මා මුල සිට ම බලෙන් මහජනතාවගේ කරපිට පැට වූ අනවශ්‍ය "ජනපතිවරණයට" විරුද්ධ ව මෙහි සටහන් තැබුවෙමි. මහින්ද රාජපක්ෂ හට අවුරුදු හයක නිල කාලයක් පැවිති වකවානුවක, එයින් සිවු අවුරුදු නික්ම ගිය පසු වෙනත් අවස්ථාවන්හි නීතිය තුට්ටුවකට මායිම් නොකළ එහෙත් නිතීයේ අවකාශයන් භාවිත කොට, මහජන සංවර්ධනය හා සුබසිද්ධිය ඉටු කරනු වෙනුවට ජොතීෂ්‍යවේදීන්ගේ වදන් අසා අනවශ්‍ය ඡන්දයක් බලෙන් අටවන ලදී. ස්ථානෝචිත ප්‍රඥාව, අත්දැකිම සහ යහ පාලනය වෙනුවට විවිධ ජොතීෂ්‍යවේදීන්ට අනුව රට පාලනයත්, තීරණාත්මක තීන්දුතීරණ ගැනීමත් මහින්ද දැන් වැටී සිටින කේදනීය තත්ත්වයට හේතුන් ය. යුද්ධ නිමාවීමත් සමඟ මහජනතාව බලාපොරොත්තු වූයේ නිවිසැනහිල්ලේ ජීවත් වීමට මිස, මෙලෙස මඩ ගසා ගැනීම් හා ප්‍රචණ්ඩත්වය නොවේ. තව ම සාමකාමී ශ්‍රී ලංකාව පාලනය වන්නේ "හදිසි නීතිය" යටතේ ය; තීරු බදු රහිත වාහන, ඉඩකඩම් හා නිවාස දෙන බවට "චින්තන" පොරොන්දු දුන් නිදහස් මාධ්‍ය චණ්ඩ මාෆියාවක් ඉදිරියේ දණ ගස්වා ඇත. අනාතයන් දහස් ගණනින් තව ම කඳවුරු වල දුක්විඳිමින් ඇත. යුද්ධයෙන් අනාථ වූවන් තවමත්, නිසි සේ පදිංචි කොට ස්වපොෂිත ලෙස ජීවත්වීම සඳහා උපකාර කොට නැත. පසුගිය වසර පුරා බඩුමිල රොකට්ටුවක් බඳු වේගයෙන් ඉහල ගියේ අනාගතයේ පෙරනිමිති අපට අනාවර්ණය කරමින් ය. රාජ්‍ය ආයතන පමණක් නොව, මිහින් එයාර්, ශ්‍රී ලංකන්, ගුවන් කොටුපළ, වරාය ආදී සාමාන්‍යයෙන් ලාභ ලැබිය යුතු ආයතන පවා අනර්ථකාරී මුල්‍ය පරිපානය හා දේශපාලන වන්දිභට්ටයන් දැමිම නිසා දැඩි සේ පාඩු ලබමින් තිබේ. විවිධ වූ විශාල කොන්තරාත්තුවලින් කැපීපෙන කොමිස් සහ හෝරා කෑම් එමට ඇති. දැන් පවතින මැතිවරණය නිසා අනවශ්‍ය ලෙස මිලියන ගණන් මුදල් ප්‍රචාරණ කටයුතුවලට නාස්ති කරති.
ට්‍රාන්පෙරන්සි ඉන්ටනැෂනල් වාර්තාවට අනුව, මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පොදුජන එක්සත් පෙරමුණ රුපියල් මිලියන 86 ද, නාමල් රාජපක්ෂගේ "තාරුන්‍යයට හෙටක්" මගින් රුපියල් මිලියන 118 ද, ජෙනරාල් සරත් පොන්සෙකාවෙනුවෙන් සියලු පක්ෂ එක්වී රුපියල් මිලියන 7 ද දෙසැම්බර් මාසය සඳහා මුද්‍රිත හා විද්‍යුත් ප්‍රචාරක කටයුතුවලට වැය කොට ඇත.
එකී වාර්තාව මෙසේ ය:
ප්‍රචාරක ව්‍යාපාරයේ පිරිවැය.
රටේ මැතිවරණ වියදම් ඉහළ නංවමින් ප්‍රචාරක දැන්වීම් ව්‍යාපාරය ගෝලීයකරණය වී තිබේ.
විදේශයන්හි ප්‍රසිද්ධ කෙරෙන පුවත්පත් වල, වෙබ් අඩවි, විශේෂයෙන් ටෙලිග්‍රාෆ්, දි ඉන්ඩිපෙන්ඩන්ට්, දි
ඉන්ටනැෂනල් හෙරල්ඩ්, ට්‍රිබියුන්, ද නිව්යොර්ක් ටයිම්ස්, ද සිඩ්නි මෝනිං හෙරල්ඩ්, ද හින්දු , දි
ඉන්ඩියන් එක්ස්ප්‍රෙස්, ද හින්දුස්ථාන් ටයිම්ස්, ද ගාඩියන් සහ ෆේස් බුක් වෙබ් අඩවි වල
ජනාධිපතිවරයාගේ ප්‍රචාරක දැන්වීම් පළවී ඇත
විදේශීය මාධ්‍ය වල පළවී ඇති ඉහත සඳහන් දැන්වීම් වල පිරිවැයට අතිරේක වශයෙන් 'තාරුණ්‍යට
හෙටක්' සංවිධානයේ සහ එක්සත් ජනතා නිදහස් සංධානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ප්‍රචාරක දැන්වීම්
වල වියදම 2009-12-31 වන දිනට රුපියල් මිලියන 200ක (රුපියල් ලක්ෂ 2000) සීමාව ඉක්මවා ගොස්
තිබිණ.
