Monday, January 25, 2010

රු. 350 පොහොර නාඩගම හෙවත් ලාංකික කෘෂි සමෘධි මිත්‍යාව

පසුගිය දිනක "සත්දින" අඩවියේ ලියවුණු ලිපියක් සඳහා ප්‍රතිපිළිතුරු සපයමින් රු. 350න් පොහොර නිසා ලංකා කෘෂිකර්මය දියුණු වූ බව හෝ ගොවිතැන ආරක්ෂා වූ බව ලියා තිබිණ. ඒ සඳහා කෙටි සටහනක් තැබීමට මගේ යුතු කම ය. මේ විෂය කෙරෙහි දිර්ඝ ලිපියක් පසුව ලීවීමට අපේක්ෂා කරමි.


රු. 350හේ පොහොර මිටිය අමු ම අමු ඡන්ද ගුණුඩුවකි. එය මේ මැතිවරණයට මහින්ද පොරොන්දු වූවත්, ‍සරත් පොරොන්දු වුවත් එය ජනතාව රැවටිමකි.


පළමුවෙන් ම, පොහොර සහනාධාරය නිදහසෙන් දශකයකට පසුව දිගින් දිගට ම පැවතිණ. සෑම ආණ්ඩුවක් විසින් පොහොර සහනශිලී මිළකට ලබා දීම සඳහා යම් තාක් මැදිහත් වීමක් කරන ලදී. චන්ද්‍රිකා ආණ්ඩුව පැවති සමයේ අවසාන කාලයේ යුරියා මිළ රු. 650ව පැවතිණි. රනිල් පොහොර සහනාධාරය වැඩි කොට, රු 500 දෙන බවට පොරොන්දු විය. මහින්ද ජයග්‍රහණය සඳහා වූ අපේක්ෂාවෙන් රු 350 පොහොර මිටිය දෙන බවට පොරොන්දු විණ. ඡන්දය ජයග්‍රහනයෙන් පසුව යුරියා රු 350ට දෙන ලදී. එහෙත් සාර්ථක වී වගාවක් සඳහා යූරියා පමණක් ප්‍රමාණවත් නොවේ.


විවගාවේ අක්කරයක් සඳහා යුරියා මිටි දෙකක් ද, ට්‍රපල් සුපර් පොස්පෙට් (TSP) මිටි 2-1.5ක් ද, ම්‍යුරෙට් ඔෆ් පොටෑෂ් (MOP) මිටියක් ද අවශ්‍ය ය. අද සාමාන්‍ය වෙළඳ පළේහි යුරියා මිළ 1500-2000 අතර උච්චාවචනය වේ. එලෙසින් ම, අනෙකුත් පොහොර වර්ගවල ද මිළ වෙනසක් නොමැති ව ඉහළ යයි. රු. 350 යුරියා මිටි දෙකක් අක්කරයට දමන විට අනෙක් වර්ගයේ පොහොර සඳහා වී ගොවියා සමාන්‍ය මිළ ගෙවා අනෙක් පොහොර මිලයට ගත යුතු ය. මක් නිසාද ඡන්ද ගුණුඩුවෙන් ආවර්ණය වන්නේ රු. 350හේ යුරියා පොහොර පමණි. මෙයින් ම මේ රැවටිමේ තරම පෙනේ.


අනෙක් අතට, වී ගොවිතැන හැර අනෙක් කිසිදු කෘෂිකරම වගාවකට රු. 350හේ යුරියා පොහොර ලැබෙන්නේ නැත. පසුගිය දවසක මේ සහනාධාරය උක්වගාවට ලබා දෙන ලෙසට ද, කුඩා තේ හිමියන් විසින් මෙය තේ වගාවට ලබා දෙන ලෙස ද, උඩරට එළවළු වගා කරන්නන් එය එළවළු වගාවට දෙන ලෙසත් ආණ්ඩුව වෙත කන්නලවු කරන ලදී.


මේ පොහොර රැවටීම පිළිබඳ අජිත් කබ්රාල් පවසන්නේ:


"පොහොර මිල ගණන් සම්බන්ධව ගෙන බැලූ විට, අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට සමගාමී ව යූරියා පොහොර මිල පමණක් අඩුවී ඇත. අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් ලෝක වෙළෙඳපොළ තුළ තවදුරටත් ඉහළ මට්ටමක පවතී. රජය විසින්, පොහොර සහනාධාර ලබාදෙන බැවින් පොහොර මිල ගණන්වල වෙනස්වීම පාරිභෝගිකයාට එතරම් බල නොපානු ඇතැයි අපේක්ෂා කෙරේ."


යුරියා සහනාධාරයෙන් පාරිබෝගික සහනය ලැබෙන අජිත්ගේ විගඩම් ප්‍රලාප මොඩයන්ට නම් හොඳ ය. අනෙක් පොහොර මිළ සිඝ්‍රයෙන් ඉහළ යන විට වී ගොවීන්ට පමණක් ලැබෙන රු 350 යුරීයා මගින් සමස්ථ ලාංකික ජනතාවගේ ජීවන වියදමට ඇති ප්‍රතිපලය කුමක් ද?


හැමදාම මුහුණ බලා බොරු කියන ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයා වන බන්දුල ගුණවර්ධන පවසන්නේ:


"2003 දී රුපියල් 850 ට දීපු පොහොරමිටිය ලෝක වෙළෙඳ පොළේ අසාමාන්‍ය ලෙස පොහොර මිල වැඩිවෙලා තියෙද්දිත් රුපියල් 350ට ලබා දෙනවා. 2003 දී පොහොර සහනාධාරය ට වියදම් කළේ බිලියන 2 යි.

ගිය අවුරුද්දෙ පොහොර සහනාධාරයට වියදම් කළ මුදල බිලියන 26. 2003 ට සාපේක්‍ෂව පොහොර සහනාධාර වියදම පමණක් 1200% කින් රජයට වැඩිවෙලා. රජය මෙය සළකන්නේ නිෂ්පාදන සහනාධාරයක් ලෙස නෙවෙයි, කෘෂිකාර්මික අංශය සඳහා කෙරෙන දිගු කාලීන ආයෝජනයක් හැටියට. ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීමකින් තොරවම ආනයනික කෘෂිකාර්මික ද්‍රව්‍ය වෙනුවට ආනයන ආදේශන කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොමු වෙලා තියෙනවා."


පොහොර සහනාධාරයක් දීම තුළින් දිගු කාලීන වාසියක් ලැබෙන්නේ කෙසේ ද? ලංකාවේ වී මණ්ඩලය බොඩ් ලැල්ලට සීමා වී පවතින විටත්, වී සැකසුම් මධ්‍යස්ථානවල උපකරණ මළකා අබිලි යකඩ බවට පත්වන්ට ඉඩ දී ඇති කාලයකත්, කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවලට පක්ෂයේ සහචරයන් යට සිට උඩට අනුගත කරන විටත්, ‍සහල් මුදලාලීවරුන් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරයේ දංගෙඩියට අහිංසක වී ගොවියාගේ අස්වන්න හිරකොට ඇති ආණ්ඩුවක කෘෂිකර්මයේ දිර්ඝ කාලීන ආයෝජන බේගල් කොණ්ඩේ බැඳපු චීන්නුන්ට නම් හොඳ ය.


ආණ්ඩුව පවසන්නේ යුරියා සහනාධාරයෙන් 14%ක වී වගාවේ වර්ධනයක් ලැබූ බව ය:


"වත්මන් රජය ගොවීන්ට න් රු. 350 කට ‍පොහොර ලබාදීම සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 101888.36 ක් වැය කර තිබෙන බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යංශය පවසයි.

මෙම මුදල 2005 සිට මේ දක්වා වන අතර මේ තුළින් කෘෂි කර්මානත්යේ දැවැන්ත ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බවද රජය පවසයි.


මෙහි ප්‍රතිඵලයක් ලෙස 2007 සිට වී නිෂ්පාදනයේ 14% ක වර්ධනයක් ඇති වී තිබෙන අතර වී අලෙවි මණ්ඩලය මගින් නැවත ස්ථාපිත කළ සහතික මිල යටතේ සාර්ථක ලෙස වී මිලදී ගැනීම සිදු කෙරේ.

එමෙන්ම සෙසු ආහාර භෝග නිෂ්පාදනය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර නව ගෙවතු වගා 6,08205 ක් ද සංවර්ධන‍ය කෙරෙන බව අමාත්‍යංශය පවසයි."


