Monday, November 12, 2018

දැන දැන රැවටීම: ජනපති තුමාගේ අතේපත්තුවන බොරු



පසුගියදා ජනාධිපති වරයා විසින් අත්තෙනෝමතික ලෙස කරනු ලැබූ ව්‍යවස්ථා උල්ලංඝනයන් ගේ මස්තකස්ප්‍රාප්තිය පාර්ලිමේන්තුව විසුරුවා හැරීම යි. තමුන් කළ වැරදි සහගත හා බලලෝභි ක්‍රියාවලියේ අවසානය තමුන් බලයට පත් වී ඇති ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම යි. ව්‍යවස්ථාව උල්ලංඝනය කරා යන්න ජනපතිවරයකු වශයෙන් දියුරුම් දෙන අවස්ථාවේ දී පවසන පොරොන්දුව කඩ කිරීමකි. කරුණු එසේ නම් දැන් ලංකාවේ ජනපති, වත්මන් අගමැති මෙන් තත්කාර්යය ජනපති වරයෙකි. ඔහුට දොෂාභියෝග එල්ල කළ යුතු නැත. ඔහු විසින් ම ඉල්ලා අස්විය යුතු ය. දෙවනුව එතුමා හැල්ලූවට ලක්කළේ ලංකාවේ සියලුම නීතීන් ගේ පදනම වන ව්‍යවස්ථාවයි. ඒ හෙයින් එතුමා රැදී සිටිනා තුරු ඇත්තේ අවනීනිතිය මිස, වෙනකකක් නොවේ.

ඔහුගේ ලදබොලඳ තර්ක දෙස අපගේ අවධානය යොමු කරමු. පළමු තර්කට ජී.එල්. පීරීස් මෙන් බොල් තර්කයකි:

"මෙහි දී මා මතක් කරන්න  ඕන අපි දේශපාලන තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඔබේ මතකය මම යොමු කරනවා 2015 ජනවාරි 08 වෙනිදා පැවති ජනාධිපති මැතිවරණයෙන් පසුව ඊට පසුදා ජනාධිපති ධූරයේ දිවුරුම් දී, ඊට මොහොතකට පසුව ගරු රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත් කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර මණ්ඩලයේ 225 න් 162 ක බලයක් තිබූ දි.මු ජයරත්න මහතා ඉවත් කර. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා පත්වුණේ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 41 ක් තිබියදී. ඒ අවස්ථාවේ අද කතා කරන බහුතරය පිළිබඳව කථා නොකළ  බව ඔබේ මතකයේ තිබෙනවා.

බොහෝ විට සම්ප‍්‍රදාය වන්නේ "ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි" "පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයකගේ කැමැත්ත ගත හැකි" මන්ත්‍රී‍රවරයෙකු, අගමැතිවරයා වශයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන එකඟතාවයන් අනුව පත් කිරීම. එසේ පත්කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගැනීම සඳහා කෙරෙන ස්ථාවර නියෝග, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නීති රීති යටතේ කටයුතු කරනු ලබනවා. එහෙත් අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුවට යන පළමු දිනයේදීම කිසියම් ආකාරයක ඔහු කෙරෙහි විශ්වාසය තිබේ ද යන්න බහුතරය විමසීමේ ඡන්ද විමසීමක් කිසි දවසක අපේ පාර්ලිමේන්තු සම්ප‍්‍රදායේ සිදුවී නැහැ. ස්ථාවර නියෝග තුළ එවැන්නක් සිදුවන්නෙත් නැහැ."

මෙතන ඇති පළමුවැනි මුසාව වන්නේ ව්‍යවස්ථාවේ කිසි තැනක "ජනාධිපතිවරයාට විශ්වාසය තැබිය හැකි" කියා ප්‍රතිපාදනයක් ව්‍යවස්ථාවේ නැත. එවතට පැවති ව්‍යවස්ථාව (19 වන ව්‍යවස්ථා සංශෝධනයට පෙර) 43(3) මෙසේ ය: "පාර්ලිමේකිතුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා කල්පනා කෙරේ ද ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ යුත්තේ ය" ඒ හෙයින් ජනාධිපති වරයා ගල් පැලෙන බොරු කියා ඇත. දෙවනුව, අගමැති වශයෙන් රනිල් වික්‍රමසිංහයන් පත් කළ විට, ඒ සඳහා විරෝධතාවක් පාර්ලිමෙන්ත්‍රවේ මන්ත්‍රීවර්න් ගෙන් පැමිණියේ නැත. වෙනස් කරන ලද, නිල තලවල සිට ම පුර්වයෙන් එකඟ වූ පරිදි ශුභාශිංසන නිකුත් කළ බව 2015 ජනවාරි 20 හැන්සාඩ් වාර්තාව කියවීමේ දී පසක් වෙයි. තෙවනුව, ඔත්තෝබර් 27 වෙනිදා පැවතුනේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සහිත ව්‍යවස්ථාවක් වන අතර, එහි පුරප්පාඩු නොවූ අගමැතිවරයකු ඉවත්කර නව අගමැති වරයකු පත් කිරීමට ප්‍රතිපාදන නැත.

