Showing posts with label වද්දිභට්ටකම්. Show all posts
Showing posts with label වද්දිභට්ටකම්. Show all posts

Wednesday, August 8, 2012

රාජපක්ෂ බලෑනියේ හරඹ කෙළිය




යම් යහපත් දෙයක් කිරීමේදී, එහි වූ ගෞරවය පාලකයෝ ගනිත් නම්, එසේ ම අයහපත් ප්‍රතිපලයන්හි දී ද, ඒහි වූ ගරහව ඔවුන් ම බාර ගත යුතු ය. පසුගිය දිනක එක් රාජ්‍යපාක්ෂික මාධ්‍යයක රාජපක්ෂ බලැනීය පිළිබඳ ප්‍රශස්තියක් ගායනා කරන ලද්දේ ය. එහි දී, රාජපක්ෂවරුන් හට අතිශයි ම පැසසුම්, බුහුමන්, කෘතඥතාවයන් පළ කෙරිණ. එහෙත් ලංකා ජන සමාජයේ මෙ මහත් කඩා වැටීමට හා සදාචාරීය සෝදා පාළුවට රාජපක්ෂ බලෑනිය ඍජු ව වග කිව යුතු ය. ප්‍රධාන කොට පෞද්ගලික බල කාමය වඩ වා ගැනීම සඳහා කෘතිම ලෙස පාර්ලිමේන්තු බලය කොල්ලකා ගැනීම නිසා අනවශ්‍ය පරිදි ඇමති කම් නිර්මාණය කිරීමට සිඳු විණ. එයින් හට ගන්නා ආර්ථික පීඩනය මෙන් ම, ඔවුන් විසින් මෙහෙයවනු ලබන අතුරු පාක්ෂික මැර හා ප්‍රාදේශීය දේශපාලන හෙන්චයන් ගේ බාලාපරාධයන් හා කේවල අයිතීන් වෙනුවෙන් හට ගන්නා වූ ගැටුම් දැන් පොදු දෙයකි. යම් වැඩක් කර ගැනීම සඳහා රාජපක්ෂවරුන් ගේ ආභාසය හෝ ප්‍රසාදය ලත් අයවළුන් ගේ උපකාරය හා පඬුරු-පාංකුඩ නො මැති ව කළ නො හැකි පමණ සමාජය පිරිහීමට බදුන් වී ඇත.



මාධ්‍ය කරුවන් දඩමීමා කිරීම ද, මාධ්‍ය ප්‍රධානින් සෑම සතියක දී ම, අරලියගහ මන්දිරයේ දී, වාර්ථා කිරීමකට බඳුන් කිරීමෙන් බලු දං වැල් කරේ බැඳ ඇත. සමහරෙකුට මෙය රන් දංවැලක් සේ දැනුණ ද, එය අනියමාර්ථ වශයෙන් ම කරන්නා වූ මාධ්‍ය නිදහස සීමා කිරීම කි. විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් යුධ හමුදාව යටතේ ගැත්තන් බවට පත් කිරීමේ නායක්තව පුහුණුව ද, පාසල් විදුහල් පති වරුන්ට කර්නල් පදවි පිරී නැමීමේ ක්‍රමන්ත්‍රණය ද, රාජ්‍යය හමුදා පරිපාලනයකට නැඹුරු කිරීමට කරන උත්සහය කි. විශ්ව විද්‍යාල කෙරෙහි දේශපාලන අදිසි හස්තයන් මෙහෙය වීමේ අදීනව ලෙස විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ගේ වැඩ වර්ජනය ඇති වි ය. තමුන් ලැබූ උපාධියේ ගෞරවය වත්, ශාස්ත්‍රියත්වය ආරක්ෂා කිරීමේ නොහැකියාවෙන් පෙළෙන උසස් අධ්‍යපන ඇමති රාජ්‍ය මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරනවා විනා, ප්‍රශ්නය විසඳීම සඳහා ක්‍රියාකාරී මෙහෙවරක යෙදෙන්නේ නැත. ඔහු සිතා සිටින්නේ මාස කිහිපයක් වේතන නොලැබෙන විට දී, ආචාර්යවරුන් බලු කුක්කන් සේ වැඩට එනු ඇතයි කියා ය. ඒ එතුමා ගේ බුද්ධි ප්‍රමාණය ය; මෙයින් ම, උසස් අධ්‍යපනයේ කඩා වැටීම ප්‍රකට කරවයි.

තවත් නොනිමි අර්බුධයක් වන්නේ, “ඉසෙඩ් ස්කොර්” අර්බුදය යි. පැහැදිලි පිළිවතකින් විශ්ව විද්‍යාලයට ගැනීමේ පාරදෘශ්‍ය මාර්ගයක් නොමැති කල, අසීමිත සේ අසාධාරණයන්ට ලක් වීමත්, එනයින් සහනයන් පතා, උසාවියට යාමත් සිඳු වේ. නැවතත් ලක් විජය බලාගාරය බිඳ වැටී ඇත—ඒ හෙයින්, නැවතත් පැය දෙකකට වඩා වූ විදුලි බලය සිඳලීමක් ක්‍රියාත්මක වෙයි.

බාල චීන බලාගාර, බාල පෙට්‍රල්, බාල ඩීසල්, බාලාපරාධ ආදී, බාල ගනයේ ආණ්ඩුවක් බවට සීඝ්‍රයෙන් මේ ආණ්ඩුව පත් වෙයි. ඒ සඳහා රාජපක්ෂවරුන් කළ යුතුතේ වැරදී ඇති තැන් සොයා පිළියම් යෙදීම විනා, ගැලරියට විසිල් ගැසිය හැකි මෙත්‍රීපාල ගේ 2004 කුමන්ත්‍රණයන් ලෙල වීම නො වේ.

මිනිසුන් ගේ අවධානය හොරා ගෙන, ඇස්බැන්දුම් කරැවන් සේ දුරමුඛ ක්‍රියාවන්හි යෙදීමේ ප්‍රතිපලය අත විඳින්නේ අති සුඛ විහරණයේ යෙදෙන රාජපක්ෂවරුන් නො ව, ඔවුන් බලයට පත් කර එවූ, දරිද්‍රතාවයට පත් කොට ඇති සඝ, වෙද, ගුරු, ගොවි, කම්කරු පැලැන්තිය යි. තව කොපමණ කල් ඇස්බැන්ඳුමෙන් ආශ්චර්ය කළ හැකිදැයි අපි සියල්ලෝ උපේක්ෂාවෙන් බලා සිටිමු෴

Wednesday, December 8, 2010

ලාංකේය ජාතිහිතවාදීත්වය හෙවත් දේශපාලන අවස්ථාවාදී දීනත්වය


දිවයින පුවත් පතට “එදා මොකද වුනේ! මැයින් විශේෂාංගයක් ලියමින් සමන් ගමගේ එංගලන්ත වැසියවන් පිළිබඳ මෙසේ පවසයි: “වැසිකිළි කැසිකිළි ගොස්‌ කොළ කැබැල්ලකින් පශ්චාත්භාගය පිස දා ගැනීමට පුරුදුව සිටිනා බව කියන සුද්දන් යනු තවමත් ගඳ සුවඳ නොහඳුනන ජාතියක්‌ බව පසුගියදා රාජ්‍ය නායකයකු ලෙස බ්‍රිතාන්‍යයට ගිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරටදී සිදු වූ කෙනහිලකම් මගින් බ්‍රිතාන්‍යයන් මුළු ලෝකයටම යළි පසක්‌ කර තිබේ.” සමන් ගමගේ අමතක කරන අතීතය නම් වැසිකිලි කැසිකිලි යාමට “අහල පහලට” හෝ “කැළැවැද” හෝ “ගං ඉවුරක” ශරීර කෘත්‍යය කරගත් සිංහලයන්ට ඉගැන් වූයේ සුද්දන් බව ය.

ආණ්ඩු පක්ෂයේ දේශපාලකයෝ වරින් වර කතා මවා ජනතා අවධානය සුක්ෂම ලෙස තත්‍ය ජීවන අර්බුදයෙන් ඉවත් කරන්නට මාන බලති. මෙම ව්‍යාපෘතියේ පෙර ගමන්කරුවන් සේ ක්‍රියා කරන්නේ විමල් වීරවංශ ය. හෙතෙම කිහිපවිටක් සිරස්තල නිර්මාණයේ ලා ක්‍රියා කළේ, ව්‍යාජ මාරාංතික උපවාසයක් රඟ දක්වා සහ විවිධ වූ තානාපති කාර්යාලයන් ආක්‍රමණය කරන්නා සේ චණ්ඩි පාට් දැමීමෙන් ය. දැන් ඒ අමන මඩ ව්‍යාපාරයට බො‍රළුගොඩ සිහ පරම්පරාවද එක් වී ඇත්තේ, සිය පන පවා දී ජනපති රකිත’යි පුරම්බාමින් ය. එයට හොරණෑ හඬ සපයන අනතවාදී ජඩ මාධ්‍යයන්ට ආණ්ඩුවේ මාධ්‍යජාලයට අමතර ව, පෞද්ගලික පක්ෂග්‍රාහීන් ද එක් වී ඇත. වතමන් ආණ්ඩුවේ තේමා පාඨය හා ක්‍රියාකාරී ක්‍රමවේදය ධාමරික පාට් දැමීම ය. ඒ සඳහා ආරම්භය ලබා දුන්නේ අපගේ ම ජනපතිවරයා යි. ඔහුගේ චණ්ඩි කතාවන් සේ ම, අන් අයගේ අවවාද නොතකා කරන අපරිස්සම් සහගත දුර්වල තීරණ නිසා සමස්ථ වශයෙන් ශ්‍රී ලාංකික ජන ප්‍රජාව ම අපකීර්තියට පත් වේ. අපගේ ජනපති හට කරණු ලබන කවර තරාතිරමක වූව ද, කෙනෙහිලිකම් ඍජුව ම අපට බලපාන හෙයිනි. අතිගරු මහින්ද රාජපක්ෂ ජනපතිතුමා තමාට එරෙහි ඇති විරෝධතාවය සහ උත්‍ඝෝෂණ පෙළපාලි සඳහා මුහුණ දීමට සූදානමෙන් එංගලන්තය බලා යන්නට ඇත. එයදු එක්තරාකාර අතකට දෙමළ ඩයස්පොරාවට චණ්ඩි පාට් දැමීමකි. එහෙත් ඒ චණ්ඩි පාට් නිම වූයේ දෙමළ ඩයස්පොරාවේ චණ්ඩි පාට්වලට බිය වූ ඔක්සවර්ඩ් යුනියන් හි පසුබැසීම සමඟ ය.

තමුන් කරනා යුද්ධය මනා සේ තෝරා බේරා කළ යුතුය’යි ආප්තෝප‍දේශයක් ඇත. එසේ නොකරන්නෝ අවසානයේ ලැජ්ජාව කරපින්නා ආපසු එති. ඒ ලැජ්ජාව වසා ගැනීමටත්, ආණ්ඩුව අයවැය අර්බුදයෙන් ගළවා ගැනීමටත්, වීරවංශ ඇතුලු අවස්ථාවාදී කාඩ්බෝ වීර චණ්ඩින් අවැසි ය. එහෙව් දුබුළු චණ්ඩි ඇති තැතතත්, නැති තැනත්, එහේ මෙහේ අතගා ගෙන අවසානයේ සුද්දන් කොළ කැබැල්ලෙන් පිදසා ගත් දෑ, ඇඟ පුරාත්, අවට සිටින ජාතීහිත්‍යශින් මතත් ගාගනිති. එවැනි දීන ගැලරියට විසිල් තබන්නට කරන වීර ජවනිකා ඔවුගේ පසුපස ලෙව කකා යන, ගැත්තන්ට නම් අගනේ ය. අපට නම් පුහු හාස්‍ය ජනක මූඨ ප්‍රලාපයන් ය.

