික මුදල් පරිපාලන හැකියාව දෙස බලන විට කාගේ සංවර්ධනයක් උදෙසා දේශපාලන අධිකාරය කැස කවන්නේදැයි සැකයක් මතු වෙයි.  

    වැඩි විස්තර සඳහා දිවයින බලන්න. 

Sunday, September 23, 2012

මුස්ලිම් කොන්ග්‍රසයේ රහස් අව‍බෝධතාව හා ඡන්ද පිළිබඳ විශ්වාස



ඊයේ හෙවත් සැත්තැම්බර් 21 වන දා සංදේශයට කතා කළ එම්. එස්. අස්ලාම් පොදුජන එක්සත් පෙරමුණ හා මුස්ලිම් කොන්ග්‍රසයේ අවබෝධතා ගිවිසුම හෙළි කිරීමට ප්‍රතික්ෂේප කරන ලැබිණ. මෙහි ප්‍රධාන කේවල් කරු වන රවුෆ් හකීම් මාධ්‍ය සාකච්ඡාවට නො පැමිණ සිටියේ ය. එහිදී සංදේශය මගින් ඇසූ පැනයක් වන්නේ ආසන 8ක් රජයට එරෙහිව නැවත රජයට එක්වීමෙන් ඇත් වූ ප්‍රතිපලය කවරක්ද යන්නයි. එහිදී තම ස්ථාවරය සාධාරණිය කළ ඔවුන් දුක් වූයේ ඒ ඡන්ද කේවල් කිරීම සම්බන්ධයෙන් වැදගත් වූ බවත්, මහා ඇමති ධූරය සඳහා ද, ඇමති පදවි දෙකක සඳහා ද කේවල් කිරීමක් කළ බව පැවසුවේ ය. ජනතාව නො දන්නා ගිවිසුම නම් රවුෆ් හකීම් හා රජය ඇති වූ අවබෝධය වූයේ රජය එක්සත් ජනතා නිදහස් පක්ෂයට පක්ෂපාති ඡන්ද දිනා ගැනීමටත්, මුස්ලිම් කොන්ග්‍රසය රජයට විරුද්ධ ව වූ මුස්ලිම් ඡන්ද දිනා ගැනීමත් ය. අවසානයේ මුස්ලිම් කොන්ග්‍රසය අලංකාර ජවනිකාවක් රඟ පා අවසානයේ රජයට එක් වීම ඔවුන් ගේ අපේක්ෂාව වි ය. මෙහි දී රැවටීමට බඳුන් වූයේ නැගෙනහිර මුස්ලිම් ජනතාව ය.

ඊයේ පැවතුණේ මුස්ලිම් කොන්ග්‍රසයේ නාට්‍යයේ අවසාන ජවනිකාව ය. එහි දී තමුන් ගේ ස්ථාවරය සඳහා සාධාරණියකරණයක් ගෙ‍නෙන ලදී. එහෙත් බොහෝ දෙනා නොදන්නා කාරණය වූ යේ රවුෆ් හකීම් මුල සිට ම ඡන්ද මංකොල්ලය සඳහා රජය හා ගිවිසුමෙන් බැඳි සිටි බවය. එනයින් රජය රවුෆ් ගේ සහාය හා පාක්ෂිකත්වය ගැන කිසිඳු බියක් සැකක් නොවිණ.

රවුෆ්ගේ තීරණය පසුපස ඇති යථාර්ථය අවබෝධ වූයේ තමිල් අරසු කච්චිහි සාකච්ඡාවේ දී, තමිල් අරසු කච්චිය මුස්ලිම් කොන්ග්‍රසයට සම්පූර්ණ අවුරුදු පහක මහා ඇමති ධූරයත්, ඇමති ධූර සතරත් දීමට පොරොන්දු වීම තුළ ය. විශ්වාස වන්ත ආරංචි මාර්ගයන් තුළින් ලැබූ කරුණු අනුව තමිල් අරසු කච්චිය තමුන් ට කිසි නිල පදවියක් අවශ්‍ය නොවන බවත්, ඔවුන් ගේ සහාය ලබා දීමට පොරොන්දු වුව ද, මුස්ලිම් කොන්ග්‍රසය එයට වඩා පහත් කේවල් කිරීමක් වෙතට යොමු වූයේ මුලින් ඔවුන් විසින් කළ ගිවිසුම හේතුවෙන් ය.

