Tuesday, October 30, 2018

සප්රායස් දේශපාලනය



කාලෙකට පසුව පසුගිය දින කිහිපය තුළ නැවතත් මගේ අත කට කසන්නට පටන් ගත්තේ ඇති වූ ලාංකික දේශපාලන තත්ත්වය නිසා ය. අද දවසේ උදෑසන මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ කාර්යභාරය භාර ගත්තේ ලක් ඉතිහාසයයේ පළමු වරට දෙවරක් විධායක ජනාධිපති වරයකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වී, අගමැති වීමේ වාර්තාව ද තබමින් ය. දේශපාලනය යනු බලය තකා කරනු ලබන අරගලකි; එහි දී ලැජ්ජා භය යන දේව ධර්මයන් අදාළ නැත.

පසුගිය සිකුරාදා දින මුළු ලක්වැසියන් සියලුදෙනා ම ජනාධිපති තුමා විසින් ස්ප්රයිස් (පුදුමයට) පත් කළේ එ.ජා.නි.ස. ආණ්ඩුවෙන් ඉවත් වන බවට ප්‍රකාශයක් මහින්ද අමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලදුව, එයින් විනාඩි දහයක් යන්නටත් මත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් අගමැති ධූරයේ දියුරුම් දීම සමඟ ය. මේ සියලු නාඨක සිඳුවන්නේ වත්මන් අගමැති රනිල් විග්‍රමසිංහ ඇමරිකාවේ හෝ සිංගපූරුවේ (ඔහු යන විදේශ ගමන් ප්‍රමාණය අනුව මට ද ගිය තැන මතක නැත) සිටිය දී ය. මෙහිදී මෛත්‍රීපාල ජනපති තුමා විසින් සදාචාරාත්මක වශයෙන් කළ යුතු පිලිවෙත් උල්ලංඝනය කොට, සියල්ල ඉටු කළේ නැවත රනිල් ගේ මුහුණ බැලීමට ඇති අප්‍රසන්නතාවය නිසා විය හැකි ය. එය පුදුමයට කරුණක් ද නොවේ. මහින්ද රාජපක්ෂ සමඟ ආප්ප කමින් පෙරදින රාත්‍රියේ සිට, 2015 අගොස්තු 14 දිනක පොදු අපේක්ෂකත්වය තකා පක්ෂවාදීත්වයන් මාරු කළ කෙනෙකුට නැවත (නැවතත්) එසේ කරන්නට අපහසු නැත. 

සමහරුන් සිහිනයක් දකිනවාදැ'යි මෙහොතකට සිතුවේ සිඳු දෙවල්වල ඇති අතිශය පුදුම සහගත තත්ත්වය නිසාවෙන් ය. එක් අතකට පුදුම වෙනනට ද හේතුවක් නැත. වසර තුනක් තිස්සේ ඊනියා එකාබද්ධ විපක්ෂ හා මහින්ද කියා සිටියේ තමුන් බලය ලබා ගන්නාවය කියා ය. සමහරුන් මෙය සිතුවේ සිංහයෝ එනවායි කෑ ගැසූ එ‍ඬේර කොළුවාගේ බේගලයක් ලෙස ය. ඒ හෙයින් පුදුමය අතිශයින් ම විශාල වි ය. කෙසේ වෙතත්, ලංකාව දැන් නම් පුදුමය දනවන තෝතැන්නකි. අනෙක් පුදුමයට හේතුව වන්නේ දේශපාලකයකු විසින් තමුන් කරනවායි කියු පොරොන්දුවක් හෝ ප්‍රකාශයක් සැබවින් ම ඉටු කිරීම යි. ඇත්තට ම ඒ ගැන මට ද පුද් ම ය. එය නියම සප්රායිස් එකකි; මාරයි බ්‍රෝ! පට්ටටටටටටටට!! පට්ට මාරයි!!!

එක් අතකට එය පුදුම වීමට හේතුවක් ද නැත. රනිල් විසින් වසර තුනක කාලයක් කර ගෙන දෑ ගැන ගල්පනා කරන විට, රනිල්ට කෙසේ වෙතත් යන්ට සිඳුවන බව ඕනෑම එක්සත් ජාතික පාක්ෂිකයකු ම හිත යටින් දනි.  රනිල්ට ද වන්නේ මේ වගේ වැඩය. ගිය වතාවේ වසර දෙකකයි; මෙවතාවේ වසර තුනහමාරයි! පසුගිය දා (ඔක්තොබර් 28, 2019) ජනාධිපති වරයා ගේ ජාතිය අමතා කළ ප්‍රකාශයෙන් ද, සියලු ම දොෂ අවලාද බැර කර සිටියේ ද රනිල් වෙත ය.

