Monday, April 19, 2010

ජඩ මාධ්‍යය, මඩ මාධ්‍යය සහ ගැති මාධ්‍යය


පසුගිය දිනක මේ තීරයේ ලංකා ටෲත් වෙබ් අඩවිය විසින් ප්‍රචාරය කරන ලද හඬ පටියක දී, අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයා විසින් දෙමළ ජනතාවට බැණ වැදීමක් ගැන වාර්තා කොට තිබිණ. එහිදී හඬ පටියේ සඳහන් කොටස, “මමත් සිංහල; රටත් සිංහල; අහන් ඉන්නවා දෙමළා” යනුවෙන් දක්වා තිබිණි. පසුව ලංකාදීප පුවත් පත විසින් නිවැරදි විඩියෝ පටය ප්‍රකාශ කරද්දීම එකී පිටුව අනතර්ජාලයෙන් ඉවත් කොට හෝ අවහිර කොට ඇත. එහෙයින් මෙවැනි අතලොස්සක් මාධ්‍යයන් ජනතාවගේ විශ්වාසය තමුන්ගේ අනර්ථ ක්‍රියාවන් සඳහා භාවිත කරනු පෙනේ. එසේ ම, බී. බී. සී. මාධ්‍යය ජාලයට අනියුක්ත “චැනල් ෆෝ මාධ්‍යයතනය බොහෝවිට එල්.ටී.ටීය නියෝජනය කරමින් ප්‍රකාශයන් හා විවිධ පුවත් මවන ලදී. කෙසේ හෝ කූඨක්‍රමයෝපායන් තුළින් ලබා ගන්නා අසම්පූර්ණ විඩියෝ පට මගින් හෝ කොටි හිතවාදී හෝ කොටි සාමාජීකාවන් විසින් කරන ප්‍රකාශ ප්‍රචාරණය කරන ලදී. මේ අතර, සමහර විට සත්‍යයයි සැලකිය හැකි වර්තාවන් ද ප්‍රකාශයට පත් විය. පසුගිය මාස කිහිපයකට පෙරාතුව සිංහල හමුදාව විසින් ඝාතනය කරනු ලබන්නේ යයි පවසමින් විඩියෝ පටයක් නිකුත් කරන ලදී. මේ විඩියෝ පටය පිළිබඳ ටැමිල් නෙට් ජාලය ඔස්සේ ද විශාල ප්‍රසිද්ධියක් ලබා දුන්නාක් පමණක් නොව, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් ආයතන දක්වා ඒ වීඩියෝ ව ගමන් කළේ ය. මෙය නැරඹු මට නැවතසිහි ගැන් වූයේ 1988-1989 කාලය යි. එවකට පැවති ආණ්ඩුව විසින් නිර්දය ලෙස ජේ.වී.පි. සම්බන්ධ පුද්ගලයන් අතොරක් නොමැති ව හන්දියක් හන්දියක් පුරා ඝාතනය කොට, ගස්බැඳ වෙඩි තබා, ටයර් සෑයවල්වල ආදාහනය කොට, හෝ ගඟේ මුහුදේ පාකොට හරින ලදී. ඒ සිංහලයන් සඳහා සිංහල ආණ්ඩුව විසින් නිල නොනිල හමුදාවක් තනා කළ හදිය යි. අනෙක් අතට යුද්ධ සමයේ උන්හිටි හැටියේ මහා මාර්ගවල නාදුනන තුවක්කු කරුවන් අතින් දෙමළ සිංහල ජනතාව මැරී වැටිණි. ඒ සඳහා යුක්තියක් තවම ඉටු වී නැති සේ ම, යුක්තියක් ඉටු වෙන්නේ ද නැත. සුදු වෑන් රථවලින් මිනිසුන් පැහැර ගෙන ගොස්, අතුරුදහන් කරන විලාසයෙන් ම, තැන තැන මෘත ශරීර හමුවීම් හා සන්සන්දනය කරන විට මෙවැන්නක් සිඳු නො‍වුනේ යයි සිතිමටත් නුපුළුවන. සාමාන්‍යයෙන් ආරක්ෂාව ඇති දකුණේ දෙමළ ජනතාව වෙත එල්ල වූ මේ අභියෝග හමුවේ, උතුරේ අසරණ වූ, කොටින් යයි සැක කරන්නන්ට කුමක් සිඳු වුනේ ද, නොවුනේ ද යන්න උඩ ඉන්නා දෙවි හාමුදුරුවෝ පමණක් දන්නා සේ ක. තවම මේ විඩියෝ පටය සත්‍ය හෝ අසත්‍ය හෝ ලෙස තහවුරු කොට නැත. ආණ්ඩුවේ පාර්ෂව විසින් අසත්‍යයි කියද්දී, අන්තර්ජාතික ව පෙනී සිටින නානාමාදිලියේ ආයතයන් මේවා සත්‍ය යයි ප්‍රකාශ කරත්. මගේ ප්‍රශ්නය කවුරු විශ්වාස කරම් ද? මේවා ජඩ මාධ්‍යය ලෙසින් වර්ගී කළ හැකි ද?

දෙවනුව, පසුගිය ජනාධිපතිවරණ සමයේ දී සිට, මේ පසුගිය මහා මැතිවරණය දක්වා වූ මඩ ව්‍යාපාරය ආණ්ඩුවේ සහ සමහර ආණ්ඩු විරෝධි මධ්‍යය අරභයා සිඳු විය. වසරකට කලින් යුධ විරයකු වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණ අවස්ථාවේදී දේශ ‍ද්‍රෝහියකු කරනු ලැබී ය. සමහර මාධ්‍යයන් විසින් ගුත්තිල මූසිල කතාව ඈඳා සේනාධිපති තුමා මූසිලයකු කරනු ලැබිණ. යුද්ධයක් දිනූ කිසිදු සේනාධිපති වරයකු හට යහතින් සිටින්නට ඒ රටේහි පාලයන් ඉඩ නොදෙන්නේ ඔවුන්ට ඇති විය හැකි අභියෝගය නිසාවෙනි. ඇමරිකා එක්සත් ජනපදය හෝ බ්‍රිතන්‍ය හැරුණු කොට අනෙක් සෑම රටක ම කුමන හෝ කුමන්ත්‍රණයක් අටවා සේනාධිපතිවරුන් මරණයට පත් කොට ඇත. ලංකාවේ වාසනාවට ජෙනරාල් තුමා ඝාතනය කළේ නැත; ඒ වෙනුවට කළේ එතුමාගේ චරිතය ඝාතනය කිරීම ය. අදටත් යුධ වීරයා මංකොල්ල කෑමේ වරදට හිරේ ය. ජාත්‍යාන්තර ලෙස මංකොල්ල කෑ, රටට ඇසෙන සේ කෑ ගැසීම මිස වෙනත් සත පහක සේවයක් නොකළ දේශපා‍ළුවෝ යහතින් රජ්ජුරුවන්ගේ කුරහන් සාඨකයට මුවා වී දිවි‍ ගෙවයි. රජ කාලේ හැටි එහෙම යි. මඩ මාධ්‍යයේ මුලීක කාර්ය භාරය වන්නේ ආණ්ඩුවට හෝ රජ්ජූරුවන් වහන්සේ ට අභියෝග වන සියල්ලන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමට ය. එයට සෑදී පැහැදී සිටින පුද්ගලයෝ ඇත්තා හ. ලංකාවේ බහුතරයක් ජනතාව අන් අයෙකු උදෙසා කඩේ යාමට හෝ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කමෙන් ලබා ගත් පඩිපතින් යැපෙනන්ගේ විකෘති සහගත කියමන් තුළින් සත්‍ය දකින්නට හෝ සමස්ථ ලෝකය දකින්නට උත්සහ කිරීම තුළ රැවටි රැවටි රැවටෙන්නට ඇති ආශාව පුදුම සහගත ය. ලංකාවෙන් පිටත අඩියක් තබන්නට බැරි පුද්ගලයෝ සිතන්නේ මුළු ලෝකය ම, විශේෂයෙන් ඇමරිකාව සහ එංගලන්තය ලංකාව අල්ලා ගැනීමට රැස් කකා බලා සිටින බව ය. අධ්‍යපනයට පිං සිඳුවන්නට මේ රටවල් වල ඇවිද අත්දැකිම් ලබන්නට අවස්ථාවක් ලද්දෙකු වශයෙන් මෙවැනි හිතළු අසා නිකටේ අත ගසනු මිස වෙන කවරක් කරන්න ද? ලංකාවේ ලිං මැඩියන් වයින් කරන මෙවැනි මාධ්‍යයකරුවෝ ඔවුන්ගේ ම කර පිටින් මෙවැනි රට රාජ්‍යයන්හි විනෝද චාරිකා යති; දරුමුණුපුරන් එවන් රටවල ඉගන ගැනීමටත්, සමහරුන්ගේ දරුවන් නැවත ලංකාවට නොයෙන්න ම තැනට කටයුතු සම්පාදනය කර ගෙන ඇත. එහෙත් එවුන් ගේ කතා අසා ජාත්‍යාලයෙන් ඔද ගැන්වෙන එදා වේළ සරි කර ගන්නට නොගන්නා තැතක් ගන්නා මිනිසුන්ට තමුන්ගේ දරුවන් ලංකා නිදහස් අධ්‍යාපන පාසලකට යවා මොවුන්ට අතවැසිකම් කරන්නට දරුපරපුරක් ගොඩ නඟන තත්ත්වයට වැටී ඇත. ලාංකිකයන්ට ආත්ම අභිමානයක් නැත; ඇත්තේ ගැතිකම් පැමේ මානසිකත්වයක් පමණි. මගේ එක් ඥාතියෙකු උදේ හවා කුඩා ගුවන් විදුලියක් කන ගසා ගමන් යයි. ඔහු අපේ නිවසට පැමිණි සැනින්, කතාවට ඇද ගන්නේ එදා දවසේ මඩ මාධ්‍යයෙන් කතා කළ දෑ ය. හේ උදේ කථිකාවක කියූ දෑ ඒ ලෙසින් ම නැවත වමාරා කයි. අහක සිට අසා සිටින මට ඇතිවන්නේ මහා ම මහා පිළිකුලකි. සිතක් මිනිසාට ලැබි ඇත්තේ සිතන්නට මිස, වෙනෙකෙකු තමුන්ගේ වාසිය, පඩිය, වන්දිබට්ටකමට කී දෑ වමාරන්නට නොවේ. අවාසනාවක මහත, ලංකාවේ සිතා මතා යමක් විශ්ලේශනය කර ගත හැකි පාඨකයන් ඇත්තේ අතලොස්සක පමණි. අනෙක් උන් “රටට යුතුකම්” කිරීම හෝ “ජාතිය ආරක්ෂා කිරීම” හෝ “ආගම සුරැකීම” හෝ “ත්‍රස්තයන්ගෙන් නැතහොත් විදේශිය බලවේගවලින් රට බේරා ගැනිම” වැනි කිසිදු සම්බන්ධයක් නැති බොල් උදෘත පාඨමත ඇලී ගැලී හදවතින් සන්තර්පනය වී අවේගාත්මක ලෙස කියති; සිතති; කටයුතු කරති. පසුව කලක් ගිය විට ඒ සියල්ලත ම අමතක කර දමති.

අවසාන වශයෙන් අපගේ කථිකාවට ගෝචර වන්නේ මේ දෙකටම අයිති නොවන ඊනියා මධ්‍යස්ථ මාධ්‍යයයි ලෙබල් අලවා ගන්නා “ගැති මාධ්‍යය” පිළිබඳ සටනක් තබන්නට ය. මොවුන් දේශපාලන ගැතිකම් කරනවා පමණක් නොව, රෙට්ස්වලට ගිජුකමෙන් මෘත ශරීර පවා විකුණා විකුණා ප්‍රදර්ශනය කරයි. ලංකාවේ අනුවේදනීය සිඳුවීමක් වුවහොත් මොවුන් ඒ අන් කිසිවෙකුට කලින් පෙන්වා, සති දෙකක්, මාසයක් පමණ එකම රූපරාමු ටික විවිධ වශයෙන් පෙළ ගස්වා හඬ කවා ප්‍රදර්ශනය කරති. ඔවුන් පවසන්නේ මහජනයා තකා වැඩ කරන බවකි; එහෙත් ඔවුන්ගේ සැබෑ පක්ෂ පාතීත්වය රැදී ඇතිතේ ඉහළම මුල්‍ය ලන්සුව වෙත ය. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැත. ප්‍රසිද්ධිය ජනප්‍රියතාවය උදෙසා ඕනෑම කුණු ගොඩක් පෙන්වන්නට ඔවුන් පසුබට නොවේ. සමහර විට, ඔවුන් විසින් මාධ්‍යයයෙන් ජනප්‍රිය කොට තනන කාඩ්බොඩ් වීරයන් ම, ජනප්‍රිය සුළඟ අනෙක් අතට හමයි නම් වස්ත්‍ර ගළවා නිරුවත් කොට හෙළුව මුළු රටට ම ප්‍රදර්ශනය කරවයි. මුල් මාධ්‍යය දෙක හෙවත් ජඩ හා මඩ මාධ්‍යය අපට කල් තියා ම හඳුනා ගත හැක. එහෙත් සැඟවුණු න්‍යායපත්‍රයක් සහිත ගැති මධ්‍යයන් හඳුනා ගැනීම අතිශය දුෂ්කර වෙයි.

