Friday, March 9, 2018

අමෘතයෙන් කසිප්පු පෙ‍රා බීම: ලංකා ප්‍රජාතන්ත්‍රවාදය!


පසුගිය දවස් දෙක තුන තුළ එක් ඇමතිවරයකු විසින් ලංකාවේ ප්‍රතිස්ථාපනය කළ යහපාලන ප්‍රජතන්ත්‍රවාදය පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ එය අතිශයින් හ සීමා රහිත වීම විවිධ වූ සමාජීය ප්‍රශ්නයන්ට හේතු වූ බව ය. ඒ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා සීමා පැණවිය යුතු බව පැවසුවේ දෙවියන් ගේ ආහාරයක් වූ අමෘතය ගෙන එයින් ලාංකිකයෝ සමහරෙක් කසිප්පු පෙරා පානය කරන බව දැක්වීමෙන් ය. පසුගිය සතියේ ඇති වූ නො සන්සුන්තාවය සමගින් ම විවිධ දේශපාලකයන් පැවසුවේ යහපාලනය මගින් ලබා දී ඇති ප්‍රජාතන්ත්‍රවාදය සීමාවන් අසීමිත ලෙස භූක්ති විඳිමින්, අහිතකර සේ භාවිත කරන බවකිත ඒ හෙයින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස සීමා කළ යුතු බව ඔවුන් ගේ අදහස වි ය. නිදහස් පක්ෂයේ මහලේකම් තුමා ගේ සිට එක්සත් ජාතික පාක්ෂික සමහර මන්ත්‍රීවරුන් දක්වා ප්‍රජාතන්ත්‍ර නිදහස සීමා කළ යුතු බව පවසා ඇත. ඒ හෙයින් ලංකාවේ කිසිදි නොකළ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස කිසි හිරිකිතයක් නොමැතිව සීමා කිරීම මෙකී යහපාලන ආණ්ඩුව කර ඇත. ඒ සමාජ වෙබ් අඩවි කිහිපයක් හි භාවිතය සීමා කිරීම ය. ඒ ෆෙස්බුක්, වට්ස් අප්, හා වයිබර් යන වාධ්‍යයන් ය. දරුණු ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාකලාපයක් පැවති මහින්ද පාලනයේ දී වත් මෙවැනි අතපෙවීමක් කිරීමට ආණ්ඩුව ධෛර්යවත් නො වී ය. මෙසේ  සමාජ වෙබ් අඩවි සීමා කිරීම වත්මන් යහ පාලන ආණ්ඩුවේ නොහැකියාව මැනවින් ප්‍රකාශ කිරීමක් විනා වෙන යමක් නොවේ.

මුල සිට ම යහ පාලන ආණ්ඩුවේ ප්‍රධාන දුර්වලතාවය වූයේ සන්නිවේදනය කිරීම යි. ලංකාවේ ගම් මට්ටමේ බිම් මට්ටමේ (ප්‍රේමදාසගේ වචයෙන්) මිනිසුන් ගේ හද ගැස්ම ඉහළ නායකත්වයට දැනීමක් නැත. ඒ හෙයින් කරන සියල්ල නිහඬව කරයි. වරක් දේශපාලකයෙන් ප්‍රේමදාස ජනාධිපති වරයා කී කතාවක් මතක් කොට කීවේ "අපි කරන වැඩ මේ ගස්වල කොළයක් කොළයක් පාසා ලියන්න" යනු ය. ප්‍රේමදාස ජනාධිපති තුමා සන්න‍ෙවේදනයේ වැදගත් කම මැනවින් දැන සිටියේ ය. එහෙත් යහ පාලන ආණ්ඩුවට එසේ බුද්ධිමය කල්පනාවක් නැත. 