එකී පුවත්පතේ ම, කතුවැකිය නම්කොට තිබුණේ “පස්වන ඊළාම් යුද්ධය (පණ්‌ඩක හටන)” යනු වෙනි. එයින් ද බැට දීමට අපේෂිත ඉලක්කය සිංහල ජනසමාජයේ විකල්ප මතදාරී කොටස් කිහිපයකි. සමහරු දක්ෂිනාංශක ‍විදේශ ගැති ය; තවකෙක් වාමංශික සමසමාජ කොටස ය; මේ අතරට එක් කළ අනෙක් කොටස නම් “විපක්ෂය” ය. එහෙත් ගල්ගැසීමට ගල් අතට දෙන්නේ මේ සියල්ලට ම වඩා නාමමාත්‍ර දේශහිත්‍යශින් ය. ඔව්හූ දස දෙස අන්ධයන් සේ පහර දෙති. ඔවුන් ගේ පහර දීමට ඉලක්ක ගත දෙමළ ඩයස්පොරාව හසු නොවේ. එහෙත් ස්වකීය ජනප්‍රසාධය වඩවා ගැනීම පිණිස, ඝෝෂා පවත්වමින්, නොසන්ඩාල රැලක් සේ කටයුතු කරති. අවසානයේ කළ දෙයක් නැත. තමුන් බො‍රැවට කෑ ගසා මහජන අවධානය ලබා ගත්තේ’යයි දිවාසිහින දකිමින් සතුටු වෙති. දෙමළ ඩයස්පොරාවට අභියෝග කිරීමට ඇවසි නම්, ජනපති සමඟ එංගලන්තයට පියඹන්නට විරවංශට තිබිණි. ජනපති සමඟ සකළ සබ්බමනාවට ම යන හේ එංගලන්තයට ගොස්, තවත් දේශහිත්‍යශින් ගොන්නක් එකතු කොට දෙමළ ඩයස්පොරාවට අභියෝග කරන්නට ඉඩ තිබිණි. එහෙත් බොරුවට ලංකාවේ සිට තානාපති කාර්යාලයට ආක්‍රමණය කරන්නට යන ලෙස මවා පාන්නට අවැසි නැති. රණ්ඩුවකට යන්නන් කවුරු හෝ තමුන් අල්ලා ගත්විට දෙගුණ තෙගුණ ලෙසින් චණ්ඩිකම් පාති. මේ ව්‍යජ ජාතිහිත්‍යශින් ද එලෙස ය. ඔවුන් මෙතුවක් කළ උත්ඝොෂණවලින් ලබා ගත්තේ කුමක් ද? කවුරුන් මට්ටු කළො ද? ඔවුන් මට්ටු කළේ සාමාන්‍ය ජනතාව ය. මහා පුරාජෙරු කම් පා අද එංගලන්තයට විසා ගැනීම සඳහා විදේශ ගමන් බලපත ඉන්දියාවට යැවිය යුතු ය. දින තුනෙන් ලබා ගත හැකි විසාව සඳහා අද, සති තුනක් පමණ බලා හිඳිය යුතු ය. දිවයින කතුවරයා කියන පරිදි, දේශද්‍රොහින් දැන්, “ශ්‍රී ලංකාවට එරෙහි සකල දේශෙද්‍රහීන් දැන් ලන්ඩනයේ කුණුකාණු දිගේද, යුරෝපයේ වෙනත් රටවල තැන්තැන්වලද "ලිප්ටන් වටරවුම්" තනමින් සිටින්නෝය.” ම‍ගේ ආරාධනය ව්‍යාජ ජාතිහිත්‍යශින්ට ලන්ඩනයට ගොස් උත්ඝෝෂණය කරන ලෙස ය. වළං බිඳින්නේ පාළු ගෙදර ය; බිඳිනවා නම් වළං බිඳිය යුත්තේ අයිතිකරුවන් සිටින තැනක ය. එහෙත් කිවයුතු සත්‍ය නම් මෙකී උත්ඝෝෂණ සඳහා සපයා ගන්නවුන්ගෙන් එකෙක් දෙන්නෙකුට හැරුණු කොට, උත්ඝෝෂණ තබා එංගලන්තය කරා යාමටවත් හැකියාවක් නැත. ඒ හෙයින් ඔවුන් ගේ පරම අභිලාශය එලෙස යාමට හැකි, විදේශගත ලාංකිකයන්‍ හට එවන් රටවල දොර කවුළු වසා දැමීම ය. “උඹළාත් මේ නරා වලේ ම ලැගපල්ලා!” යන්න ඔවුන් ගේ දර්ශනය ය. අනෙක් අතට මඩ ගසන්නේ, කලක් ජපතිගේ දෑත් සවිකිරීමට එක් වූ කරු ජයසූරීය වැන්නවුන්ට ය.

ජාතීහිතවාදීන්ගේ මතකය කෙටි ය; ඔව්හු සාතිශය අවස්ථාවාදී යෝ ය.

කරු ජයසූරියගේ මේ වචනවලින් මා මෙ ලිපිය අවසාන කරමි:

“දේශප්‍රේමියෙක්‌ කියලා බෝඩ් එකක්‌ එල්ල නොගත්තාට මමත් රටට ආදරය කරනවා. අවුරුදු හතක්‌ මම හමුදා සේවයේ හිටියා. එල්.ටී.ටී.ඊ.ය මාවත් ඝාතනය කරන්න උත්සාහ කළා. මේ විදිහට බොරුවට මෙය දේශපාලනීකරණය කරන්න එපා. මේක මුව හමට තඩි බානවා වගේ වැඩක්‌. මම කිව්වේ මේ ගැන ලෝකයට කරුණු පැහැදිලි කරන්න කියලායි. සරත් ෆොන්සේකාව ද්‍රොහියෙක්‌ කරලා හිරේ දැම්මා නම් මාව ද්‍රොහියෙක්‌ කරන එක එතරම් දෙයක්‌ නොවේ. තානාපති කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ කරලා බලි ඇරලා හූ කියලා මේවා කරන්න බැහැ. මමත් තානාපතිවරයෙක්‌ව ඉඳලා තියෙනවා. මම මේ රටට ආදරෙයි. මගේ ඇටකටු මිහිදන් කරන්නෙත් මේ රටේ.”

සැබෑ දේශප්‍රෙමියෝ සැබෑ ලෙසට ම මේ මාතෘ භූමිය ආදරේ ය; සත්‍යවාදී ය.

Monday, April 19, 2010

ජඩ මාධ්‍යය, මඩ මාධ්‍යය සහ ගැති මාධ්‍යය


පසුගිය දිනක මේ තීරයේ ලංකා ටෲත් වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කරන ලද හඬ පටියක දී, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් දෙමළ ජනතාවට බැණ වැදීමක් ගැන වාර්තා කොට තිබිණ. එහිදී හඬ පටියේ සඳහන් කොටස, “මමත් සිංහල; රටත් සිංහල; අහන් ඉන්නවා දෙමළා” යනුවෙන් දක්වා තිබිණි. පසුව ලංකාදීප පුවත් පත විසින් නිවැරදි විඩියෝ පටය ප්‍රකාශ කරද්දීම එකී පිටුව අනතර්ජාලයෙන් ඉවත් කොට හෝ අවහිර කොට ඇත. එහෙයින් මෙවැනි අතලොස්සක් මාධ්‍යයන් ජනතාවගේ විශ්වාසය තමුන්ගේ අනර්ථ ක්‍රියාවන් සඳහා භාවිත කරනු පෙනේ. එසේ ම, බී. බී. සී. මාධ්‍යය ජාලයට අනියුක්ත “චැනල් ෆෝ මාධ්‍යයතනය බොහෝවිට එල්.ටී.ටීය නියෝජනය කරමින් ප්‍රකාශයන් හා විවිධ පුවත් මවන ලදී. කෙසේ හෝ කූඨක්‍රමයෝපායන් තුළින් ලබා ගන්නා අසම්පූර්ණ විඩියෝ පට මගින් හෝ කොටි හිතවාදී හෝ කොටි සාමාජීකාවන් විසින් කරන ප්‍රකාශ ප්‍රචාරණය කරන ලදී. මේ අතර, සමහර විට සත්‍යයයි සැලකිය හැකි වර්තාවන් ද ප්‍රකාශයට පත් විය. පසුගිය මාස කිහිපයකට පෙරාතුව සිංහල හමුදාව විසින් ඝාතනය කරනු ලබන්නේ යයි පවසමින් විඩියෝ පටයක් නිකුත් කරන ලදී. මේ විඩියෝ පටය පිළිබඳ ටැමිල් නෙට් ජාලය ඔස්සේ ද විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නාක් පමණක් නොව, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ආයතන දක්වා ඒ වීඩියෝ ව ගමන් කළේ ය. මෙය නැරඹු මට නැවතසිහි ගැන් වූයේ 1988-1989 කාලය යි. එවකට පැවති ආණ්ඩුව විසින් නිර්දය ලෙස ජේ.වී.පි. සම්බන්ධ පුද්ගලයන් අතොරක් නොමැති ව හන්දියක් හන්දියක් පුරා ඝාතනය කොට, ගස්බැඳ වෙඩි තබා, ටයර් සෑයවල්වල ආදාහනය කොට, හෝ ගඟේ මුහුදේ පාකොට හරින ලදී. ඒ සිංහලයන් සඳහා සිංහල ආණ්ඩුව විසින් නිල නොනිල හමුදාවක් තනා කළ හදිය යි. අනෙක් අතට යුද්ධ සමයේ උන්හිටි හැටියේ මහා මාර්ගවල නාදුනන තුවක්කු කරුවන් අතින් දෙමළ සිංහල ජනතාව මැරී වැටිණි. ඒ සඳහා යුක්තියක් තවම ඉටු වී නැති සේ ම, යුක්තියක් ඉටු වෙන්නේ ද නැත. සුදු වෑන් රථවලින් මිනිසුන් පැහැර ගෙන ගොස්, අතුරුදහන් කරන විලාසයෙන් ම, තැන තැන මෘත ශරීර හමුවීම් හා සන්සන්දනය කරන විට මෙවැන්නක් සිඳු නො‍වුනේ යයි සිතිමටත් නුපුළුවන. සාමාන්‍යයෙන් ආරක්ෂාව ඇති දකුණේ දෙමළ ජනතාව වෙත එල්ල වූ මේ අභියෝග හමුවේ, උතුරේ අසරණ වූ, කොටින් යයි සැක කරන්නන්ට කුමක් සිඳු වුනේ ද, නොවුනේ ද යන්න උඩ ඉන්නා දෙවි හාමුදුරුවෝ පමණක් දන්නා සේ ක. තවම මේ විඩියෝ පටය සත්‍ය හෝ අසත්‍ය හෝ ලෙස තහවුරු කොට නැත. ආණ්ඩුවේ පාර්ෂව විසින් අසත්‍යයි කියද්දී, අන්තර්ජාතික ව පෙනී සිටින නානාමාදිලියේ ආයතයන් මේවා සත්‍ය යයි ප්‍රකාශ කරත්. මගේ ප්‍රශ්නය කවුරු විශ්වාස කරම් ද? මේවා ජඩ මාධ්‍යය ලෙසින් වර්ගී කළ හැකි ද?

