
මෙවර මැතිවරණයේ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු එක්සත් නිදහස් සංධානයේ ඇමති මන්ත්‍රී පිරිස ලබා ගත් හ. එහෙත් මෙසේ තවම අවසානයක් නොමැති ඡන්දය පිළිබඳ රොබටෝ බෙලෙක් ප්‍රකාශ කරන්නේ “දෙමළ ප්‍රශ්නය විසදීම පිණිස මෙය ස්වර්ණමය අවස්ථාවක්” බව ය. ලංකාවේ දෙමළ ප්‍රශ්නය තවමත් නොවිසිදුණු එකතැන පල් වන ප්‍රශ්නයකි. මුලින් ම දේශපාලන මාතවාද වශයෙන් මෙය “වර්ගවාදී ප්‍රශ්නයක් ද?” නොහොත් “ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ද?” යන්න පිළිබඳ ගැඹුරු මත ගැටුම් හා කථිකා විය. අද හොඳින් හෝ නරකින් ප්‍රභාකරන් නැමති සාධකය ඉවත් කොට ඇත. එයින් එකී සාධකය වටා යුක්තිය, සාධාරණත්වය, සමානතාව අපේක්ෂාවෙන් වට වූ දෙමළ ජන ප්‍රජාව මංමුලා වී ඇත. තවමත් උතුරේ ලක්ෂයකට අධික දෙමල ජනතාවක් “සුබසාධන (අනාථ) කදවුරු” හෙවත් දෙමළ ඩයස්පොරාව විසින් නම් කරන “විවෘත සිරකදවුරු” ගාල කර ඇත. එකී තෙවන ඊලාම් යුද්ධය ජය තෙරට ගෙනගිය සේනාධිපති දකුණේ යුධාධිකරණයක තිරණ පොරොත්තුවෙන් සිරගත හෙවත් ආණ්ඩුව පවසන පරදි “නිවාස අඩස්සි” කොට ඇත.
පසුගිය දවසක වව්නියාවේ අපේ ජනාධිපති විසින් වර්ගවාදී ලෙස කළ බැණ වැදීම තුළ ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී ඇත. සමහර විට “මතට තිත” තබන්න ගිය ජනාධිපති මතින් මත් ව, “කටට තිත” තියා ගන්නට නොහැකි වූවා විය හැති ය. හෙතෙම, වව්නියාවේ දී තමුන්ට අභියෝග කළ දෙමළ තරුණයන්ට මෙසේ “අපිත් සිංහල; රටත් සිංහල! . . . අහගෙන ඉන්නවා!! . . . දෙමළා!!!” බැන වැදී ඇතයි ලංකා ටෘත් වෙබ් අඩවියෙ දක්වා තිබිණි. අපගේ කෂේරුකා බිදී, සෙවෙල, දේශපාලක සෙරෙප්පු ලෙව කන ජන මාධ්‍ය මේ පිළිබඳ, “මීක්” ශබ්දයක් වත් කළේ නැත. ජනතාවට ප්‍රවෘත්ති දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කළ ආණ්ඩුවේ ජනමාධ්‍ය විසින් වෙනදා මෙන් මේ ප්‍රවෘත්තිය කණපිට පෙරළා දක්වා තිබුණේ ජනාධිපති වරයා විසින් තමුන්ට දෙමළින් කතා කිරීම පිළිබඳ විරෝධය පෑ සිංහළුන් හට බැණ වැදී ඇති ලෙසකින් ය [ඉහත දැක්වූ සඳහන පිළිබඳ අදහස් දැක්වූ කිහිප දෙනෙකු විසින් නිවැරදි කිරීමක් ලෙස ලංකාදීප පුවත් පත විසින් නිකුත් කළ විඩියෝපටයක් සඳහා සම්බන්ධතාවක් එවන ලදී. එහෙත් මා විසින් දැක් වූ අදහස් සඳහා එකී නිවැරදි කිරීම මගින් කිසිඳු බලපෑමක් ඇති නොවේ. මන්ද මා දක්වා ඇත්තේ "ලංකා ටෲත්" විසින් ප්‍රකාශ කරන ලදැයි සැලකෙන ප්‍රවෘතියක් මිස වෙන කිසිවක් නොවන බව කරුණාවෙන් සැලකුව මැනවි].