රනිල් මෙවර මැතිවරණයේ ද කටමෑත දොඩවමින් (සෑම මැතිවරණයක ම මෙන් ම අවසාන මො‍හොතේ) නාවත නොමිලේ "වයි-ෆයි" කතා කීයේ ය. වයි-ෆයි භාවිත කරන්නේ කාරුණ්‍ය නම්, නොමිලේ වයි-ෆයි අවශ්‍ය ඔවුනට විද්යුත්-ලිපි යවන්නට නොව සමාජ වෙබ්ජාලාවල සැරී සැරීමට ය. එ සේ නම් සමාජ වෙබ් අඩවිවල සැරී සරන රනිල්ගේ ඡන්ද පදනම බිඳ දැමීමක් කරන බව පෙනේ. මෙසේ පරස්පරතා රාශියක් යහපාලන ආණ්ඩුවේ පසුබෑමට හේතු වෙයි. පසුගිය ප්‍රාදේශිය මැතිවරණයේ ද පිළිබිඹු කළේ යහ පාලන ආණ්ඩුවට ප්‍රතිගාමී පිරිස් කැපීපෙනෙන සේ ආණ්ඩුව වෙත හරවා ගෙන නොමැති බව ය.වයි-ෆයි වලින් ඡන්ද දිනන්නට සිතන එක්සත් ජාතික පක්ෂ නායකත්වය සමාජ වෙබ් අඩවි අවහිර කිරීමෙන් ඒ ඡන්ද නැති කර ගන්නේ ය. අනෙක් අතට "වී.පී.එන්" ආකාරයට මෙසේ අවහිර කළ අන්තර් ජාල අඩවිවලට ප්‍රවේශ වීමට උත්සහ කරන නිසාවෙන් සමහරුන් හා නිති කඩන්නන් පැහැදිලිව හඳුනා කත නෙහේ. අනෙක් අතට පරිඝනක වෛරස හා රන්සම් වෙයා සඳහා ලංකාවේ පරිඝණක විවෘත වීමක් ද සිඳු වෙයි මෙයින් රටේ පරිඝනක ජාලාවන්ට හා රටෙහි ආරක්ෂාව සඳහා තර්ජනයන් ඇති වීම නොවැළැක් විය හැකි ය. නො‍මිලේ වයි-ෆයි කතා වෙනුවට අඩු තරමින් දුරකථන සඳහා වූ බදු මුදල අඩු කළේ ‍නම් යම් තකා සහනයක් ජනතාවය ලබා දිය හැකි විණි. එහෙත් ගැමි හෝ දිළිඳු මිනිස් හදෙහි වූ තෙරපෙන උවමානාවන් කුරුදු වත්තේ කෙමිබ්‍රිජ් ඇත්තන්ට දැනෙන්නේ නැත. රොයල් විද්‍යාලයේ ආදි සිසුවන්‍ගෙන් සමන්විත ර.ජා.ප. දේශපාලන ජුන්ටාවට පරතොටෙහි මිනිසා ගේ දුක්කදොමනස්සයන් දැනෙන්නේ  නැත. සමහර ඇමතිවරුන් කෙසේ කරළියට පැමිණියේ දැයි අපටද අපැහැදිලි ය.  මෙවර අලියාට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් දුන්නේ වෙනකකට කතිරය ගැසීමෙහි වූ හිතේ නොහැකියාව නිසා මිස, එ.ජා.ප. නායකත්වය හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කෙරෙහි වූ ප්‍රසාදයෙන් නොවන බව සිතට ගත යුතු ය. 