දෙවනුව, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිට, මේ පසුගිය මහා මැතිවරණය දක්වා වූ මඩ ව්‍යාපාරය ආණ්ඩුවේ සහ සමහර ආණ්ඩු විරෝධි මධ්‍යය අරභයා සිඳු විය. වසරකට කලින් යුධ විරයකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අවස්ථාවේදී දේශ ‍ද්‍රෝහියකු කරනු ලැබී ය. සමහර මාධ්‍යයන් විසින් ගුත්තිල මූසිල කතාව ඈඳා සේනාධිපති තුමා මූසිලයකු කරනු ලැබිණ. යුද්ධයක් දිනූ කිසිදු සේනාධිපති වරයකු හට යහතින් සිටින්නට ඒ රටේහි පාලයන් ඉඩ නොදෙන්නේ ඔවුන්ට ඇති විය හැකි අභියෝගය නිසාවෙනි. ඇමරිකා එක්සත් ජනපදය හෝ බ්‍රිතන්‍ය හැරුණු කොට අනෙක් සෑම රටක ම කුමන හෝ කුමන්ත්‍රණයක් අටවා සේනාධිපතිවරුන් මරණයට පත් කොට ඇත. ලංකාවේ වාසනාවට ජෙනරාල් තුමා ඝාතනය කළේ නැත; ඒ වෙනුවට කළේ එතුමාගේ චරිතය ඝාතනය කිරීම ය. අදටත් යුධ වීරයා මංකොල්ල කෑමේ වරදට හිරේ ය. ජාත්‍යාන්තර ලෙස මංකොල්ල කෑ, රටට ඇසෙන සේ කෑ ගැසීම මිස වෙනත් සත පහක සේවයක් නොකළ දේශපා‍ළුවෝ යහතින් රජ්ජුරුවන්ගේ කුරහන් සාඨකයට මුවා වී දිවි‍ ගෙවයි. රජ කාලේ හැටි එහෙම යි. මඩ මාධ්‍යයේ මුලීක කාර්ය භාරය වන්නේ ආණ්ඩුවට හෝ රජ්ජූරුවන් වහන්සේ ට අභියෝග වන සියල්ලන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට ය. එයට සෑදී පැහැදී සිටින පුද්ගලයෝ ඇත්තා හ. ලංකාවේ බහුතරයක් ජනතාව අන් අයෙකු උදෙසා කඩේ යාමට හෝ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කමෙන් ලබා ගත් පඩිපතින් යැපෙනන්ගේ විකෘති සහගත කියමන් තුළින් සත්‍ය දකින්නට හෝ සමස්ථ ලෝකය දකින්නට උත්සහ කිරීම තුළ රැවටි රැවටි රැවටෙන්නට ඇති ආශාව පුදුම සහගත ය. ලංකාවෙන් පිටත අඩියක් තබන්නට බැරි පුද්ගලයෝ සිතන්නේ මුළු ලෝකය ම, විශේෂයෙන් ඇමරිකාව සහ එංගලන්තය ලංකාව අල්ලා ගැනීමට රැස් කකා බලා සිටින බව ය. අධ්‍යපනයට පිං සිඳුවන්නට මේ රටවල් වල ඇවිද අත්දැකිම් ලබන්නට අවස්ථාවක් ලද්දෙකු වශයෙන් මෙවැනි හිතළු අසා නිකටේ අත ගසනු මිස වෙන කවරක් කරන්න ද? ලංකාවේ ලිං මැඩියන් වයින් කරන මෙවැනි මාධ්‍යයකරුවෝ ඔවුන්ගේ ම කර පිටින් මෙවැනි රට රාජ්‍යයන්හි විනෝද චාරිකා යති; දරුමුණුපුරන් එවන් රටවල ඉගන ගැනීමටත්, සමහරුන්ගේ දරුවන් නැවත ලංකාවට නොයෙන්න ම තැනට කටයුතු සම්පාදනය කර ගෙන ඇත. එහෙත් එවුන් ගේ කතා අසා ජාත්‍යාලයෙන් ඔද ගැන්වෙන එදා වේළ සරි කර ගන්නට නොගන්නා තැතක් ගන්නා මිනිසුන්ට තමුන්ගේ දරුවන් ලංකා නිදහස් අධ්‍යාපන පාසලකට යවා මොවුන්ට අතවැසිකම් කරන්නට දරුපරපුරක් ගොඩ නඟන තත්ත්වයට වැටී ඇත. ලාංකිකයන්ට ආත්ම අභිමානයක් නැත; ඇත්තේ ගැතිකම් පැමේ මානසිකත්වයක් පමණි. මගේ එක් ඥාතියෙකු උදේ හවා කුඩා ගුවන් විදුලියක් කන ගසා ගමන් යයි. ඔහු අපේ නිවසට පැමිණි සැනින්, කතාවට ඇද ගන්නේ එදා දවසේ මඩ මාධ්‍යයෙන් කතා කළ දෑ ය. හේ උදේ කථිකාවක කියූ දෑ ඒ ලෙසින් ම නැවත වමාරා කයි. අහක සිට අසා සිටින මට ඇතිවන්නේ මහා ම මහා පිළිකුලකි. සිතක් මිනිසාට ලැබි ඇත්තේ සිතන්නට මිස, වෙනෙකෙකු තමුන්ගේ වාසිය, පඩිය, වන්දිබට්ටකමට කී දෑ වමාරන්නට නොවේ. අවාසනාවක මහත, ලංකාවේ සිතා මතා යමක් විශ්ලේශනය කර ගත හැකි පාඨකයන් ඇත්තේ අතලොස්සක පමණි. අනෙක් උන් “රටට යුතුකම්” කිරීම හෝ “ජාතිය ආරක්ෂා කිරීම” හෝ “ආගම සුරැකීම” හෝ “ත්‍රස්තයන්ගෙන් නැතහොත් විදේශිය බලවේගවලින් රට බේරා ගැනිම” වැනි කිසිදු සම්බන්ධයක් නැති බොල් උදෘත පාඨමත ඇලී ගැලී හදවතින් සන්තර්පනය වී අවේගාත්මක ලෙස කියති; සිතති; කටයුතු කරති. පසුව කලක් ගිය විට ඒ සියල්ලත ම අමතක කර දමති.

අවසාන වශයෙන් අපගේ කථිකාවට ගෝචර වන්නේ මේ දෙකටම අයිති නොවන ඊනියා මධ්‍යස්ථ මාධ්‍යයයි ලෙබල් අලවා ගන්නා “ගැති මාධ්‍යය” පිළිබඳ සටනක් තබන්නට ය. මොවුන් දේශපාලන ගැතිකම් කරනවා පමණක් නොව, රෙට්ස්වලට ගිජුකමෙන් මෘත ශරීර පවා විකුණා විකුණා ප්‍රදර්ශනය කරයි. ලංකාවේ අනුවේදනීය සිඳුවීමක් වුවහොත් මොවුන් ඒ අන් කිසිවෙකුට කලින් පෙන්වා, සති දෙකක්, මාසයක් පමණ එකම රූපරාමු ටික විවිධ වශයෙන් පෙළ ගස්වා හඬ කවා ප්‍රදර්ශනය කරති. ඔවුන් පවසන්නේ මහජනයා තකා වැඩ කරන බවකි; එහෙත් ඔවුන්ගේ සැබෑ පක්ෂ පාතීත්වය රැදී ඇතිතේ ඉහළම මුල්‍ය ලන්සුව වෙත ය. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. ප්‍රසිද්ධිය ජනප්‍රියතාවය උදෙසා ඕනෑම කුණු ගොඩක් පෙන්වන්නට ඔවුන් පසුබට නොවේ. සමහර විට, ඔවුන් විසින් මාධ්‍යයයෙන් ජනප්‍රිය කොට තනන කාඩ්බොඩ් වීරයන් ම, ජනප්‍රිය සුළඟ අනෙක් අතට හමයි නම් වස්ත්‍ර ගළවා නිරුවත් කොට හෙළුව මුළු රටට ම ප්‍රදර්ශනය කරවයි. මුල් මාධ්‍යය දෙක හෙවත් ජඩ හා මඩ මාධ්‍යය අපට කල් තියා ම හඳුනා ගත හැක. එහෙත් සැඟවුණු න්‍යායපත්‍රයක් සහිත ගැති මධ්‍යයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වෙයි.

කෙසේ වෙතත්, මේ මාධ්‍යය හැසිරවීමෙන් සහ භාවිතයෙන් විවිධ වූ චරිත ලංකා කරලියට සපැමිණ ඇත. මෙයින් සුවිශේෂ චරිත නම් විමල්වීරවංශ, උපේකා ස්වර්ණමාලි, දුමින්ද සිල්වා, මනිෂ වැන්නවුන් පෙන්වා දිය හැකි ය. විරවංශයෝ කළ මහජන සේවය නම් යටිගිරියෙන් කෑ ගැසීම ය. හේ ඇමරිකාවට, එංගලන්තයට, ලෝක බැංකුවට, අන්තර්ජාතික කොටි ජාලයට, එක්සත් ජාතින්ගේ සංවිධානයට ආදී අනේක විධ ආයතනයන්ට සිංහලෙන් බැණ අඬ ගසමින් මාධ්‍යය මනරම් පුවත් මවයි. ඒවා ආදාළ පාර්ශවයන්ට ඇසුනත් නැතත් කම් නැත. මේ අසන සිංහල ඡන්ද දායකයා චූන් වී මනාප ගොඩ වැඩි කරවයි. උපේකා ද මෙවන් තලයකට ඔසවා තැබුවේ ඈ වාරණයට පත්කළ ආණ්ඩුවේ මාධ්‍යය සහ ඇගේ “ස්ටාර්” ගුණාංග මතු කළ ස්වර්ණවාහිනියත් ය. ඒ නිසා ඈ මන්ත්‍රීවරයකු ලෙස පත් වූව ද ටෙලි නිලියක කරන ලඳබොළද මුඨ ක්‍රියාවන් මාධ්‍යයන් හරහා ප්‍රදර්ශනය කළා ය. ඈ අවුරුදු උත්සවයක ගෝණි පැනීම, අලියාට ඇහැ තැබිම වැනි ක්‍රිඩාවන්හි නිරිත වෙමින් ඈ ස්වකීය බොළඳ බව දැක් වූවා ය. මා අසා ඇති කතාවකට අනුව එක්තරා මිනිසෙකු රාජකාර්යය ලැබුණු පසු තමුන් දහවලේ පැන ආ දියදොළට බැස ගියා ලු. එයින් ගම්‍ය කළේ ඔහු පත් වූ තත්ත්වයේ වූ තේජාන්විත භාවයයි. එහෙත් දැන් ලංකාවට අවශ්‍ය අවුරුදු සෙල්ලම් කරන, රඟ පාන, නිවේදක හෝ නළු මන්ත්‍රීවරුන් ය; මහජන සේවකයන් නොවේ ය. අයි. පී. එල්. ගසන සනත් වැනි ක්‍රීඩකයන් ය. සනත් පාර්ලිමේන්තුවට පත්වීමට තරම් කළ මහජන සේවය කුමක් ද? අනෙක් දෙදෙනා ගැන කතා කළත් කියන්නට ඇත්තේ ඔවැනි කතා ය. මොවුන් මාධ්‍යය විසින් ගොඩ නැගූ බොල් ප්‍රතිරූපයන් ය. අද ඡන්දය භාවිතා කරන බහුතර කොටස කාන්තාවන් ය. අනෙක් බහුතර කොටස තරුණයන් ය. මෙවැනි අය තමුන් නියෝජනය සඳහා පත්කන්නේ කවර ආකාර අයවළුන්දැයි පසුගිය දිනවල අපට මනාව පෙනිණ. ඒ කවුරුන්වත් නොව මාධ්‍යය විසින් ගොඩ නඟන බොල් පිළිම ය. ඒ හෙයින් අනාගතය පිළිබඳ අපට ඇති විශ්වාසය කවරක් ද? අපට මග බලාසිටින අනාගතය වනාහි කාඩ්බොඩ් බොල් සර්වපිත්තල හිතළුවකි; මහා ම මහා විහිළුවකි.

Monday, January 25, 2010

ධම්මට පිළිතුරක්: "හබරළ කොළයෙන් විළි වසා ලන්නට තැනීම" (නැවත පළ කිරීමක්)

[මෙම ලිපිය නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සැලකුව මැනව෴]


පසුගිය සතියේ ධම්ම දිසානායක විසින් දිවයින පුවත්පතට ලිපියක් සපයමින් "මහින්ද දිනවිය යුතු ද? විපක්ෂය පැරදවිය යුතු ද?" යනුවෙන් සමාජ කථිකාවකට එළැඹුණි. හෙතෙම මේ ලිපිය ආර්ම්භ කරන්නේ, විපක්ෂය පරදා මහින්ද දිනවිය යුතු යි යන ප්‍රස්තුතය පෙර දැරි කොට, කරුණු ගොණු කරමින් ය. එහිදී, ලිපිය සඳහා අතිරේක බරක් හා ආධිපත්‍යක් ඇති ‍කිරීමට "විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක උගන්වන ගුරුවරයෙක්‌ විදියට මම එහෙම කියන්නේ ඇයි" වගන්තිය ද යොදයි.


ඔහු ස්වකීය ස්ථාවරය සඳහා කරණු ගෙන හැර පෑම සඳහා ව්‍යාජ ලෙස නිර්පාර්ෂික සහ වාස්තිවික ලෙස සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දැක්වීමට මෙසේ කියයි:


"මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නොවේ. යම් කිසි දේශපාලන පක්‌ෂයක සාමාජිකත්වය ලබාගැනීමේ බලාපොරොත්තුවක්‌ ද නැත. එහෙත් මටත් දේශපාලන දැක්‌මක්‌ තිබෙනවා. ඒ නිසා අපේ රට ජාතිය මුහුණ දෙන තීරණාත්මක දේශපාලන, ආර්ථික, සමාජ සංස්‌කෘතික කාරණාවලදී පැත්තකට වෙලා භාවනා කිරීමේ පුරුද්දක්‌ මට නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත්විය යුතු තීරණාත්මක මොහොතවල්වලදී අපි කරපු මැදිහත්වීම්වල ප්‍රතිඵල ඉතාම සාධනීයයි."


හෙතෙම, 1994දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ බව පුරාජෙරු දෙඩිමක් ද කර යි. පාන් ගෙඩිය 3.50කට දෙන පොරොන්දුව කරපින්නා බලයට පත් වූ චන්ද්‍රිකා ආණ්ඩුව කළ හදිය සහ කොටින් සඳහා උතුරු නැගෙනහිර සන්ධාන ගත කරන පිණිසත්, ශ්‍රී මහා බෝධියේ සිට දළදා මාළිඟා ප්‍රහාරය දක්වාත්, අලිමංකඩ සිට සියලු ම හමුදා කදවුරු අහිමි කර ගනිමින් හමුදා ජීවිත 5,000 පමණ විනාශ කිරීමට පාදක වූ රෙජිම බලයට පත් කිරීම පිණිස ඔහුට විළි ලැජ්ජාවක් නැති. ප්‍රසිද්ධ දේශන අවස්ථාවන්හි දී, චන්ද්‍රීකා අණ්ඩුව පට්ට ගැසූ ධම්ම නැවතත් නිර්ලැජ්ජිත ලෙස මුල් මැදිහත් වීම පිළිබඳ පුරාජෙරු දොඩ යි.


හෙතෙම ස්වකීය නොමග යෑම පිළිබඳ දුක් වෙනවාට වඩා එය සාධාරණිය කරනය කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි හා අවුරුදු 17ක දෝෂ ඉස්මතු කරමින් ය. එලෙස හයෙන පහක බලවත් නොමනා පාලනයක් ඇති වීම සඳහා වාමාශික කැඳ හවුලේ 1970-1977 කාලයේ ක්‍රියා කලාපය සංදර්භයෙන් ලොප් කොට ඇත.