උද්දච්ච වූ අංහකාර වූ මිනිසුන් හට වන්නේ මෙවැනි දෑ ය. ඔවුන් ගේ මාන්නට තම වටා ඇති යථාර්ථය අවබෝධ කර ගැනීමට අවස්ථාවක් නොදේ. පසුගිය වර මහින්ද ජනාධිපති වරයාට ද වූයේ එවැන්නකි. මිනිසුන් ගේ චෝදනා තාරබර හැර ගත යුතයි කියන සමමතය අමතක නොකර මෛත්‍රී ඊයේ රාත්‍රීයේ කී දේ දෙස යොමු වෙමු. ජනාධිපති තුමා කීවේ රනිල් සාමුහිකත්වයෙන් තොර, දරදඩු, තනි මතයේ සිටින, සමීපයන් කිහිපදෙනෙකු සමඟ කටයුතු කරන, සාකච්ඡා සංවාදයට විවෘත නැති, සිංහල සංස්කෘති විරෝධී (නොගැලපෙන), දේශියත්වය නොතකන, ජනහද නොහඳුන පුද්ගලයකු බව ය. රනිල් හා ජනාධිපති තුමා අතර සංස්කෘතික මෙන් ම, දේශපාලන වෙනස්කම් ද වූ බවත් විශාල වශයෙන් කැබිනට් මණ්ඩල රැස්වීම්වල ඉවසු බවත් ජනාධිපති තුමා පැවසුවේ ය.

අද රනිල් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ මෛත්‍රීපාල ජනාධිපති තුමා පැවසුවේ අමූලික බොරුවක් බව ය. එය ද තාර බර ඉවත් කොට කල්පනා කළ ඇසිය යුතු ප්‍රකාශයකි. එසේ මා කියන්නේ රනිල් ගේ කැරට්ටුව අප දන්නා නිසා ය. ඔහු දර දඬු බව අප දන්නේ අද ඊයේ නොවේ. අන් අයගේ අදහස් නො ඉවසන, රෝයල් කොලෙජ් ගැන්සියකින් පමණක් යැපෙන පුද්ගලයකු ය. ඔහු ද පත් වූ පසු මහින්දු ගේ පවුල් ජුන්ටාවට වඩා වෙනස් පුද්ගලයකු නොවේ. රනිල් විශ්වාස කළේ රොයෙල් කොලෙජ් සගයෝ පමණි. අන් අය දෙවන කැලැසියේ ය. ඒ හෙයින් වැඩ දන්න කළ හැකි අයවළුන් කොන් කොට, සුපිරි පංතියේ පුද්ගලයන් පමණක් ස්වකීය දේශපාලය උපදෙස් සොයා ගැනීමට යෑමෙන් සාම්‍න්‍ය ජනතාවගෙන් කොන් වි ය. කළ සියල්ල කළේ කිහිපදෙනෙකු ගේ අදහසට අනුව ය. එක් චෝදනාවක් වූයේ මලික් සමරවික්‍රම හා සෙසු කිහිපදෙනෙකු මුළු ආර්ථිකයට පාලනය කළ බවකි. රවී මුදල් ඇමති කිරීමෙන් හා අර්ජුන මහෙන්ද්‍රන් මහ බැංකු මංකොල්ලයට ඉඩ දීමෙන් කළේ මාස තුනකින් තමුන් ගෙනෙන බවට කී රැඩිකල් යහපාලනය උඩුයටිකුරු කළේ ය. මෙහි ඇති අප්‍රසන්න ම, (දැන් ජනපති තුමා කරන්නාක්මෙන් කළ ජාරා ජරා වැඩය වන්නේ) වැරද්ද වූ පසු කිසි හිතක් පපුවක් නොමැතිව වරද වසා දැමීම ය. ඒ සඳහා ද නිතිඥ ගැන්සියක් පත් කොට බොරු වර්තාවක් සකසා දැමී ය. අවසානයේ ජනාධිපති කොමිසමක් පත් කරන්නටත් කරුණ දුරදිග ගොස්, අවසාන උසාවියේ නඩු යන තැනට වැඩ පත් වි ය. හිටි පාලකයන් දූෂිතයන් ලෙස පවසා, පැමිණ යහපාලනයක් ගෙනෙන්නට පොරන්දු වී 2015 ජනවාරි 8 විප්ලවය තිබිරි ගෙ‍යිම මරා දැමී ය. එහෙත් සිඳුවූ අල්ප මාත්‍ර වෙනස හා පරිවර්ථනය ගැන සිතා තුටු වි ය. අවුරුදු තුනක් පුරා කතා මිසක් කැපී පෙනෙන වැඩක් කළේ නැත; හැමදා ම ආර්ථිකය හදන ක්‍රම මිස, මිනිසුන්ට දැනෙන දෙයක් කළේ නැත.  