රටෙහි ජනාධිපති වැරදී වැරදී දෙමළ භාෂාවට නිගාවන පරිදී, සිංහලයන් හට ව්‍යාජ ප්‍රතිරූපයක් මැවිමට කරන දෙමළ කතාවන් මගින් ඇති වී ඇති දෙමළ ජනතාවගේ දුක්කදොමනස්සයන් සැනසිය නොහැති වේ. බහුතර සිංහල අපි මේ ප්‍රශ්නය දෙස බලන, මතුපිට දැක්මෙන් සහ දෙමළ දුක්ගැනවිලි නොතකා සිටීමෙන් නුදුරක දීම නැවත “දෙවන ප්‍රභාකරන්” කෙනෙකු බිහි නොවී යයි කිව හැක්කේ කවරෙකුට ද? සාම අධ්‍යයනයන්ගේ පියා ලෙස සැලකෙන නොවිජිනියානු ජාතික මහාචාර්ය යොහානස් පවසන්නේ තව අවුරුදු පහක් හෝ දහයක් ඇතුලත දෙමළ බෙදුම්වාදී සාධකයක් පළිගැනීම පිණිස මතුවන බව ය. ස්වකීය අන්තර්ජාතික වෙළෙඳවාදී යුධ මානසික ව්‍යාපාරික ජාලය “ඩයස්පොරා වැස්සිය” දොවා මිළ මුදල් ගරා ගැනීමට එකී පළිගැනීමේ ගින්නට ඉන්ධන සපයනු ඇත. මා ඔහු විසින් පවසන ෆෙඩරල් සංකල්පයන් පිළි නොගත්තත්, ඔහු මතු කරන තත්‍ය එක් තැන පල්වන ජාතිවාදී, අයුක්තියේ ජරා නරවලින් තව දෙමළ ජාතික සන්නද්ධ නායයකු මතු වීම කරුණු පෙළ ගැස්මට අනුව ඇති නොවුණ හොත් පුදුමයකි. තිස්වසරක පමණ යුද්ධයට හේතු පාදක වන්නේ දෙමළ දුක්ගැනවිල්ල සහ ඒ පිළිබඳ ප්‍රතිචාර දක් වූ දෙමළ ජාතිවාදී දේශපාලන නායකත්වය හා සිංහල ජාතිවාදී නායකත්වය විසින් සැකකසු ජාතිවාදී, වාර්ගවාදී කලිළ නරවල, කාලය සම්පූණ වූ කල, “ප්‍රභාකරන්” නැමති සාධකයට තිබිරි ගෙය විය. ප්‍රභාකරන් ගේ රුධිරු හස්තයෙන් පිඩාවට පත් වූයේ සිංහල ජනසමාජය වත්, මායිම් ගම්මාන වල ජනතාව වත් නොවේ. එකී සාධකයේ දරුණු පහරට ලක් වූයේ, විමුක්කිය සම්පාදනය කළ යුතු වූ ලාංකික දෙමළ ජන ප්‍රජාවට ම ය. මව මරා උපන් කුමරෙකු සේ, ස්වකීය පැවැත්ම සඳහා පාදක වූ, දෙමළ දේශපාලන නායකත්වය එල්.ටී.ටී.ඊය විසින් විනාශ කර දමන ලදී. එතැනින් නොනැවති, ප්‍රබල සිංහල බහුතරයක් හා කෙවල් කළ හැකි උගත් බුද්ධිමය සම්පත ද මරා දමන ලද්දේ ය. මේ සියල්ල කළේ දෙමළ ජනතාවගේ කේවල හඬ හැටියට එල්.ටී.ටී.ඊය කිරුළු පැළදා ගැනීමට ය. උතුරේ පිහිටි ඉතා පොහොසත් සංස්කෘතිය, සංස්කෘතික උරුමය, සාහිත්‍ය සහ පොතපත විනාශ කළේ ය. ඒ සඳහා මුල පිරුවේ දකුණේ ඊර්ෂ්‍යවෙන් පිරුණු සිංහල දේශපාලකයන් ය. එවකට ආසියාවේ විශාලතම පුස්ථකාලයක් වූ යාපනයේ පුස්තකාලය දවා විනාශ කරමින් සිංහල ජාතිවාදී ගිනිදැල් අවුලන විට, එල්.ටී.ටී.ඊය ඒ ගිනිදැල් භාවිත කොට, කෝසය වෛරය වැනි ඉන්ධන ද එක් කොට, ශේෂ වූ දෙමළ සංස්කෘතිය හා උරුමය දවා ලී ය. ලංකාවේ හොඳම අධ්‍යපනය තිබූ උතුර, අවසානයේ සන්නද්ධ යුධ පෙරමුණක් සඳහා අන්නත මොඩ ලෙස දුන් අණින් කොකා ගැස්සීමට හෝ ආණ්ඩුවේ හමුදාව විනාශ කළ හැකි හෝ මිනිස් බොම්බයක් ව අණ තකා පුපුරා ගන්නා තත්ත්වයකට පත් කළ අනාගත පරපුරක් බිහි කළේ ය. අද ලංකාවේ ශේෂ වූ දෙමළ ජනාතාවට තමුන්ට ම කියා මතවාදයක් නැත; මෙතෙක් “තලෙවර්” කී දෑ තම මතය කර ගත් ඔව්හූ කරකියා ගත නොහැකිව මතවාදී ලෙස අතරමං වී ඇත. යාපනයේ අධ්‍යාපන ශ්‍රේෂ්ටත්වය අද, හෝඩිය පොත හරිහැටි නොදන්නා ළමා සොල්දාදුවන් සහිත ජන ප්‍රජාවක් බවට පත් වී ඇත. එහෙත් මේ සියලු වඳ විඳ, ආනාථ කදවුරු ගාල් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිඳි අභිමානයෙන් සියදිවි තොර කර ගන්නා තත්ත්වයට වත්මන් ආණ්ඩුව පත් කොට ඇත.