1994 ඇති වූ ජනතා හැරීමට මූලික වූ කරුණ වුයේ වන්ද්‍රිකා එවකට පියකරු කන්තාවක් වීම සහ ප්‍රේමදාසගේ ඝාතන රැල්ල යි. ප්‍රේමදාස රෙජිම විසින් තමුන්ට අභියෝගයක් විය හැකි ලලිත්, ගාමිණි, විජය වැනි දේශපාලන නායකයන්ගේ දිවි තොර කරන ලදි. එනයින් ඇති වූ රික්තකය ප්‍රේමදාසගේ ප්‍රචණ්ඩත්වය හා ජන්ද මංකොල්ල නැමති සාධකය ඉවත් වූ විට 60% ඡන්ද ප්‍රතිශතයක් ලැබිණ. එහෙත් අවසාන ප්‍රතිපලය කුමක් ද? ප්‍රේමදාස විසින් ගෙනෙන ලද සිඝ්‍ර ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහතට වැටී අවසානයේ නිසල නැවතුමකට වැටිණ. දැන් ආර්ථිකය අධික අවපාතයකට පත්ව ඇති අතර සුනාමි ආධාර වලින් ලැබූ විදේශිය මුල්‍යයන් හේතුවෙන් යන්තමින් නියෙන් දතින් ලංකා ආර්ථිකය එල්ලී පවති.


ඔහු එදා පැවති පාලනය මෙසේ විග්‍රහ කරයි:


"එජාපය පරාජය වෙනකොට ඔවුන් ගියේ යන යකා කොරහක්‌ බිඳගෙන ගියා වගේ. අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විජාතික කඩපොළක්‌ බවට පත්කරලා අපේ ජන සමාජය බඩගෝස්‌තරවාදී පරිභෝජනවාදී අන්තවාදී පුද්ගලිකත්වයකට තල්ලු කරලා. ජාතික සංස්‌කෘතිය මුළුමණින්ම විනාශ කරලා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වලපල්ලට යවලා. රාජ්‍ය දේපළ විකුණලා, මුළුමනින්ම රාජ්‍යයේ ස්‌වාධීනත්වය හා අභිමානය විදේශවලට යටපත් කරලා. 94 ආපු ආණ්‌ඩුවට ඒවා යළි සකස්‌ කරන්න බැරිවුණා. හැබැයි මරණය වෙනුවට ජීවිතය තරුණ අපිට ලබාදුන්නා ඒ ඇති."


අද තත්ත්වය මේ සඳහන් කරන සදහන් කිරීමෙන් වෙනස් වන්නේ කෙසේ ද? ගත වූ අවුරුදු 15 තුළ ධම්ම දක්වන ක්ෂේත්‍රයන්ගේ ඇති වූ වර්ධනය වරක් ද? පිළිතුර කිසිත් නැත. ක්‍රමයෙන් තත්ත්වය අසාධ්‍ය වනු මිස, අනෙක් සියලු අහේතුන්ට නිදහසට කරුණ ලෙස යුද්ධය පෙන්වා මහජනතාව රවටා ඇත.


කෘත්‍රීම ලෙස ජන මතය වෙනස් කිරීම සඳහා ඇමති, නියෝජ්‍ය ඇමතිකම් නැමති පගා දී, මහින්ද සුවිශාල කැබිනට් හා නොන් කැබිනට් ඇමති මණ්ඩලයක් ද, සුරාගෙන ගසා කන්නෝ රොත්තක් ද වට කොට ගත් මහින්ද හට කළ හැකි සංවර්ධනයක් නැත. බලය රදාවා ගැනීමේ කෲරතර පාපකර්මයේ යෙදෙන විට ඒ සඳහා බර පැන ගෙවිය යුත්තේ මහජනතාව යි; අනාගත පරපුර යි.


ස්වල්ප දෙනෙකුගේ සැප විහරණය සඳහා ලංකා මාතාවගේ අනාගතය උකස් කරමින් සිටින මහින්ද රෙජිම, විධායක ජනපති බලය භාවිත කරමින් අධිකරණය හා ඡන්ද කොමසාරිස් වෙත ද අනියම් බලපෑම් කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ස්ථම්භයන් වන අධිකරනය හා විව්‍යස්ථාදායකය හෙවත් පාර්ලිමෙන්තුවට ඍජු ව මහින්ද මැදිගත් වී බලය රැක ගැනීම පිණිස බලපෑම් කර ඇත. පගාදී විපක්ෂයේ මහජන නියෝජිතයන් බිළි බා ගනිමින් ව්‍යවස්ථාදායකයට ජනපති ගේ අදුරු සෙවනැල්ලට නතු කර ගත්තේ ය. එලෙසින් ම, අධිරණය විසින් දුන් තීරණ වන හෙජින් ගිවිසුම හා ඛණිජ තෙල් මිළ අඩුකිරීමේ සිට, ඡන්ද කොමසාරිස්ගේ නියෝජිතයා ඉවත් කර ගැනීම දක්වා කළ ස්වාධින ආයතන විධායක ජනපතිගේ ඇඟිලි ගැසිම, තවත් වරක් බලයට පැමිණි විට අති විශාල ලෙස කරනු ඇත.


රාජ්‍යයේ මැදිහත් වීමෙන් මුදා හරින ප්‍රචණ්ඩත්වය හා මිනිසුන් නිකරුනේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම්, දේශ‍ද්‍රෝහි ලේබල අලවා ජීවිත අනතුරු හෙළිම ආදී සාකල්‍යවිධ ත්‍රස්තවාදය මුදා හැරීම සඳහා මහින්ද රෙජිම වගකිව යුතු ය. මේ ක්‍රියාවන් දක්වන්නේ ඉදිරියේ දී ඇති විය හැකි ඒකාධිපති පාලනයක පෙරනිමිති ය. එදාට ධම්ම තක්බිර් වනු නියත ය.


ධම්ම ස්වකීය ලිපිය නිම කරන්නේ මෙසේ ය:


"දැන් මාස 7 ක්‌ 8 ක්‌ තිස්‌සේ බයක්‌ සැකක්‌ නැතිව සිංහල, දෙමළ මුස්‌ලිම් අපි නිදහසේ ජීවත් වෙනවා. මේක දැක්‌කම සමහර විදේශ රටවල්වලටත් මේ රටේ සමහරුන්ටත් හරිම අමාරුයි. කොටින්ගේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සන්ධානයත් සහෝදර සමාගම් වන මනෝ ගනේෂන්ලත්, හකීම්ලත්, මංගලලත් කොටින්ට ජීවනාලිය දෙන රනිල්ලත් එකතුවෙලා මේ කරන්න යන්නේ නැවතත් මේ රට මහා වාචකයකට ගෙනයැම මිසක්‌ වෙන දෙයක්‌ නොවේ. එක අතකට අඩු වැඩි වශයෙන් මේ රටේ ජනයා ඝාතනය කරපු එජාපය, කොටි සංවිධානය ජවිපෙ කණ්‌ඩායම සහ ඒවට අනුබල දෙන ගනේෂන්ලා හකීම්ලා මංගලලා එකට එකතුවීම පුදුමයක්‌ නොවේ. මේ හවුලේ අරමුණ අනාගත ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ අර්බුද ඇතිකොට ඉන් අසරණ වන ජනයාගේ මිනී කඳු මත නව බලලෝභී වෛරී දේශපාලනයේ සව්දිය පිරීමයි.


ඉතින් මේ මහා භීෂක පක්‍ෂ හවුලට එරෙහිවී අප දිනාගත් නිදහස පරෙස්‌සම් කරගැනීම සහ තහවුරු කරගැනීම අපේ වගකීමක්‌. අපිට වගේම අපේ දරුවන්ට ජීවිතය අවශ්‍යයි. මරණයට එරෙහිව ජීවිතය දිනවමු. මේ මොහොතේ ජීවිතය යනු මහින්දයි. ඔබට සුබ අනාගතයක්‌."


ධම්ම දක්වන සාමය මනෝමූල හා මනෝරජ්‍යක සාමයක් මිස, සැබෑ සාමයක් නොවේ. ප්‍රතිවාදින් හා ප්‍රති අදහස් නො ඉවසන, ඔවුන්ගේ රැකියාවන්, ජීවනෝපායන්, ජීවිත අහිමි කරන තත්ත්වයක, මාධ්‍ය නිදහස හිරගෙට හා පොරකයට යවා ඇති යුගයක, දෙමළ මිනිසෙකුට නිදහසේ පාරේ තොටේ යා නොහැකි, ධීවරයකුට රෑ ස්වකීය රැකියාවට යා නොහැකි නම්, දහස් ගණනක් තව ම අනාථ කදවුරුවල ගාල් වී ඇත්තම් ධම්ම කතා කරන සාමය කොහි ද?


ඉදිරියේ ස්වකීය විධායක ජනපති බලතල යොදා ගනිමින් ව්‍යවස්ථාදායක පාර්ලිමෙන්තුවේ බල තුලනය වෙනස් කළ, අධිකරණය හැල්ලුවකට ලක් කර, විධායක ජනපති ධූරය අහෝසි කරන බව බොරු පවසා තවත් වරක් විධායක ජනපති ධූරය සඳහා ඉල්ලන මහින්ද හා ඔහුගේ සහචර පිරිස අනාගතයේ භිෂක හවුලක් නොවන බවට ඇති තක්සේරුව කුමක් ද? ධම්මගේ මේ කතිතාව අනාගත පරපුර අදුරේ හෙළන ස්වකීය ශාස්ත්‍රීය දැනුම හා කතිකාරචාර්ය ධූරය නැමති හබරළ කොළයෙන් විළි වසා ලන්ට තනන ධම්මගේ මෘග්ධ ව්‍යයාමයකි.


ස්වකීට ජනපති ධූරයේ තවත් වසර දෙකක නිල කාලයක් ඉතිරි ව ඇති විටක, මහින්ද ජනපති වරණයක් කැඳවූයේ මහජනතාවට ඇති ‍ස්නේහයෙන් හෝ සත්ත්ව කරුණාවෙන් නොව, ආත්ම ලෝභයෙන් හා බලලෝභයෙන් ස්වකීය බලය තහවුරු කර ගැනීමේ අවසාන තුරුම්පුව ලෙසින් ය.


මේ නම් දක්වන්නේ මහින්දයේ ඇති බල උම්මාදයේ ඉහමොළ යෑමේ රෝග ලක්ෂණය යි. මෙයින් ඉදිරියට රඟ දැක්වෙන්නේ, විධායක උමතු මිලිටරවාදී, බල උම්මාදි විධායක ජනපතිගේ භිෂණ ජවනිකාව යි. තව වසර හයක දී, මේරට අන්ත දූගීත්වයකට පත් වීම මෙවැනි නායකයකුගේ පුරෝගාමිත්වයෙන් සිඳු නොවුන හොත් එය අරුමයකි. මහින්දගේ අවසාන ධූර කාලයෙ දී, පසුගිය කාලය හා සසඳන විට, නැවත ජනපති වීමට අවස්ථාවක් නොමැති නිසාවෙන් , විය හැකි අනතුර මහත් විශාල ය.


දෛවයේ අනාගත වෙනසක් සිඳු නොවුන හොත්, මේ මොදූ වන විධායකයේ අදුරු සෙවනැල්ල ලංකා දේශය මත වැටී, මුළු ලංකාව ම අන්ධකාරය පත් කරන කාලය වැඩි ඈතක නොවේ.



මුල් ලිපිය සඳහා ලැබුණු ප්‍රතිචාර:


Ramachandra said...

වයස්ගත වනවිට කොන්ද පන නැති වෙලා ලොකු තැන් වලට වාරු වෙන රැඩිකල් පොරවල් වලට හොද උදාහරන කිහිපයක් මෑතකදී දකින්න ලැබුනා.ජැක්සන් ඇන්තනි ගාවට ආපු අනිත් උදාහරනය ධම්ම දිසානායක.මේ විශ්ව විද්‍යාල ආචාර්වයවරයා වසර කිහිපයකට ඉහත වාමාංශික පාඨ මහත් බරක් ඇතිව ( සමහරවිට අති වාමාංශික විදිහට පවා) උච්චාරනය කල හැටි අපිට මතකයි.
මේ වගේ ව්‍යාජ රැඩිකලුන් දැකීමට තව තවත් වාසනාව උදාවේවා!


Friday, January 22, 2010

සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම්


අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්‍රතිගාමියා වූ විශ්‍රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්‍රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්‍රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ.


මෙවැනිම තවත් සමික්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ආචාර්ය වරුන් කිහිපදෙනෙකුගේ සහභගීත්වයෙන් ද කර දිණමිණ පුවත් පතේ පළ කොට තිබිණි. එහි ප්‍රතිපල වූයේ මහින්ද 74% ද සරත් 35% ද ගන්නා බව ය.

