Wednesday, October 31, 2018

ගන්ධබ්බයා කවුරුන් ද? කනවටින් නාසය අල්ලන්නාක් වැනි මහාචාර්ය කතා


පසුගිය දිනක අගමැති ඇමති ගන්ධබ්බයෝ මැයින් ලිපියක් නලින් ද සිල්වා මහාචාර්ය තුමා කාලය නැමති බොලගයට ලියා තිබුණි. එකී ලිපියේ මූලික හරය ඔක්තොබර් 26දින සිට ලියු ජනපතියේ ඔලමොට්ටල ක්‍රියා යුක්තානු යුක්ත කිරීමකි. ඔහු කෙසේ වෙතත්, මම ද නිතිය පිළිබඳ විශාරදයෝ හෝ පුහුණුව ලත්තෝ නොවෙමු. ඒ හෙයින් ඔහු ගේ තර්කය විමසීම තකා මම ඉතා පරිස්සමෙන් ව්‍යවස්ථාව පාර්ලිමේන්තු අඩවියෙන් බා ගත කො‍ට පරිශිලනය කළෙමි. නලින් ද සිලිවා මහාචාර්ය තුමා ජාතිමාමකයෙකි (සමහරුන් සිතන්නේ ඔහු ජාතිවාදීයකු බව ය). කෙසේ වෙතත් මට මෙන් ඔහුට ද රනිල් පිළිබඳ ප්‍රසන්නතාවක් නැත. ඔහුට නැත්තේ රනිල් අසිංහල, අබෞද්ධ විදේශික මුහුණුවරක් ඇත්තෙකු නිසා ය. මට ඇත්තේ ඔහු ගේ දේශපාලන හැසිරීම හා ප්‍රතිපත්ති පිළිබඳ අප්‍රසන්නතාවයකි. එහෙත් අප්‍රසන්නතාවක්, පිළිකුලක් හෝ අප්‍රියතාවක් ඇති වූ පළියට ප්‍රජාතන්ත්‍රයයි කියන්නා වූ දේශපාලන භාවිතය විකෘතියක් කිරීම අනුචිත ය. එය රනිල් මහබැංකුව කොල්ල කන්නට ඉඩ හැර, වරද වසා සිටියාක් මෙන් ම, සත්‍ය වසා, අසත්‍ය මතු කරන්න දරන ආයාසයකි. කෙලින් කිව්වහොත් නලින් ද සිල්වා මහාචාර්යතුමා කරන්නේ ද එයයි. කන්න ඕනෑවිට කබරගොයත් තලගොයා වෙයි. මහාචාර්ය තුමන් විසින් තර්ක අවම වශයෙන් අටක්වත් යුක්තායුක්ත කිරීමට යොදා ගෙන ඇත. එය විමර්ශනය කරන විට මට පෙනෙන්නේ මෛත්‍රීපාල ජනපති තුමා මෙන්, මහාචාර්ය තුමා ඔළුවෙන් හිටගෙන ව්‍යවස්ථාව කියන බවකි. එය අපහාසයට හෝ අපවාදයට කියන්නක් නොව, සැබවින් ම උඩුයටිකුරු කරන විග්‍රහකි.

1.  මහාචාර්ය තුමා ගේ පළමු තර්කය වන්නේ ජනපති තුමා හට අගමැති පත් කිරීමට ස්ව අභිමතය ඇති බවකි. ඒ සඳහා 2015 ජනාවාරි 09 වෙනිදා සහ 2018 ඔක්තෝබර් 26දා සිදු වූ සිඳුවීම් දෙක එකිනෙකට සමපාත කරයි. මෙහිදී ඔහුට අමතක වන්නේ 2015 ජනවාරි 09 දින පැවති ව්‍යවස්ථාව හා 2018 ඔක්තෝබර් 26 පවතින ව්‍යවස්ථාව සම්පූණයෙන් වෙනස් දෙකක් බව ය. පළමුව එකිනෙකට සමපාත කොට, ජනපතිගේ ක්‍රියාව ලඝු කළ නොහේ. 42(3) ඡේදයේ දැක්වෙන්නේ, "ජනාධිපතිවරයා ගේ මතය අනුව" කියන පාඨයට කොන්දේසියක් අතුලත් කොට ඇත්තේ ය. එය තමුන්ට කැමති කෙනෙකු පත් කරනු වෙනුවට "පාර්ලිමෙන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපති වරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පක් කළ යුතු ය" යන්න ය. ඒ සඳහා පාර්ලිමේනතුවේ අවසරය අවශ්‍ය නැතත්, "උපරිම වශයෙන් විශ්වාස" ඇති බව සනාථ විය යුතු ය. ‍එසේ නොමැති විට, කොන්දේසිය නොසැපරේ. ඒ හෙයින් වහාම පාර්ලිමෙන්තුව කැඳවා ජනපති ගත් තීරණයේ සත්‍යක්ෂණයෙන් උරගා බැලිය යුතු ය; බැලීමට අවසරයක් දිය යුතු ය.