මෙම සෙල්ලමින් සිදු වූ කරුණ කුමක් ද? කිසිඳු තේරුමක් නොමැති ලෙස මුදල් කාබාසිනියා වීම පමණි. කිසිඳු වලංගු හේතුවක් නොමැති ව, නියමිත කාලයට පෙර පළාත් සභාව විසුරුවා හැරීණි. එහිදී ආණ්ඩුවට විපක්ෂ ඡන්ද මංකොල්ලා කෑමට රජය මුස්ලිම් කොන්ග්‍රසය භාවිතා කළේ ය. පැහැදිලි ලෙස විපක්ෂයට ඡන්දය හිමි වී තිබෙන විටක දී, කවර ආකාර හෝ ක්‍රමෝපායන් යොදා ගෙන විපක්ෂ ඡන්ද කඩා ගෙන නැවත රජය බලයට පත් වි ය. විපක්ෂ මුස්ලිම් ජනතාව වෙතට කළ ද්‍රෝහි කම මුස්ලිම් වරුන් විසින් අමතක කරනු ඇත. ලැජ්ජා නැතිව ඉදිරි මැතිවරණයන්හි ද මුස්ලිම් කොන්ග්‍රසය විවිධ වූ ආණ්ඩු සඳහා කේවට්ට කම් කරනු ඇත. එහෙත් මෙම ක්‍රියාදාමයෙන් ඡන්ද පිළිබඳ විශ්වාසය බිඳ වැටීම හා ඡන්ද දැමීම සඳහා ඕනෑකම අඩු වී, පවතින රජයන් හට සදාකාලික ලෙස බලයේ සිටීමට මංපෙත් තැනෙන ඇත.

Wednesday, September 19, 2012

මුස්ලිම් ග්‍රහණයට හසු වූ නැගෙනහිර පළාත් සභාව



පසුගිය සතිය පුරාවට නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිකම සඳහා වන බල තුලනය පිළිබඳ කථිකාවන් සෑම කොණකින් ඇසෙන්නට වි ය. මුස්ලිම් පක්ෂයක් විසින් බහුතර සිංහල දෙමළ පක්ෂ අතර කේවල කිරීමේ ක්‍රියාව ඊයේ හෙවත් සැත්තැම්බර් මස18වන දින සිඳු අවසන් වි ය. කවර කලෙකටවත් වඩා ජන වාර්ගික වශයෙන් බෙදී වෙන් වී තරඟ කළ ඡන්දයක් ලෙස නැගෙනහිර පළාත් සභා ඡන්දය සැලකිය හැකි ය. එහි දී, ජනතා විමුක්ති පෙරමුණ හා එයින් බිඳී විමල් ගේ පක්ෂයත්, ලංකා මුස්ලිම් කොන්ග්‍රසය හා තමිල් අරසු කච්චියත්, එකම ඡන්ද පදනමක් සඳහා තරඟ කළ හ. ඡන්දය අවසාන වූ යේ රජයට විපක්ෂ වශයෙන් තරඟ කළ පක්ෂ ජයග්‍රහණය ස්ථිර කර ගැනීමෙන් පසුව ය. එහෙත් නැගෙනහිර පළාත් සභාවේ බලය ලබා ගන්නේ කවුරුන්දැයි තීරණය කිරීමට දින පහක් පමණ කාලයක් ගත වූ යේ මුස්ලිම් කොන්ග්‍රසය පළාත් සභාවේ ආණ්ඩුව තැනීමේ තීරණාත්මක සාධකයක් වූ බැවින් ය.

පසුගිය ඉරු දින මුස්ලිම් කොන්ග්‍රසයේ නිර්මාතෘ අෂ්රොෆ් මහතා ගේ සමුරු උත්සවයේ දී, රවුෆ් හකීම් මහතා නැගෙන හිර පළාත් මහා ඇමතිවරයා පිළිබඳ ඉඟියක් පළ කළේ, අෂ්රොෆ් මහතා විසින් අපේක්ෂා කළ පරිදි, පත් වන මහ ඇමති අනිවාර්යෙන් ම මුස්ලිම් ජාතිකයකු වන බව පැවසීමෙන් ය.