මේ ලෙස බෙගල් දෙසා බා ස්වකීය විශ්ව විද්‍යලවල කීර්ති නාමය කෙලෙසන මෙවැනි ඇදුරන් සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව යම් පියවරක් ගත යුතු ය. නැතහොත් එකී ආයතන පිළිබඳ විශ්වාසනීයත්ව සමාන්‍ය ජනතාව කෙරෙන් ගිලිහි යනු ඇත. කෙසේ වෙතත් මෙසේ කරලියට පැමිණෙන්නේ ලංකාවේ අධ්‍යපන ක්ෂත්‍රය වැටි ඇති අගාදය මිස වෙන කුමක් ද? නිවැරදි ලෙස ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කර ගත නොහැකි කලාප අධ්‍යපන අංශ ද, නිවැරදි ලෙස උසස් පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර කටයුතු කළ නොහැකි ආචාර්ය වරු ද, සිඝ්‍රයෙන් වැසෙමින් පවතින ග්‍රම්‍ය පාසල් ද, උසස් පෙළ සහ උපාධි පෞද්ගලික පන්ති පවත්වන විශ්විද්‍යල ආචාර වරුන් ද, දේශපාලකයන්ට පිරිනමන සැදී තිබෙන ගෞරව උපාධින් ද, තඹ සතයකට නොවටින යල්පිනූ අධ්‍යාපනයක් කර පින්නා පිටවන උපාධි ධරයන් ද, කියා පාන්නේ රටේ සුබ ම සුබ ආනාගත ය. මා දන්න තරමට, පැරණි විශ්ව විද්‍යාල ආචාරවරු කිසි විටකත් අතීතයේ දේශපාලකයන් ඉදිරියේ නැමි පාද ලෙව කා නැත. එහෙත් අද තත්ත්වය වෙනස් ය. ඒ සඳහා ස්වකීය අධ්‍යාපන ගෞවරවය පවා දෙන සරසවි ඇදුරන් රොතු පිටින් ඇත. අධ්‍යපනය ද දේශපාලනකරණයට පත්ව ඇත. එනිසා නිදහස් අධ්‍යපනය වල පල්ලට යෑම තව ස්ල්ප කාලයකින් සිඳුවනු ඇත.


මෙවන් ඇදුරන් ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය, මෙවන් මහත් රැවටීමක් කරන්නේ මහජනතාව කවුරුන් ලෙස සිතා මතා ද?


වෙනත් සබැදුම්: W3 සටහන; දිනමිණ ලිපිය

Wednesday, December 16, 2009

අරලිය ගහ මැදුරේ ඡන්ද දන්සල පිළිබඳ වදනක්

මේ දිනවල ජනතාවගේ මුදල් ලක්ෂ ගණන් වියදම් කොට අරලිය ගහ මැදුරේ දන්සල් කිහිපයක් ජනාධිපති තුමා විසින් පවත්වා ගෙන යනු ලැබේ. නොමිලේ බඩ පිරෙන්නට කන්නට ලැබෙන නිසා දෝ විවිධ වූ වෘත්තිකයන්, රජයේ සේවකයන් කලා කරුවන් වැල නොකැඩි ඒ දන්සලෙන් සප්පායම් වන්නය යති. දන්සලට යා ගත නොහැකි, එසේ ම කිසිදු වරප්‍රසාදයක් නොලැ‍බුණ මහජනයා කරබාගෙන, දන්සලෙන් අනුභවයේ යෙදෙන්නන්ට කෙල හලති. එහෙත් ස්වකීය ආත්ම අභිමානයක් කියා දෙයක් නොමැති, මොවුන් කා බී සන්තෝෂ වී, ඡන්දයෙන් පසු කෑ දෑ වමාරණ තුරාවට දුක්විඳින පිණිස සුඳානම් වෙති. ඡන්ද ළංවන විට කාට කාටත් සත්ත්ව කරුණාව ඇති වේ. එහෙත් එවැන් තුට්ටු දෙකකට, රාත්‍රී ආහාරයකට තම ගරුත්වය උකස් කිරීමට තරම් දීන නොවන්නෝ ඇත්තේ ස්වල්ප දෙනෙකු බැවිනි. කන්ඩ බොන්ඩ දීලා ඡන්දය ගන්න ක්‍රියා කිරීම ආරම්භ වූ යේ, අද ඊයේ නොව, බොහෝ කලකට පෙර ය. එක් පැරැන්නෙක් මා සමඟ කීවේ, හැටේ දශකයේ පමණ එක් එක් දේශපාලකයන් ඡන්දාට ගම්වැදී ජනතාවට කන්ඩ බොන්ඩ දී දවාලට තමුන්ට කතිරය ගසන පිණිස ඡන්ද පොලට දක්කපු කතාවකි. අද සිඳුවන දෑ ද, එදාට වෙනස් නැත. එහෙත් වෙනසකට ඇත්තේ ඒදා වුන් නූගත් තම ඡන්දයේ අගය නොදත් අංහිසක ගම්මුන් වීමත්, අද, උගත්යයි කියා ගන්නා තමුන්ගේ බඩකට පුරවා ගැනීමට වෙර දරන අවස්ථාවාදීන් වීමත් ය.

පහත දැක්වෙන්නේ ළඟක දී පැවති අරලියගහ මැදුරේ දන්සලත් පිළිබඳ මාහට ලැබුණු විද්‍යුත් තෑපැලකි:

"ජනාධිපති ජය සපථ කිරීමට කලාකරුවෝ එක්වෙති" , මේ ආණ්ඩුවේ පුවත්පතක එක් සිරස් තලයකි. ඒ යටතේ පළ කොට තිබුණේ ජනාධිපතිවරයා කලාකරුවන් සමඟ ගත් ඡායාරූපයකි. ඡායාරූපය දැකපු ගමන් මේ රටේ සියලූ කලාකාරයන් ජනාධිපතිට ජය සපථ කරන්නට සැරසෙන බවක් කිසිවකුට හැඟී යා හැකිය.

ඡායාරූපවලින් දැක්වෙන්නේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට රැස්ව සිටි දෙදහසකට ආසන්න කලාකරුවන් අතරින් කිහිප දෙනකු සමඟ සුහදව කතා කරන අයුරුය. රටේ ජනාධිපතිවරයා තමන් අසුන්ගෙන සිටිත තැනට එනවිට අසුනින් නැගිට සුහදව කතා බහ කිරීම සාමාන්‍ය සිරිතකි.

එම පුවත්පතේ ඡායාරූප සටහනේ දැක්වෙන්නේ "මේ සියලූ කලාකරුවෝ එක්ව අරලියගහ මන්දිරය සොඳුරු රැයක් කළහ. ජනාධිපති ඒ සියල්ලන් සමගම කතා බහ කළේය." යනුවෙනි.

ආණ්ඩුවේ පුවත් පත කියන්නේ අල්ලේ පැලවෙන බොරුවකි. ජනාධිපතිවරයා කලාකරුවන් හමුවූ අවස්ථාව සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි ඇසූ දුටු වෙනත් අය අප වෙත වාර්තා කෙළේ මෙබන්දකි. ජනාධිපතිවරයා එදා කතා බහ කළේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් අතලොස්සකට පමණි. රැස්ව සිටි පිරිසේ හැටියට ඔහුට මේසයෙන් මේසයට යන්නට සිටියා නම් පැයකට වැඩි කාලයක් ගතවනු ඇත. ඉඳින් ජනාධිපතිවරයා කතා බහ කරන්නට ගියේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් තමන්ට පහසුවෙන් ලංවෙන්නට හැකි අය වෙත පමණය. ඔවුන් අන් කවුරුවත් නොව දැනට ජනාධිපතිවරයාගෙන්ම විවිධ වරප්‍රසාද ලබමින් ඔහුට කඩේ යන පිරිසම බව "දිනමිණ" ඡායාරූප පිටුවෙන් ද සනාථ වන්නේය.

ඡායාරූපවල ජනාධිපතිවරයා සමඟ කැකිරි පලන්නේ කවුරුන්ද? මාලිනී ෆොන්සේකා, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩග්ලස් සිරිවර්ධන, පාලිත සිල්වා, ගීතා කුමාරසිංහ සහ තවත් සුප්‍රකට පිරිසකි. මේ පිරිස් ලබාගෙන ඇති සහ දැනට ලබමින් සිටින වරප්‍රසාද අනුව ඔවුන්ට ජනාධිපතිගේ ජය සපථ කිරීමෙන් තොර ආත්මයක් තිබේද?

මේ ඡායාරූපවලට ඇතුළත් නොවූ පිරිසක් ද මේ අතර සිටියහ. ඔවුන් සියල්ලන්ම ආවේ ජනාධිපතිවරයාට ජය පතන්නට නොවේ. පක‍ෂ භේද නොසොයාම කලාකරුවන් බොහොමයකට එදා අරලියගහ මැදුරට ඇරියුම් කොට තිබුණේය. එසේ ඇරියුම් කළේම සිතාමතා විය යුතුය. මොකද පක‍ෂ පාට තෝරා බේරාගෙන ඇරියුම් කළේ නම් එතැනට එකතු කරගන්නට ලැඛෙන්නේ අර ජැක්සන්ලා, ශ්‍රියන්තලා, ඩග්ලස්ලා වැනි පිරිසක් පමණි.

ඉතින් ඇරියුම් ලැබුණු කලාකරුවන් බොහෝ දෙනකු ආවේ ජනාධිපතිවරයා පවත්වනවා කියූ සාකච්ඡාවට සහභාගී වීමේ අදහසිනි. ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්නට බොහෝ අදහස් ඔවුන්ට තිබුණේය. ප්‍රශ්න තිබුණේය. එහෙත් ඇරියුම් පතේ තිබුණු අන්දමේ සාකච්ඡාවක් තිබුණේ නැත. ඇරියුම් ලත් කලාකරුවන්ට කෙලින්ම යන්නට තිබුණේ ප්‍රණීත භෝජන සංග්‍රහයකට සූදානම් කර තිබූ දැවැන්ත ශාලාවකටය. එන අය පිළිගන්නට සුදු රෙදි ඇතිරූ මේස සැදී පැහැදී සිටියාක් මෙන් විය.

මේස වටා හිඳගත් අයට පැයක් පමණ බලා ඉන්නට සිදුවූ අතර ඉන්පසු ජනාධිපතිවරයා පැමිණි බවට නිවේදනය කෙරුණේය. නිවේදනය පුන පුනා කීවේ සියලූ කලාකරුවන් හමුවන්නට එතුමා පැමිණෙන බවකි. එහෙත් ජනාධිපතිවරයා ශාලාව මැදින් වූ ආසනවල සිටි පිරිසට කතා කරමින් සිටියදී යළිත් නිවේදකයා කීවේ දැන් කාට කාටත් තමා ළඟම සූදානම් කොට තියෙන තැනින් ආහාර ගත හැකි බවය. කාට කාටත් ජනාධිපතිවරයා අමතක වුවාසේය. හැමෝම අසුන්වලින් නැගිට බුෆේ එකට පෝලිම් ගැසුණහ. මතට තිත වෙනුවෙන් හඬ තැලු අයද විස්කි,වයින් සහ බියර් ඛෙදා දුන් තැනට රොක් වූහ. මත්පැන් බොමින් රැස්ව සිටි අය රස මසවුළු බුදින්නට පටන් ගනිද්දී ජනාධිපතිවරයා ඒ ස්ථානයෙන් අතුරුදහන්වී සිටියේය.

බඩ පිරෙන්න සප්පායම් වුණු කවුරු කවුරුත් රෑ බෝ වෙත්ම ආපසු ගියා මිස ජනාධිපතිගේ ජය සපථ කරන බවක් කීවේ නැත.

එසේ යන අයගෙන් සමහරෙක් කියා ඇත්තේ "ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියා, ඔහු ආරාධනා කළ නිසා අපි ආවා. කන්න දෙන්නෙත් මහජන මුදල් වලින් නිසා අපි හොඳට කෑවා. යාළු මිත්‍රයන්ගේ සාදයකට ඇරියුම් ලැබුණම අතිනුත් වියදම් කරලා තෑගිත් අරගෙනයි සප්පායම් වෙන්න පුළුවන්. ඒත් මේ සාදයේදී තෑගි නැතිව හොඳට සප්පායම් වෙන්න ලැබුණා." යනුවෙනි.

ඒ කතාවල තිබුනේ නිර්දය උපහාසයකි. ආණ්ඩුවේ පත්‍රය කියන්නාක් මෙන් එදා අරලියගහ මන්දිරයට රැස්වු හැම කලාකාරයෙක්ම එහි ගියේ එතුමා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න බව සපථ කරන්නට නොවේ. නමුත් රාජ්‍ය මාධ්‍ය හැම එකකින්ම වාර්තා කළේ එදා රැස්වූ සියලූ කලාකරුවන් එක පිලකට රොක්ව ජනාධිපතිගේ ජය පතන්නට එකතු වූ බවකි.

අරලියගහ මැදුරට ගිය කලාකරුවන්ගේ ඡායාරූප පිටුවට අමතරව එම පත්‍රයේ කතුවැකිය ද ඒ වෙනුවෙන් වෙන් කොට තිබුණේය.