අනෙක් අතට, පුරප්පාඩු නොවූ නිලයකට අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමෙන් ව්‍යවස්ථා අවුලක් ජනපතිතුමා හට ගැන් වූයේ ය. එය ඔලුවෙන් හිට ගෙන කීවත්, පයේ ඇඟිල්‍ලෙන් හිටගෙන කීවත්, එක එකා ලවා කීවත්, මාධ්‍ය සන්දර්ශනයෙන් කීවත්, පොස්ටර් හෝ පහලොස් රියන් හෝඩින් ගසා කීවත් ව්‍යවස්ථා උල්ලඝනය 
 වනාහි ව්‍යවස්ථා උල්ලඝනයකි. අග්‍රාමාත්‍යවරයකු පත් කරන්නට නම් පළමුව අග්‍රාමාත්‍ය ධූරය පුරප්පාඩු විය යුතු ය; පුරප්පාඩු නොවූ ධූරයකට තවෙකෙක් පත් කිරීම පය බරවාට පිටකර බේත් බදින්නා වැනි අමණ ක්‍රියාවකි.

2. උක්ත කරුණ සනාථ කිරීමට හෝ යම්තාක් පිළිගත හැකයි දැක් වීමට මහාචාර්ය තුමා 43(3) මුක්කුවට ගනී. එහි දක්වා ඇත්තේ "ජනාධිපති වරයා විසින් කවර අවස්ථාවක වුව ද, අමාත්‍ය මණ්ඩලය වෙත පවරන ලද විෂය සහ කාර්යය වෙනස් කිරීම සහ අමාත්‍ය යණ්ඩලයේ සංයුතිය වෙනස් කිරීම ද කරනු ලැබිය හැක්කේ ය" යන්න ය. ඒ හෙයින් නලින් ද සිල්වා කියන්නේ විෂය පථය වෙනස් කිරීමෙන් අමාත්‍ය මණ්ඩලය බල රහිත වන කතාවකි. මෙහිදී නලින් ද සිල්වා මහාචාර්ය තුමා කරුණු දෙකක් අමතක කොට ඇත්තේ ය. පළමුව නම් මෙය නව පත් කිරීමක් නොවන බව ය; එසේ වන්නේ නම් 43(2) කොන්දේසිය ක්‍රියාත්මක වෙමින්, "ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කරනු ලබන අමාත්‍යාංශ භාරව කටයුතු කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, අමාත්‍යංශ සංඛ්‍යාව ද ඒ අමාත්‍යවරයාට පවරන විෂය කාර්යය ද නිශ්චය කළ යුත්තේ ය" බල ගැන්වෙයි. ඒ හෙයින් පවතින අතමැති තුමා විසින් ජනාධිපති වරයා ට උපදෙස් දීම යන්නේ අදහස් වන්නේ විධායකය එකාධිකාරී ලෙස හැසිරීම පාලනය යි. මෙයට කදිම පිළිතුරක් දෙන මහාචාර්ය තුමා පවසන්නේ, 42(4) හා 43(3) ක්‍රියාවට නැංවීම තුළ ජනාධිපතිවරයා අත්තනොමතික ලෙස ක්‍රියා කර නැති බවත්, එසේ කිරීම සඳහා යම් "නිමිත්තක්" අවශ්‍ය බව ය. ඒ නිමිත්ත සපයන මහාචාර්ය තුමා රනිල්ගේ අසිංහල, අබෞද්ධ, විදේශිය ස්වභාවයත් (ජනපති තුමා ද පැවසුවේ තමන් ගේ සංස්කෘතිය හා රනිල් ගේ සංස්කෘතිය නොගැළපෙන කතාවකි) දෙමළ ජාතිවාදීත්වට උඩගෙඩි දීමත් ය. එහෙම කල්පනා කරන විට ජනාධිපති වරයකු‍ට ඕනෑම "නිමිත්තක්" මතු කොට ගෙන "ජනාධිපති වරයාගේ මතය" සකසා ගත හැකි ය. දෙවන කරුණ වන්නේ 43(3)හි ජනාධිපති වරයා බලය ක්‍රියාකරන කල, එයට ම ඇමිණු කොන්දේසියක් ඇත. එනම්, "අමාත්‍ය මණ්ඩලයේ අඛණ්ඩ පැවැත්මට සහ පාර්ලිමේන්තුව වෙත අමාත්‍ය මණ්ඩලය දරන වගකීමේ අඛණ්ඩ පැවැත්මට එවැනි වෙනස් කිරීමක් බල නොපාන්නේ ය" එසේ නම් තවම නිත්‍යානුකූල (de jure) අමාත්‍ය මණ්ඩලය වන්නේ මුලින් පත් කළ අමාත්‍ය මණ්ඩලය ම ය.