කෙසේ වෙතත්, මේ මාධ්‍යය හැසිරවීමෙන් සහ භාවිතයෙන් විවිධ වූ චරිත ලංකා කරලියට සපැමිණ ඇත. මෙයින් සුවිශේෂ චරිත නම් විමල්වීරවංශ, උපේකා ස්වර්ණමාලි, දුමින්ද සිල්වා, මනිෂ වැන්නවුන් පෙන්වා දිය හැකි ය. විරවංශයෝ කළ මහජන සේවය නම් යටිගිරියෙන් කෑ ගැසීම ය. හේ ඇමරිකාවට, එංගලන්තයට, ලෝක බැංකුවට, අන්තර්ජාතික කොටි ජාලයට, එක්සත් ජාතින්ගේ සංවිධානයට ආදී අනේක විධ ආයතනයන්ට සිංහලෙන් බැණ අඬ ගසමින් මාධ්‍යය මනරම් පුවත් මවයි. ඒවා ආදාළ පාර්ශවයන්ට ඇසුනත් නැතත් කම් නැත. මේ අසන සිංහල ඡන්ද දායකයා චූන් වී මනාප ගොඩ වැඩි කරවයි. උපේකා ද මෙවන් තලයකට ඔසවා තැබුවේ ඈ වාරණයට පත්කළ ආණ්ඩුවේ මාධ්‍යය සහ ඇගේ “ස්ටාර්” ගුණාංග මතු කළ ස්වර්ණවාහිනියත් ය. ඒ නිසා ඈ මන්ත්‍රීවරයකු ලෙස පත් වූව ද ටෙලි නිලියක කරන ලඳබොළද මුඨ ක්‍රියාවන් මාධ්‍යයන් හරහා ප්‍රදර්ශනය කළා ය. ඈ අවුරුදු උත්සවයක ගෝණි පැනීම, අලියාට ඇහැ තැබිම වැනි ක්‍රිඩාවන්හි නිරිත වෙමින් ඈ ස්වකීය බොළඳ බව දැක් වූවා ය. මා අසා ඇති කතාවකට අනුව එක්තරා මිනිසෙකු රාජකාර්යය ලැබුණු පසු තමුන් දහවලේ පැන ආ දියදොළට බැස ගියා ලු. එයින් ගම්‍ය කළේ ඔහු පත් වූ තත්ත්වයේ වූ තේජාන්විත භාවයයි. එහෙත් දැන් ලංකාවට අවශ්‍ය අවුරුදු සෙල්ලම් කරන, රඟ පාන, නිවේදක හෝ නළු මන්ත්‍රීවරුන් ය; මහජන සේවකයන් නොවේ ය. අයි. පී. එල්. ගසන සනත් වැනි ක්‍රීඩකයන් ය. සනත් පාර්ලිමේන්තුවට පත්වීමට තරම් කළ මහජන සේවය කුමක් ද? අනෙක් දෙදෙනා ගැන කතා කළත් කියන්නට ඇත්තේ ඔවැනි කතා ය. මොවුන් මාධ්‍යය විසින් ගොඩ නැගූ බොල් ප්‍රතිරූපයන් ය. අද ඡන්දය භාවිතා කරන බහුතර කොටස කාන්තාවන් ය. අනෙක් බහුතර කොටස තරුණයන් ය. මෙවැනි අය තමුන් නියෝජනය සඳහා පත්කන්නේ කවර ආකාර අයවළුන්දැයි පසුගිය දිනවල අපට මනාව පෙනිණ. ඒ කවුරුන්වත් නොව මාධ්‍යය විසින් ගොඩ නඟන බොල් පිළිම ය. ඒ හෙයින් අනාගතය පිළිබඳ අපට ඇති විශ්වාසය කවරක් ද? අපට මග බලාසිටින අනාගතය වනාහි කාඩ්බොඩ් බොල් සර්වපිත්තල හිතළුවකි; මහා ම මහා විහිළුවකි.

Monday, April 12, 2010

ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද සෙල්ලම හා එක්තැන පල් වන දෙමළය

මෙවර මැතිවරණයේ අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුලු එක්සත් නිදහස් සංධානයේ ඇමති මන්ත්‍රී පිරිස ලබා ගත් හ. එහෙත් මෙසේ තවම අවසානයක් නොමැති ඡන්දය පිළිබඳ රොබටෝ බෙලෙක් ප්‍රකාශ කරන්නේ “දෙමළ ප්‍රශ්නය විසදීම පිණිස මෙය ස්වර්ණමය අවස්ථාවක්” බව ය. ලංකාවේ දෙමළ ප්‍රශ්නය තවමත් නොවිසිදුණු එකතැන පල් වන ප්‍රශ්නයකි. මුලින් ම දේශපාලන මාතවාද වශයෙන් මෙය “වර්ගවාදී ප්‍රශ්නයක් ද?” නොහොත් “ත්‍රස්තවාදී ප්‍රශ්නයක් ද?” යන්න පිළිබඳ ගැඹුරු මත ගැටුම් හා කථිකා විය. අද හොඳින් හෝ නරකින් ප්‍රභාකරන් නැමති සාධකය ඉවත් කොට ඇත. එයින් එකී සාධකය වටා යුක්තිය, සාධාරණත්වය, සමානතාව අපේක්ෂාවෙන් වට වූ දෙමළ ජන ප්‍රජාව මංමුලා වී ඇත. තවමත් උතුරේ ලක්ෂයකට අධික දෙමල ජනතාවක් “සුබසාධන (අනාථ) කදවුරු” හෙවත් දෙමළ ඩයස්පොරාව විසින් නම් කරන “විවෘත සිරකදවුරු” ගාල කර ඇත. එකී තෙවන ඊලාම් යුද්ධය ජය තෙරට ගෙ‍නගිය සේනාධිපති දකුණේ යුධාධිකරණයක තිරණ පොරොත්තුවෙන් සිරගත හෙවත් ආණ්ඩුව පවසන පරදි “නිවාස අඩස්සි” කොට ඇත.

පසුගිය දවසක වව්නියාවේ අපේ ජනාධිපති විසින් වර්ගවාදී ලෙස කළ බැණ වැදීම තුළ ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිදරව් වී ඇත. සමහර විට “මතට තිත” තබන්න ගිය ජනාධිපති මතින් මත් ව, “කටට තිත” තියා ගන්නට නොහැකි වූවා විය හැති ය. හෙතෙම, වව්නියාවේ දී තමුන්ට අභියෝග කළ දෙමළ තරුණයන්ට මෙසේ “අපිත් සිංහල; රටත් සිංහල! . . . අහගෙන ඉන්නවා!! . . . දෙමළා!!!” බැන වැදී ඇතයි ලංකා ටෘත් වෙබ් අඩවියෙ දක්වා තිබිණි. අපගේ කෂේරුකා බිදී, සෙවෙල, දේශපාලක සෙරෙප්පු ලෙව කන ජන මාධ්‍ය මේ ‍පිළිබඳ, “මීක්” ශබ්දයක් වත් කළේ නැත. ජනතාවට ප්‍රවෘත්ති දැන ගැනීමේ අයිතිය ආරක්ෂා කළ ආණ්ඩුවේ ජනමාධ්‍ය විසින් වෙනදා මෙන් මේ ප්‍රවෘත්තිය කණපිට පෙරළා දක්වා ති‍බුණේ ජනාධිපති වරයා විසින් තමුන්ට දෙමළින් කතා කිරීම පිළිබඳ විරෝධය පෑ සිංහළුන් හට බැණ වැදී ඇති ලෙසකින් ය [ඉහත දැක්වූ සඳහන පිළිබඳ අදහස් දැක්වූ කිහිප දෙනෙකු විසින් නිවැරදි කිරීමක් ලෙස ලංකාදීප පුවත් පත විසින් නිකුත් කළ විඩියෝපටයක් සඳහා සම්බන්ධතාවක් එවන ලදී. එහෙත් මා විසින් දැක් වූ අදහස් සඳහා එකී නිවැරදි කිරීම මගින් කිසිඳු බලපෑමක් ඇති නොවේ. මන්ද මා දක්වා ඇත්තේ "ලංකා ටෲත්" විසින් ප්‍රකාශ කරන ලදැයි සැලකෙන ප්‍රවෘතියක් මිස වෙන කිසිවක් නොවන බව කරුණාවෙන් සැලකුව මැනවි].

රටෙහි ජනාධිපති වැරදී වැරදී දෙමළ භාෂාවට නිගාවන පරිදී, සිංහලයන් හට ව්‍යාජ ප්‍රතිරූපයක් මැවිමට කරන දෙමළ කතාවන් මගින් ඇති වී ඇති දෙමළ ජනතාවගේ දුක්කදොමනස්සයන් සැනසිය නොහැති වේ. බහුතර සිංහල අපි මේ ප්‍රශ්නය දෙස බලන, මතුපිට දැක්මෙන් සහ දෙමළ දුක්ගැනවිලි නොතකා සිටීමෙන් නුදුරක දීම නැවත “දෙවන ප්‍රභාකරන්” කෙනෙකු බිහි නොවී යයි කිව හැක්කේ කවරෙකුට ද? සාම අධ්‍යයනයන්ගේ පියා ලෙස සැලකෙන නොවිජිනියානු ජාතික මහාචාර්ය යොහානස් පවසන්නේ තව අවුරුදු පහක් හෝ දහයක් ඇතුලත දෙමළ බෙදුම්වාදී සාධකයක් පළිගැනීම පිණිස මතුවන බව ය. ස්වකීය අන්තර්ජාතික වෙළෙඳවාදී යුධ මානසික ව්‍යාපාරික ජාලය “ඩයස්පොරා වැස්සිය” දොවා මිළ මුදල් ගරා ගැනීමට එකී පළිගැනීමේ ගින්නට ඉන්ධන සපයනු ඇත. මා ඔහු විසින් පවසන ෆෙඩරල් සංකල්පයන් පිළි නොගත්තත්, ඔහු මතු කරන තත්‍ය එක් තැන පල්වන ‍ජාතිවාදී, අයුක්තියේ ජරා නරවලින් තව දෙමළ ජාතික සන්නද්ධ නායයකු මතු වීම කරුණු පෙළ ගැස්මට අනුව ඇති නොවුණ හොත් පුදුමයකි. තිස්වසරක පමණ යුද්ධයට හේතු පාදක වන්නේ දෙමළ දුක්ගැනවිල්ල සහ ඒ පිළිබඳ ප්‍රතිචාර දක් වූ දෙමළ ජාතිවාදී දේශපාලන නායකත්වය හා සිංහල ජාතිවාදී නායකත්වය විසින් සැකකසු ජාතිවාදී, වාර්ගවාදී කලිළ නරවල, කාලය සම්පූණ වූ කල, “ප්‍රභාකරන්” නැමති සාධකයට තිබිරි ගෙය විය. ප්‍රභාකරන් ගේ රුධිරු හස්තයෙන් පිඩාවට පත් වූයේ සිංහල ජනසමාජය වත්, මායිම් ගම්මාන වල ජනතාව වත් නොවේ. එකී සාධකයේ දරුණු පහරට ලක් වූයේ, විමුක්කිය සම්පාදනය කළ යුතු වූ ලාංකික දෙමළ ජන ප්‍රජාවට ම ය. මව මරා උපන් කුමරෙකු සේ, ස්වකීය පැවැත්ම සඳහා පාදක වූ, දෙමළ දේශපාලන නායකත්වය එල්.ටී.ටී.ඊය විසින් විනාශ කර දමන ලදී. එතැනින් නොනැවති, ප්‍රබල සිංහල බහුතරයක් හා කෙවල් කළ හැකි උගත් බුද්ධිමය සම්පත ද මරා දමන ලද්දේ ය. මේ සියල්ල කළේ දෙමළ ජනතාවගේ කේවල හඬ හැටියට එල්.ටී.ටී.ඊය කිරුළු පැළදා ගැනීමට ය. උතුරේ පිහිටි ඉතා පොහොසත් සංස්කෘතිය, සංස්කෘතික උරුමය, සාහිත්‍ය සහ පොතපත විනාශ කළේ ය. ඒ සඳහා මුල පිරුවේ දකුණේ ඊර්ෂ්‍යවෙන් පිරුණු සිංහල දේශපාලකයන් ය. එවකට ආසියාවේ විශාලතම පුස්ථකාලයක් වූ යාපනයේ පුස්තකාලය දවා විනාශ කරමින් සිංහල ජාතිවාදී ගිනිදැල් අවුලන විට, එල්.ටී.ටී.ඊය ඒ ගිනිදැල් භාවිත කොට, කෝසය වෛරය වැනි ඉන්ධන ද එක් කොට, ශේෂ වූ දෙමළ සංස්කෘතිය හා උරුමය දවා ලී ය. ලංකාවේ හොඳම අධ්‍යපනය තිබූ උතුර, අවසානයේ සන්නද්ධ යුධ පෙරමුණක් සඳහා අන්නත මොඩ ලෙස දුන් අණින් කොකා ගැස්සීමට හෝ ආණ්ඩුවේ හමුදාව විනාශ කළ හැකි හෝ මිනිස් බොම්බයක් ව අණ තකා පුපුරා ගන්නා තත්ත්වයකට පත් කළ අනාගත පරපුරක් බිහි කළේ ය. අද ලංකාවේ ශේෂ වූ දෙමළ ජනාතාවට තමුන්ට ම කියා මතවාදයක් නැත; මෙතෙක් “තලෙවර්” කී දෑ තම මතය කර ගත් ඔව්හූ කරකියා ගත නොහැකිව මතවාදී ලෙස අතරමං වී ඇත. යාපනයේ අධ්‍යාපන ශ්‍රේෂ්ටත්වය අද, හෝඩිය පොත හරිහැටි නොදන්නා ළමා සොල්දාදුවන් සහිත ජන ප්‍රජාවක් බවට පත් වී ඇත. එහෙත් මේ සියලු වඳ විඳ, ආනාථ කදවුරු ගාල් වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බිඳි අභිමානයෙන් සියදිවි තොර කර ගන්නා තත්ත්වයට වත්මන් ආණ්ඩුව පත් කොට ඇත.