ලංකාවේ පොහොර සහනාධාරය දෙන්නේ අද ඊයේ නොවේ. දැනට දශක හතරක සිට පොහොර සහානාධාරය සපයනු ලැබේ. මේ පිළිබඳ ලිය වූ පර්යේෂණ පත්‍රීකාවක් එච්. කේ. ජේ. එකනායක "The Impact of Fertilizer Subsidy on Paddy Cultivation in Sri Lanka" විසින් ප්‍රකාශයට පත්කොට ඇත. ඔහුගේ අවසාන විශ්ලේශනයේ දී, වී වගාව සඳහා සහනාධාරය දීම තුළින් පොහොර භාවිතයේ විශේෂ වෙනසක් නොමැති බවත්, මිළ වැඩිවන විට ගොවියාගේ ලාභයට වෙනසක් විය හැකි බව ප්‍රකාශ විණ. එහෙත් මේ සහනාධාර කෙටිකාලීන සහල් මිල කෙරෙහි බලපාන අතර, එසේ ම, යුරියා සඳහා පමණක් කැපී පෙනෙන සහනාධාරයන් සැපයීමේන් තුළිත ලෙස, නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් වී වගාවට නොලැබෙන බවත් ඔහු විසින් දක්වා ඇත. ඒහෙයින් ඔහු නි‍ර්දේශ කරන්නේ, කෘෂිකර්ම ක්ෂේත්‍ර නිළධාරින් ලවා නිවැරදි භාවිතයට ගොවින් යොමු කිරීමත්, එයින් නිෂ්පාදන වියදම අඩු කළ හැකි බවත් දක්වයි. අනෙක් අතට, ඔහු ස්වකීය පර්යේෂණය අවසාන කරන්නේ සහනාධාරයෙන් නොනැවති, සහල් මිළ පහත හෙළිමට, අනෙකුත් කෘෂිකාර්මික යටිතල පහසුකම් සහ වෙළඳ පසුතලයක් යොමු කිරීම කළ යුතු බව දක්වයි.


ලංකාව අනෙක් රටවල් වලට සාපේක්ෂ ව අතිශය සශ්‍රීක රටකි. පණැති දණ්ඩක් විසි කළ කල්හී, දළු ලා වැඩෙන තරම ට ස්වභාවික දේශගුණය හිතැති ය. එහෙත් ඒවන් වටිනා රටක කෘෂිකර්මය වල පල්ලට යවන්නේ අඥාන දේශපාලකයන්ගේ අදීන අදුරදර්ශි ක්‍රියා කලාපයන් නිසා ය. මිනිසුන් ගොනාට ඇන්ද වීමට, ඡන්දයට ලකුණු ගැනීම පමණක්, "අපි වමමු-අපි (මා) හැදෙමු" යන විකාර නොදොඩා, කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන්ට කෘෂිකර්මය දියුණු කළ හැකි දිර්ඝකාලින සැලසුමක් ගොඩ නගන්නට සලසන්නේ නම් මැනවි.


අවශ්‍ය නම් ලංකාවේ පොහොර නිශ්පාදනය කිරීමට හොද හැටි අවකාශ තිබේ. යුරියා සඳහා යොදා ගන්නේ වායුගෝලයේ නයිට්‍රජන් උත්ප්‍රේරක ආශ්‍රීත ප්‍රතික්‍රියාවකි. අනෙක් අතට ට්‍රිපල් පොස්පෙට් සඳහා එප්පාවල පොස්පෙට් භාවිතයට ගෙන රසානික ලෙස සැකසීක කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය සල්ෆියුරික් අම්ල වානේ කර්මාන්තය ආශ්‍රයෙන් ලබා ගත හැකි ය. එහෙත් මේ යෝජනා ක්‍රියාවට නැංවීම මා මෙහි සටහන් කරන අයුරින් පහසු නැත. එහෙත් රට කෙරෙහි ආදරය කරන නායකයකු හට අනාගත පරපුර සහ රටෙහි අනාගතය වෙනුවෙන් කළ හැකි දෑ සීමාවක් නැත.


අද භාවිත කරන බොහෝ බීජ දෙමුහුන් බීජ වන අතර, මෙතුවක් මා දන්නා තරමට දෙමුහුන් බීජ නිශ්පාදනය සඳහා රාජ්‍ය අංශය ඉදිරිපත් වී නැත. පටක රෝපණය මගින් කෙසෙල් වගාව ප්‍රචාරනය සඳහා පෞද්ගලික ආයතන ක්‍රියා කරන විට, සුදු මැස්සන්ගේ රෝගය බොවී පැපොල් වගාව ලංකා ධරණි තලයෙන් සහමුලින් මැකි යන තුරු කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව බලා සිටියේ ය. ඒපමණ දීන තත්ත්වයකට ලාංකික කෘෂිකර්මය පත් වීමට වග කිවයුත්තේ මේ මෝඩ දේශපාලක රැල යි; ජනතාව ගොනාට අන්දවන ඡන්ද ගුණ්ඩු යි; ඒවා ගිලින තකතීරු, පුරසාරම් දොඩන අමනොඥ පක්ෂ ගැත්තන් රොත්ත යි.

ධම්මට පිළිතුරක්: "හබරළ කොළයෙන් විළි වසා ලන්නට තැනීම" (නැවත පළ කිරීමක්)

[මෙම ලිපිය නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සැලකුව මැනව෴]


පසුගිය සතියේ ධම්ම දිසානායක විසින් දිවයින පුවත්පතට ලිපියක් සපයමින් "මහින්ද දිනවිය යුතු ද? විපක්ෂය පැරදවිය යුතු ද?" යනුවෙන් සමාජ කථිකාවකට එළැඹුණි. හෙතෙම මේ ලිපිය ආර්ම්භ කරන්නේ, විපක්ෂය පරදා මහින්ද දිනවිය යුතු යි යන ප්‍රස්තුතය පෙර දැරි කොට, කරුණු ගොණු කරමින් ය. එහිදී, ලිපිය සඳහා අතිරේක බරක් හා ආධිපත්‍යක් ඇති ‍කිරීමට "විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක උගන්වන ගුරුවරයෙක්‌ විදියට මම එහෙම කියන්නේ ඇයි" වගන්තිය ද යොදයි.


ඔහු ස්වකීය ස්ථාවරය සඳහා කරණු ගෙන හැර පෑම සඳහා ව්‍යාජ ලෙස නිර්පාර්ෂික සහ වාස්තිවික ලෙස සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දැක්වීමට මෙසේ කියයි:


"මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නොවේ. යම් කිසි දේශපාලන පක්‌ෂයක සාමාජිකත්වය ලබාගැනීමේ බලාපොරොත්තුවක්‌ ද නැත. එහෙත් මටත් දේශපාලන දැක්‌මක්‌ තිබෙනවා. ඒ නිසා අපේ රට ජාතිය මුහුණ දෙන තීරණාත්මක දේශපාලන, ආර්ථික, සමාජ සංස්‌කෘතික කාරණාවලදී පැත්තකට වෙලා භාවනා කිරීමේ පුරුද්දක්‌ මට නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත්විය යුතු තීරණාත්මක මොහොතවල්වලදී අපි කරපු මැදිහත්වීම්වල ප්‍රතිඵල ඉතාම සාධනීයයි."


හෙතෙම, 1994දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ බව පුරාජෙරු දෙඩිමක් ද කර යි. පාන් ගෙඩිය 3.50කට දෙන පොරොන්දුව කරපින්නා බලයට පත් වූ චන්ද්‍රිකා ආණ්ඩුව කළ හදිය සහ කොටින් සඳහා උතුරු නැගෙනහිර සන්ධාන ගත කරන පිණිසත්, ශ්‍රී මහා බෝධියේ සිට දළදා මාළිඟා ප්‍රහාරය දක්වාත්, අලිමංකඩ සිට සියලු ම හමුදා කදවුරු අහිමි කර ගනිමින් හමුදා ජීවිත 5,000 පමණ විනාශ කිරීමට පාදක වූ රෙජිම බලයට පත් කිරීම පිණිස ඔහුට විළි ලැජ්ජාවක් නැති. ප්‍රසිද්ධ දේශන අවස්ථාවන්හි දී, චන්ද්‍රීකා අණ්ඩුව පට්ට ගැසූ ධම්ම නැවතත් නිර්ලැජ්ජිත ලෙස මුල් මැදිහත් වීම පිළිබඳ පුරාජෙරු දොඩ යි.


හෙතෙම ස්වකීය නොමග යෑම පිළිබඳ දුක් වෙනවාට වඩා එය සාධාරණිය කරනය කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි හා අවුරුදු 17ක දෝෂ ඉස්මතු කරමින් ය. එලෙස හයෙන පහක බලවත් නොමනා පාලනයක් ඇති වීම සඳහා වාමාශික කැඳ හවුලේ 1970-1977 කාලයේ ක්‍රියා කලාපය සංදර්භයෙන් ලොප් කොට ඇත.