එතුමා ගේ දෙවන ප්‍රකාශය බලන්න:

"නමුත් පාර්ලිමේන්තුවේ ඒ තිබූ සම්ප‍්‍රදායන් කඩ කරමින් ගරු කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරනු ලැබු නිවේදන අංක 02 යටතේ, එතුමා නිකුත් කළ පළමු නිවේදනයේ සඳහන් වුණා මහින්ද රාජපක්ෂ මහතා පිළිගනිමින් අගමැතිවරයාට තිබෙන අයිතිවාසිකම් හා වරප‍්‍රසාද පාර්ලිමේන්තුවේ හිමිකරන බව. ඒ කියන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට අයත් පාර්ලිමේන්තුවේ ආසනය. ඒ වගේම පාර්ලිමේන්තුවේ අග‍්‍රාමාත්‍ය කාර්යාලය. එය පළමු ප‍්‍රවෘත්ති නිවේදනයේ තිබුණත්, ඊට දින කිහිපයකට පසුව නිකුත් කළ දෙවැනි ප‍්‍රවෘත්ති නිවේදනය ඊට වඩා හාත්පසින්ම වෙනස් වූ ප‍්‍රවෘත්ති නිවේදනයක් බවට පත්වුණා. එහි එතුමා කියා සිටියා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පිළිගන්නා බව. මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී ඒ ඇතිවූ තත්ත්වය මා දැඩි ලෙස අවධානයට යොමු කළා."

ජනපති තුමා පවසන්නේ අවසානයේ කතානායක වෙත 116කින් යුක්ත විශ්වාස ප්‍රකාශයක් නිකුත් කළ කල, කතානායක වරයාට කළ හැක්කේ බහුතරය විමසීමට මිස, ජනපතිතුමා කළ මොඩකමට සම්මාදම් වීම නොවේ. කතානායක වරයා ඇතිතේ ජනපතිගේ අයිතීන් ආරක්ෂා කරන්නට නොව, පාර්ලිමේන්තු සාමාජීකයන් ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ය. මෙය එංගලන්තයේ දී රජවරු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවර්න් අතර, අර්බුධ ඇතිවි රජය විසින් අත්අඩංගුවයට ගැනීමට පැමිණ් අවස්ථාවල කතානායකවරයා පැහැදීලි ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීන් ගේ පාර්ෂවය ගෙන ඇත. බ්‍රිතාන්‍යයේ පියුරිටන් පාලන සමය ආරම්භ වන්නට පෙර චාල්ස් රජ විසින් පාරිලිමෙන්තුව වැටළු අවස්ථාවේදී කතානායකයා ගේ ක්‍රියා කලාපය එබදු ය. ජනපති අවබෝධ කොට ගත යුතුතේ ව්‍යස්ථාදායකය යනු ජනපතිගේ අතකොළුවක් හෝ රබර් සීලයක් ගෝ අතවැසියක නොවන බව ය. එය ස්වාධිනය; විධායකය හැ සමාන බලයක් හා අයිතිවාසිකමක් එයට ඇත. ඒ බලය ලැබෙන්නේ ව්‍යවස්ථාව නැමති උත්තරීතර නීති ලියවිල්ල කරණකොට ය. නිතීපති ද ඊයේ ප්‍රකාශ කළේ වල්බූරු කතාවකි; ඔහු කීවේ ජනාධිපති උසැවියට ගෙන ඒමට නොහැකි නිසා එතුමා ගේ ක්‍රියාවක් උසාවිය මගින් විමර්ණය කළ නොහැකි කතාවකි. එසෙ නම් ව්‍යවද්ථාව කඩ කරමින් ජනපති හැසිරේ නම් ඔහු පත්කළ ජනතාවට කළ හැක්කේ කුමක් ද? දෙවියන් යැදී ම පමණක් ද?