මේ ආණ්ඩුව යුද්ධය දිනා ගැනීම තකා ක‍ළ උපක්‍රමය කුමක් ද? මම එවකට විදෙස් රටක වූ බැවින් කෙහෙලිය රබුක්වැල්ල විසින් දුන් සංඛ්‍යා ලේඛන විශ්වාස කරමින් නන්තිකඩාල් කලපුවේ රැදුන ජනතාව 50,000-70,000 බවට විශ්වාස කළෙමි. එපමණක් නොව මා අවට සිටි අයට මා පැවසුවේ ස්වල්ප දෙනෙකු සිටින බව ය. යුද්ධය අවසාන වී ලක්ෂ තුනක් පමණ ජනතාවක් පැමිණෙන විට මා අවට සිටි අය මා බොරුකාරයකු බවට ප්‍රකාශ කළේ, සිංහල ජනතාව දෙමළ ජනතාවට දක්වන සැලකිල්ල පිළිබඳ ප්‍රශ්න නගමින් ය. මා නොදැන සිටි, එහෙත් සැබෑව දැන සිටි ආණ්ඩුව, ලක්ෂ තුනක පමණ ජනතාවක් සඳහා අවශ්‍ය කරන ආහාර වෙනුවට 70,000 අවශ්‍ය ආහාර සහ වෛද්‍යාධාර යවමින්, ක්‍රමානුකූල ව සිවිල් ජනතාව කුසගින්නේ සහ හාමතයේ තබන ලදී. ඒ හෙයින් මහල්ලන් රාශියක් ද, කුඩා දරුවන් විශාල සංඛ්‍යවක් ද කුස ගින්නේ මියැදුනේ ය. බොම්බ වලින් මියැදුන සංඛ්‍යාවට වඩා කුසගින්නෙන් මියැදුන සංඛ්‍යාව වැඩි බව ප්‍රකාශ විය. අවසානයේ ලුණු කැඳ හෝ ජලය නොමැති ව සිවිල් ජනතාව අධික පරිපීඩාවකට ලක් විණ. අහිංසක සිවිල් ජනතාවක් ආහාර, ජලය සහ වෛද්‍යාධාර නො සපයා කුසගින්නේ මැර වීම, කවරෙකු වත් පිළි නොගන්නා, මිලේජ්ජ්‍ය හා දරුණු යුධ අපරාධයකි; පොළොව නුහුලන අයුක්තියකි. එය ප්‍රජාතන්ත්‍රවාදී රජයක්, එල්.ටී.ටී.ඊය වැනි දීන මිලේජ්ජ්‍ය ත්‍රස්තවාදීත්වයකට වැටීමකි. ඒවැන්නෝ යම් දිනක දී, අපගේ සේනාධිපති වරයා මෙන් යුක්තිය විසින් දඬුවමට පත් වෙනු ඇත. පසුව දෙමළ ජනතාව, කටුකම්බි ගසන ලද, ගම්මාන පහක අවුරුදු පහකට පදිංචි කර වීමේ සැලැස්ම, ජනාධිපතිවරණ ඡන්දය සමඟ අහොසි වී ගියේ ය. එකී ඡන්දයට පිං සිදුවන්නට සහ දෙමළ ජනතා හදවත ජය ගැනීමට සරණාගත කදවුරුවල සිටි ජනතාව ආණ්ඩුව විසින් හරි හරියට නිදහස් කර හරින ලදී. එසේ අකලට, ඡන්දයක් නොපැණියේ නම්, තව ම මේ සරණාගතයෝ කදවුරු තුළ දුක් වේඳනා විඳිණු ඇත.

දකුණේ ජනතාව යුද්ධය දිනීම පිළිබඳ උදම් අනනවිට, උතුරේ ජනතාව ඒ පිළිබඳ දරන අදහස කුමක් ද? ත්‍රස්තවාදය හෙවත් ප්‍රභාකරන් නැමැති සාධකය ඉවත් වූ උතුරු නැගෙනහිර ඡන්දය සඳහා සහභාගී වූයේ 20% අඩු ජනතා ප්‍රතිශතයකි. එනයින් පෙනෙන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තවම සිංහල ආණ්ඩු පිළිබඳ හෝ දකුණේ දේශපාලනය පිළිබඳ විශ්වාසනියක්වයක් ඇති වී නොමැති බැව් නොවේ ද? අනෙක් අතට, මෙසේ සරණාගත තත්ත්වයට පත් වූවෝ ස්වකීය ඡන්ද ප්‍රදේශවලින් ඈතට පදිංචියට ගොස් විය හැකි ය. මේ සා වැදගත් ඡන්දයක දී ඔවුනගේ හඬ නිහඬ කළේ භූගෝලිය දුරස්ථභාවය හෝ ප්‍රවාහන පහසුකම් විය හැකි ය. දැන් ඡන්ද දැමුවහොත් අත් කපන්නට, මරා දමන්නට, පවුල් පිටින් පුළුස්සා දමන්නට ත්‍රස්තයෝ නොවෙති. එහෙත් උතුරේ දෙමළ ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට මැළි වූ යේ මන් ද? තුනෙන් දෙකකක් ලැබිම පිළිබඳ සන්තෝෂ වන ආණ්ඩුව කල්පනා කළ යුත්තේ මෙයට පිළියම් කිරීම මිස, වෙන තැනින් මන්ත්‍රීන් බිළිබා ගැනීම නොවේ. එසේ නොමැති වූ කළ මේ ජනාධිපතිගේ ධූර කාලයේ ම, මේ අභිනව පාර්ලිමෙන්තු කාලයේ දීම, තවත් දෙමළ සන්නද්ධ නැගීටිමක ආරම්භයක් වැළැක්විය නොහැකි වෙයි. ඒ සඳහා විශාල හමුදාවක් අවශ්‍ය නැත. සුළුතර කණ්ඩායම්ක් විසින් රටක් දැඩි අවුලෙන් අවුලට පත් කළ හැකි බව අල්කයිඩා ව ත්‍රස්ත ජාලය පෙන්වා දී තිබේ.

වරක් ජනාධිපති වරයා විසින් වත්මන් ලංකවේ “සුළුතරයක් නැතැ”යි ප්‍රකාශ කළේ ය. කෙසේ වෙතත්, “ප්‍රජාතන්ත්‍රවාදය” සාධාරණ යුක්ති සහගත දේශපාලන ක්‍රමයක් නොවේ. එහි ගම්‍ය අර්ථයෙන් ම ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කරන වා නොව, බහුතරයක් විසින් සමස්ථ ප්‍රජාව ම පාලනය වේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු (50 + 1)% තීරණය ඉටු වීම ය. මෙවර පාර්ලිමෙන්තු මැතිවරණය සඳහා 50% පමණ ප්‍රමාණයක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. එසේ ප්‍රකාශිත ඡන්ද 50%න් 60%-70%ක බහුතර මතයකින් අද තුනෙන් දෙකක ආසන්න පාර්ලිමෙන්තු සංචිතයක් සැකසී ඇත. සත්‍ය වශයෙන් පැවසුවොත්, ආණ්ඩුව සඳහා තුනෙන් දෙකකට ආසන්න ඡන්ද ප්‍රකාශ වීමක් සිඳු වී තිබෙන්නේ මුළු ඡන්ද ලාභි පුරවැසියන්ගේ 30%- 35% පමණ ප්‍රමාණයකින් ය. යමෙකුට මේ විශ්ලේශනය ‍දෙස බලා ඡන්ද නොදැමූ අය කර ගත් මෝඩ කමක් යයි කිව හැකි ය. මම ද එයට එකඟ වෙමි. එනයින් ඡන්ද නොදැමුවන් මතු පැමිණෙන ආණ්ඩුව විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් නැත්තේ, තොරා ගැනීමේ කාර්යය සඳහා ඔවුන් ක්‍රියාකාරී සහභිගීත්වයක් දරා නොමැති බැවින් ය. අනෙක් අතට, මෙයින් පෙනෙන්නේ අවම වශයෙන් බහුතර කැමැත්ත වත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන රාමුව තුළ ප්‍රකාශ නොවන බව නොවේ ද? එසේ නම් සුළුතරයක් වන අසිංහල හෙවත් දෙමළ, මුස්ලිම් හා වෙනත් ජන කාණ්ඩ ගැන කවර කතා ද?

Monday, March 29, 2010

නැවතත් ඡන්දයක්-මිනිසුන්ට තවත් පොරොන්දු මල්ලක්

පසුගිය දවසක අපගේ එක් රැස්වීමක දී, මගේ මිත්‍රයකු මෙසේ විමසුවේ ය: "ලංකාවට පැමිණි විට 'ප්‍රතිසංස්කෘතික කම්පනයක්' ඇති වුණේ නැද්ද?" ඔහු මවිත කරමින් මා දුන් පිළිතුර වූයේ "නැත" යන්න යි. ප්‍රතිසංස්කෘතික කම්පනය යනු වසර කිහිපයක් විදේශ රටක ජීවත්වන එහි සුඛෝපබෝගී ජීවිත රටාවට හැඩ ගැසුණු විට නැවත තමුන්ගේ රටවලට පැමිණි විට ඇති වන කම්පනය යි. එලෙස ම යමෙක් විදේශිය රටටකට ගිය පසු ද, සංස්කෘතික කම්පනය ඇති වේ. මෙහිදී අවස්ථා හතරක් දක්නට ලැබේ.

  1. මධුසමය-මෙහිදී අලුත හමු වූ සංස්කෘතිය සමඟ පුදුම ඇළුම් කමක් ඇති වෙයි
  2. අර්බුදකාරී සමය-මෙහිදී එකී අලුත්ඇතුල් වූ සංස්කෘතියේ වූ වෙනස්කම් හෝ ගැටලු සහගත තත්ත්ව අභියෝගක් ගෙනේ.
  3. විවේචනාත්මක සමය-අත්විඳින ගැහැට සහ අපහසුතා විවේචනාත්මක ලෙස මුහුණ දීම හෝ විහිළු සහගත තත්වයෙන් සිතට ගැනීම සිඳු වේ. මෙහිදී විවිධ අර්බුධ හෝ වෙනස්කම් සිනහවෙන් හෝ කෝපයෙන් පිළිකෙව් කිරීමට පෙළඹේ.
  4. පිළිගැනීමේ සමය-මෙහිදී විවිධ වෙනස්කම් පිළිබඳ පිළිගැනීමකට එළඹිම ද, ඒවා අගය කිරීම ද සිඳු වේ. සමහරවිට මේ අවස්ථාවේදී සංස්කෘතික කම්පනය නිසා ඇතිවන ආතතියේ දී, සමාජයෙන් කොන් වී ජීවත් වීමට වුවද පෙළඹේ.
එහෙත් ප්‍රතිසංස්කෘතික කම්පනය අවස්ථාවේ දී, තමුන් විසූ විදේශයේ සහ තමුන්ගේ මවු රටෙහි වූ තත්ත්වයන් විශේෂයෙන් ම නොදියුණු, අවනීත, සංස්කෘතිකමය වශයෙන් ඇති පහත් ස්වභාවය, පහසුකම් හිඟ බව, නිදහස සීමා වීම, ආදයම් මාර්ගවල වූ විශමතා, කාලගුණය, සුඛෝපබෝගීත්වයේ සීමාවන් නිසා ඔවුන් විසු රටවලට ම යාමට සිත් වේ. එනයින්, දිර්ඝ කාලයක් ලංකාවෙන් පිට විසු අයෙක් නැවත ලංකාවට පැමිණ අනුගත වීමට වඩා නැවත ඒ රටවලට ම යාමට උත්සහ දරයි. මා හට ප්‍රතිසංස්කෘතික කම්පනයක් ඇති නොවූණේ මා ලංකාවට පැමිණියේ ලංකාවේ තත්ත්වය තේරුම් අරගෙන සහ එකී සීමාවන් හා ගැහැට අපේක්ෂාවෙන් ය. එබැවින් මා හට දැඩි අපහසුතාවක් ඇති නොවිණ. දිනපතා පොදු ප්‍රවාහන සේවයේ පිහිට පැතිම ද, සමහර විට බස් නොමැති කල පයින් කිලෝමිටර ගණන් ඇවිද යාම ද, මාගේ පුරුදු දිවියේ ම කොටසකි. ලංකාවේ පවතින දේශපාලන පිල් මාරුවෙන් ඇති වූ කැපී පෙනෙන වෙනසක් නැතත්, සැමවිට ම, අනාගතය පිළිබඳ සොඳුරැ සිහින දැක්ම පසෙක ලා නැත. මා යුද්ධය පැවති කාලයේ ද, උතුරු නැගෙනහිර විවිධ සේවාවන් කර ඇත. යුද්ධය නිම වීම දකුණේ ජනතාවට ප්‍රීතී ගොස ගෙනෙන කරුණක් වූව ද, තවමත් අනාථ කඳවුරුවල වෙසෙන ජනතාවට ප්‍රභාකරන්ගේ කොටි නියෙන් සහ දතින් ගැළවීම පිළිබඳ සාධනීය බලාපොරොත්තුවක් නැත. අනෙක් අතට පදිංචි කළ ජනතාවගේ සුබසාධනය සඳහා කාලයක් පක්ෂ හෝ විපක්ෂ‍ය දෙකටම නැති. ඔවුන් හට ඇත්තේ උනුන් පොර කා ගැනීමට ඡන්ද පොරටකට පැටලීම ය. ඒ පොරය දෙස බලා සිටින්නට ජනතාවට සිඳුව ඇත. එක එකා මනාපයට පොරකා ගන්නා අතරතුර, ජනතාවට ජීවින බර සහ අවට සිඳුවන මානව හා සත්ත්ව අයිතිවාසිකම් උල්ලංඝනය මතකයෙන් පහව ගොස් ය. එයත් ක්‍රිකට් පෙන්වා වේඳනාවෙන් වුන්නවුන් හට අබිං කවන්නාක් මෙන් ය. දැනටමත් දේශය සුකිත මුදිත ය; තේජාන්විත ය. සිංහලයන්ගේ මතයේ ප්‍රශ්නය දේශපාළුවන්ට නම් හොඳ තුරුම්පුවකි. ලොකයේ පළමු වරට සර්වජන ඡන්දබලය හිමි වූ ලංකාව වැනි රටක අනගතය කුරිරු ලෙස කේදජනක වීමට හේතුව නම් ඡන්ද දායකයා ගේ වූ අමොනොඥ, අදූරදර්ෂි, ලාබප්‍රයෝජනතකා ගන්නා අගතාගාමි තිරණය යි. සමහරු ඡන්ද කාර්යාලයන් විවෘත කරන්නේ රු. 25,000 ලැබෙන නිසා මිස, සැබෑ ජනතා හිතවාදීත්වයෙන් නොවේ. ඡන්ද කාලයට පමණක් මතුවන දූෂකයෝ සහ සමාජපරිහානිය ගෙන යන්නෝ කොහෙන් හෝ සොයා ගන්නා මුදල්වලින් ඡන්ද ප්‍රචාරය කරයි. මේ දවස්වල කෝටි ‍ගණන් මුදල් වියදම් කර කරනු ලබන ඡන්ද ප්‍රචාරයන් නොතකා හැර, සුදුස්සා සුදුසු තැන පිහිටු වීමට තරම් ලාංකිකයන්ට විතක්ෂණ ප්‍රඥාව පහළ වේවා යනු මගේ පැතීම...