මුස්ලිම් කොන්ග්‍රසය නැගෙනහිර බලය පිළිබඳ ප්‍රශ්නය සඳහා ගත හැකි විකල්ප දෙකක් වි ය. පළමුවැන්න නම්, ආණ්ඩුවට විරුද්ධ ලෙස තරඟ කිරීමේ දී තමුන් ලත් සැබෑ ජන වරම ලෙස දෙමළ පක්ෂය සමඟ එකතු වී බලය අල්ලා ගැනීම ය. මෙයට එක්සත් ජාතික පක්ෂය ද සහයෝගය දීමට අපේක්ෂා කළේ ය. එහෙත් රවුෆ් හකීම් එසේ නො කොට, ආණ්ඩුව හා සන්ධාන ගත වීමට හේතු වූ මුස්ලිම් සාධකයක් වි ය. දෙමළ පක්ෂ හා සන්ධාන ගත වේ නම්, මහ ඇමැති කම අවුරුදු දෙකහාමාරක් දෙමළ පක්ෂ නියෝජිතයකුට ද, ඉතිරිය මුස්ලිම් පක්ෂයේ අයෙකුට ද දීමට සිඳු වෙ යි. එහෙත් ආණ්ඩු වරප්‍රසාද ලත් රවුෆ් හකීම් කළේ, පවතින ආණ්ඩුව සමඟ කටයුතු කොට ඡන්ද ප්‍රතිපල ලැයිස්තුවේ තෙවන තැන හුන් මජිඩ් මොහොමඩ් නජීබ් නම් මුස්ලිම් ජාතිකයකු පළමු වාරය සඳහා මහ ඇමති කර වීම ය. දෙවැනි අවස්ථාවේදී, මුස්ලිම් කොන්ග්‍රසය මගින් පත් කරනු ලබන මුස්ලිම් ජාතිකයකු මහ ඇමති වනු ඇත. මෙසේ මුළු ධුර කාලය තුළදී ම නැගෙනහිර පළාත් සභාවේ බලය මුස්ලිම් බලවේග මගින් ඉසිලීමට තත්ත්වය සකස් කොට ඇත. එයින් මුස්ලිම් අපේක්ෂාව ඉටු කරමින් ජාම් බේර ගෙන ඇත්තේ ය.

මුළු ධුර කාලය තුළදීම මුස්ලිම් ජාතියකු මහ ඇමති වීම මගින් ඇති වන ප්‍රතිපල අනර්ථකාරී ය. මා හට කිව හැකි අනාවැකියක් නම්, ඉදිරියේ දී නැගෙනහිර පළාත් සභාව යටතේ වන සිංහල, දෙමළ සහ වෙනත් සුළු ජනතාවන් හට මුස්ලිම් බලය යටතේ දණ නැවීමට සිඳු වන බව ය. සියලු වරප්‍රසාද හා කොන්ත්‍රාත් ආදි පළාත් සභාවේ සියලු මූල්‍ය ප්‍රතිපාදන මුස්ලිම් ජන වාර්ගිකයන් අතට පත් වීම වැළැක්විය නො හැකි ය. එසේ ම, වෙනත් ජන කොටස් සඳහා අඩන්තේට්ටම් කිරීම් හා විවිධ ආකාර නො සැලකීම් වලට ලක් වීම තව වසර කිහිපයකින් සිඳු වීම නො වැළැක්විය හැකි ය. මුස්ලිම් බලවේග අතිශය සංවිධානාත්මක ලෙස නැගෙනහිර බලය අල්ලා ගෙන ඇති අතර, නුදුරු දිනකින් ස්වකීය අණසක පැතිරවීම දකින්නට හැකි වනු ඇත.