ඒ හෙයින් රනිල් වැන්නවුන් දැන් අගමැති පුටවේ සමීප සුවයේ සිටිය ද, ලබන පාර්ලිමෙන්තු මැතිවරණයෙන් අසුන පවා අහිමි වීම නොවැළැක් විය හැකි ය. සමහර එ.ජා.ප සාමාජීකයන් පවසන්නේ රනිල් ඉන්නා තුරු අලියාට ඡන්දය නොදෙන බව ය. මා මහරාජා ජාලය මෙන් රනිල් විරෝධයක් වපුරන්නට තනන්නේ නැති නමුත්, තමුන් ගන්නා තීරණ මුළු පක්ෂය කෙරෙහි ම බලපාන බව සිතට ගත යුතු ය. මෙවර කැබැනට් සංශේදනය මහා ම මහා විහිලුවකි (ජෝකරයකි). බොහෝ පාක්ෂිකයෝ ජෙනරාල් ෆොන්සෙකා පත් වෙතයි අපේක්ෂා කළ නීතිය හා සාමය අමාත්‍යංශයට මද්දුම බණ්ඩාර වැනි එහෙටත් නැති මෙහෙටත් නැති පුද්ගලයකු පත් කිරීමෙන්, දූෂිතයන් ආරක්ෂා කිරීමට දක්වන උවමනාව ප්‍රකට කරයි. නැවත රනිල් විපක්ෂ නායක කම ගැන සිහින මවනවා විය හැකි ය; යහ පාලන ආණ්ඩුව හට දේශපාලන අභිමතයක් (Political will) නොතැබීමේ හේතුව මේ සියල්ලට මුල ය.  ඒ හෙයින් නැවත ජයග්‍රහණයක් වෙත යෑමට යහපාලනය ද ආඥාදායකත්වයට යෑම මෙයින් සංඥා කරයි. අමෘත්තයෙන් කසිප්පු පෙරණ නරයන් ද නැත්තේ නොවේ. එහෙත් එයට පිළියම අමෘතය වාරණය කිරීම නෙවේ. කසිප්පු පෙරන්නේ අල්ලා කූඩු කිරීම ය. කන මැක්කා වෙනුවට දකින දකින හැම කෘමියෙකු ම මරා දැමිය යුතු නැත. එය විකාරයකි. ඒ හෙයින් මහත්‍තයෝ ආඥා දායකත්වයේ යකඩ සපත්තුව ආපස්සට ගනු; අඥාදායක සහිනයෙන් අවදි වනු.  

එ සේ ම, වාරණය වෙනුවට නිවැරදි තොරතුරු සපයනු! මුල සිට ම යහ පාලන ආණ්ඩුව තෙල්දෙණිය-දිගන ප්‍රශ්නයේ දී තොරතුරු සමාජ ගත කළේ වත්, මුස්ලිම් විරෝධ රැල්ල මැඩ පැවැත් වීමට ජන මාධ්‍ය භාවිත කළේ වත් නැත. ඒ සඳහා කළේ සැක ඇති වන ලෙස ගොළු වත රැකීමය; අවසානයේ කටකතා රොතු පිටින් ". . .ලු" සංඥාපනය සමග උණු කැවුම් හෝ උණු වඩේ මෙන් පැතිරිණි. විවිධ කටකතා සමාජ වෙබ් අඩවි මෙන් ම, යූටියුබ් වැනි සමාජ විඩියෝ මගින් ප්‍රචලිත වි ය. ආණ්ඩු විරෝධින් පන්සල් කඩා බිඳ දමන බව, භික්ෂුන් වහන්සෙලා මරා දමන බව, බුදු රූප හි පිළිම වහන්සේ කඩා බිඳ දමන බව, සිංහල කඩ පුළුස්සන බව, සිංහළයන් මරා දමන බව තළු මරමින්, කෙළ හළමින් කී හ. අසා සිටින්නෝ ද, ලුණු ඇබුල් සහිත ව ඒ වා අනෙක් අතට හුවමාරු කළ හ; වැපුරූ හ. දෝෂය ආණ්ඩුවේ ම ය. වරක අගමැති තුමා කීවේ නුවර ප්‍රදේශයේ ගෙවුනු පැය 24 තුළ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වී නොමැති බව ය; එයට වහාම පසු ප්‍රවෘත්තිය වූයේ එදින ඇති වූ ප්‍රචණ්ඩතාවන් ය. මෙසේ පරස්පරතා දකින මිනිසුන් ආණ්ඩුව පවසන දෑ විශ්වාස කරන්නේ  කෙසේ ද? ජන විශ්වාස බින්ඳ යහපාලනය කියන දෑ එතරම් පහසුවෙන් මිනිසුන් පිළි නොගනියි. මේ අ‍ණ්ඩුවේ මෝඩකම මැතිවරණ පසුබෑමකින් ද අවබෝධ කොට නැත. ඡන්ද ක‍ාලේ උඩ පැන පැන ආණ්ඩුවේ ප්‍රධ‍ාන පක්ෂ දෙක එකිනෙකාට චොදනා කළෝ ය. කිරිඇල්ල වැන්නවුන් අද ආණ්ඩුවේ පොලිස්සියට චෝදනා කරයි.  ප්‍රතිපලය කුමන් ද? උඩ බලා කෙළ ගැසීමකි; ප්‍රතිවාදින්ට ගල් දී, ගල් පහර කෑම ය. මහින්ද අගේට කරන්නේ ඒක ය. මොළේ කලඳක් වත් නැති හැටි!