"තාරකා වලට කන් දෙන්න" මැයෙන් ලියූ ඒ කතුවැකියේ සඳහන් වන්නේ "කලාකරුවන්ට මෙතරම් සමීප වූ රාජ්‍ය නායකයකු මෑතදී ශ්‍රී ලංකාවේ පහළ වී නැත." යනුවෙනි. ඊළඟට ජනාධිපතිවරයා කලාකරුවන්ට සමීප වූ බවට කතුවැකියේ සඳහන් අපූරු උදාහරණ මෙසේය.

"හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් අමරදේවයන්ගේ උපන්දිනය දා ඔහු ඔහුගේ නිවසට ගොඩ වී සුබ පතන්නට තරම් මහින්ද මහතා නිහතමානී විය. වසර තිහකට පසු නැවත වේදිකා ගතවූ ඒකාධිපති නාට්‍ය නැරඹීමට ගිය මහින්ද මහතා එහි නිර්මාතෘ ධර්මසිරි බණ්ඩාරනායක මහතාට සුබ පැතීය."

එම පත්‍රය කියන විදියට රටේ නායකයා කලාකරුවන්ට "සමීප" වූයේ එලෙසය. වැරදීමකින් හෝ කතුවැකියෙන් ඇත්තක්ද කියැවී තිබේ. ඒ මෙසේය. "කලාකරුවන්ගෙන් වැඩි දෙනා බලය ඉදිරියේ දණ නොනමති. සෘජුභාවය යහපත් කලාකරුවාගේ ප්‍රධාන ලක‍ෂණයකි."

කතුවැකියේ තියෙන අන්දමේ කලාකරුවෝ ද එදා අරලිය ගහ මන්දිරයට පැමිණ සිටියහ. එවැනි කලාකරුවන්ට එම කතුවැකිකාරයා කියන අන්දමට රටේ අගතිය දැක ඊට ආවැඩිය නොහැකිය. මක් නිසාද යත් ඔවුන්ට කලාව මෙන්ම දේශපාලනයත් හොඳ හැටි තේරෙන නිසාය.

-අකිල අරවින්ද-

Friday, November 27, 2009

මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් ද?

පසුගිය දිනක ඡන්ද උණුසුම ක්‍රමයෙන් වැඩිවේද්දී, සමහර ප්‍රවෘති පත්‍රවල ඡන්දයට පක්ෂ සහ විපක්ෂ ලෙස ඍජු ව හෝ අනියම් ලෙස ස්වකීය අපේක්ෂකයාට සහය පළ කිරීමේ ක්‍රියාකාරී වැඩ පිළිවෙලක් ආරම්භ විය. එක් එක් අපේක්ෂකයාට සහය දැක්විය යුත්තේ මන්දැයි සාධාරණියකරණය සඳහා විවිධ වූ නිදහසට කරුණු රාශියක් පෙළ ගස්වන ලදී. අනවශ්‍ය ලෙස ජාතිත ධනය මිලියන ගණනින් නාස්තිකර අකාලයේ අවුරුදු දෙකකට කලින් ඡන්දක් පැවැත්වීමට හේතුව ලෙස දැක්වූයේ, නැතිවන ජනප්‍රියතාවය හා සහයෝගය හමුවේ ඊළඟ මැතිවරණය පරජය වී ගෙදර යාමට වඩා කලින් යන්තම් ජනප්‍රියතාවය ඇති මොහොතේ ඡන්ද පවත්වා තව අවුරුදු හයක් දතා කා හෝ බලයේ රැදීම වෙනුවට, අලුත් ජනවරමක් දෙමළ ජනතාවගෙන් ලබා ගත යුතු යන්න ය. නිදහස් මධ්‍යයට අවුරුද්දකට ආසන්න කාලයක් නිකරුණේ දෙමළ ජනයා ගාල් කොට ඇති සරණාගත කඳවුරු වලට යාමට හෝ නැවත පදිංචි කළ ජනතාව හමුවීමට යාමට වරම් නැති අවස්ථාවක, නිදහස් ස්වාධින ඡන්ද ප්‍රකාශයක් දෙමළ ජනතාවගෙන් ලබා ගත නොහැක. ප්‍රභාකරන් හමුවේ දෙමළ ජනතාවගේ ඡන්ද අයිතිය පසුගිය ජනපතිවරණයේ දී අහිමි වුණාක් මෙන් මෙවර ජනපති වරණයේ දී, හමුදාව හා සිවිල් බලපෑම් මත ප්‍රභාකරයන් යටතේ සිඳු වූ දෙයම ප්‍රති නිර්මාණය වනු ඇත. අවසානයේ ජරාජයට පත්වන්නේ මුදවාගැනීමට දේශපාලන තන්ත්‍රය ඝෝෂා කළ අහිංසක නිරායුද සිවිල් දෙමළ ජනතාව ම ය. ඔවුන් එක් එකාධිපති පැසිට් වාදයක ‍සිට අනෙක් ප්‍රජාතන්ත්‍රවාදීයයි කියා ගන්නා එහෙත් මිලිටරි තුවක්කු අමොරාගත් ආණ්ඩුවේ හමුදාවක් යටතේ අසරණ වීමට දැන් කටයුතු යෙදී ඇත. එහෙයින් මේ අනවශ්‍ය ඡන්දයෙන් නැවත ප්‍රතිනිර්මාණය කරන්නට යන්නේ ප්‍රභාකරන්නේ මිලිටරි පාලනය ම වෙනස් වූ දැන් සිංහල බහුතර හමුදාවක් යටතේ ය.


එසේ ම, සමහරුන් ගෙනෙන තර්කය වන්නේ යුද්ධය නිමා කිරීමේ "කෘතවේදීත්වයෙන්" දැනට ජනාධිපති ධූරය හෙබවන මහින්ද බලයට පත් කළ යුතු බව ය (සමහර ජනමාධ්‍යවෙදීන් ලිපි ලියන්නේ කාගේ පොකට්ටුවේ සිට දැයි කියවන්නෝ අවබෝධ කර ගත යුතු ය). යුද්ධය දිනා ගැනීම සඳහා මහින්ද ඇතුළු දේශපාලන නායකත්වය කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ හ. රනිල් කිසිවිටකත්, යුධමය ක්‍රියා මාර්ගයෙන් මෙකී ප්‍රශ්නය විසඳන බවට, ප්‍රතිඥාවක් දුන්නේ නැත. ඔහු බලයට පැමිණියේ නම් මෙලහකට, ප්‍රභාකරන් ඇතුලු පිරිස තවමත් ජීවතුන් අතර, සිටින්නට තිබුණු අතර, සටන් විරාමයෙන් ඔබ්බට බලය බෙදා වෙන් කිරීමක් කරන්නට ඉඩ තිබිණ. සමහර විට එය එයින් ඔබ්බට ගිය දීන තත්ත්වයකට පත්වන්නට ද ඉඩ තිබිණි. එහෙත් මෙකී ප්‍රකාශ අපගේ හුදු උපකල්පනයන් මත පිහිටා කරන්නන් මිස තත්‍ය මට්ටමේලා සිඳු වූ ඒවා නොවේ. කෙසේ වෙතත්, ජනතාව පසුගිය ජනාධිපති වරණයේ දී රනිල් පරාජය කොට රට යුධ මාවතකට යොමු කළේ, යුද්ධයෙන් මේ ප්‍රශ්නය නිමවා, සාමය උදාකොට, දේශපාලන විසඳුමක් ඉටු කොට, මහින්ද චින්තනය නම් වූ මහා ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ රට සුඛිතමුදිත ‍කිරීමට ය. එහෙත් ජනාධිපති වරණය දිනා ගන්නා මහින්දයන් ස්වකීය අභිමතාර්ථ ඉශ්ට කිරීමට යන්නේ, පාර්ලිමෙන්තු මැතිවරණයක් පිහිටුවා පාර්ලිමෙන්තු වේ බහුතය ලබා ගැනීමෙන් නොව, පාර්ලිමෙන්තුවේ මහජන මතය, ඇමතිකම් සහ වෙනත් වරප්‍රසාද දිගු කොට, කෘතිම ලෙස වෙනස් කිරීමෙන් ය. මේනිසා මහින්ද එක් අතකින් මිලියන දස දහස් ගණනක් ජාතික ධනය ඔහුගේ බලය පවත්වා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා මැති ඇමැතිවරුන්ට පගා වශයෙන් ‍ප්‍රසිද්ධියේ දෙති. මෙය සැබෑ ජනමතය විකෘති කිරීමකි; ලාංකික ඡන්ද දායකයන්ට කළ නිගාවකි; ඇස්බැන්දුම් වංචාවකි.


මහින්ද යුද්ධය ජයගත් බව සැබවි. රනිල් මෙවන් අමාරු ස්ථානයක සිටියේ නම්, අන්තර්ජාතික අභියෝග සහ බලපෑම් හමුවේ නැමෙනු ඇත; දණ ගසා අත් ඔසවා යටත් වනු ඇත. එහෙත් මහින්ද ස්වකීය ජනපතිවරමට ගරු කරමින් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් යුද්ධය අවසාන වන තුරු සටන මෙහෙය වී ය. යුද්ධය නිමා කිරීමට දරුණු මිනිස් ජීවිත ප්‍රමාණයක් ඝාතනය කරන්නට සිඳු වි ය. එහෙත් එහි වරද හෝ යුධ අපරාධ ආශ්‍රිත චෝදනාව මහින්ද හෝ ගෝඨාභය වෙත නොව, මුළු මහජනතාව වෙත ම පැට විය යුතු ය; වගකීම භාර ගත යුතු ය. මන්ද මහජනතාවක් ලෙස මහන්ද ජනාධිපති කිරීමෙන් ඔහුගේ අත් සවිකොට, එසේ ක්‍රියාකිරීමට පෙළඹ වූයේ ලාංකික ඡන්ද දායක අප ම බැවිණි.


එහෙත් මෙහිදී, වැදගත් කරුණක් අමතක කළ යුතු නැත. මහින්ද යුද්ධය ජය ගත්තේ ස්වකීය ජනපතිවරම සඳහා ජනතාව දුන් අභිමතය මගින් ය. එය කිරීම සඳහා මහින්ද ජනපති ලෙස ඡන්දයෙන් පත් කළ විට බැදී සිටි. ඔහු දැනට කර ඇත්තේ ස්වකීය වගකීම ඉටු කිරීම පමණි. ඒ සඳහා ජනතාව ඔහුට අමුතුවෙන් කෘතඥ වීමට හෝ දණගසා යටත් වීමට අවශ්‍ය නැත. මන්ද ඔහුට ලැබී ඇති බලය, වරප්‍රසාද, වැටුප් ඇති නානා මාදිලියේ දිමනාවන් හා නෛතික වශයෙන් ඇති මුක්තිය ලැබී ඇත්තේ එකී ජනාධිපති ලෙස පත් කිරීම නිසාවෙනි. එසේ තම යුතු කම ඉටු නොකළේ නම් ලබන ජනාධිපති වරණයට ලැජ්ජාවක් නොමැතිව ඉදිරිපත් වීමටවත් මහින්දට නොහැකි වනු ඇත.


අපට අමතක නොකළ යුතු කරුණක් සිහි කටයුතු ය. එනම්, ජනවරමින් මහින්ද පත් කළේ, අවුරුදු හයක කාලයක් තුළ, යුද්ධය හමාර කොට, මහින්ද චින්තනයේ දැක් වූ සංවර්ධනය ඉටු කිරීමට ය. යුද්ධය අවසානය එහෙත් තවම ඔහු පොරොන්දු වූ දේශපාලන විසඳුම ගෙන ඒම හෝ රට සංවර්ධනය කර නැත. මේ ජනපති වරම සඳහා ඔහු ඉදිරිපත් වන්නේ, රාජ්‍ය ආයතනයන්ගේ බහුතරයක්ගේ වර්ජන රැල්ලක් සමඟ ය. අධ්‍යාපනය ක්ෂේත්‍රයේ සහ ‍සෞඛ්‍ය සේවයේ කඩාවැටීම් හා දූෂිත තත්ත්වයේ හමුවේ ය. සෞඛ්‍ය ඇමති නිළධාරින්ගෙන් මුදල් අය කරන බවට හැමදාම කරන පුරම්බෑම කර, ජනතාව ගැලරියට අන්දවා විසිල් හා අත්පොලසන් ගස්වා තප්පු මුක්කු කිරීම තරම් අවර ගණයට වැටී ඇත්තේ ය. කිය කිය ඉන්නේ නැතිව පුළුවන් නම්, ඒ සෞඛ්‍ය නිළධාරින් නම් කොට, උසාවියට ගෙනවිත් දඬුවම් කරන්න; තවත් බොරුවට ජනතාව මුළා නොකරන්න.