ඡන්ද ලබා ගැනීමට අඩු කළ අඩු කිරීම මිසක්, එතෙක් පසු කිසිවක් වැඩි කළා මිසක් අඩුවක් නැත. අවසානයේ ආර්ථික පීඩනය දැඩි සේ දැනෙන ලෙස වක්‍රාකාරයෙන් බදු ගැසුවා පමණක් නොව, අවසානායේ ඉන්දන මිළ මසින් මස වැඩි කරන මිල සූත්‍රයක් මංගල විසින් අමුතු භිතියක් ඇති කළේ ය. කිසිදු ලෙස අනාවැකි කිව නොහැකි සේ සමාජ කලබනැනියක් කළේ අමනෝඥ ලෙස ක්‍රියා කිරීමෙන් ය. මිනිසුන් ගේ චිත්ත සන්තාපය ඇති කිරීමෙන් දිනයෙන් දින මිනිසුන් ගේ අප්‍රසාදයට පත් වි ය. ආණ්ඩුව ක්‍රමක් ක්‍රමයෙන් අප්‍රසාදයට පත් වූ අතර,  මෛත්‍රී ජනපති තුමන්  බලෙන් පත් නොකළේ නම් ඉබේ ම ඔවුන් ආණ්ඩුව මහින්දට හෝ ගෝඨාභය වෙත පවරනු ඇත. මෙම සියලු ම නාටකවල යටි අරුත ඇත්තේ මෙතැන ය. මෛත්‍රිපාල විසින් රනිල් ගේ ජනපති සිහිනය කරා යන ගමන පිළිබඳ හොඳ වැටහීමක් තිබිණි. වසර තුනක් ගැලරියට කතා කළා මිස කළ වැඩක් නැති; අල්ලපු හොරෙකු ද නැති. අසුවූවෝද උසාවියෙන් නිදොස් කොට නිදහස් කරන ලදී. එකී පසුබිමක ජනතා අප්‍රසාදය මැද මෛත්‍රි ජනපති සිහිනය බොල් දවල් දකින හීනයක් බව එත්තු ගන්නට ඇත. මෙවර ජනපතිවරණයට මෛත්‍රි, රනිල්, ගෝඨාභය තරඟ බිමට පැමිණියහොත් අත උඩින් දිනන්නේ ගෝඨාභය ය. එවිට මෛත්‍රී හට මහ උළු ගෙදර කම්බි ගණන්කරන තත්ත්වයට වැටෙන්නේ, ෆොන්සේකාට වූ හදියේ දෙවන දිගුහැරුම ලෙසින් ය. අනෙක් අතට මහින්දට ද, ගෝඨාභය ගැටලුවකි. එ‍ය පෙනෙන්නේ මහින්ද කඳවුරේ ප්‍රබලයෝ ගෝඨා‍ කෙරෙහි දක්වන අප්‍රසාදය නිසාවෙන් ය. මහින්ද කාලයට ඉඩ හැරියහොත් ඇති වන්නේ මහින්ද පාලනයක් නොව, ගෝඨා පාලනයකි; එවිට යුව රජ නාමල්ට එල්ලේනනට වැලේ වැල් නැත. ගෝඨාභයද විවිධ සම්මන්ත්‍රණ හා ආලෝකය කියා ස්ව ශක්තිය පෙන්වමින් ක්‍රමයෙන් ස්වකීය එලලයට ගමන් කරන විට, මහින්දට ඇත්තේ අගමැති වී, වෙන අතකට යොමුවන ජනප්‍රසාදය ඩැහැ ගැනීම ය. මෙන්න මෙතැනයි ඩීල් එක ඇත්තේ! මෛත්‍රීට ජනපති කමත්; මහින්දට බලයත් පසුව පුත්‍රයා රජ කිරීමේ වෑයමත් එක ගලින් ඉටුවනු ඇත.