හිටපු මහා ඇමති වූ චාන්ද්‍ර කාන්තන් සැනැහෙන පිණිස ඔහුට නැගෙනහිර පිළිබඳ විශේෂ ජනාධිපති උපදේශක ධුරයක් ලබා දී ඇත්තේ ය. එය කිසි වැඩක් නො කර, වේතන, දීමනා හා වර-දාන, වරප්‍රසාද ලැබිය හැකි පහසුම ක්‍රමය ය. ජනාධිපති උපදේශකයෝ කරන දෙයක් නැත; එසේ ම, නොකරන දෙයකු ද නැති.

ඡන්ද අවසාන හෙයින් නැවත වරක් ආනයන බදු ඉහළ නංවා ළූනු, අර්තාපල් හා ටින් මාළු වල මිල ඉහළ දමා ඇත. ළූනු හා අර්තාපල් සඳහා බදු වැඩි කරන්නේ දේශිය ගොවියාට ආධාර හා සහනය සැපයීමට ය. මෙහි දී, ටින් මාළු සඳහා බදු වැඩි කරන්නේ පාරිභෝගිකයා අසහනයට පත් කිරීමට දැයි ඇසීමට සිතේ. තව දින කිහිපයකින් අඩු වූ පාරිභෝගික භාණ්ඩ සියල්ල ම සුපුරුදු ඡන්දය පෙර හෝ එයට වැඩි මිල ගණන් දක්වා ඉහළ නැගෙනු ඇත. දුන් පොරොන්දු ලැබෙන තුරා ඡන්ද දායකයා තව අවුරුදු පහක්වත් කට හැර බලා සිටීමට සිඳු වන නො අනුමාන ය. ඡන්දය දීන ලෙස භාවිත කිරීම හෝ භාවිත නො කර නිරායාසයෙන් වැරදි පුද්ගලයන්ට පත් වීම හා ජය ලැබීමට මංපෙත් හෙළි පෙහෙළි කළ පාපයේ ආදීනව මුළු රට ම ලඟ එන දිනයන්හි ගෙවන්නට සිඳු වනු ඇත. එවිට අපට ම කියා ගන්නට ඇත්තේ, “පවු කළ ගොන්-නාම්බෝ ඇදපන්, ළඟ ළඟ ම ඡන්දයක් එනවා!” යයි පමණි.   

Wednesday, August 8, 2012

රාජපක්ෂ බලෑනියේ හරඹ කෙළිය




යම් යහපත් දෙයක් කිරීමේදී, එහි වූ ගෞරවය පාලකයෝ ගනිත් නම්, එසේ ම අයහපත් ප්‍රතිපලයන්හි දී ද, ඒහි වූ ගරහව ඔවුන් ම බාර ගත යුතු ය. පසුගිය දිනක එක් රාජ්‍යපාක්ෂික මාධ්‍යයක රාජපක්ෂ බලැනීය පිළිබඳ ප්‍රශස්තියක් ගායනා කරන ලද්දේ ය. එහි දී, රාජපක්ෂවරුන් හට අතිශයි ම පැසසුම්, බුහුමන්, කෘතඥතාවයන් පළ කෙරිණ. එහෙත් ලංකා ජන සමාජයේ මෙ මහත් කඩා වැටීමට හා සදාචාරීය සෝදා පාළුවට රාජපක්ෂ බලෑනිය ඍජු ව වග කිව යුතු ය. ප්‍රධාන කොට පෞද්ගලික බල කාමය වඩ වා ගැනීම සඳහා කෘතිම ලෙස පාර්ලිමේන්තු බලය කොල්ලකා ගැනීම නිසා අනවශ්‍ය පරිදි ඇමති කම් නිර්මාණය කිරීමට සිඳු විණ. එයින් හට ගන්නා ආර්ථික පීඩනය මෙන් ම, ඔවුන් විසින් මෙහෙයවනු ලබන අතුරු පාක්ෂික මැර හා ප්‍රාදේශීය දේශපාලන හෙන්චයන් ගේ බාලාපරාධයන් හා කේවල අයිතීන් වෙනුවෙන් හට ගන්නා වූ ගැටුම් දැන් පොදු දෙයකි. යම් වැඩක් කර ගැනීම සඳහා රාජපක්ෂවරුන් ගේ ආභාසය හෝ ප්‍රසාදය ලත් අයවළුන් ගේ උපකාරය හා පඬුරු-පාංකුඩ නො මැති ව කළ නො හැකි පමණ සමාජය පිරිහීමට බදුන් වී ඇත.