කියන්න තිබුනේ හා ලියන්න තිබුනේ හාත්පසින් වෙනස් දෙයකි. දිගන වැසියකු කීවේ මත්පැන් බී සිංහල කොළුවට පහර දුන් මුස්ලිම් තරුණයෝ  දිගන පාසල් ක්‍රිඩා පිටියේ සිංහලයන් සමග එකට ක්‍රිකට් ක්‍රිඩා කරන කණ්ඩායමකි. ඔවුන් අතර භේද භින්න අදහස් හෝ ජාති භේද වෛරී ඉස්ලාම් දැඩි මත නැත. එක ගමේ අසල්වැසියන් ය. අනෙක් අතට මැරණු පුද්ගලයා ද, නිතර ම රාත්‍රීයට බස් නැති විට මුස්ලිම් පුද්ගලයන් තම රථයේ රැගෙන එන්නෙකි.  ඔහුත් ජාතිවාදියකු නොවේ. මෙම ගම මිශ්‍ර ගමකි. මරණයෙන් පසු මාර්තු තුන්වෙනිදා පමණ මැරුණු පුද්ගලයාගේ පවුලට වන්දි පිණිස ජීවිතාන්තය දක්වා ම මුස්ලිම් පල්ලියෙන් නඩත්තු කිරීමට ඉස්ලාම් හා බෞද්ධ ආගමික නායකයන් අතර එකඟතාවයකට පැමිණිය හ. මේවා යහ පාලන ආණ්ඩුවට පෙන්නා දෙන්නට තිබිණි. එසේ නොවන විට වැරදි ප්‍රචාර යනවා පමණක් නොව, ඉතා සුළුතර අන්තවාදින් කණ්ඩායමකට එයින් පල ප්‍රයෝජන ගෙන ජාතීන් අතර විරසක වීමක් කිරීමේ ශාක්‍යතාවය සඳහා ඉඩ සැලසී ය.