3.       මහාචාර්ය තුමා නව තර්කයක් මතු කරන්නේ 46(2) භාවිත කරමින් ය; මෙය ද අනවබෝධයෙන් කියවා  පිළිබැසගත් තර්කයකි. ඔහු ගේ තර්කයට අනුව අගමැති කම පැවතිය හැකිකේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරාවට ය. මුළු වගන්තිය මෙසේ ය: "අග්‍රාමාත්‍යවරයා (අ) ස්වකීය අත්සන යටතේ ජනාධිපති වරයා වෙත යවන ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්වුවහෝත්; හෝ (ආ) තවදුරටතු පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු නොවුනහොත්; හෝ මිස, ආණඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේ ද ඒ තාක් කල් ස්වකීය ධූරය දරන්නේ ය." යන්න ය. ඒ හෙයින් මහාචාර්ය තුමා ගේ තර්කය වන්නේ 43(3) සිඳුවන විට 46(2) එම කරුණින් ම (ipso facto) අහෝසි වන බවකි; නැතහොත් අමාත්‍ය මණ්ඩලයේ වෙනස තුළින් අගමැතිවරයා ඉවක්වන බවකි. එනම් 43(3) = 46(2). එය නිකම් පරිගියා කොට්ටේ ගියා වැනි කතාවකි. අගමැති කෙනෙකු දිවුරුම් දීමට සැලැස්වීමෙන්, පළමුවෙන් ජනාධිපති වරයා කළේ වැරද්දකි. ඒ සඳහා ඔහුට ප්‍රතිපාදන නැත; පත් කරන්නා පහ කරන්නා මය කියන (ජනාධිපති වරයා පත් කළ එනයින් ජනාධිපති වරයා හට පහ කළ හැකිය) තර්කය බොහෝ රාජ්‍ය නිලයන් සඳහා බල නොපාන්නේ ය. හොඳම නිදර්ශනය වන්නේ අග්‍රවිනිශ්චයකාර පදවිය ය. එය එසේ මෙසේ සෙලවිය හැක්කක් නොව බව පෙනුනේ නමක් ගමක් නැති මොහන් පිරිස් වැන්නෙකු ඒ පුටුවේ වසර කිහිපයක් ගන්දබ්බයකු සේ සිට සේ ය. 43 වන අග්‍රවිනිශ්‍යකාර තුමියට පසු පත් වූයේ  44 වන අග්‍රවිනිශ්‍යකාර තුමන් ශ්ම‍රීපවන්හි මහතා මිස මොහාන්න්ද පීරිස් නොවේ. පාර්ලිමේන්තු ම තම ග්‍රහණයට නතු කොට නැටු කොලම් නැටුම විගඩමක් ම විණි. මහාචාර්ව තුමාට අනුව ඔක්තෝබරි 26 සිට ඔක්තෝබර් 29 දක්වා අමාත්‍ය මණ්ඩලයක් තිබී නැත. පැහැදිලි ලෙස පාර්ලිමේන්තුවේ "උපරිම විශ්වාසයක්" ඇතියි දැනගත නොහැකි විට, අමාත්‍ය මණ්ඩලය විසිරෙන්නේ කවර ප්‍රතිපාදනයක් යටතේ ද?


19වන සංශෝදනට පෙරාතුව ඉතා පැහැදිලි ලෙස අග්‍රාමාත්‍යතුමන් ඉවත් කිරීමේ පිළිවෙතක් පහත දැක්වෙන පරිදී තිබුණි:

"47. අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයෙක් හෝ වෙනත් යම් අමාත්‍යවරයෙක් හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙක්— (අ) ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ඉවත් කරනු ලැබුවහොත්; හෝ (ආ) ස්වකීය අත්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මගින් ලිපියක් මගින් ස්වකීය ධූරයෙන් අස්වුවහොත්; හෝ (ඇ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු නොවුවහොත් හෝ මිස, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවත්නේ ද ඒ තාක් ස්වකීය ධූරය දරන්නේ ය."  