මෛත්‍රී ගේ චොදනාවන් ද රනිල් කී ලෙස නිදහසට කරුණු දැක්වීම් ය; අමරපුරට කලින් දුමින්ද කෘෂිකර්ම ඇමති කොට, මුළු කෘෂි ක්ෂේත්‍රයට බිද වැට්ට වූයේ රනිල්ගේ දරදඬු කම නිසා ද? මෛත්‍රීගේ ඔලමොට්ටලකම නිසා ද? ඇමතිවරු පත් කිරීම්වල වගකීම ගත යුත්තේ ජනපති ය. රනිල්ගේ ගොන් පාට්වලට ද හේතුව වන්නේ ජනපති කී ලෙස එතුමන් ගේ ඉවසා වදාරා සිටිමේ උපේක්ෂා ගුණය ය. ඒහෙයින් ගහ දන්නා අයට කොළ කඩාපානු එපා!

හොරෙන් දිවුරුම් දුන් "බී"කැබිනෙට්ටුව පත් වූ අතර, නැවත වරක් මහින්ද මුදල් අමාත්‍යංශය භාර ගත්තේ ය. පසුගිය කාලයේ මෙන් පී. බී. ජයසුන්දර නොමැතිව මුදල් අමාත්‍යංශය දුවන්නේ නැත. අතිශයින් ම දූශිත චොදනාවන් ලත් හෙතෙම වරක් දෙවරක් ලෙකම් පදවිය පත් වීමට නුසුදුසු බව ලත් පුද්ගලයකි. නුතන උසාවි ඉදිරියේ චොදනා ලත් අයෙකු නමුත් ඔහු ගේ ආගමනය අනිවාර්ය වෙයි. මගේ යොජනාව වන්නේ බන්දුල ගුණවර්ධන වැනි කටමෑත දොඩවන ආර්ථික විහේසඥයකුට මුදල් ඇමති කම දුන්නේ නම් මැනවී කියා ය. මන්ද ඒවිට මස්ථකබාල්දු වූ රුපියලට පණ ගසා ඇමරිකා ඩොලරය පමණ බලවත් වෙනු ඇත. මෙවා කොණ්ඩේ බැදපු චීන්නුන්ට හරි යන හිතලු ය.  මගේ ඥාතියකු කීවේ පෙට්‍රල් ලීටරය රුපියල්  200ට ගිය ද මහින්දට යුතුකමක් යයි සිතා ඡන්දය දෙන බව ය.

මුළු පැවති ආණුවේ සියකලු දෙනම දූෂතැයි කියා මෙවර තත්වාකා‍රයෙන් (de facto) පත් කළ කැබිනෙට්ටුව පැවති හා තාමත් නිත්‍යානුකූල (de jure) කැබිනෙට්ටුවෙන් වෙනස් වන්නේ කෙසේ ද? මහින්ද අදක්ෂ මුදල් ඇමතියෙකු නොවේ ද? ඔහු පැරදුනේ ඔහු ගේ වූ දක්ෂතාවයට ද? දුෂණ චොදනා ලැබුවේ ඔහු දක්ෂ නිසා ද? මහ බැංකුවෙන් මුදල් කන්ටෙනර් පිටින් පිටත් කළ බවට ඒ කාලයේ කටකතා පැවතුනේ මුදල් ඇමතිගේ පුතා‍ගේ දක්ෂතාවයෙන් ය. එහෙත් එවකට යහපාලනයක් නොවීය; ඒ නිසා යටි මඩි ගැසුව ද නැද්දැයි සොයා ගන්නට ක්‍රමයක් නැත. නිමල් සිරිපාල පිළිබඳ දන්නෝ ඔහු ගේ ධනෝපායන ආකාර ගැන දනිති. ගුවන්තොටු පළෙ වූ කාර්යයක්ෂම නිළධාරින් එලවා දැමුවේ තමුන් ගේ  වැඩපොල පහසු කරවා ගන්නට ය. සරත් අමුණුගම ගැන ද තත්ත්වය එසේ ය. එතුමා කළ කී දෑ ලංකාවේ කෙසේවෙතත් පිටරට නම් මනස්කාන්ත ය. මෙසේ කැබිනෙට්ටුවේ කැරැක්ටුව ගැන කල්පනා කරන විට ඉගුරු දී මිරිස් ගත්ත වගේ කීමක් අපට පෙනේ. මෙම කැබිනෙට්ටුවේ අගය කළ හැකි කෙනෙකුට ඇත්තේ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ පමණි.