කිසිඳු සම්බන්ධතාවක් නැති (ඥාතිත්තවයෙන් හෝ වෙනත් සාමජීය සම්බන්ධතාවන් ගෙන්) ඥානසාර හිමියන් මාර්තු 4 මළ ගෙදරට කඩා පාත් වෙයි. ඉස්ලාම් විරෝධයේ මහා සළකුණ වූ ඥානසාර හිමියන් පැමිණ පැය දෙකකින් වාර්ගික ගැටුමක් ඇති වෙයි. එයට දැන් හෙළි වී ඇති කරුණු අනුව අම්පාර, නුවර හා කොළඹ වැනි  තෙල්දෙනිය හා දිගනින් පිට සිට මහසොන් බලකායක් කඩා පහත් වෙයි. ඔව්හු ඉබාගාතයේ හිස් ලූ ලූ අත දුවමින් කඩසාප්පු හා ගෙවල් ගිනි තියන්න පටන් ගනී. කඩවල නාමපූවරුවලින් සිංහල, දෙමළ හෝ මුස්ලිම් යයි කඩ තීරණය කළ නිසා, නමක් නැති වෙනත් අයවළුන්ගේ ද කඩ සාප්පු දැවී අළු වෙයි. මෙසේ නිවාස හා කඩ සාප්පු 50 ආසන්න ප්‍රමාණයක් විනාශ වෙයි. පූජනීය ස්ථානයන්ට ආගම් භේදයක් තොරව සියල්ලෝ ගරුකරන්නා හ. එහෙත් මේ මහසොහොන් යක්කු ජුජ්‍යස්ථාන වෙත ගල්මුල් හා වෙනත් ආකාර‍යේ පහර දෙති. අවසානයේ පූජ්‍යස්ථාන 4කට පමණ අලාභ හානි වෙයි. පිටත පෙනුමෙන්  ඉස්ලාම් යයි හැ‍ඟෙන වාහන ගිනි තබයි; ආසන්න වශයෙන් වාහන 12ක් පමණවත් ගිනි ගෙන විනාශ වෙයි. මේ කොළහාලය නිසා 140කට වැඩි පිරිසක් අත්අඩංගුවට පත් වෙයි. මෙන්න ප්‍රතිපල ය. රට අන්තර් ජාතික ලෙස අපකීර්තියටත්, සංචාරක වාරණයටත් පත් වෙයි; ජිනිවාහි මානව අයිතිවාසිකම් කොමිසමට රටෙහි බහුතර ජනතාවගේ ප්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තාවන් ඉදිරිපත් වීමට අවස්ථාවක් ඇති වෙයි. 

2004-2006 වසරේ පමණ සිට වැපිරූ මුස්ලිම් විරෝධි බොදුනු කථිකාවන් ගේ ප්‍රතිපලය නම් සමහරෙක් තුළ ජනවාරිගීක වෛරයන් ඇති වී තිබීම ය; මේවා අළු යට ගිනි ය. මෙවැනි පහර දීම් හා දේපල විනාශයන් මුස්ලිම් ප්‍රජාව තුළ ද, අනෙක් මහා ප්‍රජාව පිළිබඳ වෛරය ඇති කරනු වැළකිය නොහැකි ය. විශේෂයෙන් ම ජේෂ්ට මවුලවි තුමන් ආරක්ෂාව පිළිබඳ සහතික වූ විට, මෙවන් තත්ත්වයන් මගින් තරුණයන් ආගමික නායකයන් ගේ අදහසට පිටුපාන තත්ත්වයන් ඇති නොවන්නේ ද? මෙය හැටෙ හා හැත්තැවේ දශකවල උතුරේ ඇති වි ය. දෙමළ වැඩිමහළු දේශපාලකයන් හට තරුණ කණ්ඩායම් ප්‍රකාශ කළේ ඔබේ කතාවලින් වැඩක් නැති බවත් අප ගේ විමුක්තිය තකා අවි අතට ගන්නා බව ය. අසුව දශකයේ කළු ජූලිය සමග තිස් අවුරුදු සිවිල්, වාර්ගික හා ත්‍රස්තවාදී යුද්ධයක් ඇති වි ය.

මේ සියලු ව්‍යසනයන් වළකා ගැනීමට හැකියාවක් නොවිණි ද? ඇති වීමට පෙර කළමනාකරණය කරගත හැකි නො වී ද?


මේ සඳහා දේශපාලන පිළිතුර ප්‍රජාතන්ත්‍රවාදය සීමා කිරීම ද? ආඥාදායකත්වය නැවත ඔසවා තැබීම ද?

No comments:

Post a Comment

Related Posts with Thumbnails

ලොව පැරණිතම මත්කාරකය: බලකාමය

බලකාමය යනු ලොව පැරණිතම මත්කාරකය යි. ඉතිහාසය තුළ බලකාමයෙන් මත් වී රටවල්, ජනතාවන්, ජාතින් බුරුතු පිටින් විනාශ කිරීම සිදු වි ය. තිසරානී ...