1994 ඇති වූ ජනතා හැරීමට මූලික වූ කරුණ වුයේ වන්ද්‍රිකා එවකට පියකරු කන්තාවක් වීම සහ ප්‍රේමදාසගේ ඝාතන රැල්ල යි. ප්‍රේමදාස රෙජිම විසින් තමුන්ට අභියෝගයක් විය හැකි ලලිත්, ගාමිණි, විජය වැනි දේශපාලන නායකයන්ගේ දිවි තොර කරන ලදි. එනයින් ඇති වූ රික්තකය ප්‍රේමදාසගේ ප්‍රචණ්ඩත්වය හා ජන්ද මංකොල්ල නැමති සාධකය ඉවත් වූ විට 60% ඡන්ද ප්‍රතිශතයක් ලැබිණ. එහෙත් අවසාන ප්‍රතිපලය කුමක් ද? ප්‍රේමදාස විසින් ගෙනෙන ලද සිඝ්‍ර ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහතට වැටී අවසානයේ නිසල නැවතුමකට වැටිණ. දැන් ආර්ථිකය අධික අවපාතයකට පත්ව ඇති අතර සුනාමි ආධාර වලින් ලැබූ විදේශිය මුල්‍යයන් හේතුවෙන් යන්තමින් නියෙන් දතින් ලංකා ආර්ථිකය එල්ලී පවති.


ඔහු එදා පැවති පාලනය මෙසේ විග්‍රහ කරයි:


"එජාපය පරාජය වෙනකොට ඔවුන් ගියේ යන යකා කොරහක්‌ බිඳගෙන ගියා වගේ. අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විජාතික කඩපොළක්‌ බවට පත්කරලා අපේ ජන සමාජය බඩගෝස්‌තරවාදී පරිභෝජනවාදී අන්තවාදී පුද්ගලිකත්වයකට තල්ලු කරලා. ජාතික සංස්‌කෘතිය මුළුමණින්ම විනාශ කරලා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වලපල්ලට යවලා. රාජ්‍ය දේපළ විකුණලා, මුළුමනින්ම රාජ්‍යයේ ස්‌වාධීනත්වය හා අභිමානය විදේශවලට යටපත් කරලා. 94 ආපු ආණ්‌ඩුවට ඒවා යළි සකස්‌ කරන්න බැරිවුණා. හැබැයි මරණය වෙනුවට ජීවිතය තරුණ අපිට ලබාදුන්නා ඒ ඇති."


අද තත්ත්වය මේ සඳහන් කරන සදහන් කිරීමෙන් වෙනස් වන්නේ කෙසේ ද? ගත වූ අවුරුදු 15 තුළ ධම්ම දක්වන ක්ෂේත්‍රයන්ගේ ඇති වූ වර්ධනය වරක් ද? පිළිතුර කිසිත් නැත. ක්‍රමයෙන් තත්ත්වය අසාධ්‍ය වනු මිස, අනෙක් සියලු අහේතුන්ට නිදහසට කරුණ ලෙස යුද්ධය පෙන්වා මහජනතාව රවටා ඇත.


කෘත්‍රීම ලෙස ජන මතය වෙනස් කිරීම සඳහා ඇමති, නියෝජ්‍ය ඇමතිකම් නැමති පගා දී, මහින්ද සුවිශාල කැබිනට් හා නොන් කැබිනට් ඇමති මණ්ඩලයක් ද, සුරාගෙන ගසා කන්නෝ රොත්තක් ද වට කොට ගත් මහින්ද හට කළ හැකි සංවර්ධනයක් නැත. බලය රදාවා ගැනීමේ කෲරතර පාපකර්මයේ යෙදෙන විට ඒ සඳහා බර පැන ගෙවිය යුත්තේ මහජනතාව යි; අනාගත පරපුර යි.


ස්වල්ප දෙනෙකුගේ සැප විහරණය සඳහා ලංකා මාතාවගේ අනාගතය උකස් කරමින් සිටින මහින්ද රෙජිම, විධායක ජනපති බලය භාවිත කරමින් අධිකරණය හා ඡන්ද කොමසාරිස් වෙත ද අනියම් බලපෑම් කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ස්ථම්භයන් වන අධිකරනය හා විව්‍යස්ථාදායකය හෙවත් පාර්ලිමෙන්තුවට ඍජු ව මහින්ද මැදිගත් වී බලය රැක ගැනීම පිණිස බලපෑම් කර ඇත. පගාදී විපක්ෂයේ මහජන නියෝජිතයන් බිළි බා ගනිමින් ව්‍යවස්ථාදායකයට ජනපති ගේ අදුරු සෙවනැල්ලට නතු කර ගත්තේ ය. එලෙසින් ම, අධිරණය විසින් දුන් තීරණ වන හෙජින් ගිවිසුම හා ඛණිජ තෙල් මිළ අඩුකිරීමේ සිට, ඡන්ද කොමසාරිස්ගේ නියෝජිතයා ඉවත් කර ගැනීම දක්වා කළ ස්වාධින ආයතන විධායක ජනපතිගේ ඇඟිලි ගැසිම, තවත් වරක් බලයට පැමිණි විට අති විශාල ලෙස කරනු ඇත.


රාජ්‍යයේ මැදිහත් වීමෙන් මුදා හරින ප්‍රචණ්ඩත්වය හා මිනිසුන් නිකරුනේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම්, දේශ‍ද්‍රෝහි ලේබල අලවා ජීවිත අනතුරු හෙළිම ආදී සාකල්‍යවිධ ත්‍රස්තවාදය මුදා හැරීම සඳහා මහින්ද රෙජිම වගකිව යුතු ය. මේ ක්‍රියාවන් දක්වන්නේ ඉදිරියේ දී ඇති විය හැකි ඒකාධිපති පාලනයක පෙරනිමිති ය. එදාට ධම්ම තක්බිර් වනු නියත ය.


ධම්ම ස්වකීය ලිපිය නිම කරන්නේ මෙසේ ය:


"දැන් මාස 7 ක්‌ 8 ක්‌ තිස්‌සේ බයක්‌ සැකක්‌ නැතිව සිංහල, දෙමළ මුස්‌ලිම් අපි නිදහසේ ජීවත් වෙනවා. මේක දැක්‌කම සමහර විදේශ රටවල්වලටත් මේ රටේ සමහරුන්ටත් හරිම අමාරුයි. කොටින්ගේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සන්ධානයත් සහෝදර සමාගම් වන මනෝ ගනේෂන්ලත්, හකීම්ලත්, මංගලලත් කොටින්ට ජීවනාලිය දෙන රනිල්ලත් එකතුවෙලා මේ කරන්න යන්නේ නැවතත් මේ රට මහා වාචකයකට ගෙනයැම මිසක්‌ වෙන දෙයක්‌ නොවේ. එක අතකට අඩු වැඩි වශයෙන් මේ රටේ ජනයා ඝාතනය කරපු එජාපය, කොටි සංවිධානය ජවිපෙ කණ්‌ඩායම සහ ඒවට අනුබල දෙන ගනේෂන්ලා හකීම්ලා මංගලලා එකට එකතුවීම පුදුමයක්‌ නොවේ. මේ හවුලේ අරමුණ අනාගත ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ අර්බුද ඇතිකොට ඉන් අසරණ වන ජනයාගේ මිනී කඳු මත නව බලලෝභී වෛරී දේශපාලනයේ සව්දිය පිරීමයි.


ඉතින් මේ මහා භීෂක පක්‍ෂ හවුලට එරෙහිවී අප දිනාගත් නිදහස පරෙස්‌සම් කරගැනීම සහ තහවුරු කරගැනීම අපේ වගකීමක්‌. අපිට වගේම අපේ දරුවන්ට ජීවිතය අවශ්‍යයි. මරණයට එරෙහිව ජීවිතය දිනවමු. මේ මොහොතේ ජීවිතය යනු මහින්දයි. ඔබට සුබ අනාගතයක්‌."


ධම්ම දක්වන සාමය මනෝමූල හා මනෝරජ්‍යක සාමයක් මිස, සැබෑ සාමයක් නොවේ. ප්‍රතිවාදින් හා ප්‍රති අදහස් නො ඉවසන, ඔවුන්ගේ රැකියාවන්, ජීවනෝපායන්, ජීවිත අහිමි කරන තත්ත්වයක, මාධ්‍ය නිදහස හිරගෙට හා පොරකයට යවා ඇති යුගයක, දෙමළ මිනිසෙකුට නිදහසේ පාරේ තොටේ යා නොහැකි, ධීවරයකුට රෑ ස්වකීය රැකියාවට යා නොහැකි නම්, දහස් ගණනක් තව ම අනාථ කදවුරුවල ගාල් වී ඇත්තම් ධම්ම කතා කරන සාමය කොහි ද?