එහෙත්, 19වන සංශෝදනය සමඟ එකී අවස්ථාව ඇහිරී ගියේ ය. අග්‍රාමත්‍යවරයා ධුරයෙන් ඉවත් වන්නේ 46(2) අනුව (අ) ජනාධිපති වරයා වෙන යවන ලිපියකින් ඉල්ලා අස්වීමෙන්; හෝ (ආ) පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු නොවීමෙන් ය. අනෙක් අතට අමාත්‍යවරයකු ඉවත් කළ හැක්කේ 46 (3) අනුව (අ) අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත ජනාධිපතිවරයා විසින් ඉවත් කිරීමේ ලිපියකින්; හෝ (ආ) ජනාධිපති වරයා වෙත යවන ඉල්ලා අසවීමේ ලිපියකින්; හෝ (ඇ) පාර්ලිමෙන්තු මන්ත්‍රීවරයකු නොවූ විට ය. එයින් පිට කිසිවෙක් ඉවත් කිරීම බැලූ බැල්මට ම හැකියාවක් නැත. මෙය ජනාධිපති වරයාට මෙන් ම මහාචාර්යවරයාට ද නොතෙරෙන්නේ මන්දැයි මට ද සිතා ගත නොහැකි කරුණකි.

4.       අමාත්‍ය මණ්ඩලය විසිරීම පිළිබඳ පැහැදිලි ප්‍රතිපාදන 48 වගන්තියේ ඇත්තේ ය. එහි අගමැති තුමා "අන්‍යාකාරයෙන්" ධූරය දැරිම නතර වූ අවස්ථාවට, නැවතත් 42(4) හා 43(3) ගෙනැවිත් විකාර කතාවක් ගොතයි. මෙහිදී "අන්‍යාකාරයෙන්" යන්නට පැහැදිලි නිර්වචනයක් නැති හෙයින් මෙසේ ඉලාස්ටික් නෛතික ප්‍රතිපාදන නිර්මාණය කළ නොහේ. එසේ කිරීමට ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් අර්තවිවරණයක් ගත යුතු ය; උසාවි පිළිබඳ විශ්වාසය බිඳුණු රටක සනරත් එන්. සිල්වා වැනි නීතිය නොපිට පෙරළා පසුව තමුන් එසේ කළ බව පිළිගත් අග්‍ර විනිශ්චය කරුවන් සිටි උපරිමාධිකරණයෙන් ලැබෙන තිණ්ඳු කිසිවෙකුටත් නිශ්චය වශයන් කවරක්දැයි කිව නොහැක. අනෙක් අතට සති දෙකට පෙර රාවය පුවත් පතේහි අගවිනිසුරු නලින් පෙරෙරා ගැන අදහස්ය දක්වමින් සයවන තැන හුන් උපරිමාධිකරණ විනිශ්චයකරුවෙකු අගවිනිසුරු වීම ගැනත්, ඔහු හා මහින්ද රාජපක්ෂයන් අතර වූ සමබන්ධතාවන් (එකම කාලයේ නීති විද්‍යලයේ සිටීම, එකට උපාධි ලැබිම හා ඡන්ද නඩුවක දී සමීප සම්බන්ධතා සලකා නඩුවෙන් ඉවත් වීම) කරුණු දැක් වීමෙන් ඉදිරි උපරිමාධිකරණ තීරණ ගැන වික්ටර් අයිවන්ගේ සන්තානයේ පවතින සැක සංකා පිළිඹිබු කරයි.

5.       අවසාන වශයෙන් මහාචාර්ය තුමා පවසන්නේ අනංමනං කතා නොකර පාර්ලිමෙන්තුවේ විශ්වාසභංගයක් ගෙනෙන ලෙස ය. එයටත් පාර්ලිමේන්තුව නොවැම්බර් 16 දක්වා කල් දමා ය. පාර්ලිමෙන්තුවේ විශ්වාසය ඇත්දැයි නැත්දැයි සිතා ගත නොහැකි තත්කාර්ය (de facto) අගමැති ගන්දබ්බයෙක් ඔක්තෝබර් 26 වන දින සිට අද දක්වා ඇත්තේ ය. ඒ ගන්ධබ්බයා සත්‍ය අගමැතියෙකැයි කියවන්නට ජනපති කැස කවා ගෙන දඟලයි. ඔළු ගෙඩි මාරු සෙල්ලමට දක්ෂ මහින්ද ගේ අත් සවී කිරීමට මන්ත්‍රීවරුන් ඩැහැ ගන්නට බැරිනම් ඔහුට ද සිදුවන්නේ වරක් ඔහු පත් කළ මොහන් පිරීස්ට වූ හදිය යි. එහෙත් ඉදිරි දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට ඇමති  ධූර ලාභෙට ඇතයි බොඩ් ලැල්ලක් නෙළුම් මාවතේ පාර දිගේ ගසනු ඇත. 