මාධ්‍ය කරුවන් දඩමීමා කිරීම ද, මාධ්‍ය ප්‍රධානින් සෑම සතියක දී ම, අරලියගහ මන්දිරයේ දී, වාර්ථා කිරීමකට බඳුන් කිරීමෙන් බලු දං වැල් කරේ බැඳ ඇත. සමහරෙකුට මෙය රන් දංවැලක් සේ දැනුණ ද, එය අනියමාර්ථ වශයෙන් ම කරන්නා වූ මාධ්‍ය නිදහස සීමා කිරීම කි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් යුධ හමුදාව යටතේ ගැත්තන් බවට පත් කිරීමේ නායක්තව පුහුණුව ද, පාසල් විදුහල් පති වරුන්ට කර්නල් පදවි පිරී නැමීමේ ක්‍රමන්ත්‍රණය ද, රාජ්‍යය හමුදා පරිපාලනයකට නැඹුරු කිරීමට කරන උත්සහය කි. විශ්ව විද්‍යාල කෙරෙහි දේශපාලන අදිසි හස්තයන් මෙහෙය වීමේ අදීනව ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගේ වැඩ වර්ජනය ඇති වි ය. තමුන් ලැබූ උපාධියේ ගෞරවය වත්, ශාස්ත්‍රියත්වය ආරක්ෂා කිරීමේ නොහැකියාවෙන් පෙළෙන උසස් අධ්‍යපන ඇමති රාජ්‍ය මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරනවා විනා, ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රියාකාරී මෙහෙවරක යෙදෙන්නේ නැත. ඔහු සිතා සිටින්නේ මාස කිහිපයක් වේතන නොලැබෙන විට දී, ආචාර්යවරුන් බලු කුක්කන් සේ වැඩට එනු ඇතයි කියා ය. ඒ එතුමා ගේ බුද්ධි ප්‍රමාණය ය; මෙයින් ම, උසස් අධ්‍යපනයේ කඩා වැටීම ප්‍රකට කරවයි.

තවත් නොනිමි අර්බුධයක් වන්නේ, “ඉසෙඩ් ස්කොර්” අර්බුදය යි. පැහැදිලි පිළිවතකින් විශ්ව විද්‍යාලයට ගැනීමේ පාරදෘශ්‍ය මාර්ගයක් නොමැති කල, අසීමිත සේ අසාධාරණයන්ට ලක් වීමත්, එනයින් සහනයන් පතා, උසාවියට යාමත් සිඳු වේ. නැවතත් ලක් විජය බලාගාරය බිඳ වැටී ඇත—ඒ හෙයින්, නැවතත් පැය දෙකකට වඩා වූ විදුලි බලය සිඳලීමක් ක්‍රියාත්මක වෙයි.

බාල චීන බලාගාර, බාල පෙට්‍රල්, බාල ඩීසල්, බාලාපරාධ ආදී, බාල ගනයේ ආණ්ඩුවක් බවට සීඝ්‍රයෙන් මේ ආණ්ඩුව පත් වෙයි. ඒ සඳහා රාජපක්ෂවරුන් කළ යුතුතේ වැරදී ඇති තැන් සොයා පිළියම් යෙදීම විනා, ගැලරියට විසිල් ගැසිය හැකි මෙත්‍රීපාල ගේ 2004 කුමන්ත්‍රණයන් ලෙල වීම නො වේ.

මිනිසුන් ගේ අවධානය හොරා ගෙන, ඇස්බැන්දුම් කරැවන් සේ දුරමුඛ ක්‍රියාවන්හි යෙදීමේ ප්‍රතිපලය අත විඳින්නේ අති සුඛ විහරණයේ යෙදෙන රාජපක්ෂවරුන් නො ව, ඔවුන් බලයට පත් කර එවූ, දරිද්‍රතාවයට පත් කොට ඇති සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පැලැන්තිය යි. තව කොපමණ කල් ඇස්බැන්ඳුමෙන් ආශ්චර්ය කළ හැකිදැයි අපි සියල්ලෝ උපේක්ෂාවෙන් බලා සිටිමු෴
Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...