ජනපති පාශ්චාත් යුධ වතාවර්ණයක තමුන්ට රට සංවර්ධනය කළ හැකි බව, ක්‍රියාවෙන් පෙන්වා දී නැත. දෙවනු ව ජනාධිපති ධූරය අහොසිකරන්න ජෙ.වි.පෙ හි එකඟ වූ සහ ජනතාව ඉදිරියේ ස්වකීය පොරොන්දු අතරට එක් කළ, ඔහු ලැජ්ජා නැතිව දෙවන වරටත් ජනාධිපති ධූරය සඳහා ඉල්ල යි. එසේ කිරීමට කිසිඳු නෛතික පනතක් හෝ එවැන්නක් පසුගිය වසර කිහිපයේ නොගෙනා ඔහු දැනි ස්වකීය ජනවරම තුළ වූ, වගකීමක් බිඳ හෙළා, එකී අහොසි කරනවායි කී ධූරයට ම ඡන්ද කිරීමට ස්වකීය දේශපාලන ව්‍යාපරය මෙහෙවයි. මා පෞද්ගලික ලෙස හීලෑ කළ ජනාධිපති ධූරයක් ප්‍රිය කරන නමුදු, මහින්ද ජනතාව ඉදිරියේ ‍පොරොන්දුව ස්වකීය වගකීම මෙයින් ඉටු කර නැති බව පෙනේ.


මුල් ජනවරමේ පොරොන්දු වූ වැඩපිළිවෙළ අඩක් පමණක් නිම කොට, නැවතත් තමන් නොකළ කරුණ ම ඉදිරිපත් කොට, තමුන් අහොසි කරන්නට නියම කළ ජනපති ධූරයට අකාලයේ ඉල්ලීම කවුරුන් වෙනුවෙන් කරන්නක් ද? ජනාධිපතිවරයා කර ඇත්තේ ඔහුගේ රැකියාවේ ජනතාව විසින් නියම කළ රජකාරීයෙන් කොටසක් ඉටු කිරීම පමණ. ඔහු හමුදා නිළධරයකුට වඩා වැඩි යමකට ජනතාව පත් කොට නැත. ඒනිසා ජනතාව ඔහුට ණය නැති; මහා අබිමන් ලෙස කෘතඥ වී, නැවත පත් කිරීමට ද කිසිඳූ සාධාරණ සදාචාරමය වගකීමක් ජනතාවට නැත. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක රජ්ජූරුවන් දේශපාලකයන් නොව, ඔවුන් පත් කොට ඔවුන්ගේ අත් බල ගන්වන මහජනතාව ම ය. අප රජුන් මිස, යටත් අසරණ පිළිසරණක් ලැබියුතු වහල් යට වැසියන් සේ පරාජීත දීන මානසිකත්වයකින් කටයුතු නොකළ යුතු ය. පක්ෂනාකයන් හෝ තමුන් පත්කරන දේශපාලකයන්ට "සර්" හෝ "මැඩම්" කිය කියා දෙකට තුනට නැමෙන්නට කොන්ද කෙළින් ඇති මහජනතාවට අවශ්‍ය නැති වග මතක තබා ගත යුතු ය. මහජනතාව යනු කොඳු නාරටි නැති මී ගොන් රැලක් නොවන බව දේශපාලකයන් මනා සේ තේරුම් ගත යුතු කාලය එළෙඹ ඇත. එසේ ම, මහජනතාව ද තමුන් දේශපාලන පක්ෂාක්ෂිකත්වය හා ගැලරි කියන සුරංගනා කතා නැමැති කෙවිටෙන් දක්කන, මී ගොන් රැලක් නොවන බව ද එත්තු ගත යුතු ය.


Saturday, November 21, 2009

අහෝ... කළගුණ නොදත් මෙවන් අමනයෝ


වරක් මා රැකියාව කළ පෞද්ගලික ආයතනයක විධායක අධ්‍යක්ෂක වරයා තමුන් අකමැති පුද්ගයන් ඉවත් කිරීම සඳහා අපූරු ක්‍රමයක් භාවිත කළේ ය. ඔහු අසකරන්නට අවශ්‍ය පුද්ගලයා හට විවිධ සුළු සේවකයන් කරන වැඩ පැවරීමත්, විවිධ ආකාර නොහොබිනා කම් කිරීමත් කරනු ලබ යි. කිසි අභිමානයක් නැති හෝ යමක් කරකියා ගත නොහැකි පුද්ගලයකු කරබාගෙන ස්වකීය වැඩ කටයුතු කළ ද, ආත්මගෞරවයක් ඇත්තේකුට ඉහත ක්‍රියා රුස්සන්නේ නැත. බොහෝ විට එවැන්නේ ඉල්ලා අස්වෙති. නැතහෝත් විධායක අධ්‍යයක්ෂක වෙත ගොස් පැමිණිලි කරන අතර, ඔහු විසින් කෙසේ හෝ පුද්ගලයාගේ ඉවසීමේ සීමාව නික්ම යන තුරු කවර හෝ කරුණක් අළලා අපවාද කරනු ලැබේ. අවසානයේ දී, ඉවසීමේ සීමාව පසු කල පුද්ගලයා අතින් වැරදි යමක් කියවුණු විට, එය ඇසුරින් ලිපියක් සකසා සේවයෙන් පහ කරයි. වරක් රියදුරෙකු හට මෙවැනි ආකාරයේ කුඩම්මාගේ සැලකිල්ල දක්වමින් සේවයෙන් ඉවත් කිරීමට උත්සහ දැරී ය. එහෙත් ඔහු අධ්‍යක්ෂක වරයාට වඩා කපටි වූ අතර, ඒ නිසා, අධ්‍යෂක තුමාගේ සෙල්ලමේ හොඳින් සෙල්ලම් කරන ලදි. සමහර දිනවලට ඔහු පැමිණ මුළු දවසට කිසිවක් නොකර, ඔහේ සිටීම සිඳු වේ. ඔහු මෙසේ කාලයක් මෙසේ කිසිදු වැඩක් නොකර මාසේ පඩි ගන්නා ලදී. එහෙත් වරක් ඔහු ප්‍රමාණය ඉක්මවා නිවාඩු ගැනීමක් නිසා, නැවති පැමිණිමේ ලේඛනය සකසා, එය ඇසුරු කොට සේවයෙන් පහ කරන ලදී. අවුරුදු ගණනාවක් ඔහු කම්කරු උසාවියේ ආයතනයට විරුද්ධ ව නඩුවක් ගෙන ගියේ ය.

මට මේ සිඳුවීම සිහි වූයේ, ලාංකා ආණ්ඩුව, විශේෂයෙන් ම, ජනපති මහින්දත්, ආරක්ෂක ලේකම් ගෝඨාභයත්, දැන් තමුන්ට අවශ්‍ය නොවන හා සමහර විට අනාගත තර්ජනයක් යයි සිතූ, ජෙනරාල් ෆොන්සේකා හට, සේවය හැර යාමට අවස්ථාවක් ඇති කිරීම යි. පළමු ව ඔහු යමක් කළ නොහැකි තනතුරකට පත් කොට, අත්බැඳ ඔහුගේ හිඩැස පිරවීමට ඔවුන් හිතවත් එහෙත්, ‍ජෙනරාල් විසින් නිර්දේශ නොසලකමින් ඔහුගේ මතයට අනුව නුසුදුස්සෙකු පත් කරයි; ඔහුගේ පහළ නිළයන් හමුවේ විහිලුවක් ද, අසරණ කමට ද, විකටයකු බවට මේ අදුර දර්ශි දේශපාලක සංධානය පත් කරති.

ඒ නුසුදුස්සා තමුන්ට හා තමුන් පත්කළ දේශපාලන සන්ධානයට අභියෝගයක් විය හැකි , ජෙනරාල් ක්‍රමයෙන් හමුදාවෙන් කොන් කරන තත්ත්වයක් ඇති කර යි; ලැජ්ජා ඇතිවන සේ කටයුතු කර යි. ජෙනරාල්ගේ අභිමානය සුළු වන පරිද්දෙන් ඔහුගේ ආරක්ෂාවට, හිතුමතේ වෙනස් කොට ජෙනරාල්තුමා තමුන් නායකත්වය දුන් හමුදාවේ නායකත්වය හමුවේ ලැජ්ජාවට පත් කරයි. අවසානයේ ඉවසීමේ සීමාව නික්ම යන ජෙනරාල් තැන හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කරති. මේ අතර, ආණ්ඩුවය පක්ෂපාති කාලකණ්නි දේශපාලකයෝ සහ ඔවුන්ට උඩගෙඩි දෙන චිවරධාරින් ජෙනරාල්ට තර්ජනය කරමින් සහ දේශද්‍රෝහියකු ලෙස හංවඩු ගසති; සංඝ ආඥා (පත්තනික්කුජ්ජණ දණ්ඩන) ගෙනෙන බවට ගොරනාඩු කරති. විවිධ පුවත්පත් ද ජනපති මහින්දගේ හෙංචයියලා මෙන් කටයුතු කරමින් ජෙනරාල් ‍ගේ චරිතය, විශ්වාස බව ප්‍රශ්න කරමින්, කොටින්ගේ හෝ විදේශක බලවේග ආදී පටලවමින් ඇවිලෙන ගින්නට පිදුරු දාති.

අභිමානය ඇති අයෙක්, දිගින් දිගට ම මෙලෙස, කෙනෙහෙලිකම් ලක් වෙමින් සිටින්නේ නැත. විශේෂයෙන් ම හමුදාවේ නිළධාරියකුට අභිමානය ඉතා ඉහළ වටිනා කමකි. එවැන්නෝ මෙවැනි සංවිධාත්මක පහරදීම් වලදී නොසැලී, ‍ඍජු ව ස්වකීය ආත්ම ගෞරවය සලකා ඉල්ලා අස්වෙති. පිටකොණ්දක් නොමැති අභිමානයක් නැති, පුද්ගලයෝ තමුන්ගේ තානාන්තරය අල්ලාගෙන ඒ මත්තේ මැරෙන්නට උත්සහ කරති.

ජෙනරාල් ස්වකීය අස්වීමේ ලිපිය ඉදිරිපත් කළ වහාම, රටේ ජනපති කරන්නේ ඊළග වැඩ කරන දවසේ ඔහුට සේවයෙන් ඉවත්වන ලෙස නියෝග කිරීම යි. ජනපතිට ජෙනරාල් ‍ෆොන්සේකා වටිනා වස්තුවක් වූවා නම්, ඔහුව පෞද්ගලිකව කැඳවා සුහඳ ලෙස සාකච්ඡා කළ හැකි ව තිබිණි (සාමාන්‍යයෙන් රැකියාවකින් අස්වන්නට යමෙක් ඉල්ලූ විට එකී පුද්ගලයා ආයතනට වටින්නේ නම්, විධායක අධ්‍යක්ෂ ඔහු හා කතා කොට පඩි වැඩිවීමක් හෝ එවැනි විශේෂ වරප්‍රසාදයක් දී, පුද්ගලයා රදවා ගැනීම උත්සහ කරයි; අඩතරමේ ඔවුන්ගේ දුක් ගැනවිලලටවත් ඇහුම් කම් දෙනු ඇත). එසේ ම, නොවැම්බර් මාසය ඉවර වන තුරු සේවයේ යෙදිමට ඉඩ හරින්නට තිබිණි. ඔහුට සපයා තිබුණු ‍ආරක්ෂා 25 දක්වා අඩුකර, ස්වකීය සගයන් හා ලැජ්ජාවට පත් වන ආකාරයෙන් කටයුතු නොකරන්නට තිබිණ. ඔහුගේ නිවස දින 14කින් ඉල්ලීම නොකර, සමහර මැති ඇමති වරුන් අවුරුදු ගණනාවක් නිල නිවෙස්වල සිටීමට දුන්නාක් මෙන් අවම වශයෙන් මාස කිහිපයක්, මනා ආරක්ෂිත ස්ථානයක් සොයා ගන්නා තුරු, එම නිල නිවස පරිහරණය කරන්නට ඉඩ තිබුණි.

පසුගිය දිනක ඔහු මෙසේ කියා තිබිණි:

"මාගේ ආරක්‍ෂාව 25කට අඩුකලේ ජීවිත තර්ජන පිළිබද ඇති තත්ත්වය සලකා 100ක භට පිරිසක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම නොසලකා හරිමිනි. දිගින් දිගටම කළ ඉල්ලීම් හමුවේ 60ක භට පිරිසකුත්, වාහන3කුත් ලබාදෙන බව පවසා තිබේ. නිල වශයෙන් විශ‍්‍රාමගත් වහාම නිල නිවස ලබාදී ඉවත්වයන ලෙස මා හට ඉහළින් නියෝග ලැබී ඇත. සුදුසු කුළී නිවසක් සොයාගැනීමටද බාධා රැසක් මතුවී ඇතත්, මා මහමගට ඇද දැමීමට ඇතැමුන් වෙරදරති. ඔබ වෙනුවෙන්ද ආරක්‍ෂක ආමාත්‍යංශයේ නිවහන ඉදිකිරීමද කන්දක් විලිලා මී පැටවෙකු වැදුවාක් මෙන් කාරණයක් බව ඔබද මමද දනිමු. ඔබද හිසට සෙවනක් අහිමි වූවාක් මෙන් ලතවෙන බව දනිමි. මාතෘ භූමිය වෙනුවෙන් බොහෝ දේ කැපකල අපහට අවසානයේ උරුමවී ඇති තත්ත්වය මෙයයි."