ඉදිරියේ ස්වකීය විධායක ජනපති බලතල යොදා ගනිමින් ව්‍යවස්ථාදායක පාර්ලිමෙන්තුවේ බල තුලනය වෙනස් කළ, අධිකරණය හැල්ලුවකට ලක් කර, විධායක ජනපති ධූරය අහෝසි කරන බව බොරු පවසා තවත් වරක් විධායක ජනපති ධූරය සඳහා ඉල්ලන මහින්ද හා ඔහුගේ සහචර පිරිස අනාගතයේ භිෂක හවුලක් නොවන බවට ඇති තක්සේරුව කුමක් ද? ධම්මගේ මේ කතිතාව අනාගත පරපුර අදුරේ හෙළන ස්වකීය ශාස්ත්‍රීය දැනුම හා කතිකාරචාර්ය ධූරය නැමති හබරළ කොළයෙන් විළි වසා ලන්ට තනන ධම්මගේ මෘග්ධ ව්‍යයාමයකි.


ස්වකීට ජනපති ධූරයේ තවත් වසර දෙකක නිල කාලයක් ඉතිරි ව ඇති විටක, මහින්ද ජනපති වරණයක් කැඳවූයේ මහජනතාවට ඇති ‍ස්නේහයෙන් හෝ සත්ත්ව කරුණාවෙන් නොව, ආත්ම ලෝභයෙන් හා බලලෝභයෙන් ස්වකීය බලය තහවුරු කර ගැනීමේ අවසාන තුරුම්පුව ලෙසින් ය.


මේ නම් දක්වන්නේ මහින්දයේ ඇති බල උම්මාදයේ ඉහමොළ යෑමේ රෝග ලක්ෂණය යි. මෙයින් ඉදිරියට රඟ දැක්වෙන්නේ, විධායක උමතු මිලිටරවාදී, බල උම්මාදි විධායක ජනපතිගේ භිෂණ ජවනිකාව යි. තව වසර හයක දී, මේරට අන්ත දූගීත්වයකට පත් වීම මෙවැනි නායකයකුගේ පුරෝගාමිත්වයෙන් සිඳු නොවුන හොත් එය අරුමයකි. මහින්දගේ අවසාන ධූර කාලයෙ දී, පසුගිය කාලය හා සසඳන විට, නැවත ජනපති වීමට අවස්ථාවක් නොමැති නිසාවෙන් , විය හැකි අනතුර මහත් විශාල ය.


දෛවයේ අනාගත වෙනසක් සිඳු නොවුන හොත්, මේ මොදූ වන විධායකයේ අදුරු සෙවනැල්ල ලංකා දේශය මත වැටී, මුළු ලංකාව ම අන්ධකාරය පත් කරන කාලය වැඩි ඈතක නොවේ.



මුල් ලිපිය සඳහා ලැබුණු ප්‍රතිචාර:


Ramachandra said...

වයස්ගත වනවිට කොන්ද පන නැති වෙලා ලොකු තැන් වලට වාරු වෙන රැඩිකල් පොරවල් වලට හොද උදාහරන කිහිපයක් මෑතකදී දකින්න ලැබුනා.ජැක්සන් ඇන්තනි ගාවට ආපු අනිත් උදාහරනය ධම්ම දිසානායක.මේ විශ්ව විද්‍යාල ආචාර්වයවරයා වසර කිහිපයකට ඉහත වාමාංශික පාඨ මහත් බරක් ඇතිව ( සමහරවිට අති වාමාංශික විදිහට පවා) උච්චාරනය කල හැටි අපිට මතකයි.
මේ වගේ ව්‍යාජ රැඩිකලුන් දැකීමට තව තවත් වාසනාව උදාවේවා!


Friday, January 22, 2010

සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම්


අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්‍රතිගාමියා වූ විශ්‍රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්‍රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්‍රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ.


මෙවැනිම තවත් සමික්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ආචාර්ය වරුන් කිහිපදෙනෙකුගේ සහභගීත්වයෙන් ද කර දිණමිණ පුවත් පතේ පළ කොට තිබිණි. එහි ප්‍රතිපල වූයේ මහින්ද 74% ද සරත් 35% ද ගන්නා බව ය.

මේ ලෙස බෙගල් දෙසා බා ස්වකීය විශ්ව විද්‍යලවල කීර්ති නාමය කෙලෙසන මෙවැනි ඇදුරන් සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව යම් පියවරක් ගත යුතු ය. නැතහොත් එකී ආයතන පිළිබඳ විශ්වාසනීයත්ව සමාන්‍ය ජනතාව කෙරෙන් ගිලිහි යනු ඇත. කෙසේ වෙතත් මෙසේ කරලියට පැමිණෙන්නේ ලංකාවේ අධ්‍යපන ක්ෂත්‍රය වැටි ඇති අගාදය මිස වෙන කුමක් ද? නිවැරදි ලෙස ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කර ගත නොහැකි කලාප අධ්‍යපන අංශ ද, නිවැරදි ලෙස උසස් පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර කටයුතු කළ නොහැකි ආචාර්ය වරු ද, සිඝ්‍රයෙන් වැසෙමින් පවතින ග්‍රම්‍ය පාසල් ද, උසස් පෙළ සහ උපාධි පෞද්ගලික පන්ති පවත්වන විශ්විද්‍යල ආචාර වරුන් ද, දේශපාලකයන්ට පිරිනමන සැදී තිබෙන ගෞරව උපාධින් ද, තඹ සතයකට නොවටින යල්පිනූ අධ්‍යාපනයක් කර පින්නා පිටවන උපාධි ධරයන් ද, කියා පාන්නේ රටේ සුබ ම සුබ ආනාගත ය. මා දන්න තරමට, පැරණි විශ්ව විද්‍යාල ආචාරවරු කිසි විටකත් අතීතයේ දේශපාලකයන් ඉදිරියේ නැමි පාද ලෙව කා නැත. එහෙත් අද තත්ත්වය වෙනස් ය. ඒ සඳහා ස්වකීය අධ්‍යාපන ගෞවරවය පවා දෙන සරසවි ඇදුරන් රොතු පිටින් ඇත. අධ්‍යපනය ද දේශපාලනකරණයට පත්ව ඇත. එනිසා නිදහස් අධ්‍යපනය වල පල්ලට යෑම තව ස්ල්ප කාලයකින් සිඳුවනු ඇත.


මෙවන් ඇදුරන් ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය, මෙවන් මහත් රැවටීමක් කරන්නේ මහජනතාව කවුරුන් ලෙස සිතා මතා ද?


වෙනත් සබැදුම්: W3 සටහන; දිනමිණ ලිපිය

රවටන්නෝ සහ රැවටෙන්නෝ: අවසාන සිනාහව


මේ දිනවල ඡන්දය සඳහා ආසන්න දින වකවානු ළංව තිබෙන විට බොහෝ බො‍ලොග් මඩවලින් සහ කුණුවලින් පිරී පවති. මේ අතර ජනමාධ්‍යයේ ප්‍රචාරයවන දේශපාලක ප්‍රකාශ රාශියක මූලීක අරමුණ මහජනතාව ගොනාට ඇන්දීමට ය. මේ දිනවල උණුසුම් කතාව හංසයා විසින් ගැසූ රට බෙදෙන හොර ගිවිසුමක් පිළිබඳව ය. අනෙක් පැත්ත එයට පිළතුරු දෙමින් ප්‍රකාශ කරනුයේ එකී හොර ගිවිසුම ආණ්ඩු පක්ෂය විසින් හොරට හදා හොර අස්සන් තැබූබක් බව ය. දෙමළ අන්තවාදීයකු හා කොටින්ට ප්‍රත්‍යෝපකාර කළ, ආණ්ඩුපක්ෂයට අනුව කොටි නියෝජිතයා මේ ගිවිසුමට අතසන් කොට ඇත්තේ සිංහලෙනි. අනෙක් අතට විමල් වීරවංශ විසින් කොටි 300ක් පගා ගෙන ජෙනරාල්ට පක්ෂ ව ඡන්ද සටනෙන් ඉවත් වූ මුස්තාපා පිළිබඳ ප්‍රකාශය ද අල්ලස් කොමිසම හමුවට ගෙන විත් ඔප්පු කිරීමට නුපුළුවන් වීම තවත් රැවටීමක අවසාන ය. ජෙනරාල් පොන්සෙකාගේ බැනනුවන්ගේ කෝප් ලංකා ආයකනය රැපියල් 25,000 හෝ එයට වැඩි මුදල් වංචා කිරීම පිළිබඳ උසාවිය ඉදිරියේ වූ නඩුව ඔප්පු කිරීමට තරම් සාධක තව ම රහස් පොලිස්සියට හැකි වී නැත. ඒ වෙනුවට ඔවුන් මාධ්‍යයට කෙසේ හෝ මුදා හැරෙන (ලීක්) වන රහස්‍ය ප්‍රකාශ උසාවියේ ගොණු කරනු ලැබේ. පසුගිය දිනක රජය විසින් වියම් කළ මුදල් හා මගඩි ගැසූ මුදල් පිළිබඳ අජිත් කබ්රාල් මහතා නිදහසට කරුණු දැක්වීමක් කරන ලදී. එහෙත් ඒ නිදහසට දැක්වීම බන්දුල ගුණවර්ධනයන්ගේ මහ බැංකු වාර්තා ගෙන කරන අංක ගණිතයට සමාන ය. පසුගිය දින වල ඡන්ද කොමසාරිස් රජයේ මාධ්‍ය ප්‍රකාශන පිළිබඳ පත් කළ ස්වකීය නියෝජිතයා එයින් ඉවත් කර ගත්තේ රජයේ මාධ්‍ය හා නිළධරයන් අසීමිත ලෙස දේශපාලන පක්ෂග්‍රාහිත්වයක නියැලෙන බව දක්වමින් ය. පසුගිය දින වල ප්‍රකාශයට පත් වූ වාර්ථාවන්ට අනුව විශාල සංඛ්‍යවක් හමුදා, පොලිස්, විශ්විද්‍යාල උපකුලපතිවරුන්, හා රජයේ සේවකයන් ස්වකීය කැමැත්තෙන්ම හෝ බලහත් කාරයෙන් ඡන්ද වැඩ ‍වලට යොමු කොට තිබිණි. ලංකා ගමනා ගමන මණ්ඩලයෙ බස් රථ ඡන්ද රැලි සඳහා පාක්ෂිකයන් අද්දවා ගැනීමට යොමු කරනු ලැබිණ. තවත් සමහරුන් විධායක අගමැති වරයකු පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිපාදන තර්කය යෙදී ඇත.