එතැන් පසුව ජනපති තම ක්‍රියාව සාධාරණිය කරන්නේ මීනි මැරීම් වන්න පුළුවන් නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරි බව ය. පාර්ලිමෙන්තුවේ ආරක්ෂාව කතානායක වරයා ගේ කාර්යයක් මිස, ජනපතිට අයිති කරුණක් නොවේ. දෙවනුව, පාර්ලිමෙන්තුව තුළ මිනීමරාගැනීම හෝ කළහකාරී හැසිරීම මත පාර්ලිමෙන්තුව විසුරුවා හැරීමට ප්‍රතිපාදන නැත. පහත දැක්වෙන්නේ ඒ බොළඳ කතාවයි:

"ඒ වගේම දෙපාර්ශ්වයේ ඇතැම් මැති ඇමතිවරුන්ගේ ප‍්‍රකාශ නිකුත් වුණා, මාධ්‍ය තුළ විවිධ සාකච්ඡා මගින්, 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේදී විශාල ගැටුමක් ඇතිවන බවත්, ඇතැම්විට කිහිප දෙනෙකුගේ මරණය පවා සිදුවිය හැකි බවත් ඇතැමුන් ප‍්‍රකාශ කළා. එසේ එම සිද්ධිය සිදුවීමට මම ඉඩ හැරියා නම් 14 වෙනිදා පාර්ලිමේන්තුව රැස් කර එම ගැටුම ඔබෙත්,  මගෙත් මේ ආදරණීය මාතෘ භූමියේ නගරයක්, ගමක් පාසා ඇතිවන ගැටලූ සහගත තත්ත්වය, විශේෂයෙන්ම රටේ  සිවිල් ජනතාවට අතර කලබලයක්, බරපතළ තත්ත්වයක් නිර්මාණය වන බව පෙනී ගියා.

ඒ නිසා ඒ සියල්ලටම වඩාත් සුදුසු විසඳුම වන්නේ ඒ 225 හේ ගැටුම්සහගත තත්ත්වයක් එහි නිර්මාණය වෙමින් රට පුරා විශාල ගැටුම් සහගත සාමය කඩවන තත්ත්වයකට රට පත් වීමට ඉඩ හැරීම නොව මගේ වගකීම සහ යුතුකම වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උසස් ලෙස ගුරු කොට සලකමින් නිදහස් සාධාරණ යුක්ති සහගත මැතිවරණයක් සඳහා මන්ත‍්‍රීවරු තෝරා පත් කර ගැනීමටත් මේ තිබෙන තත්ත්වයන් විසඳා ගැනීමටත් අපේ රටේ පුරවැසියන් ඡුන්ද බලය හිමිවූ ලක්ෂ එකසිය පනහක සංඛ්‍යාවට එම බලය පැවරීමත්. ඒ නිසා මන්ත‍්‍රීවරු අතරේ ඇති වූ දූෂිත තත්ත්වයත් කථානායකවරයාගේ ක‍්‍රියා කලාපයත් ගැටුම් සහගත තත්ත්වයන් නිර්මාණය වීමත් මේ සියල්ල සැලකිල්ලට ගනිමින් ඇති වූ දේශපාලන අර්බුදය විසඳා ගැනීම සඳහා සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්තිසහගත වූත් සාධාරණ වූත් තීන්දුව විය යුත්තේ එය පොදු ජනතාවට භාරදීම යන ඒ උතුම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පරමාර්ථය ඉටු කරමින්  තමයි මම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළේ. ඒ තුළින් දැන් තිබෙන තත්ත්වයට පැහැදිලි ස්ථිරසාර විසඳුමක් මහ මැතිවරණයකින් ඇති වන බව ප‍්‍රකාශ කරන්නට  ඕනෑ."

ප්‍රජාතන්තුවාදය කඩකළ ජනපති වරයකු, ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උලතියූ මහින්ද රාජපත්ෂ හා ඔහුගේ කැබිනට් මණ්ඩලය යුක්තිසහගත ඡන්දයක් තබන්නට අවසර දෙයි ද?එහි දී ඇතිවන ගැටුම් හා පාචන්ඩත්වයෙන් ජනතාව අතර කී දෙනෙකු මරණයට පත්වනු ඇති ද? මුලින් ම ගැටුම අර්භකොට රටත්, ව්‍යවස්ථාදායකයත් අර්බුදයකට හෙලුවේ ජනපති නොවේ ද? උක්ත ප්‍රකාශයෙන් විශේෂයෙන් ම "මගේ වගකීම සහ යුතුකම" හා "සුදුසුම ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුක්තිසහගත වූත් සාධාරණ වූත් තීන්දුව විය යුත්තේ" යන වචනවලින් වසන්නට උත්සහ ගන්නේ අත්තනොමතික ක්‍රියාවන් සැඟවීම ය.

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...