ඇත්තට ම මට ප්‍රතිසංස්කෘතික කම්පනයක් ඇති නොවූවා ම නොවේ. ලංකා‍වට පැමිණ බඩු මිළදී ගැනීමට යන අවස්ථාවේ දී, බඩු මිළ දැකීමෙන් දැඩි කම්පනයක් ඇති විය. ඒ ගණන් බොහෝ දුරට ඇමරිකාවේ භාණ්ඩ මිළ හා සැසදේ. එහෙත් ආදයම් ලැබිම අතින් ලංකාවේ ඇමරිකාවට 100 ගුණනයක පහළ මට්ටමේ පවතියි. ළඟ දී මගේ මල්ලි යම් භාණ්ඩයක් ලංකාවට ගෙන්වීම සඳහා තීරු බදු පිළිබඳ විමසිමක් කරන ලදී. ඔහු කලකිරීමට පත් කරමින් තිරුබදු 116% බව දැන ගන්නට ලැබිණ. ඒ හෙයින්, ලංකාවේ වරායට පැමිණෙන රු. 100 වටිනා භාණ්ඩයක්, වරය තුළ තීරූ බද්දට යටත් වූ කළ ක්ෂනික‍ව ම රු. 216 වෙයි. ඒවිට අනෙක් විවිධ බදුවර්ග, ප්‍රවාහන ගාස්තු සහ වියදම් ඇතුලු කොට ලාබය සලකුණු කළ විට රු. 100 භාණ්ඩය අවම වශයෙන් රු. 700-800 පමණ විශාල මුදලකට වෙළඳ පලට පැමිණේ. මේ ක්‍රමයෙන් තැලෙන්නේ කවුරු ද? මෙය නම් තැලෙන යකඩයට උඩ පැන පැන තලන්නා සේ ය.

Wednesday, January 27, 2010

නිදිගැට කඩා අවදිව නැවත සුපුරුදු ලෙස වැඩට යමු...


සර්වජන ඡන්ද බලය ලැබුණු ‍ලෝකයේ පළමු රට ශ්‍රී ලංකා‍ව යි. ඒ ඩොනමොර් කොමිෂන් සභාව යටතේ 1931 දී ය. සර්ව ජන ඡන්ද බලය යනුවෙන් හැඳින් වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා හට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීම ය. එයට පෙර පැවති ඡන්ද ක්‍රමය වූයේ ඉඩම් හිමි, රජයට බදුගෙවන රදළ පුරුෂයන් සුළුතරයක විසින් පත් කරනු ලබන නියෝජීත මණ්ඩලයක් සහ බ්‍රින්‍ය කීරිටය මගින් පත් කරනු ලබන අණ්ඩුකාර වරයෙක් යටතේ ය. සර්වජන ඡන්ද අයිතිය නිසා සාමාන්‍ය ජනතාව වෙත ස්වකීය කැමත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබුනා පමණක් නොව, කන්තාවන් වෙත ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවද ලැබිණි. මෙකී වරප්‍රසාදය ලංකාව හැර බ්‍රිතන්‍යයේ හෝ ඒකී යටත් විජිතයන්ගේ වත්, ඇමරිකාවේ වත් තිබුණේ නැත. සර්ව ජන ඡන්ද බලය ලබා දෙන විට චෙල්වනායගම් සහ සුළු පක්ෂ කිහිපයක් එයට විරුද්ධ වූ බවත්, එසේ ඔවුන් විරුද්ධ වීමට හේතුව රටක් පාලනය සඳහා වූ සුදුසු නායකත්වයක් පත් කිරීම සඳහා බහුතර ජනතාව විතක්ෂණ ඥානය නොමැති බව දක්වමින් ය. එතුවක් මෙතුනක් පැවති සර්වජන ඡන්දයන් මනස හෝ විතක්ෂණය වෙනුවට ආවෙග හෝ කෙටි කාලීන ලාබ ප්‍රයෝජන තකා හෝ රැවටිලි වදන් වලින් මුසපත් ව ප්‍රකාශ වූ බව ප්‍රකාශ නොකර සිටින්නට බැරි ය. පසුගිය අවුරුදු 79ය තුළ ලාංකික ජනතාව තෝරා පත් කළ පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිට 2010 ජනාධිපතිවරණය දක්වා චෙල්වනායගම් විසින් ප්‍රකාශ කළ කියමන සත්‍ය බව පසක් වනු ඇත (එහෙත් මා තවමත් සර්වජන ඡන්ද බලය හා ජනතාව විසින් තෝරා පත් කරන ජනතා නියෝජිත්වයකට ගැති වෙමි; පක්ෂ වෙමි). මෙසේ ලංකා ජනතාව ආවේගී ලෙස ඡන්ද ප්‍රකාශ කරන ආකාරයට හේතුව ප්‍රභාකරන්ට අනුව දින පහළෝවක සීමිත මතකය ද, ටෑබූ අනුව වැඩවසම් මානසිකත්වය හෙවත් රාජකීයත්වයට ගැතී කම ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ලංකා ජනතාවගේ තෝරා ගැනීම කෙතරම් ප්‍රඥා ගෝචර දැ යි අතීතය දෙස ආවර්ජනයක යෙදීමෙන් අපට පහදා ගත හැකි ය.


මා උපන් දවසේ සිට, අත්දුටුවේ සර්ව ජන ඡන්ද බලයේ මාහැගී සර්වබලධාරීත්වයට ය. මා උපත ලැබූවේ සිරි‍මාවෝ මැතිනියගේ වාමංශික කැඳ හවුලේ දුර්භික්ෂ සමයේ දී ය. සර්වජන ඡන්ද බලයෙන් පත් කරගත් මේ හවුල අවසානයේ ජනතාවට කෙසෙල් බඩ, බතල ම‍ඤඤෝක්කා ආහාරයට දුන්නා පමන්ක් නොව හාල් පොළු, මිරිස් පොළු, රෙදී සීමාවන් යොදා ජනතාව හෙබ්බත් ‍කළේ ය. මගේ පියා මා හට කිරි ලබා ගැනීම සඳහා කොළඹ සිට රට වටෙ කරක් ගසන්සට සිඳු කළ කාලයේ ම, ආණ්ඩුවට පක්ෂපාතී ගැත්තන්ගේ නිවෙස් වලට සමුපාකාරයේ සිට ලොරි පැමිණ ආහාර ගොඩ බස්සන අයුරු, බඩපොත්ත අතගානා කුස ගින්නේ සිටින ජනතාවට දකින්නට සැලැස්වි ය.


එයින් හෙම්බත් වූ පීඩිත ජනතාව කළේ ජේ.ආර්. හට හයෙන් පහක බලයක් ලබා දීම ය. ‍ජේ.ආර් ද ලැබූ ජන වරමින් ඔදවැටී, විපක්ෂයේ මැතිනියගේ ප්‍රජා අයිතිය ද අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදී නොපිලි මගකට පිවිසියේ ය. ඔහු විසින් සකසන ලද නව ව්‍යවස්ථාව කරන කොට ගෙන, විධායක ජනාධිපති ධූරය හඳුන්වා දුන්නේ ය. එසේ කිරීම සඳහා ඔහුගේ සාධාරනීයකරණය වූයේ වේගවත් සංවර්ධනයක් සඳහා එවැනි බලතල අවශ්‍ය බව සඳහන් කරමින් ය. නව ව්‍යවස්ථාව ස්ථාපනය කරමින් ඔහු‍ගේ ප්‍රසිද්ධ උදන් වාක්‍ය වූයේ දැන් අපට කළ නොහැක්කේ "ගැහැණියක් පිරිමියකු කිරීම පමණක්" බව ය. එකී බලගතු ව්‍යවස්ථාව හා විධායක ජනපති ධූරය භාවිත කොට විසි අවුරුදු මහවැලි ව්‍යාපාරය අවුරුදු කිහිපයකින් නිමා කළ අතර, වෙළඳපළ ද, විවෘත කළේ ය.


මැතිනියගේ (පාක්ෂිකයන්ට අදාළ නොවන එහෙත්) ජනතාවට පමණක් සීමා‍ වූ "ස්වදේශිය ප්‍රතිපත්ති" වලින් හෙම්බත් වූ ගම්මුන් බතබුලතින් සැනැහී, මොටර් බයිසිකල් ගෙන රවුම් ගසන තත්ත්වවට පත් විය. එහෙත් ජේ.ආර්. විධායක අධිකාරීත්වයත්, කලින් ලැබූ පාර්ලිමේන්තු බලය රැක ගැනීමට කළගෙඩි පහන හෙවත් අලුත් "ජනමත වීචාරය" නැමැති සෙල්ලමක් 1980දී හඳුන්වා දී, ප්‍රජාතන්ත්‍ර විරෝධි ලෙස බලය දීර්ඝ කර ගත්තේ ය. එසේ ම, ජේ.ආර්. විසින් අත්නොමතික ලෙස ක්‍රියා කිරීම නිසා 1983දී සිවිල් කොලහාලයක් ඇති වී, දෙමළ ජනතාවගේ සිත් සිංහල ජනතාව කෙරෙහි වෛරී අදහසින් පුරවා දමන්නට විණ. මෙයින් තිස් අවුරුදු යුද්ධයකට මං පෑදිණ. එය නිම කිරීමේ සියලු අපේක්ෂාවන් ධූරින්භූත කරමින් ඉන්දියාව දෙමළ ආයුධ සන්නද්ධ ව්‍යාපාරය සමඟ අතිනත ගත්තේ ය.


ප්‍රේමදාස ද විධායක ජනපති ධූරයේ බලය භාවිතා කරමින් කඩිනම් සංවර්ධනයක් රටට කළේ ගම් උදාව සහ මහා මාර්ග තැනීම මගින් ය. ප්‍රේමදාසගේ පේෂ කර්මාන්ත ද, ජන සවිය ද දිළිඳු ජනතාව වෙත මාහැඟී වාසීන් ද, අතමිට සරුවීම් ද ගෙනෙන ලදී. එසේ ම කවදාවත් නොවූ විරූ ලෙස සංස්කෘතික දේහයේ බිඳ වැටීමකට මේ පේෂ කර්මාන් (ගාමන්ට්)යෝ ඉවහලි විණ. එහෙත් විධායක ජනපති ධූරයේ වූ භයානක්වය සහ කෲරත්වය විදහා දක්වමින් ඝාතන රැල්ලක් ආරම්භ විණ. ඒ වනාහි ලංකා සමාජය කිසිදා නොදැක්ක, නොවූ විරූ ආකාර දරුණු මිලේජ්‍ය ඝාතන රැල්ලක් විණ. අවසානයේ අනුන්ට දිගු කළ ඝාතන හස්තය ප්‍රේමදාස වෙත ද, යොමු වූයේ අදිසි අයුරින් ය.


චන්ද්‍රිකා යුගයේ කියන්නට තරම් කැපී පෙනෙන දෙයක් සිඳු නොවුණු යුගයකි. විවිධ රාජ්‍ය ආයතන රාශියක් පෞද්ගලීකරණය වීම සහ රජයේ දේපළ පෞද්ගලික අංශයට (කොමිස් තකා) විකුණා දැමීම හැරුණු කොට, කාලය පැය භාගයක් වෙනස් කිරීම ඇයගේ දායා ද ය වි ය.එහෙත් මෙහිදී සටහන් කළ යුතු වැදගත් සිඳුවීමක් වන්නේ ජේ.වී.පි.ය චන්ද්‍රිකා බලයට පත් කිරීම සඳහා ඉදිරිපත් පත් වීමත්, නාසි යුධ ප්‍රකාශකයකු වූ හයිරික් හිම්ලර්ගේ සිය වරක් බොරුවක් ප්‍රකාශ කිරීමෙන් "ජනප්‍රිය සත්‍යයක්" කිරීමේ උපක්‍රමය රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන විට, යම් යම් පෞද්ගලික මාධ්‍යයන් ද ස්වකීය අපේක්ෂකයාට වාසීසේ මාධ්‍ය මෙහෙය වීම සිඳු විය. චන්ද්‍රකා යුගයේ දී, කැපීපෙනෙන ජන මාධ්‍ය ප්‍රමාණයක් කලඑළි බැසීමත් සමඟ නවතම මාධ්‍ය භාවිතයක් ආරම්භ විණ. එෆ්. එම්. නාලිකාවන් මගින් සංස්කෘතික හර පද්ධතියින් උඩුයටි කුරු කරමින් බටහිර සංස්කෘතික වටිනාකම් හා ජීවන දෘෂ්ටිය ගමට ආයනය කරන ලදී. ඒ සමඟ පැය 4, 6, 8 දක්වා විදුලිය ඇණහිටිමේ රාත්‍රියේ තාරකාවිද්‍යාව පිළිබඳ ප්‍රායෝගික පාඩම් ඉගන ගැනීමේ ආනන්දජනක අත්දැකීම් අපට ලැබුණේ දුර්වල ජාතික සැලසුම්වල ප්‍රතිපලයක් වශයෙන් ය. එහෙත් චන්ද්‍රිකා යුගයේ ඇතිවූ කැපිපෙනෙන ප්‍රවණතාවයක් වන්නේ චන්ද්‍රිකා-රනිල් සාම ගිවිසුම යි. එයින් වන්නියේ වැසියන්ට දකුණේ ජනතාවත්, එකිනෙකා සුදු ද, කළු ද යන වග වත් දැන තේරුම් ගැනීමට අවස්ථාවත්, දකුණේ වැසියන්ට උතුර නැරඹිමටත්, වන්නිය පාලනය කළ කොටින් හට රුපියල් මිලියන ගණනක් දවසකට උපයා ගැනීමට අවශ්‍ය තත්ත්වයන් ඇති කර ලී ය.