(මූලාශ්‍රය W3)

මේ කිසිවක් නොකර, ස්වකීය සේනාධිනායකයකු පාරට ඇද දමන තත්ත්වයට පත් කරන ජනපති ස්වකීය නියම දේශපාලන දීනත්වය ප්‍රකාශ කර ඇත. ජෙනරාල් ඡන්දයට ඉල්ලනවා ද, නැද්ද යන්නත්, ඔහු මහින්දට අභියෝගයක් ද නැද්ද යන්න වෙනත් කරුණකි. එහෙත් රටදැය වෙනුවෙන් වැඩ කොට, ජීවිතය පරදුවට තබන ශ්‍රේෂ්ඨ අභිමානවත් සෙන්පතියකුට මෙසේ සැලකීම ලැජ්ජාවට කරුණකි; අතිශය කණගාටුවට කරුණකි. අනෙක් අතට මේ ලැජ්ජා කිරීම, අවමාන, අභියෝග ජෙනරාල් හට පමණක් නොව, ඔහු නියෝජනය කරන හමුදාවට පෘථුල ව ත්‍රිවිධ හමුදාවට කරන නිගාවකි. මෙසේ දේශපාලකටන් පසුපස යන දීනත්වයට පත් වීම අභිත හමුදාව බාල්දු කිරීමකි. ජෙනරාල් ෆෝනසේකාගේ විශ්‍රාම ගැනීමේ අවසාන සමුගැනීමේ හමුදා ආචාර ආරක්ෂක ලේකම්, සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂක, පොලිස්පති හෝ ත්‍රිවිධ හමුදා ප්‍රධානින් නොපැමිණෙන්නේ ඔවුගේ රැකියාවට හා නිලයට විය හැකි භිය තකා විය හැකි ය; අනාගත තානාන්තර ලැබීම පිළිබඳ අවිනිශ්චිතතාවන් නිසා විය හැකි ය. මොව්නු තේරුම් ගත යුතු කරුණක් ඇත. ජෙනරාල්ට බෙදූ හැන්දෙන් ම ඔවුන්ට ද යම් දවසක බෙදනු ඇත. ඔවුගේ වැඩය, වටිනා කම හමාර වූ විට හපයක් සේ ඉවතට විසිකරනු ඇත. යම් දිනක මොවුන් ද, අවලංගු කාසියක් මෙන් පාරට ඇද දමනු ඇත. මෙවන් විරුවන් ලංකාවේ නො ඉපිද බටහිර ර‍ටක උපන්නේ ඔවුන්ට හිමි නියම ගෞරවය නොපිරිහෙලා ලැබෙනු ඇත. අත්මාර්ථකාමී අධම දේශපාලනය නිසා ලංකාවේ ඇති බංකොලොත් බව, හා කෙලෙහිගුණ නොදන්නා කම අතිශයින් ම කේදජනක ආවර්ජනයකි.

මෙවැනි ජවනිකා දකින මට කිව හැක්කේ, "අහෝ සුනකයකු තරම් වත්, කෙළගුණ නොදත් මෙවන් අමනයෝ භංගිවේවා!; දූරින්භූත වේවා!" යන්න යි.

පසු වදන

දිගින් දිගට ම දිවයින පුවත් පත ද දේශපාලන නිය්‍යය පත්‍රයක් අනුව ජෙනරාල් ෆොන්සේකා හට නින්දා ඇති කරන ලිපි පළ කරන ලදි. අදදු දිවයින පුවත්පතේ මගේ අදහස් සාක්ශාත් කරමින් නැවත් අවමන් ඇති කරන ලිපියක් පළ විය:

ජනරාල්ගේ නික්‌මයැම සහ ගිනි අවුළුවන්නන්ගේ ක්‍රියාදාමය?


Tuesday, November 17, 2009

දිවයින පුවත් පතෙහි පළ වූ මනෝගේ වන්දිභට්ටකම

අද දින දිවයින පුවත් පතෙහි මනොජ් අබේදීර විසින් "ජාතික ව්‍යාපාරය හා මහින්ද අභිෂේකය" නමින් ලිපියක් පළ කොට තිබුණි. එකී මුලු අභිමතාර්ථය වූයේ හැකිලී යන ජනපති මහින්දගේ රුව පුප්පා නැවත කරලියට ගෙන ඒම ය. ඒ සඳහා හෙතෙම භාවිත කරන තර්ක නම් පවතින දේශපාලනය ජාතික හා විජාතික දෙපිලකට ගොඩ නඟා, ජාතියානුරගය ඉස්මතු වන පරිදි මහින්දගේ රුව නැංවීම ය. මෙයින් මොහු ආමන්ත්‍රණය කරන්නට වෑයම් කරන්නේ ජාතිකත්වය නැමැති සමාජීය ආවේගන්ට ය. එක් අතකට එය, වචන 1133කින් යුත් දේශපාලන චරිතාපදානයකි.

මෙහි භාවිත කළ ඇති චිත්‍රය මහින්දගේ බෞද්ධ බැතිකම දක්වන්නකි. හෙතෙම මහාවංශයේ දුටුගැමුණු රජුගේ ළමා අවධිය මෙන් මේ ජාතිහිතශ්‍ය දේශමාමකයාගේ ළමා දිවියේ සිට, විජාතී බලවේගයන්ට පහර පිට පහර දීමේ අභිතකම දක්වා ඇත්තේ වැඩිහිටියකුට දක්වන ගරුසරුවකින් ය. ඒ එකට එක කියමින්, අඹ ඇටයකින් රටේ අගමැතිඳුට දමා ගැසීමෙන් ය. ඒය උද්ධච්ඡකම හුවා දැක්වීමක් විනා, ජාතිමාමකත්වය නොවේ. එතැන් පසු ජාතික බලවේගයේ ජයග්‍රහණය පිළිබඳ සටහන් කරන, හෙතෙම, "ජාතික" සමගි ආණ්ඩුව යටතේ වූ අත්තනෝමතික, මංමුලාව වූ පාලනය අමතක කොට, ඒ ජයග්‍රහණය 2005 ගෙනෙනු ලබයි. පුදුමයකට හේතුව නම් මහින්ද මතු කර දැක්වීම සඳහා "බණ්ඩාරනායක" උරුමකාරීය වූ හිටපු ජනපති චන්ද්‍රිකා මැතිණිය අමතක කොට ඇත. එයට හේතුවක් වන්නය ඇතිතේ ඇයගේ විජාතිය නැඹුරුවත්, අකාර්යෂ්ම පාලනයක් විය හැකි ය. එහෙත් මනෝජ්, මහින්ද දේශපානාගමනය, ඓතිහාසික සටනක් ලෙසින් හුවා දක්වයි.

ඔහුගේ දේශපාලනය වශයෙන් සිව්වසරක දායකත්වය ලෙස හෙතෙම දක්වන්නේ, හැමවිට ම, මඩෙ දමා සෝදන යුද්ධයේ නිමාව පමණි. අපි ඒ පිළිබඳ කොන්දෙසි විරහිත ගෞරවය ජනපතිට පුද කරමු. එහෙත් ලිපිය ලියන්නා විසින් මේ සිව් වසර තුළ ඇතිව දුෂණ, අධ්‍යපනයේ කඩා වැටීම, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බිඳ වැටීම, මිහින් එයාර්හි දශ ලක්ෂ ගණනින් පාඩුලැබීම, ජීවන වියදම, බඩුමිල ඉහළ යාම, පඩි ඉල්ලා සේවක අරගල සහ රැකියා ඉල්ලා උපපාධිධාරී හටන ද, කඩකඩා පළාත් පාලන ඡන්ද පවත්වා, ඒවා දිනා ගැනීම සඳහා මුළු රජයේ දේපල හා මුදල් දශ ලක්ෂ ගණනික් වියදම් කිරීම, අන්තර් ජාතික වශයෙන් මානවහිමිකම් අතින් කළුපැල්ලම් උලා ගත්, චාවේස්, ගාඩාපි, තාන් ශ්වේ වැන්නන් සමඟ හාදකම් පා අන්තර් ජාතික ප්‍රජාවෙන් මඩ තවරා ගැනීම ආදි මෙකී නොකී දුර්වලතා ඔහුට මතක නැත.

මහින්ද ජනපති ලෙස මහ ජනතාව පත් කළේ අවුරුදු 6ක් සඳහා ය. ඒ හෙයින්, පළමුව ස්වකීය දූර කාලය ප්‍රයෝජනයට ගෙන රට ගොඩ නැගීම සඳහා කටයුතු කරන්නැයි අප එතුමාට සිහි කර දෙමු. කලින් ජනපතිවරණයක් ඉල්ලන්නේ, ඉතිරි අවුරුදු දෙක තුළ තමුන්ගේ පොරොන්දු, වගකීම් හා යුතුකම් ඉටු කළ නොහැකියාව, සඟවා ජනමත වාසිය ප්‍රයෝජනයට ගෙන බලලෝභිත්වයට නැවත ජනපති වීමට අරඇදීම ය. ඒ නොමැතිව, මෙය ජාති-විජාති සටනක් නොවේ.

මනෝජ් ලිපිය අවසන් කරන්නේ මෙසේ ය:

"රටේ ඉරණම විසඳෙන වැදගත් මොහොතක්‌ දැන් ළඟ ළඟම පැමිණෙමින් තිබේ. 2005 නොවැම්බර් 18 වැනි දින ලැබූ ජයග්‍රහණය ආපසු හැරවීමේ වෑයම විජාතික බලවේග සිය කරට ගෙන තිබේ. ජාතික බලවේග 56 දී, 2005 දී මෙන්ම මේ මොහොතේදී ද තමන්ගේ ශක්‌තිය රට වෙනුවෙන් ගොනු කරගෙන තිබේ. සටන ආපසු හැරවීමට ඉඩ නොදී ඉදිරියට ගෙන යැමේ කර්තව්‍යය ඇත්තේ ඒ තුළය.

මහින්ද රාජපක්‍ෂගේ මූලික තැනුම් ඒකකය වූයේ මේ රටේ ජාතික බලවේගයන් දකුණේ විහාරස්‌ථාන සියයක නායක හිමිවරුන්ගේ යෝජනාව අනුව මල්වතු මහා විහාරයෙන් මහින්ද රාජපක්‍ෂට ශ්‍රී රෝහණ ජන රංජන සම්මානය ලබා දුන්නේය. එම සම්මානය මහින්දට ලබා දෙමින් " මේ රෝහණ ජනරංජන සම්මානය අපි දෙන්නේ තුන්කල් බලලා" යනුවෙන් මල්වතු මහා නාහිමියෝ වදාළහ.

ඉන්පසු මහින්ද අගමැති පුටුවට ගෙන ඒමට ජාතික ව්‍යාපාරය සිය මුළු වෙර යොදා බලපෑම් කළේය. ඒ මොහොතේ මහින්දට තිබූ එකම ශක්‌තිය වූයේ එයය. මහින්ද ජනාධිපති කරවන සටන කරට ගත්තේද මේ ජාතික ව්‍යාපාරයය. එහි බලපෑම මත අනෙක්‌ ව්‍යාපාරද මහින්දගේ සටනට තම දායකත්වය සැපයීය.

එළඹෙන තීරණාත්මක මොහොතේද ජාතික ව්‍යාපාරය සිය වගකීම ඉටු කරනු ඇත."

ඔහු විසින් නොකිය දේ නම්:

1. 2005දී ජාතික බලවේගය මහින්දගේ ජනපති වීමෙන් බලාපොරොත්තු වූ "සටන" කුමක් ද?

2. මහින්දට දුන් "රෝහණ ජනරංජන සම්මානය" හා රටේ සංවර්ධනය අතර ඇති සම්බන්ධතාව කුමක් ද? තුන්කල් බලා දුන්නේ මොන අරමුණක් සාක්ශාත් කර ගැනීමට ද? ඒ (අපනොදන්නා අභි රහස්) අරමුණ ඉටු කිරීමට වත්මන් ජනපති කළ කාර්යය කුමක් ද? සංඛ්‍යාත්මක ලෙස ප්‍රගතිය කවර ඉලක්ක ඉටු කොට ඇද්ද?

3. "අගමැති පටුවට" පැමිණිමට බලපෑම එල්ල වන්නේ මහින්ද විසින් ම දුන් "විධායක ජනපති ධූරය" අහෝසි කිරීමේ පොරොන්දුව නිසා ම නොවේ ද?

විචාරත්මක ව ගත් කල, මේ දේශපාලන ලිපිය මහින්දගේ ඔද තෙද ගුණය නැංවීමට සහ ජාත්‍යාලය උපද්දවා නැවති අහිමි වූ දේශපාලන පදනම සකසා ගැනීමට දරන වෑයමකි. මේ ලිපියේ කිසිදු හරවත්, හෝ වැදගත් කරුණක් නැත; ඇත්තේ බොල් වචන ගොන්නක් එක් කළ දේශපාලන වන්දිභට්ටකමක් පෑම පමණි. දිවයින පුවත්පතෙහි වටිනා ඉඩ මෙවැනි බොල් ලිපිවලින් නිකරුනේ නාස්ති කිරීමට ඉඩ දීම නොහොබින්නේ ය.


Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...