මා විසින් සටහන් කළ සටහනකට මහින්දට හිතැති අයෙක් මෙසේ ලීයා තිබිණි:


"තවමත් පෙහොර මිටිය 350යි. සත්‍ය මිළ 6000යි. ගොවීන්ට ඉහළ මිළක් ගෙවීමේ ක්‍රමයක් සකසා මගින් ගොවියා‍ගේ ආදායම තහවුරු කොට තිබියදී පවා තවමත් ඔබ සහල් ගන්නේ කිලෝව රුපියල් 100කට අඩුවෙනි. අද පාන් මිළ කීය ? 6000 (වරක් එය 9000 දක්වා ඉහළ ගියේය) පොහොර ගන්නට සිදුවිණි නම් හාල් මිළ කීයක් වේවිද කියා ඔබ සිතුවාද? එසේ විණි නම් කළ හැක්කේ කුමක් ? පිටරටින් සහල් ගෙන්විය යුතුය. නමුත් එය කළ හැකි වේවි ? ඉන්දියාව පවා සහල් අපනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වූ‍ බව මතකද? (අපි වවමු රට නගමු ඇරඹුනේ අනුව .) සල්ලි වලටවත් ගන්නට තැනක් නැතිව ගිය විට සහනාධාරය ක්‍රියාත්මක නොවිණි නම් අපගේ කෘෂිනකර්මාන්තය මේ වන විට බිද වැටී අවසාන .,


ඔහු විසින් අමතක කළ සාධක කිහිපයක් මා මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි. පළමු ව, රුපියල් 350 පොහොර මිටිය ගොවියාට දෙන විට, එකී සාහනාධාරය සඳහා රජය විසින් දරන රුපියල් 5,650 (හෝ 8,650) දරන්නේ කවුරුන් ද? සහනාධාර දුන් පලියට වියදම නැතිවන්නේ නැත.ඒ වියදම කවුරු හෝ ගෙවිය යුතු ය. එසේ ගෙවීමට සිඳු වන්නේ රටේ මහජනතාව සඳහා ම ය. එසේ ම, පසුගිය දිනවල සහනාධාර පොහොර විශාල ප්‍රමාණයක් කළු කඩකාරයන් වෙත විකුණා ඇති බව හෙළිදරව් විය. එසේ නම් මහජනතාව විසින් බරපැණ දරන පොහොර ටික දෙනෙකුගේ සුඛිත මුදිතකාවය වෙනුවෙන් කැප කොට ඇත. යුද්ධය අවසානය සමඟ ම දකින්නට ලැබුණෙ මහින්දගේ සහනාධාර පොහොර මිටි ටොන් ගණනක් කොටින් විසින් බොම්බ සෑදීම පිණිස යොදවා ගෙන තිබූ ආකාරය යි. මහජනතාවගේ කර පිටින් කොටින් හට බෝම්බ තනා අපේ හමුදාව සහ සමාන්‍ය වැසියා අනතුරේ හෙළිමට අඩු වියදමින් ඇමොනියා පොහොර ලබා දී තිබුණි. කෘෂි කර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇත්තෙක් වුවද, තේරුම් ගත හැකි, කරුණ නම් ලොවිතැනෙහි වැඩිම වියදමක් යන්නේ ශ්‍රමයට, පළිබොධ නාශක හා බිම් පිළිසකර කිරීමට විනා පොහොර සඳහා නොවේ. අනෙක් අතට ලාභ පොහොර ලබන ගොවින් අස්වනු වැඩි කරන නියාවෙන් වැඩිපුර පොහොර යොදන අතර, නයිට්‍රජන් පොහොර වැඩියෙන් යෙදූ කළ, පත්‍ර විශාල සහ මෘදු වෙමින් පළිබෝධ හානියට තව තවත් පාත්‍රී වෙයි. පොහොර වල අඩංගු විවිධ බර ලොහ සහ කැඩ්මියම් මෙන් ම, අතිරික්ත නයිට්‍රජන් පොහොර ජලය සමඟ මිශ්‍ර වී වැවු කරතාත්, වැව් ආශ්‍රීත ජිවත් වන පුද්ගලයන්නේ ආහාර දාමයටත් එක් වේ. එයින් ඇතිවන අතුරු ප්‍රතිපලය වකුගඩු රෝග හා ඒ ආශ්‍රීත රොගාබාධයන් ය. මේ රොගීන් විසින් නිදහස් රොහල් පද්ධතිය වෙත අනවශ්‍ය බරක් ඇති කරන අතර, එයින් නැවතත් ජාතික ආර්ථික වෙත බලපෑම් ඇති වේ.


මුළු නිශ්පාද වියදමෙන් 15%-5% අතර ප්‍රමාණයක් පොහොර මගින් සිඳුවන අතර, කෘෂි විද්‍යව පිළිබඳ කිසිදු දැනීමක් නැත්තෙකුට රුපියල් 350 පොහොර හොඳ ඡන්ද ගුංඩුවකි. මා විසින් කතා කළ ගැමි ගොවීන් විසින් මට ප්‍රකාශ කළේ ඔවුන්ගේ සකල ප්‍රශ්න රුපියල් 350 පොහොර සමඟ නිමා වී ඇති බව යි. එහෙත් විෂය පිළිබඳ දැනුමැත්තෙකුට මේ රැවටීමේ තරම සක්සුදක් සේ පැහැදිලි ය (මේ තර්කය ඔප්පු කරනු පිණිස අක්කර යක නිශ්පාදන වියදම ළඟක දී මෙහි සටහන් කොට තබන්නෙමි). [1]


මේ තීරයෙන් මා දක්වන්නේ රවටන්න‍න්ගේ රැවටීම් ය. මේ රැවටීම් සඳහා රැවටෙන "යථාර්ථවාදීන්" තමුන් හඳුන්වා ගන්නා කොටසක් ද වෙති. රවටන්නෝ කෙසේ රැවටීම කළත් "අවසාන සිනාව" අයිති මහජනතාවට ය. දේශපාලකයන්ගේ උවමනාව ස්වකීය සැප සම්පත් සහ බලය රැක ගැනීම සහ තව පරම්පරා ගණනාවකට මුදල් හරිහම්බ කර ගැනීමට ය. මහින්ද අවුරුදු දෙකක ධූර කාලය ඉතිරි ව තිබිය දී, අනවශ්‍ය ඡන්දයක් කඳ වූයේ ඒ නිසා ය. තව අවුරුදු දෙකක් ස්වකීය මහින්ද චින්තනය යටතේ රට සුඛිත මුදිත කොට නියම කලට ඡන්දයක් කැඳවුයේ නම්, ජෙනරාල් කෙනෙකුගේ තර්ජනයට හෙතෙම පාත්‍ර නොවුණු ඇත. සත්‍ය මහින්ද පර්සි රාජපක්ෂ හොඳින් දනී. ඒ නම්, ඔහුට මෙතැනින් ඉදිරියට රටේ තත්ත්වය සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යා නොහැකි බව ය. ඒ නිසා, තැටිය රත්වී ඇති විට, රොටිය පුළුස්සා ගැනීමට හෙතෙම බලාපොරොත්තු වූවා විය හැකි ය. මේ අනවශ්‍ය ඡන්දය කැඳවීමෙන් විපක්ෂය මහින්ද අඩු තක්සේරු කළා පමණක් නොව, රට සංවර්ධනයට ස්වකීය නොහැකියාවත් හුවා දැක්විම කළේ ය.