එයින් පසුව එළැඹි මහින්ද යුගය අපට ගෙනෙන වැදගත් ම ලාංකෛය සන්ධිස්ථානය වන්නේ තිස් වසරක යුද්ධය නිමා කිරීමෙන් ය. ඒ සඳහා වූ විශේෂ ගෞරවය ඔහුට හිමි ය. එහෙත් මහින්ද යුගයේ කැපී පෙනෙන සංවර්ධන තත්ත්වයන් ඇති වී නැති බව කිව යුතු ය. ජෙ.වි.පි.ය සමග වැව් දහස, මග නැගුම, ගම නැගුම, උතුරු වසන්තය, අපි වවමු ආදී ලේබල් සමුදායක් විනා කැපී පෙනෙන ජාතික සංවර්ධන ඉලක්කයක් කරා රට ගමන් කිරීමට හැකියාවක් නොවිණ. මා විසින් මෙම තීරයේ නිතර නිතර ප්‍රකාශ කළ පරිදි, මහින්ද පාර්ලිමෙන්තු සංයුතිය කෘත්‍රීම ව වෙනස් කර ගත්තේ ඇමති නියෝජ්‍ය ඇමතිකම් ලබා දීම මගින් ය. එසේ ම, විරුද්ධ තීණ්ඳු දුන් ජේ. ආර් නඩුකාරයන්ට ගල් ගැසූවාට වඩැ ඉදිරියට යමින්, ස්වාධීන අධිකරණයට අත පෙවීම් සහ අභියෝග කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්ඳු ක්‍රියා නොකර හැල්ලු කිරීමෙන් ය.


එහෙත් කෙසේ හෝ කවර හේතුවක් පෙරදැඩි කොට ගෙන හෝ මහජනතාව නැවතත් මහින්ද හට ජනවරමක් ලබා දෙමින් ජනපති ධූරයට පත් කොට ඇත්තේ, ඔහු විසින් ප්‍රකාශිත "මහින්ද චින්තන ඉදිරිදැක්ම" වූ කරුණු ඉෂ්ට කරනු බලාපොරොත්තුවෙන් විය හැකි ය.


මී ළඟට ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණය යි. එය ද, තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත අතර, එහි දී ජනතාව වෙත තවත් අවස්ථාවක් ස්වකීය දේශපාලකයන් පාර්ලිමෙන්තුවට යැවීමට හැකියාවක් ලැබෙනු ඇත. කළගෙඩි-පහන් සෙල්ලමක් මගින් පවතින පාර්ලිමේන්තුව පවත්වා ගන්නට උත්සහ නොකළොත්, සහ පත්වන අභිනව පාර්ලිමේන්තුවේ විපක්ෂ මැතිවරුන් ඇමති-නියෝජ්‍ය ඇමති බිළි පිත්තෙන් බිළි බා නොගත්ත හොත්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදීත්වයට කරන ගරු කිරීමකි. අතීතය දෙස බලන කල, ඒ ගැන කවර විශ්වාසක් තැබිය හැකි ද?


එහෙත් ලැබූ ජනවරම පවතින තත්ත්වය එසේ පවත්වා ගෙන යාම සඳහා දුන් අවස්ථාවකඳු සලකා බැසිල් රාජපක්ෂ අගමැති කොට, සුවිසාල ඇමති-නියොජ්‍ය මණ්ඩල පරිවාරය පවත්වාගෙන යන්නේ නම් පැවසූ සුබ අනාගතය ජනතාව වෙත අසුබ දුර්මුඛ සිහිනයක් වනු ඇත. රජයේ මාධ්‍ය හරහා කතා කළ අතිමහත් කලා කරුවන්ට ඒ ඒ රජයේ වරප්‍රසාදත්, ආචාර මහාචාර්ය වරුන්ට ඒ ඒ කුලපති, උපකුලපති, අංශ ප්‍රධානි ආදී නිලතලත් ලැබෙනු ඇතැයි සිතමු. විරුද්ධ අදහස් දැරූ, ආණ්ඩුවට විරුද්ධ ව ලියූ කියූ මාධ්‍යවේදීන් ට ද ස්වකීය ප්‍රසාද දීමනාවන් ලබා දෙනු ඇත.


ඡන්දයේ උද්දාමයෙන් අවදී වී අවට බැලීමට කාලය එළෙඹ ඇත:


උදෑසන අවදි වී අතේ ඇති සොච්චම සුවිසාල බස් ගාස්තුවක් වැය කොට, රැකියාවට යන මිනිසා, බන්දුලගේ මිල සුත්‍රයේ පිහිටෙන් ඉහළ නැගෙන එළවළු මාළු මල්ලක් සඳහා වෙහෙසවී, අතට වැටුණු සැනින් වියැකෙන පඩි පතකට වැඩ කරනු ඇත. තවත් දින පසළොසකින් පමණ පැත්තකට විසිකර දැමූ බොඩ් ලෑලීවල දූලී මකුළු දැල් පිසදා ගෙන, කර පින්නා විත් පඩි වැඩි කරනු, අර දෙය කරනු, මේ දේ කරනු යනුවෙන් රජයේ කාර්යාලවල වූ පියුම්ගේ සිට රැකියා විරහිත උපාධිධරයා දක්වා පුද්ගලයෝ පාරට බසිනු ඇත. පිකටින් වැඩවර්ජන ආයෙත් සුපුරුදු ලෙස ආරම්භවනු ඇත. නැවත කොන කොන ආණ්ඩුවට බනිනු අරම්භවනු ඇත.


ආවේගශිලී ලෙස කටයුතු කර, අවසානයේ හිස් අතින්, කරගත් දෙයක් නොමැති ව, එයින් වූ වෙහෙසින් හෙම්බත්වන, සමහර විට වහසි බසට රැවටුණු සර්වජන ඡන්ද හිමි බහුතරය, "යම්තම් රට සතුරු විදේශිය ආක්‍රමණයකින් බේරා ගත් බැව්" සිතමින් නින්දට වැටෙනු ඇත.


ඡන්ද කාලයේ දිටි සොදුරු සිත්කළු සිහින දැක්ම, පෙන්නුම දැන් අවසාන ය. අවදි වන්න, දැන් උදෑසන ය. නැවත යාථාර්ථයේ වර්තමාන ලංකාව වෙත නිදිගැට කඩමින් පියමං කළ යුතු කාලය පැමිණ ඇත. එකී යථාර්ථය ඊයෙන් අදට වෙනසක් නැත.


෴ඔබට සුබ අනාගතයක්෴


Monday, January 25, 2010

රු. 350 පොහොර නාඩගම හෙවත් ලාංකික කෘෂි සමෘධි මිත්‍යාව

පසුගිය දිනක "සත්දින" අඩවියේ ලියවුණු ලිපියක් සඳහා ප්‍රතිපිළිතුරු සපයමින් රු. 350න් පොහොර නිසා ලංකා කෘෂිකර්මය දියුණු වූ බව හෝ ගොවිතැන ආරක්ෂා වූ බව ලියා තිබිණ. ඒ සඳහා කෙටි සටහනක් තැබීමට මගේ යුතු කම ය. මේ විෂය කෙරෙහි දිර්ඝ ලිපියක් පසුව ලීවීමට අපේක්ෂා කරමි.


රු. 350හේ පොහොර මිටිය අමු ම අමු ඡන්ද ගුණුඩුවකි. එය මේ මැතිවරණයට මහින්ද පොරොන්දු වූවත්, ‍සරත් පොරොන්දු වුවත් එය ජනතාව රැවටිමකි.


පළමුවෙන් ම, පොහොර සහනාධාරය නිදහසෙන් දශකයකට පසුව දිගින් දිගට ම පැවතිණ. සෑම ආණ්ඩුවක් විසින් පොහොර සහනශිලී මිළකට ලබා දීම සඳහා යම් තාක් මැදිහත් වීමක් කරන ලදී. චන්ද්‍රිකා ආණ්ඩුව පැවති සමයේ අවසාන කාලයේ යුරියා මිළ රු. 650ව පැවතිණි. රනිල් පොහොර සහනාධාරය වැඩි කොට, රු 500 දෙන බවට පොරොන්දු විය. මහින්ද ජයග්‍රහණය සඳහා වූ අපේක්ෂාවෙන් රු 350 පොහොර මිටිය දෙන බවට පොරොන්දු විණ. ඡන්දය ජයග්‍රහනයෙන් පසුව යුරියා රු 350ට දෙන ලදී. එහෙත් සාර්ථක වී වගාවක් සඳහා යූරියා පමණක් ප්‍රමාණවත් නොවේ.


විවගාවේ අක්කරයක් සඳහා යුරියා මිටි දෙකක් ද, ට්‍රපල් සුපර් පොස්පෙට් (TSP) මිටි 2-1.5ක් ද, ම්‍යුරෙට් ඔෆ් පොටෑෂ් (MOP) මිටියක් ද අවශ්‍ය ය. අද සාමාන්‍ය වෙළඳ පළේහි යුරියා මිළ 1500-2000 අතර උච්චාවචනය වේ. එලෙසින් ම, අනෙකුත් පොහොර වර්ගවල ද මිළ වෙනසක් නොමැති ව ඉහළ යයි. රු. 350 යුරියා මිටි දෙකක් අක්කරයට දමන විට අනෙක් වර්ගයේ පොහොර සඳහා වී ගොවියා සමාන්‍ය මිළ ගෙවා අනෙක් පොහොර මිලයට ගත යුතු ය. මක් නිසාද ඡන්ද ගුණුඩුවෙන් ආවර්ණය වන්නේ රු. 350හේ යුරියා පොහොර පමණි. මෙයින් ම මේ රැවටිමේ තරම පෙනේ.


අනෙක් අතට, වී ගොවිතැන හැර අනෙක් කිසිදු කෘෂිකරම වගාවකට රු. 350හේ යුරියා පොහොර ලැබෙන්නේ නැත. පසුගිය දවසක මේ සහනාධාරය උක්වගාවට ලබා දෙන ලෙසට ද, කුඩා තේ හිමියන් විසින් මෙය තේ වගාවට ලබා දෙන ලෙස ද, උඩරට එළවළු වගා කරන්නන් එය එළවළු වගාවට දෙන ලෙසත් ආණ්ඩුව වෙත කන්නලවු කරන ලදී.


මේ පොහොර රැවටීම පිළිබඳ අජිත් කබ්රාල් පවසන්නේ:


"පොහොර මිල ගණන් සම්බන්ධව ගෙන බැලූ විට, අනෙකුත් වෙළෙඳ භාණ්ඩවලට සමගාමී ව යූරියා පොහොර මිල පමණක් අඩුවී ඇත. අනෙකුත් පොහොර වර්ගවල මිල ගණන් ලෝක වෙළෙඳපොළ තුළ තවදුරටත් ඉහළ මට්ටමක පවතී. රජය විසින්, පොහොර සහනාධාර ලබාදෙන බැවින් පොහොර මිල ගණන්වල වෙනස්වීම පාරිභෝගිකයාට එතරම් බල නොපානු ඇතැයි අපේක්ෂා කෙරේ."


යුරියා සහනාධාරයෙන් පාරිබෝගික සහනය ලැබෙන අජිත්ගේ විගඩම් ප්‍රලාප මොඩයන්ට නම් හොඳ ය. අනෙක් පොහොර මිළ සිඝ්‍රයෙන් ඉහළ යන විට වී ගොවීන්ට පමණක් ලැබෙන රු 350 යුරීයා මගින් සමස්ථ ලාංකික ජනතාවගේ ජීවන වියදමට ඇති ප්‍රතිපලය කුමක් ද?


හැමදාම මුහුණ බලා බොරු කියන ආර්ථික විද්‍යා ටියුෂන් ගුරුවරයා වන බන්දුල ගුණවර්ධන පවසන්නේ:


"2003 දී රුපියල් 850 ට දීපු පොහොරමිටිය ලෝක වෙළෙඳ පොළේ අසාමාන්‍ය ලෙස පොහොර මිල වැඩිවෙලා තියෙද්දිත් රුපියල් 350ට ලබා දෙනවා. 2003 දී පොහොර සහනාධාරය ට වියදම් කළේ බිලියන 2 යි.

ගිය අවුරුද්දෙ පොහොර සහනාධාරයට වියදම් කළ මුදල බිලියන 26. 2003 ට සාපේක්‍ෂව පොහොර සහනාධාර වියදම පමණක් 1200% කින් රජයට වැඩිවෙලා. රජය මෙය සළකන්නේ නිෂ්පාදන සහනාධාරයක් ලෙස නෙවෙයි, කෘෂිකාර්මික අංශය සඳහා කෙරෙන දිගු කාලීන ආයෝජනයක් හැටියට. ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සඳහා ඔවුන්ගේ ඉල්ලීමකින් තොරවම ආනයනික කෘෂිකාර්මික ද්‍රව්‍ය වෙනුවට ආනයන ආදේශන කෘෂිකාර්මික ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොමු වෙලා තියෙනවා."