මෙතන ඇති ප්‍රශ්නය වන්නේ මෛත්‍රී ජනාධිපති විසින් අගමැති පත් කළ ආකාරය යි. මෙය මහින්ද රාජපක්ෂ විසින් 43 අග්‍රවිනිශ්චයවරිය වූ ශිරානි බණ්ඩාරනායක ධූරයෙන් එලවා දැමූ ආකාරයට දෙවැනි නැත. එහිදී ස්වකීය සගයා හා නිදහස් පක්ෂයේ නීතී උපදේශක මොහන් පීරිස් පත් කළ නමුත් අවසානයේ මොහන් පීරිස් හට නම්ගම් නැති තත්ත්වයකට එය පත් වි ය. එසේ ව්‍යවස්ථාවෙන් පිටත දී පාර්ලිමෙන්තුවේ බලය ඇතයි සිතිය හැකි අගමැති කෙනෙකු වෙනුවට ස්වකීය පක්ෂයේ අභිමතාර්ථයන් පෙරදැරි කළ හැකි අගමැති කෙනෙකු පත් කිරීමත් මෙසේ ය. එයට හේතුව වන්නේ පාර්ලිමෙන්තුව නොවැම්බර් 16 දක්වා කල් දැම්මේ මෙසේ ආණ්ඩුවක් තනා ගැනීමට තරම් ඔළු ගෙඩි ගණනක් නැති නිසා ය. මහින්දු පාර්ලිමෙන්තුවේ ඔළු ගෙඩි මාරු කිරීමට දක්ෂයකි. ඔහු පත්වු අවස්ථා දෙකේදීම ඔළුගෙඩි විජ්ජා දමා තුනෙන් දෙකක බලය ගත්තා පමණක් නොව, ඔහු මැරෙනතුරාවට මුගාබේ වගේ ජනපති වෙන්නට නීතී සම්පාදනය කළේ ය. නඩුත් හාමුදුරුවන් ගේ බඩුත් හාමුදුරුවන් ගේයි කියන්න අපට ඇත්තේ. මෙවර එය කර ගන්නට හැකියාවක් නොවූ බව පාර්ලිමෙන්තුව කල් දැමීමෙන් පෙනේ. මහින්ද මෛත්‍රී රැවටුවා විය හැකි ය; තමුන්ට බලය ඇතැයි බො‍රුවට පෙන්වා, අගමැති වූවා විය හැකි ය. එහෙත් මෛත්‍රීගේ  අපරිණතභාවය පෙනෙන්නේ වැල ඇදෙන ඇදෙන අතට මැස්ස ගැසීමෙන් ය. අවසානයේ වැලත් නැත; මැස්සත් නැත; මෛත්‍රීත් නැත.

අනෙක් අතට ඇති පුදුහ සහගත කරුණ නම් ආරක්ෂ ඇමති නොවූ අගමැති බැලීමට පොලිස්පතිගේ පැමිණිම ය. එයින් පෙනෙන්නනේ තුරුම්පු අදින්නේ මෛත්‍රී නොව මහින්ද ය. නරියට කුකුල් රැළ භාර දුන් පරිදි පොලිස්පති කණේ වැලිගැවෙන්නට නීතිය නමති. එකිනෙකා හිතු හිතු අතේ විකාර කරති; ජනපති පිස්සු විකාරයෙන් කටයුතු කරති. ඉදිරියේදී දෙතුන් දෙනෙකු බාවා පස්ස නොබලන තත්ත්වයක් පොලිස්සියට ඇති වන්නට ද පුළුවන. බන්දුලගේ වචනයෙන් රුපියල තවමත් මස්ථබාල්දු වෙයි. අද අගය 175.56කි. ආර්ථිකය අවප්‍රමාණය වීම පාලනයක් නැති තැනට පත් වෙයි. නීතිය අවනීතිය වී ඇති මෙහොතක, පාර්ලිමෙන්තුව කැඳවා අර්බුදය අවසාන කළ හැකි ය. එසේ නොමැති විට අරාජිත තත්ත්වයක් පත්වනවා පමණක් නොව කවර කැබිනෙට්ටුවෙන් තින්දු ගන්නේ දැයි රාජ්‍ය නිළධාරීන්ට ද ප්‍රශ්නයකි. අද රාජ්‍ය ආයතන උභතෝකොටිකයකට පත් කොට ඇත. මෛත්‍රී මොඩ වූනායයි මට සිතේ ලොකුම ස්ප්රාස්යි එක ඇත්තේ දැන් මෛත්‍රීය ය.
මතු සම්බන්ධයි. . .

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...