මෙවැනි අවස්ථාවක මාගේ අවධානය යොමු වන්නේ මහජන සේවය සිඝ්‍රයෙන් දේශපානීයකරණය වීම ගැන ය. මහජනතාව නිවහල් ය. දේශපාලකයන්ගේ මාපටගිල්ලට යට ව සිටින්නට ඔවුනට අවශ්‍ය නැත. ඡන්ද කොමසාරිස් විසින් සිවකීය බලය භාවිත කොට, රාජ්‍ය මාධ්‍ය නිළධරුවන් උසාවියට ගෙන ගොස් දඬුවමට පත් කළේ නම් ඔහු විසින් මහජන අයිතියට කළ මාහැඟි දායාදයක් වීමට තිබිණි. එවැනි පුර්වා දර්ශයක් කළේ නම් ඉදිරියේ පත්වන කවර වර්ණයේ ආණ්ඩුවක වුව ද, මහජන දෙපළ වලට අත තැබීමට මත්තෙන් දෙවරක් සිතනු ඇත. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් රවටන්නෝ රැවටිමකට ලක් කිරීම මහජන යුතු කමකි. රවටන්නෝ රැවටුන විට, රවටන්නන් දෙස බලා අවසාන සිනාහව උරුම වන්නේ මහජනතාව වෙතට ය. එවිට සැබෑ සුබ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක් මහජනතාවට ලැබෙනු ඇත.



[1] නිශ්පාදන වියදම සඳහා නිදර්ශන ලෙස කෘෂි කර්ම දෙපාර්තුමෙන්තුව මගින් නිකුත් කළ සංඛ්‍යා ලේඛනයක් පහත දැක්වේ:

Production cost: Labour (73%) is the highest cost component in radish cultivation, follows with seed (18%), pesticide (6%) and fertilizer (3%) (Source: Department of Census and Statistics, 1996). The unit cost of production for the period of 1998-2001 is given in Table. The estimated production cost indicates that increasing the productivity of the crop by adopting appropriate technologies could reduce the unit cost of production.
මෙහි පොහොර සඳහා දක්වා ඇත්තේ 3% පමණ ප්‍රතිශතයකි.

Thursday, January 14, 2010

පැහැබර හිරු රැස නැති ලාංකික අදුරු අනාගතය


මා මුල සිට ම බලෙන් මහජනතාවගේ කරපිට පැට වූ අනවශ්‍ය "ජනපතිවරණයට" විරුද්ධ ව මෙහි සටහන් තැබුවෙමි. මහින්ද රාජපක්ෂ හට අවුරුදු හයක නිල කාලයක් පැවිති වකවානුවක, එයින් සිවු අවුරුදු නික්ම ගිය පසු වෙනත් අවස්ථාවන්හි නීතිය තුට්ටුවකට මායිම් නොකළ එහෙත් නිතීයේ අවකාශයන් භාවිත කොට, මහජන සංවර්ධනය හා සුබසිද්ධිය ඉටු කරනු වෙනුවට ජොතීෂ්‍යවේදීන්ගේ වදන් අසා අනවශ්‍ය ඡන්දයක් බලෙන් අටවන ලදී. ස්ථානෝචිත ප්‍රඥාව, අත්දැකිම සහ යහ පාලනය වෙනුවට විවිධ ‍ජොතීෂ්‍යවේදීන්ට අනුව රට පාලනයත්, තීරණාත්මක තීන්දුතීරණ ගැනීමත් මහින්ද දැන් වැටී සිටින කේදනීය තත්ත්වයට හේතුන් ය. යුද්ධ නිමාවීමත් සමඟ මහජනතාව බලාපොරොත්තු වූයේ නිවිසැනහිල්ලේ ජීවත් වීමට මිස, මෙලෙස මඩ ගසා ගැනීම් හා ප්‍රචණ්ඩත්වය නොවේ. තව ම සාමකාමී ශ්‍රී ලංකාව පාලනය වන්නේ "හදිසි නීතිය" යටතේ ය; තීරු බදු රහිත වාහන, ඉඩකඩම් හා නිවාස දෙන බවට "චින්තන" පොරොන්දු ‍දුන් නිදහස් මාධ්‍ය චණ්ඩ මාෆියාවක් ඉදිරියේ දණ ගස්වා ඇත. අනාතයන් දහස් ගණනින් තව ම කඳවුරු වල දුක්විඳිමින් ඇත. යුද්ධයෙන් අනාථ වූවන් තවමත්, නිසි සේ පදිංචි කොට ස්වපොෂිත ලෙස ජීවත්වීම සඳහා උපකාර කොට නැත. පසුගිය වසර පුරා බඩුමිල රොකට්ටුවක් බඳු වේගයෙන් ඉහල ගියේ අනාගතයේ පෙරනිමිති අපට අනාවර්ණය කරමින් ය. රාජ්‍ය ආයතන පමණක් නොව, මිහින් එයාර්, ශ්‍රී ලංකන්, ගුවන් කොටුපළ, වරාය ආදී සාමාන්‍යයෙන් ලාභ ලැබිය යුතු ආයතන පවා අනර්ථකාරී මුල්‍ය පරිපානය හා දේශපාලන වන්දිභට්ටයන් දැමිම නිසා දැඩි සේ පාඩු ලබමින් තිබේ. විවිධ වූ විශාල කොන්තරාත්තුවලින් කැපීපෙන කොමිස් සහ හෝරා කෑම් එමට ඇති. දැන් පවතින මැතිවරණය නිසා අනවශ්‍ය ලෙස මිලියන ගණන් මුදල් ප්‍රචාරණ කටයුතුවලට නාස්ති කරති.

ට්‍රාන්පෙරන්සි ඉන්ටනැෂනල් වාර්තාවට අනුව, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණ රුපියල් මිලියන 86 ද, නාමල් රාජපක්ෂගේ "තාරුන්‍යයට හෙටක්" මගින් රුපියල් මිලියන 118 ද, ජෙනරාල් සරත් පොන්සෙකාවෙනුවෙන් සියලු පක්ෂ එක්වී රුපියල් මිලියන 7 ද දෙසැම්බර් මාසය සඳහා මුද්‍රිත හා විද්‍යුත් ප්‍රචාරක කටයුතුවලට වැය කොට ඇත.

එකී වාර්තාව මෙසේ ය:

ප්‍රචාරක ව්‍යාපාරයේ පිරිවැය.

රටේ මැතිවරණ වියදම් ඉහළ නංවමින් ප්‍රචාරක දැන්වීම් ව්‍යාපාරය ගෝලීයකරණය වී තිබේ.
විදේශයන්හි ප්‍රසිද්ධ කෙරෙන පුවත්පත් වල, වෙබ් අඩවි, විශේෂයෙන් ටෙලිග්‍රාෆ්, දි ඉන්ඩිපෙන්ඩන්ට්, දි
ඉන්ටනැෂනල් හෙරල්ඩ්, ට්‍රිබියුන්, ද නිව්යොර්ක් ටයිම්ස්, ද සිඩ්නි මෝනිං හෙරල්ඩ්, ද හින්දු , දි
ඉන්ඩියන් එක්ස්ප්‍රෙස්, ද හින්දුස්ථාන් ටයිම්ස්, ද ගාඩියන් සහ ෆේස් බුක් වෙබ් අඩවි වල
ජනාධිපතිවරයාගේ ප්‍රචාරක දැන්වීම් පළවී ඇත
විදේශීය මාධ්‍ය වල පළවී ඇති ඉහත සඳහන් දැන්වීම් වල පිරිවැයට අතිරේක වශයෙන් 'තාරුණ්‍යට
හෙටක්' සංවිධානයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරක දැන්වීම්
වල වියදම 2009-12-31 වන දිනට රුපියල් මිලියන 200ක (රුපියල් ලක්ෂ 2000) සීමාව ඉක්මවා ගොස්
තිබිණ.