6.       මෛත්‍රී ජනපති තුමා ගේ අපරිණත දේශපාලන දැක්මට මෙම පත් කිරීම හොඳම නිදර්ශනයකි. වාසුදේව කී පරිදි "මෙය පොලිටිකල් ගේමකි." හදිස්සියේ ඇති වූ කලබලයත්, මොහන් පිරීස් වැනි නීති උපදේශකයන් විසින් දුන් ව්‍යවස්ථා දිරච්ච ලණුවක අනුභව කිරීමකි. ජනාධිපති තුමාට අගමැති තුමා ඉවත් කරන්නට අවශ්‍ය නම්, පාර්ලිමෙන්තුවේ විශ්වාසභංගයක් ගෙනෙමින් පරදන්නට තිබිණි. ඒ කරන්නට හැකියාවන් නැති බව විශ්වාසභංගය දිනීමෙන් පසු නැවත ගෙන ඒමේ හැකියාවක් නැතය යන අදහසක් මට මතක ය. විශ්වාසභංගයක් ඉදිරිපත් කළ නොහැකි නම්, පසුගිය මහින්ද පාලන සම‍ය මෙන් ඔළුගෙඩි හුවමාරුක් කර පාර්ලිමේන්තුවේ විශ්වාසය මහින්ද වෙත ඇති බව සනාථ කොට 42(4) ක්‍රියාවට නැංවීම ය. තෙවැනි කරුණ වන්නේ මුළු අමාත්‍ය මණ්ඩලයට විසුරුවා දැමීමට පියවර ගැනීම ය. තෙවනුව 48(1) පරිදි අගමැති ධූරයෙන් ඉවත් කරනු ලැබීම ය; මා සිතන පරිදි මෙහිදී 46(3) අමාත්‍යවරයකු ඉවත් කරන්නාක් මෙන් ලිපියක් යැවීමෙන් එය කළ හැකි වි ය. මේ කිසිවක් නොකර, දැන් කර ඇත්තේ හත්පොලේ ගාගන්නා දෙයකි. ඉතිහාසයේ පළමුවරට ඇත්තට ම තත්කාර්ය හා නිත්‍යානුකූල අගමැති වරුන් දෙදෙනෙකු පැවතීමටත්, අමාත්‍ය මණ්ඩල දෙකක් පැවතීමට ජනපති මගින් අත්තනොමතික ලෙස විධිවිධාන සැලැස්වීම ය. පාර්ලිමෙන්තුවේ උපරිම විශ්වාසය ඇත්තේ කාටදැයි ඉක්මනින් දැනගන්නා තුරු පැහැලි ලෙස මෙම ව්‍යවස්ථා අර්බුදයෙන් පිළියමක් නැත; ඒ සඳහා ඉක්මනින් පාර්ලිමේන්තුව රැස් කර විශ්වාස උරගා බලන්නේ නම් සියල්ලන්ට ම හොඳ ය. එසේ නොමැතිව කෙස් පැලෙන තර්කවලින් තමුන්ට කැමති පාර්ෂව ඔසවා තැබිමට වැර වීර්යය කිරීම නොවේ. කලින් තිබුනටත් වඩා අ‍ාණ්ඩුවක් ඇති නැති ගාණනට වැටි ඇති සේ ය. රාජ්‍ය යන්ත්‍රනය මගින් ගන්නා පියවර සඳහා වග වීමක් හා වග කීමක් නැත. රාජ්‍ය නිළධාරින් වැරදුන තැන ඔවුන් දඩුවම් විඳ හිරේ යා යුතු ය. වැඩක් කිරීම, අණක් පිළි පැදීම අවධානම් සහිත ය. රනිල් පැරදුනහොත් (බොහෝවිට විය හැකි දේ ලෙස එසේ නම්) 42 (4) යටතේ නව අගමැතිවරයකු දිවුරුම් දිය හැකි ය. හදිසියේ හෝ මහින්ද වෙත පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් නොමැති වූවහොත් ඇතිවන තත්ත්වය අතිශයින් ම බරපතල තත්ත්වයකි. අවසානයේ පෙනෙන දෙයක් ඇත; එනම් විධායකය දත් ගැළවූ නයෙකු නොව, තව ම විස වැහැරෙන රැහිරු රුපුවෙකි. අත්‍තනොමතික ලෙස හා කිසිදු වග කීමක් වග වීමක් නැති සේ ස්වකීය මුක්තිය රස විඳින එකාධිකාරයෙකි.

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...