පොහොර සහනාධාරයක් දීම තුළින් දිගු කාලීන වාසියක් ලැබෙන්නේ කෙසේ ද? ලංකාවේ වී මණ්ඩලය බොඩ් ලැල්ලට සීමා වී පවතින විටත්, වී සැකසුම් මධ්‍යස්ථානවල උපකරණ මළකා අබිලි යකඩ බවට පත්වන්ට ඉඩ දී ඇති කාලයකත්, කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුවලට පක්ෂයේ සහචරයන් යට සිට උඩට අනුගත කරන විටත්, ‍සහල් මුදලාලීවරුන් කිහිපදෙනෙකුගේ ඒකාධිකාරයේ දංගෙඩියට අහිංසක වී ගොවියාගේ අස්වන්න හිරකොට ඇති ආණ්ඩුවක කෘෂිකර්මයේ දිර්ඝ කාලීන ආයෝජන බේගල් කොණ්ඩේ බැඳපු චීන්නුන්ට නම් හොඳ ය.


ආණ්ඩුව පවසන්නේ යුරියා සහනාධාරයෙන් 14%ක වී වගාවේ වර්ධනයක් ලැබූ බව ය:


"වත්මන් රජය ගොවීන්ට න් රු. 350 කට ‍පොහොර ලබාදීම සඳහා පොහොර සහනාධාරය වෙනුවෙන් රුපියල් මිලියන 101888.36 ක් වැය කර තිබෙන බව කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යංශය පවසයි.

මෙම මුදල 2005 සිට මේ දක්වා වන අතර මේ තුළින් කෘෂි කර්මානත්යේ දැවැන්ත ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බවද රජය පවසයි.


මෙහි ප්‍රතිඵලයක් ලෙස 2007 සිට වී නිෂ්පාදනයේ 14% ක වර්ධනයක් ඇති වී තිබෙන අතර වී අලෙවි මණ්ඩලය මගින් නැවත ස්ථාපිත කළ සහතික මිල යටතේ සාර්ථක ලෙස වී මිලදී ගැනීම සිදු කෙරේ.

එමෙන්ම සෙසු ආහාර භෝග නිෂ්පාදනය ද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙන අතර නව ගෙවතු වගා 6,08205 ක් ද සංවර්ධන‍ය කෙරෙන බව අමාත්‍යංශය පවසයි."


ලංකාවේ පොහොර සහනාධාරය දෙන්නේ අද ඊයේ නොවේ. දැනට දශක හතරක සිට පොහොර සහානාධාරය සපයනු ලැබේ. මේ පිළිබඳ ලිය වූ පර්යේෂණ පත්‍රීකාවක් එච්. කේ. ජේ. එකනායක "The Impact of Fertilizer Subsidy on Paddy Cultivation in Sri Lanka" විසින් ප්‍රකාශයට පත්කොට ඇත. ඔහුගේ අවසාන විශ්ලේශනයේ දී, වී වගාව සඳහා සහනාධාරය දීම තුළින් පොහොර භාවිතයේ විශේෂ වෙනසක් නොමැති බවත්, මිළ වැඩිවන විට ගොවියාගේ ලාභයට වෙනසක් විය හැකි බව ප්‍රකාශ විණ. එහෙත් මේ සහනාධාර කෙටිකාලීන සහල් මිල කෙරෙහි බලපාන අතර, එසේ ම, යුරියා සඳහා පමණක් කැපී පෙනෙන සහනාධාරයන් සැපයීමේන් තුළිත ලෙස, නයිට්‍රජන්, පොස්පරස්, පොටෑසියම් වී වගාවට නොලැබෙන බවත් ඔහු විසින් දක්වා ඇත. ඒහෙයින් ඔහු නි‍ර්දේශ කරන්නේ, කෘෂිකර්ම ක්ෂේත්‍ර නිළධාරින් ලවා නිවැරදි භාවිතයට ගොවින් යොමු කිරීමත්, එයින් නිෂ්පාදන වියදම අඩු කළ හැකි බවත් දක්වයි. අනෙක් අතට, ඔහු ස්වකීය පර්යේෂණය අවසාන කරන්නේ සහනාධාරයෙන් නොනැවති, සහල් මිළ පහත හෙළිමට, අනෙකුත් කෘෂිකාර්මික යටිතල පහසුකම් සහ වෙළඳ පසුතලයක් යොමු කිරීම කළ යුතු බව දක්වයි.


ලංකාව අනෙක් රටවල් වලට සාපේක්ෂ ව අතිශය සශ්‍රීක රටකි. පණැති දණ්ඩක් විසි කළ කල්හී, දළු ලා වැඩෙන තරම ට ස්වභාවික දේශගුණය හිතැති ය. එහෙත් ඒවන් වටිනා රටක කෘෂිකර්මය වල පල්ලට යවන්නේ අඥාන දේශපාලකයන්ගේ අදීන අදුරදර්ශි ක්‍රියා කලාපයන් නිසා ය. මිනිසුන් ගොනාට ඇන්ද වීමට, ඡන්දයට ලකුණු ගැනීම පමණක්, "අපි වමමු-අපි (මා) හැදෙමු" යන විකාර නොදොඩා, කෘෂි ක්ෂේත්‍රයේ විද්වතුන්ට කෘෂිකර්මය දියුණු කළ හැකි දිර්ඝකාලින සැලසුමක් ගොඩ නගන්නට සලසන්නේ නම් මැනවි.


අවශ්‍ය නම් ලංකාවේ පොහොර නිශ්පාදනය කිරීමට හොද හැටි අවකාශ තිබේ. යුරියා සඳහා යොදා ගන්නේ වායුගෝලයේ නයිට්‍රජන් උත්ප්‍රේරක ආශ්‍රීත ප්‍රතික්‍රියාවකි. අනෙක් අතට ට්‍රිපල් පොස්පෙට් සඳහා එප්පාවල පොස්පෙට් භාවිතයට ගෙන රසානික ලෙස සැකසීක කළ හැකි ය. මේ සඳහා අවශ්‍ය සල්ෆියුරික් අම්ල වානේ කර්මාන්තය ආශ්‍රයෙන් ලබා ගත හැකි ය. එහෙත් මේ යෝජනා ක්‍රියාවට නැංවීම මා මෙහි සටහන් කරන අයුරින් පහසු නැත. එහෙත් රට කෙරෙහි ආදරය කරන නායකයකු හට අනාගත පරපුර සහ රටෙහි අනාගතය වෙනුවෙන් කළ හැකි දෑ සීමාවක් නැත.


අද භාවිත කරන බොහෝ බීජ දෙමුහුන් බීජ වන අතර, මෙතුවක් මා දන්නා තරමට දෙමුහුන් බීජ නිශ්පාදනය සඳහා රාජ්‍ය අංශය ඉදිරිපත් වී නැත. පටක රෝපණය මගින් කෙසෙල් වගාව ප්‍රචාරනය සඳහා පෞද්ගලික ආයතන ක්‍රියා කරන විට, සුදු මැස්සන්ගේ රෝගය බොවී පැපොල් වගාව ලංකා ධරණි තලයෙන් සහමුලින් මැකි යන තුරු කෘෂිකර්ම දෙපාර්තුමෙන්තුව බලා සිටියේ ය. ඒපමණ දීන තත්ත්වයකට ලාංකික කෘෂිකර්මය පත් වීමට වග කිවයුත්තේ මේ මෝඩ දේශපාලක රැල යි; ජනතාව ගොනාට අන්දවන ඡන්ද ගුණ්ඩු යි; ඒවා ගිලින තකතීරු, පුරසාරම් දොඩන අමනොඥ පක්ෂ ගැත්තන් රොත්ත යි.

ධම්මට පිළිතුරක්: "හබරළ කොළයෙන් විළි වසා ලන්නට තැනීම" (නැවත පළ කිරීමක්)

[මෙම ලිපිය නැවත පළ කිරීමක් බව කරුණාවෙන් සැලකුව මැනව෴]


පසුගිය සතියේ ධම්ම දිසානායක විසින් දිවයින පුවත්පතට ලිපියක් සපයමින් "මහින්ද දිනවිය යුතු ද? විපක්ෂය පැරදවිය යුතු ද?" යනුවෙන් සමාජ කථිකාවකට එළැඹුණි. හෙතෙම මේ ලිපිය ආර්ම්භ කරන්නේ, විපක්ෂය පරදා මහින්ද දිනවිය යුතු යි යන ප්‍රස්තුතය පෙර දැරි කොට, කරුණු ගොණු කරමින් ය. එහිදී, ලිපිය සඳහා අතිරේක බරක් හා ආධිපත්‍යක් ඇති ‍කිරීමට "විශේෂයෙන්ම විශ්වවිද්‍යාලයක උගන්වන ගුරුවරයෙක්‌ විදියට මම එහෙම කියන්නේ ඇයි" වගන්තිය ද යොදයි.


ඔහු ස්වකීය ස්ථාවරය සඳහා කරණු ගෙන හැර පෑම සඳහා ව්‍යාජ ලෙස නිර්පාර්ෂික සහ වාස්තිවික ලෙස සාධක කෙරෙහි අවධානය යොමු කළ යුතු බව දැක්වීමට මෙසේ කියයි:


"මම කිසිම දේශපාලන පක්‍ෂයක සාමාජිකයෙක්‌ නොවේ. යම් කිසි දේශපාලන පක්‌ෂයක සාමාජිකත්වය ලබාගැනීමේ බලාපොරොත්තුවක්‌ ද නැත. එහෙත් මටත් දේශපාලන දැක්‌මක්‌ තිබෙනවා. ඒ නිසා අපේ රට ජාතිය මුහුණ දෙන තීරණාත්මක දේශපාලන, ආර්ථික, සමාජ සංස්‌කෘතික කාරණාවලදී පැත්තකට වෙලා භාවනා කිරීමේ පුරුද්දක්‌ මට නැහැ. ඒ වගේම අපේ රටේ ජනතාව වෙනුවෙන් මැදිහත්විය යුතු තීරණාත්මක මොහොතවල්වලදී අපි කරපු මැදිහත්වීම්වල ප්‍රතිඵල ඉතාම සාධනීයයි."


හෙතෙම, 1994දී චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පත් කිරීමට දායක වූ බව පුරාජෙරු දෙඩිමක් ද කර යි. පාන් ගෙඩිය 3.50කට දෙන පොරොන්දුව කරපින්නා බලයට පත් වූ චන්ද්‍රිකා ආණ්ඩුව කළ හදිය සහ කොටින් සඳහා උතුරු නැගෙනහිර සන්ධාන ගත කරන පිණිසත්, ශ්‍රී මහා බෝධියේ සිට දළදා මාළිඟා ප්‍රහාරය දක්වාත්, අලිමංකඩ සිට සියලු ම හමුදා කදවුරු අහිමි කර ගනිමින් හමුදා ජීවිත 5,000 පමණ විනාශ කිරීමට පාදක වූ රෙජිම බලයට පත් කිරීම පිණිස ඔහුට විළි ලැජ්ජාවක් නැති. ප්‍රසිද්ධ දේශන අවස්ථාවන්හි දී, චන්ද්‍රීකා අණ්ඩුව පට්ට ගැසූ ධම්ම නැවතත් නිර්ලැජ්ජිත ලෙස මුල් මැදිහත් වීම පිළිබඳ පුරාජෙරු දොඩ යි.


හෙතෙම ස්වකීය නොමග යෑම පිළිබඳ දුක් වෙනවාට වඩා එය සාධාරණිය කරනය කරනුයේ එක්සත් ජාතික පක්ෂයේ වැරදි හා අවුරුදු 17ක දෝෂ ඉස්මතු කරමින් ය. එලෙස හයෙන පහක බලවත් නොමනා පාලනයක් ඇති වීම සඳහා වාමාශික කැඳ හවුලේ 1970-1977 කාලයේ ක්‍රියා කලාපය සංදර්භයෙන් ලොප් කොට ඇත.


1994 ඇති වූ ජනතා හැරීමට මූලික වූ කරුණ වුයේ වන්ද්‍රිකා එවකට පියකරු කන්තාවක් වීම සහ ප්‍රේමදාසගේ ඝාතන රැල්ල යි. ප්‍රේමදාස රෙජිම විසින් තමුන්ට අභියෝගයක් විය හැකි ලලිත්, ගාමිණි, විජය වැනි දේශපාලන නායකයන්ගේ දිවි තොර කරන ලදි. එනයින් ඇති වූ රික්තකය ප්‍රේමදාසගේ ප්‍රචණ්ඩත්වය හා ජන්ද මංකොල්ල නැමති සාධකය ඉවත් වූ විට 60% ඡන්ද ප්‍රතිශතයක් ලැබිණ. එහෙත් අවසාන ප්‍රතිපලය කුමක් ද? ප්‍රේමදාස විසින් ගෙනෙන ලද සිඝ්‍ර ආර්ථික වර්ධනය ක්‍රමයෙන් පහතට වැටී අවසානයේ නිසල නැවතුමකට වැටිණ. දැන් ආර්ථිකය අධික අවපාතයකට පත්ව ඇති අතර සුනාමි ආධාර වලින් ලැබූ විදේශිය මුල්‍යයන් හේතුවෙන් යන්තමින් නියෙන් දතින් ලංකා ආර්ථිකය එල්ලී පවති.


ඔහු එදා පැවති පාලනය මෙසේ විග්‍රහ කරයි:


"එජාපය පරාජය වෙනකොට ඔවුන් ගියේ යන යකා කොරහක්‌ බිඳගෙන ගියා වගේ. අපේ රටේ ආර්ථිකය මුළුමනින්ම විජාතික කඩපොළක්‌ බවට පත්කරලා අපේ ජන සමාජය බඩගෝස්‌තරවාදී පරිභෝජනවාදී අන්තවාදී පුද්ගලිකත්වයකට තල්ලු කරලා. ජාතික සංස්‌කෘතිය මුළුමණින්ම විනාශ කරලා. අධ්‍යාපනය, සෞඛ්‍යය, ප්‍රවාහනය වලපල්ලට යවලා. රාජ්‍ය දේපළ විකුණලා, මුළුමනින්ම රාජ්‍යයේ ස්‌වාධීනත්වය හා අභිමානය විදේශවලට යටපත් කරලා. 94 ආපු ආණ්‌ඩුවට ඒවා යළි සකස්‌ කරන්න බැරිවුණා. හැබැයි මරණය වෙනුවට ජීවිතය තරුණ අපිට ලබාදුන්නා ඒ ඇති."