එක්සත් ජාතික සංධානයේ හා සරත් ෆොන්සේකා මහතාගේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැනවීම් ප්‍රචාරක
කටයුතු වල වියදම් සංසන්දනාත්මකව බලන විට 2009-12-31 දින වනවිට රුපියල් 70,54,000/- මට්ටමක
පවතී. මෙම අරමුදල් තමන් වෙත ලැබෙන්නේ කෙසේද යන්න හා ඉන් කවර කොටසක් මැතිවරණය
වෙනුවෙන් තමන් විසින් වියදම් කරනු ලැබීමට අදහස් කරන්නේ ද යන්න දේශපාලන පක්ෂ විසින්
මහජනතාවට අනාවරණය කරන්නේ ද යන්න වැදගත්ය

මහින්ද දෙන පොරොන්දු මල්ල නම් කට පිරෙන්නට ය. මේවා ඡන්ද කාලයට මෝඩයන් බිළි බා ගැනීමට දෙන ගල් පැලෙන බේගල් ය (හිනා යන්නත් එක්ක කියවා බලන්න). එහෙත් මහජනතාවට දැවෙන ප්‍රශ්නයක් වන සහල් අඩු මිලට ලබා ගැනීමට ඡන්ද අවස්ථාවේදීත් නොහැකි තත්ත්වයකට පත් වී තිබේ. හෙජින් ගිවිසුම නීතී විරෝධි යැයි උසාවිය පවසා ඛනිජ තෙල් මිල පහත දැමීමට උසාවිය පවසද්දී, උසාවියට පිටූ පා ජීවන බර මහජන කරපිට කිසිදු අනුකම්පාවක් නැති ව, තැබූ මහින්ද, අද ජනතාව ගොනාට අන්දවමින් ඛනිජතෙල් මිල බලෙන් පහත දමා ඇත. ඡන්දය අවසාන වී, නව ජනපති සේ පත් වූ සැනීන් නැවත ඛනිජ තෙල් මිල දෙගුණ තෙගුණයකින් ඉහළ නංවනු ඇත.

දිනූ යුද්ධය ඉදිරියට තබා නටන මේ ජනපතිවරණය, යුද්ධය දිනා දුන් අද ආබාධිත තත්ත්වයට පත් විරුවෝ පාර තොටේ විරෝධතා දක්වා ඔවුන්ගේ අයිතීන් සඳහා පොර කෑ යුතු තත්ත්වයකට පත් වී ඇත.

දිවයින පුවත්පතට ලිපියක් සපයමින් පියදාස වැලිකන්න "මහින්ද සහ චර්චිල්" නම් ලිපියෙන් මහින්දගේ ගුණවර්ණනා කරමින් වත්මන් ජනපතිතුමා චර්චිල් හට සමාන කරනු ලැබිණ. එහෙත් ඔහු අමතක කළ කරුණ නම් දෙවන ලෝක යුද්ධය අවසාන කිරීම සඳහා ලැපී පෙනෙන මෙහෙවරක් කළ මේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා 1945 මැතිවරණයෙන් පරාජයට පත් විය. එනයින් ලිපිය රචකයා ‍නොකියා කියන්නට තැත් කරන්නේ මහින්ද විසින් අත් විඳිය හැකි භයානක කේදනීය ඉරණම ගැන ද? හේ ලිපිය අවසාන කරන්නේ මෙසේ ය:

"මෙතැනදී ජනාධිපතිවරයා මැතිවරණ සටන මෙහෙවිය යුත්තේ යන එන හැම තැනකදීම ප්‍රකාශ කරන පරිදි රට ගොඩනැගීමේ කාර්යට උර නොදී මඩිය තරකර ගන්නට උත්සාහ කරන උන් වෙතොත් උන්ගේ පාටද, තරාතිරමද නොතකා පරසක්‌වල ගසන්නට සූදානමක්‌ ඇතිවය. තිර අදිටනක්‌ ද ඇතිවය. ඔහුට එය කළහැකි නම්, ඔහුගේ නම ලියෑවෙනු ඇත්තේ දුටුගැමුණු, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු වැනි නර ශ්‍රේෂ්ඨයන්ගේ නම් ලියෑවුණ ඉතිහාස පොතේ පිටු අතර මිස, ලේත් කඳුලුත් ජනතාවට උරුමකරදී, පව්කාරයින්ගේ කරුමවලට ඇහැත් කණත් පියාගෙන කරගැසු චර්චිල්ගේ නම ලියුවුණ ඉතිහාස පොතේ පිටු අතර නොවන බව කල්වේලා ඇතිව මෙහිලා සටහන්කර තබන්නට මම කැමැත්තෙමි."

මට පෙනෙන අයුරට නම්, රටේ අනාගතය අන්ධකාරය. තව නොබෝදිනකින් පත්වන ජනපති මහජනතාවට හිතැති අයෙක් නොවී නම් රට අද, දුරිනිභූත වූ සිමිබාබුවේ හෝ හේටි හෝ සොමාලියාව වැනි තත්ත්වයට පත් වීම වැළැක්විය නොහැකි ය.

ඇරිස්‌ටෝටල් පඬිවරයා වරක්‌ ප්‍රකාශ කළ පරිදි ජනතාවකට ලැබෙන්නේ ඔවුන්ට සුදුසුම ආණ්‌ඩුවකි.

Wednesday, December 16, 2009

අරලිය ගහ මැදුරේ ඡන්ද දන්සල පිළිබඳ වදනක්

මේ දිනවල ජනතාවගේ මුදල් ලක්ෂ ගණන් වියදම් කොට අරලිය ගහ මැදුරේ දන්සල් කිහිපයක් ජනාධිපති තුමා විසින් පවත්වා ගෙන යනු ලැබේ. නොමිලේ බඩ පිරෙන්නට කන්නට ලැබෙන නිසා දෝ විවිධ වූ වෘත්තිකයන්, රජයේ සේවකයන් කලා කරුවන් වැල නොකැඩි ඒ දන්සලෙන් සප්පායම් වන්නය යති. දන්සලට යා ගත නොහැකි, එසේ ම කිසිදු වරප්‍රසාදයක් නොලැ‍බුණ මහජනයා කරබාගෙන, දන්සලෙන් අනුභවයේ යෙදෙන්නන්ට කෙල හලති. එහෙත් ස්වකීය ආත්ම අභිමානයක් කියා දෙයක් නොමැති, මොවුන් කා බී සන්තෝෂ වී, ඡන්දයෙන් පසු කෑ දෑ වමාරණ තුරාවට දුක්විඳින පිණිස සුඳානම් වෙති. ඡන්ද ළංවන විට කාට කාටත් සත්ත්ව කරුණාව ඇති වේ. එහෙත් එවැන් තුට්ටු දෙකකට, රාත්‍රී ආහාරයකට තම ගරුත්වය උකස් කිරීමට තරම් දීන නොවන්නෝ ඇත්තේ ස්වල්ප දෙනෙකු බැවිනි. කන්ඩ බොන්ඩ දීලා ඡන්දය ගන්න ක්‍රියා කිරීම ආරම්භ වූ යේ, අද ඊයේ නොව, බොහෝ කලකට පෙර ය. එක් පැරැන්නෙක් මා සමඟ කීවේ, හැටේ දශකයේ පමණ එක් එක් දේශපාලකයන් ඡන්දාට ගම්වැදී ජනතාවට කන්ඩ බොන්ඩ දී දවාලට තමුන්ට කතිරය ගසන පිණිස ඡන්ද පොලට දක්කපු කතාවකි. අද සිඳුවන දෑ ද, එදාට වෙනස් නැත. එහෙත් වෙනසකට ඇත්තේ ඒදා වුන් නූගත් තම ඡන්දයේ අගය නොදත් අංහිසක ගම්මුන් වීමත්, අද, උගත්යයි කියා ගන්නා තමුන්ගේ බඩකට පුරවා ගැනීමට වෙර දරන අවස්ථාවාදීන් වීමත් ය.

පහත දැක්වෙන්නේ ළඟක දී පැවති අරලියගහ මැදුරේ දන්සලත් පිළිබඳ මාහට ලැබුණු විද්‍යුත් තෑපැලකි:

"ජනාධිපති ජය සපථ කිරීමට කලාකරුවෝ එක්වෙති" , මේ ආණ්ඩුවේ පුවත්පතක එක් සිරස් තලයකි. ඒ යටතේ පළ කොට තිබුණේ ජනාධිපතිවරයා කලාකරුවන් සමඟ ගත් ඡායාරූපයකි. ඡායාරූපය දැකපු ගමන් මේ රටේ සියලූ කලාකාරයන් ජනාධිපතිට ජය සපථ කරන්නට සැරසෙන බවක් කිසිවකුට හැඟී යා හැකිය.

ඡායාරූපවලින් දැක්වෙන්නේ ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට රැස්ව සිටි දෙදහසකට ආසන්න කලාකරුවන් අතරින් කිහිප දෙනකු සමඟ සුහදව කතා කරන අයුරුය. රටේ ජනාධිපතිවරයා තමන් අසුන්ගෙන සිටිත තැනට එනවිට අසුනින් නැගිට සුහදව කතා බහ කිරීම සාමාන්‍ය සිරිතකි.

එම පුවත්පතේ ඡායාරූප සටහනේ දැක්වෙන්නේ "මේ සියලූ කලාකරුවෝ එක්ව අරලියගහ මන්දිරය සොඳුරු රැයක් කළහ. ජනාධිපති ඒ සියල්ලන් සමගම කතා බහ කළේය." යනුවෙනි.