මේ ආණ්ඩුව යුද්ධය දිනා ගැනීම තකා කළ උපක්‍රමය කුමක් ද? මම එවකට විදෙස් රටක වූ බැවින් කෙහෙලිය රබුක්වැල්ල විසින් දුන් සංඛ්‍යා ලේඛන විශ්වාස කරමින් නන්තිකඩාල් කලපුවේ රැදුන ජනතාව 50,000-70,000 බවට විශ්වාස කළෙමි. එපමණක් නොව මා අවට සිටි අයට මා පැවසුවේ ස්වල්ප දෙනෙකු සිටින බව ය. යුද්ධය අවසාන වී ලක්ෂ තුනක් පමණ ජනතාවක් පැමිණෙන විට මා අවට සිටි අය මා බොරුකාරයකු බවට ප්‍රකාශ කළේ, සිංහල ජනතාව දෙමළ ජනතාවට දක්වන සැලකිල්ල පිළිබඳ ප්‍රශ්න නගමින් ය. මා නොදැන සිටි, එහෙත් සැබෑව දැන සිටි ආණ්ඩුව, ලක්ෂ තුනක පමණ ජනතාවක් සඳහා අවශ්‍ය කරන ආහාර වෙනුවට 70,000 අවශ්‍ය ආහාර සහ වෛද්‍යාධාර යවමින්, ක්‍රමානුකූල ව සිවිල් ජනතාව කුසගින්නේ සහ හාමතයේ තබන ලදී. ඒ හෙයින් මහල්ලන් රාශියක් ද, කුඩා දරුවන් විශාල සංඛ්‍යවක් ද කුස ගින්නේ මියැදුනේ ය. බොම්බ වලින් මියැදුන සංඛ්‍යාවට වඩා කුසගින්නෙන් මියැදුන සංඛ්‍යාව වැඩි බව ප්‍රකාශ විය. අවසානයේ ලුණු කැඳ හෝ ජලය නොමැති ව සිවිල් ජනතාව අධික පරිපීඩාවකට ලක් විණ. අහිංසක සිවිල් ජනතාවක් ආහාර, ජලය සහ වෛද්‍යාධාර නො සපයා කුසගින්නේ මැර වීම, කවරෙකු වත් පිළි නොගන්නා, මිලේජ්ජ්‍ය හා දරුණු යුධ අපරාධයකි; පොළොව නුහුලන අයුක්තියකි. එය ප්‍රජාතන්ත්‍රවාදී රජයක්, එල්.ටී.ටී.ඊය වැනි දීන මිලේජ්ජ්‍ය ත්‍රස්තවාදීත්වයකට වැටීමකි. ඒවැන්නෝ යම් දිනක දී, අපගේ සේනාධිපති වරයා මෙන් යුක්තිය විසින් දඬුවමට පත් වෙනු ඇත. පසුව දෙමළ ජනතාව, කටුකම්බි ගසන ලද, ගම්මාන පහක අවුරුදු පහකට පදිංචි කර වීමේ සැලැස්ම, ජනාධිපතිවරණ ඡන්දය සමඟ අහොසි වී ගියේ ය. එකී ඡන්දයට පිං සිදුවන්නට සහ දෙමළ ජනතා හදවත ජය ගැනීමට සරණාගත කදවුරුවල සිටි ජනතාව ආණ්ඩුව විසින් හරි හරියට නිදහස් කර හරින ලදී. එසේ අකලට, ඡන්දයක් නොපැණියේ නම්, තව ම මේ සරණාගතයෝ කදවුරු තුළ දුක් වේඳනා විඳිණු ඇත.