අද තත්ත්වය මේ සඳහන් කරන සදහන් කිරීමෙන් වෙනස් වන්නේ කෙසේ ද? ගත වූ අවුරුදු 15 තුළ ධම්ම දක්වන ක්ෂේත්‍රයන්ගේ ඇති වූ වර්ධනය වරක් ද? පිළිතුර කිසිත් නැත. ක්‍රමයෙන් තත්ත්වය අසාධ්‍ය වනු මිස, අනෙක් සියලු අහේතුන්ට නිදහසට කරුණ ලෙස යුද්ධය පෙන්වා මහජනතාව රවටා ඇත.


කෘත්‍රීම ලෙස ජන මතය වෙනස් කිරීම සඳහා ඇමති, නියෝජ්‍ය ඇමතිකම් නැමති පගා දී, මහින්ද සුවිශාල කැබිනට් හා නොන් කැබිනට් ඇමති මණ්ඩලයක් ද, සුරාගෙන ගසා කන්නෝ රොත්තක් ද වට කොට ගත් මහින්ද හට කළ හැකි සංවර්ධනයක් නැත. බලය රදාවා ගැනීමේ කෲරතර පාපකර්මයේ යෙදෙන විට ඒ සඳහා බර පැන ගෙවිය යුත්තේ මහජනතාව යි; අනාගත පරපුර යි.


ස්වල්ප දෙනෙකුගේ සැප විහරණය සඳහා ලංකා මාතාවගේ අනාගතය උකස් කරමින් සිටින මහින්ද රෙජිම, විධායක ජනපති බලය භාවිත කරමින් අධිකරණය හා ඡන්ද කොමසාරිස් වෙත ද අනියම් බලපෑම් කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක ප්‍රධාන ස්ථම්භයන් වන අධිකරනය හා විව්‍යස්ථාදායකය හෙවත් පාර්ලිමෙන්තුවට ඍජු ව මහින්ද මැදිගත් වී බලය රැක ගැනීම පිණිස බලපෑම් කර ඇත. පගාදී විපක්ෂයේ මහජන නියෝජිතයන් බිළි බා ගනිමින් ව්‍යවස්ථාදායකයට ජනපති ගේ අදුරු සෙවනැල්ලට නතු කර ගත්තේ ය. එලෙසින් ම, අධිරණය විසින් දුන් තීරණ වන හෙජින් ගිවිසුම හා ඛණිජ තෙල් මිළ අඩුකිරීමේ සිට, ඡන්ද කොමසාරිස්ගේ නියෝජිතයා ඉවත් කර ගැනීම දක්වා කළ ස්වාධින ආයතන විධායක ජනපතිගේ ඇඟිලි ගැසිම, තවත් වරක් බලයට පැමිණි විට අති විශාල ලෙස කරනු ඇත.


රාජ්‍යයේ මැදිහත් වීමෙන් මුදා හරින ප්‍රචණ්ඩත්වය හා මිනිසුන් නිකරුනේ හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගැනීම්, දේශ‍ද්‍රෝහි ලේබල අලවා ජීවිත අනතුරු හෙළිම ආදී සාකල්‍යවිධ ත්‍රස්තවාදය මුදා හැරීම සඳහා මහින්ද රෙජිම වගකිව යුතු ය. මේ ක්‍රියාවන් දක්වන්නේ ඉදිරියේ දී ඇති විය හැකි ඒකාධිපති පාලනයක පෙරනිමිති ය. එදාට ධම්ම තක්බිර් වනු නියත ය.


ධම්ම ස්වකීය ලිපිය නිම කරන්නේ මෙසේ ය:


"දැන් මාස 7 ක්‌ 8 ක්‌ තිස්‌සේ බයක්‌ සැකක්‌ නැතිව සිංහල, දෙමළ මුස්‌ලිම් අපි නිදහසේ ජීවත් වෙනවා. මේක දැක්‌කම සමහර විදේශ රටවල්වලටත් මේ රටේ සමහරුන්ටත් හරිම අමාරුයි. කොටින්ගේ දේශපාලන අංශය වන දෙමළ ජාතික සන්ධානයත් සහෝදර සමාගම් වන මනෝ ගනේෂන්ලත්, හකීම්ලත්, මංගලලත් කොටින්ට ජීවනාලිය දෙන රනිල්ලත් එකතුවෙලා මේ කරන්න යන්නේ නැවතත් මේ රට මහා වාචකයකට ගෙනයැම මිසක්‌ වෙන දෙයක්‌ නොවේ. එක අතකට අඩු වැඩි වශයෙන් මේ රටේ ජනයා ඝාතනය කරපු එජාපය, කොටි සංවිධානය ජවිපෙ කණ්‌ඩායම සහ ඒවට අනුබල දෙන ගනේෂන්ලා හකීම්ලා මංගලලා එකට එකතුවීම පුදුමයක්‌ නොවේ. මේ හවුලේ අරමුණ අනාගත ලංකාවේ දේශපාලන ආර්ථික සමාජ අර්බුද ඇතිකොට ඉන් අසරණ වන ජනයාගේ මිනී කඳු මත නව බලලෝභී වෛරී දේශපාලනයේ සව්දිය පිරීමයි.


ඉතින් මේ මහා භීෂක පක්‍ෂ හවුලට එරෙහිවී අප දිනාගත් නිදහස පරෙස්‌සම් කරගැනීම සහ තහවුරු කරගැනීම අපේ වගකීමක්‌. අපිට වගේම අපේ දරුවන්ට ජීවිතය අවශ්‍යයි. මරණයට එරෙහිව ජීවිතය දිනවමු. මේ මොහොතේ ජීවිතය යනු මහින්දයි. ඔබට සුබ අනාගතයක්‌."


ධම්ම දක්වන සාමය මනෝමූල හා මනෝරජ්‍යක සාමයක් මිස, සැබෑ සාමයක් නොවේ. ප්‍රතිවාදින් හා ප්‍රති අදහස් නො ඉවසන, ඔවුන්ගේ රැකියාවන්, ජීවනෝපායන්, ජීවිත අහිමි කරන තත්ත්වයක, මාධ්‍ය නිදහස හිරගෙට හා පොරකයට යවා ඇති යුගයක, දෙමළ මිනිසෙකුට නිදහසේ පාරේ තොටේ යා නොහැකි, ධීවරයකුට රෑ ස්වකීය රැකියාවට යා නොහැකි නම්, දහස් ගණනක් තව ම අනාථ කදවුරුවල ගාල් වී ඇත්තම් ධම්ම කතා කරන සාමය කොහි ද?


ඉදිරියේ ස්වකීය විධායක ජනපති බලතල යොදා ගනිමින් ව්‍යවස්ථාදායක පාර්ලිමෙන්තුවේ බල තුලනය වෙනස් කළ, අධිකරණය හැල්ලුවකට ලක් කර, විධායක ජනපති ධූරය අහෝසි කරන බව බොරු පවසා තවත් වරක් විධායක ජනපති ධූරය සඳහා ඉල්ලන මහින්ද හා ඔහුගේ සහචර පිරිස අනාගතයේ භිෂක හවුලක් නොවන බවට ඇති තක්සේරුව කුමක් ද? ධම්මගේ මේ කතිතාව අනාගත පරපුර අදුරේ හෙළන ස්වකීය ශාස්ත්‍රීය දැනුම හා කතිකාරචාර්ය ධූරය නැමති හබරළ කොළයෙන් විළි වසා ලන්ට තනන ධම්මගේ මෘග්ධ ව්‍යයාමයකි.


ස්වකීට ජනපති ධූරයේ තවත් වසර දෙකක නිල කාලයක් ඉතිරි ව ඇති විටක, මහින්ද ජනපති වරණයක් කැඳවූයේ මහජනතාවට ඇති ‍ස්නේහයෙන් හෝ සත්ත්ව කරුණාවෙන් නොව, ආත්ම ලෝභයෙන් හා බලලෝභයෙන් ස්වකීය බලය තහවුරු කර ගැනීමේ අවසාන තුරුම්පුව ලෙසින් ය.


මේ නම් දක්වන්නේ මහින්දයේ ඇති බල උම්මාදයේ ඉහමොළ යෑමේ රෝග ලක්ෂණය යි. මෙයින් ඉදිරියට රඟ දැක්වෙන්නේ, විධායක උමතු මිලිටරවාදී, බල උම්මාදි විධායක ජනපතිගේ භිෂණ ජවනිකාව යි. තව වසර හයක දී, මේරට අන්ත දූගීත්වයකට පත් වීම මෙවැනි නායකයකුගේ පුරෝගාමිත්වයෙන් සිඳු නොවුන හොත් එය අරුමයකි. මහින්දගේ අවසාන ධූර කාලයෙ දී, පසුගිය කාලය හා සසඳන විට, නැවත ජනපති වීමට අවස්ථාවක් නොමැති නිසාවෙන් , විය හැකි අනතුර මහත් විශාල ය.


දෛවයේ අනාගත වෙනසක් සිඳු නොවුන හොත්, මේ මොදූ වන විධායකයේ අදුරු සෙවනැල්ල ලංකා දේශය මත වැටී, මුළු ලංකාව ම අන්ධකාරය පත් කරන කාලය වැඩි ඈතක නොවේ.



මුල් ලිපිය සඳහා ලැබුණු ප්‍රතිචාර:


Ramachandra said...

වයස්ගත වනවිට කොන්ද පන නැති වෙලා ලොකු තැන් වලට වාරු වෙන රැඩිකල් පොරවල් වලට හොද උදාහරන කිහිපයක් මෑතකදී දකින්න ලැබුනා.ජැක්සන් ඇන්තනි ගාවට ආපු අනිත් උදාහරනය ධම්ම දිසානායක.මේ විශ්ව විද්‍යාල ආචාර්වයවරයා වසර කිහිපයකට ඉහත වාමාංශික පාඨ මහත් බරක් ඇතිව ( සමහරවිට අති වාමාංශික විදිහට පවා) උච්චාරනය කල හැටි අපිට මතකයි.
මේ වගේ ව්‍යාජ රැඩිකලුන් දැකීමට තව තවත් වාසනාව උදාවේවා!


Friday, January 22, 2010

සරසවි ඇදුරන්ගේ වන්දිබට්ටකම්


අද දිවයින පුවත්පතේහි සඳහන් වූයේ වත්මන් ජනාධිපති වරයා 60% ඡන්දය ලබා ගන්නා බවත්, ඔහුගේ ප්‍රතිගාමියා වූ විශ්‍රාමික ජෙනරාල් වරයා 38% ලෙස සඳහනක් මහින්ද වෙත කත් අදින, ආචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස ප්‍රකාශ කොට තිබුණි. හෙතෙම, පැහැදිලි ලෙස මහින්ද වෙත වන්දිපබ්ටකම් කරන්නේකු බව රජයේ වෙබ් අඩවියක හේ සඳහන් කළ "ගෝලිය බමුණුකුලය බිඳ දැමූ ශ්‍රී ලාංකේයිය සලකුණ" නැමති ලිපියෙන් ම පෙනේ.


මෙවැනිම තවත් සමික්ෂණයක් පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ආචාර්ය වරුන් කිහිපදෙනෙකුගේ සහභගීත්වයෙන් ද කර දිණමිණ පුවත් පතේ පළ කොට තිබිණි. එහි ප්‍රතිපල වූයේ මහින්ද 74% ද සරත් 35% ද ගන්නා බව ය.

මේ ලෙස බෙගල් දෙසා බා ස්වකීය විශ්ව විද්‍යලවල කීර්ති නාමය කෙලෙසන මෙවැනි ඇදුරන් සඳහා විශ්ව විද්‍යාල කොමිෂන් සභාව යම් පියවරක් ගත යුතු ය. නැතහොත් එකී ආයතන පිළිබඳ විශ්වාසනීයත්ව සමාන්‍ය ජනතාව කෙරෙන් ගිලිහි යනු ඇත. කෙසේ වෙතත් මෙසේ කරලියට පැමිණෙන්නේ ලංකාවේ අධ්‍යපන ක්ෂත්‍රය වැටි ඇති අගාදය මිස වෙන කුමක් ද? නිවැරදි ලෙස ප්‍රශ්න පත්‍රයක් මුද්‍රණය කර ගත නොහැකි කලාප අධ්‍යපන අංශ ද, නිවැරදි ලෙස උසස් පෙළ විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර කටයුතු කළ නොහැකි ආචාර්ය වරු ද, සිඝ්‍රයෙන් වැසෙමින් පවතින ග්‍රම්‍ය පාසල් ද, උසස් පෙළ සහ උපාධි පෞද්ගලික පන්ති පවත්වන විශ්විද්‍යල ආචාර වරුන් ද, දේශපාලකයන්ට පිරිනමන සැදී තිබෙන ගෞරව උපාධින් ද, තඹ සතයකට නොවටින යල්පිනූ අධ්‍යාපනයක් කර පින්නා පිටවන උපාධි ධරයන් ද, කියා පාන්නේ රටේ සුබ ම සුබ ආනාගත ය. මා දන්න තරමට, පැරණි විශ්ව විද්‍යාල ආචාරවරු කිසි විටකත් අතීතයේ දේශපාලකයන් ඉදිරියේ නැමි පාද ලෙව කා නැත. එහෙත් අද තත්ත්වය වෙනස් ය. ඒ සඳහා ස්වකීය අධ්‍යාපන ගෞවරවය පවා දෙන සරසවි ඇදුරන් රොතු පිටින් ඇත. අධ්‍යපනය ද දේශපාලනකරණයට පත්ව ඇත. එනිසා නිදහස් අධ්‍යපනය වල පල්ලට යෑම තව ස්ල්ප කාලයකින් සිඳුවනු ඇත.


මෙවන් ඇදුරන් ගෙන් ඇසිය යුතු ප්‍රශ්නය, මෙවන් මහත් රැවටීමක් කරන්නේ මහජනතාව කවුරුන් ලෙස සිතා මතා ද?