ආණ්ඩුවේ පුවත් පත කියන්නේ අල්ලේ පැලවෙන බොරුවකි. ජනාධිපතිවරයා කලාකරුවන් හමුවූ අවස්ථාව සම්බන්ධයෙන් එම ස්ථානයේ සිටි ඇසූ දුටු වෙනත් අය අප වෙත වාර්තා කෙළේ මෙබන්දකි. ජනාධිපතිවරයා එදා කතා බහ කළේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් අතලොස්සකට පමණි. රැස්ව සිටි පිරිසේ හැටියට ඔහුට මේසයෙන් මේසයට යන්නට සිටියා නම් පැයකට වැඩි කාලයක් ගතවනු ඇත. ඉඳින් ජනාධිපතිවරයා කතා බහ කරන්නට ගියේ රැස්ව සිටි කලාකරුවන්ගෙන් තමන්ට පහසුවෙන් ලංවෙන්නට හැකි අය වෙත පමණය. ඔවුන් අන් කවුරුවත් නොව දැනට ජනාධිපතිවරයාගෙන්ම විවිධ වරප්‍රසාද ලබමින් ඔහුට කඩේ යන පිරිසම බව "දිනමිණ" ඡායාරූප පිටුවෙන් ද සනාථ වන්නේය.

ඡායාරූපවල ජනාධිපතිවරයා සමඟ කැකිරි පලන්නේ කවුරුන්ද? මාලිනී ෆොන්සේකා, ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, ඩග්ලස් සිරිවර්ධන, පාලිත සිල්වා, ගීතා කුමාරසිංහ සහ තවත් සුප්‍රකට පිරිසකි. මේ පිරිස් ලබාගෙන ඇති සහ දැනට ලබමින් සිටින වරප්‍රසාද අනුව ඔවුන්ට ජනාධිපතිගේ ජය සපථ කිරීමෙන් තොර ආත්මයක් තිබේද?

මේ ඡායාරූපවලට ඇතුළත් නොවූ පිරිසක් ද මේ අතර සිටියහ. ඔවුන් සියල්ලන්ම ආවේ ජනාධිපතිවරයාට ජය පතන්නට නොවේ. පක‍ෂ භේද නොසොයාම කලාකරුවන් බොහොමයකට එදා අරලියගහ මැදුරට ඇරියුම් කොට තිබුණේය. එසේ ඇරියුම් කළේම සිතාමතා විය යුතුය. මොකද පක‍ෂ පාට තෝරා බේරාගෙන ඇරියුම් කළේ නම් එතැනට එකතු කරගන්නට ලැඛෙන්නේ අර ජැක්සන්ලා, ශ්‍රියන්තලා, ඩග්ලස්ලා වැනි පිරිසක් පමණි.

ඉතින් ඇරියුම් ලැබුණු කලාකරුවන් බොහෝ දෙනකු ආවේ ජනාධිපතිවරයා පවත්වනවා කියූ සාකච්ඡාවට සහභාගී වීමේ අදහසිනි. ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් කරන්නට බොහෝ අදහස් ඔවුන්ට තිබුණේය. ප්‍රශ්න තිබුණේය. එහෙත් ඇරියුම් පතේ තිබුණු අන්දමේ සාකච්ඡාවක් තිබුණේ නැත. ඇරියුම් ලත් කලාකරුවන්ට කෙලින්ම යන්නට තිබුණේ ප්‍රණීත භෝජන සංග්‍රහයකට සූදානම් කර තිබූ දැවැන්ත ශාලාවකටය. එන අය පිළිගන්නට සුදු රෙදි ඇතිරූ මේස සැදී පැහැදී සිටියාක් මෙන් විය.

මේස වටා හිඳගත් අයට පැයක් පමණ බලා ඉන්නට සිදුවූ අතර ඉන්පසු ජනාධිපතිවරයා පැමිණි බවට නිවේදනය කෙරුණේය. නිවේදනය පුන පුනා කීවේ සියලූ කලාකරුවන් හමුවන්නට එතුමා පැමිණෙන බවකි. එහෙත් ජනාධිපතිවරයා ශාලාව මැදින් වූ ආසනවල සිටි පිරිසට කතා කරමින් සිටියදී යළිත් නිවේදකයා කීවේ දැන් කාට කාටත් තමා ළඟම සූදානම් කොට තියෙන තැනින් ආහාර ගත හැකි බවය. කාට කාටත් ජනාධිපතිවරයා අමතක වුවාසේය. හැමෝම අසුන්වලින් නැගිට බුෆේ එකට පෝලිම් ගැසුණහ. මතට තිත වෙනුවෙන් හඬ තැලු අයද විස්කි,වයින් සහ බියර් ඛෙදා දුන් තැනට රොක් වූහ. මත්පැන් බොමින් රැස්ව සිටි අය රස මසවුළු බුදින්නට පටන් ගනිද්දී ජනාධිපතිවරයා ඒ ස්ථානයෙන් අතුරුදහන්වී සිටියේය.

බඩ පිරෙන්න සප්පායම් වුණු කවුරු කවුරුත් රෑ බෝ වෙත්ම ආපසු ගියා මිස ජනාධිපතිගේ ජය සපථ කරන බවක් කීවේ නැත.

එසේ යන අයගෙන් සමහරෙක් කියා ඇත්තේ "ජනාධිපතිතුමා රටේ ප්‍රධාන පුරවැසියා, ඔහු ආරාධනා කළ නිසා අපි ආවා. කන්න දෙන්නෙත් මහජන මුදල් වලින් නිසා අපි හොඳට කෑවා. යාළු මිත්‍රයන්ගේ සාදයකට ඇරියුම් ලැබුණම අතිනුත් වියදම් කරලා තෑගිත් අරගෙනයි සප්පායම් වෙන්න පුළුවන්. ඒත් මේ සාදයේදී තෑගි නැතිව හොඳට සප්පායම් වෙන්න ලැබුණා." යනුවෙනි.

ඒ කතාවල තිබුනේ නිර්දය උපහාසයකි. ආණ්ඩුවේ පත්‍රය කියන්නාක් මෙන් එදා අරලියගහ මන්දිරයට රැස්වු හැම කලාකාරයෙක්ම එහි ගියේ එතුමා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්න බව සපථ කරන්නට නොවේ. නමුත් රාජ්‍ය මාධ්‍ය හැම එකකින්ම වාර්තා කළේ එදා රැස්වූ සියලූ කලාකරුවන් එක පිලකට රොක්ව ජනාධිපතිගේ ජය පතන්නට එකතු වූ බවකි.

අරලියගහ මැදුරට ගිය කලාකරුවන්ගේ ඡායාරූප පිටුවට අමතරව එම පත්‍රයේ කතුවැකිය ද ඒ වෙනුවෙන් වෙන් කොට තිබුණේය.

"තාරකා වලට කන් දෙන්න" මැයෙන් ලියූ ඒ කතුවැකියේ සඳහන් වන්නේ "කලාකරුවන්ට මෙතරම් සමීප වූ රාජ්‍ය නායකයකු මෑතදී ශ්‍රී ලංකාවේ පහළ වී නැත." යනුවෙනි. ඊළඟට ජනාධිපතිවරයා කලාකරුවන්ට සමීප වූ බවට කතුවැකියේ සඳහන් අපූරු උදාහරණ මෙසේය.

"හෙළයේ මහා ගාන්ධර්වයා ලෙස සැලකෙන පණ්ඩිත් අමරදේවයන්ගේ උපන්දිනය දා ඔහු ඔහුගේ නිවසට ගොඩ වී සුබ පතන්නට තරම් මහින්ද මහතා නිහතමානී විය. වසර තිහකට පසු නැවත වේදිකා ගතවූ ඒකාධිපති නාට්‍ය නැරඹීමට ගිය මහින්ද මහතා එහි නිර්මාතෘ ධර්මසිරි බණ්ඩාරනායක මහතාට සුබ පැතීය."

එම පත්‍රය කියන විදියට රටේ නායකයා කලාකරුවන්ට "සමීප" වූයේ එලෙසය. වැරදීමකින් හෝ කතුවැකියෙන් ඇත්තක්ද කියැවී තිබේ. ඒ මෙසේය. "කලාකරුවන්ගෙන් වැඩි දෙනා බලය ඉදිරියේ දණ නොනමති. සෘජුභාවය යහපත් කලාකරුවාගේ ප්‍රධාන ලක‍ෂණයකි."

කතුවැකියේ තියෙන අන්දමේ කලාකරුවෝ ද එදා අරලිය ගහ මන්දිරයට පැමිණ සිටියහ. එවැනි කලාකරුවන්ට එම කතුවැකිකාරයා කියන අන්දමට රටේ අගතිය දැක ඊට ආවැඩිය නොහැකිය. මක් නිසාද යත් ඔවුන්ට කලාව මෙන්ම දේශපාලනයත් හොඳ හැටි තේරෙන නිසාය.

-අකිල අරවින්ද-
Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...