දකුණේ ජනතාව යුද්ධය දිනීම පිළිබඳ උදම් අනනවිට, උතුරේ ජනතාව ඒ පිළිබඳ දරන අදහස කුමක් ද? ත්‍රස්තවාදය හෙවත් ප්‍රභාකරන් නැමැති සාධකය ඉවත් වූ උතුරු නැගෙනහිර ඡන්දය සඳහා සහභාගී වූයේ 20% අඩු ජනතා ප්‍රතිශතයකි. එනයින් පෙනෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තවම සිංහල ආණ්ඩු පිළිබඳ හෝ දකුණේ දේශපාලනය පිළිබඳ විශ්වාසනියක්වයක් ඇති වී නොමැති බැව් නොවේ ද? අනෙක් අතට, මෙසේ සරණාගත තත්ත්වයට පත් වූවෝ ස්වකීය ඡන්ද ප්‍රදේශවලින් ඈතට පදිංචියට ගොස් විය හැකි ය. මේ සා වැදගත් ඡන්දයක දී ඔවුනගේ හඬ නිහඬ කළේ භූගෝලිය දුරස්ථභාවය හෝ ප්‍රවාහන පහසුකම් විය හැකි ය. දැන් ඡන්ද දැමුවහොත් අත් කපන්නට, මරා දමන්නට, පවුල් පිටින් පුළුස්සා දමන්නට ත්‍රස්තයෝ නොවෙති. එහෙත් උතුරේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට මැළි වූ යේ මන් ද? තුනෙන් දෙකකක් ලැබිම පිළිබඳ සන්තෝෂ වන ආණ්ඩුව කල්පනා කළ යුත්තේ මෙයට පිළියම් කිරීම මිස, වෙන තැනින් මන්ත්‍රීන් බිළිබා ගැනීම නොවේ. එසේ නොමැති වූ කළ මේ ජනාධිපතිගේ ධූර කාලයේ ම, මේ අභිනව පාර්ලිමෙන්තු කාලයේ දීම, තවත් දෙමළ සන්නද්ධ නැගීටිමක ආරම්භයක් වැළැක්විය නොහැකි වෙයි. ඒ සඳහා විශාල හමුදාවක් අවශ්‍ය නැත. සුළුතර කණ්ඩායම්ක් විසින් රටක් දැඩි අවුලෙන් අවුලට පත් කළ හැකි බව අල්කයිඩා ව ත්‍රස්ත ජාලය පෙන්වා දී තිබේ.
වරක් ජනාධිපති වරයා විසින් වත්මන් ලංකවේ “සුළුතරයක් නැතැ”යි ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, “ප්‍රජාතන්ත්‍රවාදය” සාධාරණ යුක්ති සහගත දේශපාලන ක්‍රමයක් නොවේ. එහි ගම්‍ය අර්ථයෙන් ම ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන වා නොව, බහුතරයක් විසින් සමස්ථ ප්‍රජාව ම පාලනය වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු (50 + 1)% තීරණය ඉටු වීම ය. මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා 50% පමණ ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. එසේ ප්‍රකාශිත ඡන්ද 50%න් 60%-70%ක බහුතර මතයකින් අද තුනෙන් දෙකක ආසන්න පාර්ලිමෙන්තු සංචිතයක් සැකසී ඇත. සත්‍ය වශයෙන් පැවසුවොත්, ආණ්ඩුව සඳහා තුනෙන් දෙකකට ආසන්න ඡන්ද ප්‍රකාශ වීමක් සිඳු වී තිබෙන්නේ මුළු ඡන්ද ලාභි පුරවැසියන්ගේ 30%- 35% පමණ ප්‍රමාණයකින් ය. යමෙකුට මේ විශ්ලේශනය දෙස බලා ඡන්ද නොදැමූ අය කර ගත් මෝඩ කමක් යයි කිව හැකි ය. මම ද එයට එකඟ වෙමි. එනයින් ඡන්ද නොදැමුවන් මතු පැමිණෙන ආණ්ඩුව විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් නැත්තේ, තොරා ගැනීමේ කාර්යය සඳහා ඔවුන් ක්‍රියාකාරී සහභිගීත්වයක් දරා නොමැති බැවින් ය. අනෙක් අතට, මෙයින් පෙනෙන්නේ අවම වශයෙන් බහුතර කැමැත්ත වත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ ප්‍රකාශ නොවන බව නොවේ ද? එසේ නම් සුළුතරයක් වන අසිංහල හෙවත් දෙමළ, මුස්ලිම් හා වෙනත් ජන කාණ්ඩ ගැන කවර කතා ද?