වෙනත් සබැදුම්: W3 සටහන; දිනමිණ ලිපිය

රවටන්නෝ සහ රැවටෙන්නෝ: අවසාන සිනාහව


මේ දිනවල ඡන්දය සඳහා ආසන්න දින වකවානු ළංව තිබෙන විට බොහෝ බො‍ලොග් මඩවලින් සහ කුණුවලින් පිරී පවති. මේ අතර ජනමාධ්‍යයේ ප්‍රචාරයවන දේශපාලක ප්‍රකාශ රාශියක මූලීක අරමුණ මහජනතාව ගොනාට ඇන්දීමට ය. මේ දිනවල උණුසුම් කතාව හංසයා විසින් ගැසූ රට බෙදෙන හොර ගිවිසුමක් පිළිබඳව ය. අනෙක් පැත්ත එයට පිළතුරු දෙමින් ප්‍රකාශ කරනුයේ එකී හොර ගිවිසුම ආණ්ඩු පක්ෂය විසින් හොරට හදා හොර අස්සන් තැබූබක් බව ය. දෙමළ අන්තවාදීයකු හා කොටින්ට ප්‍රත්‍යෝපකාර කළ, ආණ්ඩුපක්ෂයට අනුව කොටි නියෝජිතයා මේ ගිවිසුමට අතසන් කොට ඇත්තේ සිංහලෙනි. අනෙක් අතට විමල් වීරවංශ විසින් කොටි 300ක් පගා ගෙන ජෙනරාල්ට පක්ෂ ව ඡන්ද සටනෙන් ඉවත් වූ මුස්තාපා පිළිබඳ ප්‍රකාශය ද අල්ලස් කොමිසම හමුවට ගෙන විත් ඔප්පු කිරීමට නුපුළුවන් වීම තවත් රැවටීමක අවසාන ය. ජෙනරාල් පොන්සෙකාගේ බැනනුවන්ගේ කෝප් ලංකා ආයකනය රැපියල් 25,000 හෝ එයට වැඩි මුදල් වංචා කිරීම පිළිබඳ උසාවිය ඉදිරියේ වූ නඩුව ඔප්පු කිරීමට තරම් සාධක තව ම රහස් පොලිස්සියට හැකි වී නැත. ඒ වෙනුවට ඔවුන් මාධ්‍යයට කෙසේ හෝ මුදා හැරෙන (ලීක්) වන රහස්‍ය ප්‍රකාශ උසාවියේ ගොණු කරනු ලැබේ. පසුගිය දිනක රජය විසින් වියම් කළ මුදල් හා මගඩි ගැසූ මුදල් පිළිබඳ අජිත් කබ්රාල් මහතා නිදහසට කරුණු දැක්වීමක් කරන ලදී. එහෙත් ඒ නිදහසට දැක්වීම බන්දුල ගුණවර්ධනයන්ගේ මහ බැංකු වාර්තා ගෙන කරන අංක ගණිතයට සමාන ය. පසුගිය දින වල ඡන්ද කොමසාරිස් රජයේ මාධ්‍ය ප්‍රකාශන පිළිබඳ පත් කළ ස්වකීය නියෝජිතයා එයින් ඉවත් කර ගත්තේ රජයේ මාධ්‍ය හා නිළධරයන් අසීමිත ලෙස දේශපාලන පක්ෂග්‍රාහිත්වයක නියැලෙන බව දක්වමින් ය. පසුගිය දින වල ප්‍රකාශයට පත් වූ වාර්ථාවන්ට අනුව විශාල සංඛ්‍යවක් හමුදා, පොලිස්, විශ්විද්‍යාල උපකුලපතිවරුන්, හා රජයේ සේවකයන් ස්වකීය කැමැත්තෙන්ම හෝ බලහත් කාරයෙන් ඡන්ද වැඩ ‍වලට යොමු කොට තිබිණි. ලංකා ගමනා ගමන මණ්ඩලයෙ බස් රථ ඡන්ද රැලි සඳහා පාක්ෂිකයන් අද්දවා ගැනීමට යොමු කරනු ලැබිණ. තවත් සමහරුන් විධායක අගමැති වරයකු පිළිබඳ ව්‍යවස්ථා ප්‍රතිපාදන තර්කය යෙදී ඇත.


මා විසින් සටහන් කළ සටහනකට මහින්දට හිතැති අයෙක් මෙසේ ලීයා තිබිණි:


"තවමත් පෙහොර මිටිය 350යි. සත්‍ය මිළ 6000යි. ගොවීන්ට ඉහළ මිළක් ගෙවීමේ ක්‍රමයක් සකසා මගින් ගොවියා‍ගේ ආදායම තහවුරු කොට තිබියදී පවා තවමත් ඔබ සහල් ගන්නේ කිලෝව රුපියල් 100කට අඩුවෙනි. අද පාන් මිළ කීය ? 6000 (වරක් එය 9000 දක්වා ඉහළ ගියේය) පොහොර ගන්නට සිදුවිණි නම් හාල් මිළ කීයක් වේවිද කියා ඔබ සිතුවාද? එසේ විණි නම් කළ හැක්කේ කුමක් ? පිටරටින් සහල් ගෙන්විය යුතුය. නමුත් එය කළ හැකි වේවි ? ඉන්දියාව පවා සහල් අපනයනය සම්පූර්ණයෙන්ම නැවැත්වූ‍ බව මතකද? (අපි වවමු රට නගමු ඇරඹුනේ අනුව .) සල්ලි වලටවත් ගන්නට තැනක් නැතිව ගිය විට සහනාධාරය ක්‍රියාත්මක නොවිණි නම් අපගේ කෘෂිනකර්මාන්තය මේ වන විට බිද වැටී අවසාන .,


ඔහු විසින් අමතක කළ සාධක කිහිපයක් මා මෙහි සටහන් කරන්නට කැමැත්තෙමි. පළමු ව, රුපියල් 350 පොහොර මිටිය ගොවියාට දෙන විට, එකී සාහනාධාරය සඳහා රජය විසින් දරන රුපියල් 5,650 (හෝ 8,650) දරන්නේ කවුරුන් ද? සහනාධාර දුන් පලියට වියදම නැතිවන්නේ නැත.ඒ වියදම කවුරු හෝ ගෙවිය යුතු ය. එසේ ගෙවීමට සිඳු වන්නේ රටේ මහජනතාව සඳහා ම ය. එසේ ම, පසුගිය දිනවල සහනාධාර පොහොර විශාල ප්‍රමාණයක් කළු කඩකාරයන් වෙත විකුණා ඇති බව හෙළිදරව් විය. එසේ නම් මහජනතාව විසින් බරපැණ දරන පොහොර ටික දෙනෙකුගේ සුඛිත මුදිතකාවය වෙනුවෙන් කැප කොට ඇත. යුද්ධය අවසානය සමඟ ම දකින්නට ලැබුණෙ මහින්දගේ සහනාධාර පොහොර මිටි ටොන් ගණනක් කොටින් විසින් බොම්බ සෑදීම පිණිස යොදවා ගෙන තිබූ ආකාරය යි. මහජනතාවගේ කර පිටින් කොටින් හට බෝම්බ තනා අපේ හමුදාව සහ සමාන්‍ය වැසියා අනතුරේ හෙළිමට අඩු වියදමින් ඇමොනියා පොහොර ලබා දී තිබුණි. කෘෂි කර්මය පිළිබඳ සාමාන්‍ය දැනුමක් ඇත්තෙක් වුවද, තේරුම් ගත හැකි, කරුණ නම් ලොවිතැනෙහි වැඩිම වියදමක් යන්නේ ශ්‍රමයට, පළිබොධ නාශක හා බිම් පිළිසකර කිරීමට විනා පොහොර සඳහා නොවේ. අනෙක් අතට ලාභ පොහොර ලබන ගොවින් අස්වනු වැඩි කරන නියාවෙන් වැඩිපුර පොහොර යොදන අතර, නයිට්‍රජන් පොහොර වැඩියෙන් යෙදූ කළ, පත්‍ර විශාල සහ මෘදු වෙමින් පළිබෝධ හානියට තව තවත් පාත්‍රී වෙයි. පොහොර වල අඩංගු විවිධ බර ලොහ සහ කැඩ්මියම් මෙන් ම, අතිරික්ත නයිට්‍රජන් පොහොර ජලය සමඟ මිශ්‍ර වී වැවු කරතාත්, වැව් ආශ්‍රීත ජිවත් වන පුද්ගලයන්නේ ආහාර දාමයටත් එක් වේ. එයින් ඇතිවන අතුරු ප්‍රතිපලය වකුගඩු රෝග හා ඒ ආශ්‍රීත රොගාබාධයන් ය. මේ රොගීන් විසින් නිදහස් රොහල් පද්ධතිය වෙත අනවශ්‍ය බරක් ඇති කරන අතර, එයින් නැවතත් ජාතික ආර්ථික වෙත බලපෑම් ඇති වේ.


මුළු නිශ්පාද වියදමෙන් 15%-5% අතර ප්‍රමාණයක් පොහොර මගින් සිඳුවන අතර, කෘෂි විද්‍යව පිළිබඳ කිසිදු දැනීමක් නැත්තෙකුට රුපියල් 350 පොහොර හොඳ ඡන්ද ගුංඩුවකි. මා විසින් කතා කළ ගැමි ගොවීන් විසින් මට ප්‍රකාශ කළේ ඔවුන්ගේ සකල ප්‍රශ්න රුපියල් 350 පොහොර සමඟ නිමා වී ඇති බව යි. එහෙත් විෂය පිළිබඳ දැනුමැත්තෙකුට මේ රැවටීමේ තරම සක්සුදක් සේ පැහැදිලි ය (මේ තර්කය ඔප්පු කරනු පිණිස අක්කර යක නිශ්පාදන වියදම ළඟක දී මෙහි සටහන් කොට තබන්නෙමි). [1]


මේ තීරයෙන් මා දක්වන්නේ රවටන්න‍න්ගේ රැවටීම් ය. මේ රැවටීම් සඳහා රැවටෙන "යථාර්ථවාදීන්" තමුන් හඳුන්වා ගන්නා කොටසක් ද වෙති. රවටන්නෝ කෙසේ රැවටීම කළත් "අවසාන සිනාව" අයිති මහජනතාවට ය. දේශපාලකයන්ගේ උවමනාව ස්වකීය සැප සම්පත් සහ බලය රැක ගැනීම සහ තව පරම්පරා ගණනාවකට මුදල් හරිහම්බ කර ගැනීමට ය. මහින්ද අවුරුදු දෙකක ධූර කාලය ඉතිරි ව තිබිය දී, අනවශ්‍ය ඡන්දයක් කඳ වූයේ ඒ නිසා ය. තව අවුරුදු දෙකක් ස්වකීය මහින්ද චින්තනය යටතේ රට සුඛිත මුදිත කොට නියම කලට ඡන්දයක් කැඳවුයේ නම්, ජෙනරාල් කෙනෙකුගේ තර්ජනයට හෙතෙම පාත්‍ර නොවුණු ඇත. සත්‍ය මහින්ද පර්සි රාජපක්ෂ හොඳින් දනී. ඒ නම්, ඔහුට මෙතැනින් ඉදිරියට රටේ තත්ත්වය සංවර්ධනයෙන් ඉදිරියට ගෙන යා නොහැකි බව ය. ඒ නිසා, තැටිය රත්වී ඇති විට, රොටිය පුළුස්සා ගැනීමට හෙතෙම බලාපොරොත්තු වූවා විය හැකි ය. මේ අනවශ්‍ය ඡන්දය කැඳවීමෙන් විපක්ෂය මහින්ද අඩු තක්සේරු කළා පමණක් නොව, රට සංවර්ධනයට ස්වකීය නොහැකියාවත් හුවා දැක්විම කළේ ය.


මෙවැනි අවස්ථාවක මාගේ අවධානය යොමු වන්නේ මහජන සේවය සිඝ්‍රයෙන් දේශපානීයකරණය වීම ගැන ය. මහජනතාව නිවහල් ය. දේශපාලකයන්ගේ මාපටගිල්ලට යට ව සිටින්නට ඔවුනට අවශ්‍ය නැත. ඡන්ද කොමසාරිස් විසින් සිවකීය බලය භාවිත කොට, රාජ්‍ය මාධ්‍ය නිළධරුවන් උසාවියට ගෙන ගොස් දඬුවමට පත් කළේ නම් ඔහු විසින් මහජන අයිතියට කළ මාහැඟි දායාදයක් වීමට තිබිණි. එවැනි පුර්වා දර්ශයක් කළේ නම් ඉදිරියේ පත්වන කවර වර්ණයේ ආණ්ඩුවක වුව ද, මහජන දෙපළ වලට අත තැබීමට මත්තෙන් දෙවරක් සිතනු ඇත. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් රවටන්නෝ රැවටිමකට ලක් කිරීම මහජන යුතු කමකි. රවටන්නෝ රැවටුන විට, රවටන්නන් දෙස බලා අවසාන සිනාහව උරුම වන්නේ මහජනතාව වෙතට ය. එවිට සැබෑ සුබ අනාගතයක් සහ විශ්වාසනීය වෙනසක් මහජනතාවට ලැබෙනු ඇත.



[1] නිශ්පාදන වියදම සඳහා නිදර්ශන ලෙස කෘෂි කර්ම දෙපාර්තුමෙන්තුව මගින් නිකුත් කළ සංඛ්‍යා ලේඛනයක් පහත දැක්වේ:

Production cost: Labour (73%) is the highest cost component in radish cultivation, follows with seed (18%), pesticide (6%) and fertilizer (3%) (Source: Department of Census and Statistics, 1996). The unit cost of production for the period of 1998-2001 is given in Table. The estimated production cost indicates that increasing the productivity of the crop by adopting appropriate technologies could reduce the unit cost of production.
මෙහි පොහොර සඳහා දක්වා ඇත්තේ 3% පමණ ප්‍රතිශතයකි.

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...