එක්සත් ජාතික සංධානයේ හා සරත් ෆොන්සේකා මහතාගේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැනවීම් ප්‍රචාරක
කටයුතු වල වියදම් සංසන්දනාත්මකව බලන විට 2009-12-31 දින වනවිට රුපියල් 70,54,000/- මට්ටමක
පවතී. මෙම අරමුදල් තමන් වෙත ලැබෙන්නේ කෙසේද යන්න හා ඉන් කවර කොටසක් මැතිවරණය
වෙනුවෙන් තමන් විසින් වියදම් කරනු ලැබීමට අදහස් කරන්නේ ද යන්න දේශපාලන පක්ෂ විසින්
මහජනතාවට අනාවරණය කරන්නේ ද යන්න වැදගත්ය
මහින්ද දෙන පොරොන්දු මල්ල නම් කට පිරෙන්නට ය. මේවා ඡන්ද කාලයට මෝඩයන් බිළි බා ගැනීමට දෙන ගල් පැලෙන බේගල් ය (හිනා යන්නත් එක්ක කියවා බලන්න). එහෙත් මහජනතාවට දැවෙන ප්‍රශ්නයක් වන සහල් අඩු මිලට ලබා ගැනීමට ඡන්ද අවස්ථාවේදීත් නොහැකි තත්ත්වයකට පත් වී තිබේ. හෙජින් ගිවිසුම නීතී විරෝධි යැයි උසාවිය පවසා ඛනිජ තෙල් මිල පහත දැමීමට උසාවිය පවසද්දී, උසාවියට පිටූ පා ජීවන බර මහජන කරපිට කිසිදු අනුකම්පාවක් නැති ව, තැබූ මහින්ද, අද ජනතාව ගොනාට අන්දවමින් ඛනිජතෙල් මිල බලෙන් පහත දමා ඇත. ඡන්දය අවසාන වී, නව ජනපති සේ පත් වූ සැනීන් නැවත ඛනිජ තෙල් මිල දෙගුණ තෙගුණයකින් ඉහළ නංවනු ඇත.
දිනූ යුද්ධය ඉදිරියට තබා නටන මේ ජනපතිවරණය, යුද්ධය දිනා දුන් අද ආබාධිත තත්ත්වයට පත් විරුවෝ පාර තොටේ විරෝධතා දක්වා ඔවුන්ගේ අයිතීන් සඳහා පොර කෑ යුතු තත්ත්වයකට පත් වී ඇත.
දිවයින පුවත්පතට ලිපියක් සපයමින් පියදාස වැලිකන්න "මහින්ද සහ චර්චිල්" නම් ලිපියෙන් මහින්දගේ ගුණවර්ණනා කරමින් වත්මන් ජනපතිතුමා චර්චිල් හට සමාන කරනු ලැබිණ. එහෙත් ඔහු අමතක කළ කරුණ නම් දෙවන ලෝක යුද්ධය අවසාන කිරීම සඳහා ලැපී පෙනෙන මෙහෙවරක් කළ මේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා 1945 මැතිවරණයෙන් පරාජයට පත් විය. එනයින් ලිපිය රචකයා නොකියා කියන්නට තැත් කරන්නේ මහින්ද විසින් අත් විඳිය හැකි භයානක කේදනීය ඉරණම ගැන ද? හේ ලිපිය අවසාන කරන්නේ මෙසේ ය:
"මෙතැනදී ජනාධිපතිවරයා මැතිවරණ සටන මෙහෙවිය යුත්තේ යන එන හැම තැනකදීම ප්‍රකාශ කරන පරිදි රට ගොඩනැගීමේ කාර්යට උර නොදී මඩිය තරකර ගන්නට උත්සාහ කරන උන් වෙතොත් උන්ගේ පාටද, තරාතිරමද නොතකා පරසක්‌වල ගසන්නට සූදානමක් ඇතිවය. තිර අදිටනක් ද ඇතිවය. ඔහුට එය කළහැකි නම්, ඔහුගේ නම ලියෑවෙනු ඇත්තේ දුටුගැමුණු, මහා විජයබාහු, මහා පරාක්‍රමබාහු වැනි නර ශ්‍රේෂ්ඨයන්ගේ නම් ලියෑවුණ ඉතිහාස පොතේ පිටු අතර මිස, ලේත් කඳුලුත් ජනතාවට උරුමකරදී, පව්කාරයින්ගේ කරුමවලට ඇහැත් කණත් පියාගෙන කරගැසු චර්චිල්ගේ නම ලියුවුණ ඉතිහාස පොතේ පිටු අතර නොවන බව කල්වේලා ඇතිව මෙහිලා සටහන්කර තබන්නට මම කැමැත්තෙමි."
මට පෙනෙන අයුරට නම්, රටේ අනාගතය අන්ධකාරය. තව නොබෝදිනකින් පත්වන ජනපති මහජනතාවට හිතැති අයෙක් නොවී නම් රට අද, දුරිනිභූත වූ සිමිබාබුවේ හෝ හේටි හෝ සොමාලියාව වැනි තත්ත්වයට පත් වීම වැළැක්විය නොහැකි ය.
ඇරිස්‌ටෝටල් පඬිවරයා වරක් ප්‍රකාශ කළ පරිදි ජනතාවකට ලැබෙන්නේ ඔවුන්ට සුදුසුම ආණ්‌ඩුවකි.
